Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමතක නොවන පැරණි සිංහයෝ 8- සිදත් වෙත්තමුණි

1982-1987 කාලසමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සිදත් වෙත්තමුණි, ඉතාමත් දක්ෂ ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ප්‍රසිද්ධව සිටියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමිකර ගත් මෙම පිතිකරුවා එක්දින පිටියට වඩා කැපී පෙණුනේ ටෙස්ට් පිටිය තුළ දී යි. ඉතාමත් දුෂ්කර කාල සමයක ශ්‍රී ලංකා නාමය ලෝක ක්‍රිකට් පිටිය තුළ බබළවන්නට සුවිසල් මෙහෙයක් කළ සිදත් පිළිබඳව වර්තමාන පරපුර දැනගත යුතු වනවා. එම නිසාම අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ 8 වැනි ලිපිය වෙන්වන්නේ සිදත් වෙත්තමුණි නම් සුපිරි පිතිකරුවාට යි.

සිදත් වෙත්තමුණිගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මතක සටහන් 

ටෙස්ට් තරග 23ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සිදත් වෙත්තමුණි ඉනිම් 43ක් තුළ ලකුණු 1221ක් ලබාගෙන තිබෙනවා. එසේම, සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ අර්ධ ශතක 6ක් සහ ශතක 2ක් ලබාගත් සිදත්, එම ශතක දෙකම වාර්තා කළේ මව්බිමෙන් පිටත දී යි. 

සිදත් ශ්‍රී ලංකාව සහභාගි වුණු මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළා. 

ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගි වුණේ 1982 වසරේ දී යි. පී සරා ඕවල් පිටියේ පැවති එම තරගයේ දී ශ්‍රී ලංකාව තරග වැදුණේ එංගලන්ත කණ්ඩායම සමග යි. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කළ සිදත්ට ඉනිම් දෙක තුළ ලබාගැනීමට හැකි වුණේ ලකුණු 6ක් සහ ලකුණු 9ක් පමණයි. 

සිදත් මංගල ටෙස්ට් තරගයේ දී (gettyimages)

සිදත් පිත්තෙන් දස්කම් දැක්වූ ටෙස්ට් තරග 

සිදත් ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ශතකය ලබාගත් පිතිකරුවා වීමේ වාසනාව හිමිකර ගත්තා. එසේම ඔහු ලෝඩ්ස් පිටියේ දී ලබාගත් ටෙස්ට් ශතකය ඉතාමත් විශිෂ්ට ගණයේ එකක් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් ශතකය වාර්තා වුණේ ඔහුගේ පිත්තෙන් 

1982 වසරේ පැවති ශ්‍රී ලංකා-පාකිස්ථානු ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ ෆයිසලාබාද් නුවර, ඉක්බාල් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 454ක් ලබාගත්තා. එහි දී මනරම් ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුණි, හතරේ පහර 21ක් සමගින් ලකුණු 157ක් ලබාගත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ශතකය ලබාගත් පිතිකරුවා බවට පත් වෙමින්. 

කිවි බිමේ දී ක්‍රීඩා කළ ඉවසිලිවන්ත ඉනිම 

1983 සිංහ-කිවි ටෙස්ට් තරගාවලිය යටතේ ක්‍රයිස්චර්ච් නුවර දී පැවති පළමු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කිවියන් පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 344ක් ලබාගත්තා. ඉන්පසුව, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනාම දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 144ක් පමණයි. එහි දී ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි සිදත්, ඉනිම අවසන් වන තුරුම නොදැවී පන්දුවට පහරදෙමින් (Carrying the bat) ලකුණු 63ක් ලබාගත්තේ එවැනි දස්කමක් කළ මුල්ම ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස ඉතිහාසගත වෙමින්.

මව්බිමේ දී ගිලිහී ගිය ශතකය 

1983 වසරේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා අතර ටෙස්ට් තරගයක් පැවැත්වුණේ මහනුවර අස්ගිරිය පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවන් පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් 514/4ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 271ක් පමණ යි. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 243ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක්  ක්‍රීඩා කළ සිදත්, ලකුණු 96ක් ලබාගැනීමට සමත් වුණා. පන්දු 145ක් වැය වුණු සිදත්ගේ ඉනිම අලංකාර හතරේ පහර 13කින් වර්ණවත් වුණා. යම් හෙයකින් එදා සිදත් ශතකය ලබාගත්තා නම්, ඔහු මව්බිමේ දී මුල්ම ටෙස්ට් ශතකය ලබාගත් පිතිකරුවා ලෙසින් වාර්තා අතරට එක් වීමට නියමිතව තිබුණා. නමුත්, ඔහුට අවාසනාවන්ත අයුරින් එම වාර්තාව අහිමිව යාම ඉතාමත් කණගාටුදායක සිදුවීමක් වුණා. 

ලෝඩ්ස් පිටියේ දී ටෙස්ට් ශතකයක් ලබාගත් මුල්ම ලාංකික පිතිකරුවා මොහු යි! 

ක්‍රිකට් ලොව රන් දෙවොල ලෙසින් හැඳින්වෙන්නේ ලෝඩ්ස් ක්‍රිකට් පිටිය යි. ලෝඩ්ස් පිටියේ දී ටෙස්ට් ශතකයක් ලබාගැනීම ඕනෑම පිතිකරුවෙකු සිය ටෙස්ට් දිවිය තුළ ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන සිහිනයක් වනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සිහිනය මුලින්ම සැබෑ කරගත් පිතිකරුවා වුණේ මොහු යි. 1984 වසරේ දී එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී සිදත්, හතරේ පහර 21ක් සමගින් ලකුණු 190ක් ලබාගත්තේ මනරම් ඉනිමක් ක්‍රීඩා කරමින්. ලෝඩ්ස් පිටියේ දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතර රැඳී තිබුණු මෙය, 2011 වසරේ දී තිලකරත්න දිල්ෂාන් බිඳදැමුවේ ලකුණු 193ක් ලබාගනිමින්. 

සිදත්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

සිදත් වෙත්තමුණිගේ එක්දින ක්‍රිකට් දිවියේ මතක සටහන් 

එක්දින තරග 33ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සිදත්, ඉනිම් 33ක් තුළ ලකුණු 786ක් ලබාගෙන තිබෙනවා. එසේම, සිය එක්දින ක්‍රිකට් දිවිය තුළ අර්ධ ශතක 4ක් ලබාගත් සිදත් සිය හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව යි.

මංගල එක්දින තරගයේ දී සිදත් ලකුණු අතරට 

1982 වසරේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය සිදත්ගේ එක්දින ක්‍රිකට් දිවියේ මංගල තරගය බවට පත් වුණා. එම තරගයේ දී පන්දු 80කින් ලකුණු 46ක් ලබාගත් සිදත්, අවාසනාවන්ත අන්දමින් සිය මංගල එක්දින අර්ධ ශතකය අහිමි කරගත්තා.

සිදත් පිත්තෙන් දස්කම් දැක්වූ එක්දින තරග 

ශ්‍රී ලංකාව මව්බිමේ දී ලබාගත් මුල්ම එක්දින තරග ජයග්‍රහණයේ නියමුවා වුණු සිදත්, ටෙස්ට් තරගවල දී තරම් එක්දින තරගවල දී දස්කම් දැක්වීමට සමත් වුණේ නැහැ. ඔහුගේ එක්දින දිවියේ අවසන් වසර 3.5 තුළ දී කිසිදු එක්දින අර්ධ ශතකයක් ලබාගැනීමට නොහැකි වීමෙන් එය මනාව ඔප්පු වනවා.

ශ්‍රී ලංකාවට මව්බිමේ දී මංගල එක්දින ජයග්‍රහණය ලබාදුන් ඉනිම 

1982 ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලියේ දෙවන තරගය පැවැත්වුණේ කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී යි. ශ්‍රී ලංකාව ලකුණු 3ක තියුණු ජයක් ලබාගත් එම තරගයේ දී ජයග්‍රහණයේ නියමුවා වුණු සිදත්, නොදැවී ලකුණු 86ක් ලබාගත්තේ පන්දු 109කට මුහුණදෙමින්. එහි දී සිදත්ගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ඉනිම නිසා ඔහුට තරගයේ වීරයා සම්මානය හිමි වුණු බව මෙහි දී සිහිපත් කළ යුතු යි.

ඉන්දු බිමේ දී ලබාගත් ලකුණු 74

1982 වසරේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ දෙවන තරගයේ දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ සිදත්, පන්දු 107කින් ලකුණු 74ක් ලබාගැනීමට සමත් වුණා. එහි දී සිදත් දෙවන කඩුල්ල වෙනුවෙන් රෝයි සමග එක්ව ලකුණු 174ක වාර්තාගත සබඳතාවයක් ගොඩනැගීම අමතක නොවන සිදුවීමක් වුණා. එසේම, එම තරගයේ දී රෝයි ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින ශතකය ලබාගැනීමටත් සමත් වුණා.

ඕස්ට්‍රේලියානුවන් හමුවේ ලබාගත් වටිනා අර්ධ ශතකය 

1983 වසරේ පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 208ක ඉලක්කයක් හඹාගිය අවස්ථාවේ සාර්ථක ආරම්භයක් ලබාදුන් සිදත්, පන්දු 92කින් ලකුණු 56ක් ලබාගැනීමට සමත් වුණා. 

1983 ලෝක කුසලාන තරගාවලියේ දී දියත් කළ ඉවසිලිවන්ත ඉනිම 

1983 ලෝක කුසලාන එක්දින තරගාවලිය යටතේ හෙඩිංග්ලි පිටියේ දී, පැවති ශ්‍රී ලංකා-පාකිස්ථාන තරගයේ දී ලකුණු 236ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට සිදත්ට හැකි වුණා. එහි දී ඔහු ලබාගත් අගනා ලකුණු 50 නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 162/2 බවට පත් වුණා. නමුත්, එම අවස්ථාවේ දී සිදත් දැවීයාමත් සමගම ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුණේ ලකුණු 11ක පරාජයක් උරුමකර දෙමින්.

විස්ඩන් වසරේ ක්‍රීඩකයා වුණු මුල්ම ලාංකිකයා ඔහු යි 

1889 වසරේ සිට විස්ඩන් සඟරාව වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් නම් කිරීම සිදුකළා. එලෙස විස්ඩන් සඟරාව 1985 වසරේ දී නම් කළ විශිෂ්ටතම ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකාව සිදත් වෙත්තමුණිගේ නාමය ද  ඇතුළත් වුණා. එහි දී ඔහු එම වාසනාව හිමිකරගත් මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙසින් ඉතිහාසයට එකතු වුණා. 

Related Articles