Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආසියා කුසලානයේ අවදානම් අඩියකට වැටුණු ශ්‍රී ලංකා පිල

2022 ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පසුගිය සෙනසුරාදා ආරම්භ වුණා. 20/20 තරග රටාවට අනුව පැවැත්වෙන එම තරගාවලියේ මූලික වටයේ පළමු තරගයේ දී ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව උරෙනුර ගැටුණා. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් හිමි වුණේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට යි. 

ඒ අයුරින් ලැබූ දරුණු පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට වැටී තිබෙනවා. ඔවුන්ට තරගාවලිය තුළ ඉදිරියට යාමට නම් බංග්ලාදේශයට එරෙහි ව  එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වෙන තරගය අනිවාර්යයෙන් ම ජයගත යුතු තත්ත්වයක් උදා වී තිබෙනවා.

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලි තොරතුරු

මෙවර ආසියා කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායක මොහොමඩ් නබී පන්දුවට මුලින් ම පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දුන්නා. පන්දු යවන්නන්ට වඩාත් හිතකර අයුරින් සකසා තිබුණු එම තණතීරුවේ දක්ෂ ලෙස පන්දු යැවූ ඇෆ්ගනිස්තාන ආරම්භක වේග පන්දු යවන්නන් යුගළය, ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 5ක් තුළ දවා ගත්තා. එහි දී ෆාසල්හක් ෆාරුකී පළමු පන්දුවාරයේ දී කඩුලු 2ක් දවා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ෆාරුකී (gettyimages.com)

 

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයකට පත් ව සිටි අවස්ථාවේ පිටියේ එක් වුණු භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක සබඳතාවක් ගොඩනැගුවා. එම සබඳතාව නිමාවට පත් කරමින් ධනුෂ්ක ලකුණු 17කට දැවී යාමත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට යළි ඇද වැටුණා.

එම අවස්ථාවේ ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන්නන් මනා සැලසුමකට අනුව පන්දු යැවූ නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 69/6 දක්වා පහළට වැටුණා. ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි භානුක ලකුණු 38ක් ලබා ගෙන සටන්කාමී පිතිහරඹයක නිරතවෙමින් සිටියා. 

භානුකගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

එම තීරණාත්මක අවස්ථාවේ ලකුණු 38ක් ලබා ගෙන සිටි භානුක කිසිවකු නොසිතූ අයුරින් දුවද්දී දැවී ගියා. ඒ සමඟ ම ශ්‍රී ලංකා ඉනිම යළි කඩාගෙන වැටෙන්නට පටන් ගත්තා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 75/9 බවට පත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ තත්ත්වයකට පත් ව තිබුණු ඒ මොහොතේ සිය වගකීම මනාව ඉටු කළ චාමික කරුණාරත්න වටිනා ලකුණු 31ක් ලබා ගත්තා. 

චාමික පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

එම ලකුණු 31ට පින්සිදු වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා ම දැවී ලකුණු 105ක් ලබා ගැනීමට හැකි වුණා.

එහි දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෆාරුකී කඩුලු 3ක් දවා ගනිද්දී නායක මොහොමඩ් නබී සහ මුජීබ් උර් රහමාන් කඩුලු 2 බැගින් දවා ගෙන දස්කම් දැක්වූවා.

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු නබී  – gettyimages.com

 

 ලකුණු 106ක පහසු ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් රහ්මනුල්ලා ගුර්බාස් සහ හස්රතුල්ලා සසායි සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. එහි දී ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා පන්දු 37කින් ලකුණු 83ක් එකතු කළා.

පන්දු 18කින් ලකුණු 40ක් ලබා ගෙන සිටි ගුර්බාස්ගේ දැවී යාමෙන් පසුව එම සබඳතාව නිමා වුණත් සසායි නොදැවී ලකුණු 37ක් ලබා ගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. ඒ අනුව ඇෆ්ගනිස්තානය පන්දුවාර 10.1ක් ඇතුළත කඩුලු 2ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණු ලකුණු ප්‍රමාණය ලබා ගත්තා. 

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ගුර්බාස් – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 105/10 (19.4), (භානුක- 38, චාමික- 31, ෆාරුකී- 11/3, නබී- 14/2, මුජීබ්- 24/2)

ඇෆ්ගනිස්තානය- 106/2 (10.1), (ගුර්බාස්- 40, සසායි- 37*, ඊබ්‍රාහිම්- 15, හසරංග- 19/1)

ඇෆ්ගනිස්තානයට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා- ෆාසල්හක් ෆාරුකී

ඇෆ්ගනිස්තානය තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

 

2022 ආසියා කුසලාන තරගාවලියේ කාගේත් අවධානය දිනා ගත් තරගය ඊයේ (28) දිනයේ දී පැවැත්වුණා. ඒ ඉන්දියාව සහ පාකිස්තානය අතර යි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවති එම තරගයේ කාසියේ වාසිය පරාජය වී පන්දුවට මුලින් ම පහරදුන්නේ පාකිස්තාන කණ්ඩායම යි. 

එහි දී ඉන්දීය පන්දු යවන්නන් සිදු කළ ප්‍රබල පන්දු යැවීම හමුවේ සියලු ම පාකිස්තාන පිතිකරුවන් පන්දුවාර 19.5ක් තුළ ලකුණු 147කට දැවී ගියා. එහි දී මොහොමඩ් රිස්වාන් පාකිස්තානය වෙනුවෙන් ලකුණු 43ක් ලබා ගන්නා විට බුවනේෂ්වර් කුමාර් ඉන්දියාව වෙනුවට ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත්තා. බුවනේෂ්වර්ට අමතර ව හාර්ඩික් පාණ්ඩ්‍යා ද ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

පන්දුවෙන් දස්කම් දැක්වූ බුවනේෂ්වර් කුමාර් – gettyimages.com

 

ඉන් අනතුරු ව ජයග්‍රහණය සඳහා ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පාකිස්තාන පන්දු යවන්නන් ප්‍රබල පීඩනයක් එල්ල කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 14.2ක් අවසන් වෙද්දී ඉන්දීය ලකුණු පුවරුව 89/4ක් ලෙසින් දිස් වුණා.

තරගය දෙපිලට ම විවෘත වී තිබුණු එම තීරණාත්මක අවස්ථාවේ පිටියේ එකතු වුණු හාර්ඩික් පාණ්ඩ්‍යා සහ රවීන්ද්‍ර ජඩේජා පන්දු 29කින් ලකුණු 52ක් එකතු කළා. 

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන පාකිස්තාන ක්‍රීඩකයෝ – gettyimages.com

 

එම වටිනා සබඳතාව අවසන් කරමින් ජඩේජා ලකුණු 35කට දැවී ගිය ද ඉන් නොසැලුණු පාණ්ඩ්‍යා අවසන් පන්දු වාරයේ සිව්වන පන්දුවේ දී හයේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එහි දී ඉතාමත් හොඳින් තරගය අවසන් කළ පාණ්ඩ්‍යා පන්දු 17කින් නොදැවී ලකුණු 33ක් ලබා ගත්තා. පිත්තෙන් නොදැවී ලකුණු 33ක් ලබා ගත් සහ පන්දුවෙන් කඩුලු 3ක් දවා ගත් පාණ්ඩ්‍යාට තරගයේ වීරයා සම්මානය ද හිමි වුණා.  

කෙටි ලකුණු පුවරුව 

පාකිස්තානය- 147/10 (19.5), (රිස්වාන්- 43, අහමඩ්- 28, බුවනේෂ්වර්- 26/4, පාණ්ඩ්‍යා- 25/3)

ඉන්දියාව- 148/5 (19.4), (ජඩේජා- 35, කෝලි- 35, පාණ්ඩ්‍යා- 33*, නවාස්- 33/3, නසීම්- 27/2)

ඉන්දියාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- හාර්ඩික් පාණ්ඩ්‍යා 

පාණ්ඩ්‍යා තරගය අවසන් කිරීමෙන් පසුව – gettyimages.com

 

ලිවර්පූල් කණ්ඩායමට දැවැන්ත පාපන්දු ජයග්‍රහණයක් 

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ සිව්වන සතියේ තරග ගෙවුණු සති අන්තයේ දී නිමාවට පත් වුණා. එහි දී ලිවර්පූල් කණ්ඩායම බෝර්න්මවුත් කණ්ඩායම හමුවේ ගෝල 9-0ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තා. ජයග්‍රාහී ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් රොබර්ටෝ ෆර්මිනෝ සහ ලුයිස් ඩයස් ගෝල 2 බැගින් රැස් කළා.

එය එංගලන්ත ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ යම් කණ්ඩායමක් ගෝල 9ක පරතරයක් සහිත ව තරගයක් ජයග්‍රහණය කළ 4 වන අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක් වුණා. මේ එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ යම් කණ්ඩායමක් ගෝල 9ක පරතරයකින් තරගයක් ජයගත් අවස්ථා 4යි. 

1). මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම, ඉප්ස්විච් ටවුන් කණ්ඩායම හමුවේ- ගෝල 9-0 (1995 දී)

2). ලෙෂ්ටර්ෂයර් සිටි කණ්ඩායම, සදම්ප්ටන් කණ්ඩායම හමුවේ- ගෝල 9-0 (2019 දී)

3). මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම, සදම්ප්ටන් කණ්ඩායම හමුවේ- ගෝල 9-0 (2021 දී)

4). ලිවර්පූල් කණ්ඩායම, බෝර්න්මවුත් කණ්ඩායම හමුවේ- ගෝල 9-0 (2022 දී)   

බෝර්න්මවුත් කණ්ඩායම හමුවේ දස්කම් දැක්වූ ලිවර්පූල් ක්‍රීඩකයෝ – gettyimages.com

 

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට එංගලන්තයේ දී ටෙස්ට් ජයක් 

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය චෙල්ම්ස්ෆෝර්ඩ් හිදී පසුගිය බදාදා නිමාවට පත් වුණා. එම තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් වුණා. 

එහි දී ලකුණු 273ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම එක් අවස්ථාවක 98/5 ලෙස අසීරු අඩියකට වැටී සිටියා. එම අවස්ථාවේ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ රනුද සෝමරත්න පන්දු 115කින් නොදැවී ලකුණු 120ක් ලබාගෙන සිය කණ්ඩායමට කඩුලු 3ක තියුණු ජයක් උරුම කර දුන්නා. 

රනුද සෝමරත්න – ft.lk

 

ඒ අයුරින් රනුද ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ශතකයක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා පළමු ඉනිමේ කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේ. අසිත වන්නිනායක යි. එහි දී ඔහු හතරේ පහර 19ක් සමඟින් ලකුණු 132ක් රැස් කළා. එලෙස රනුද සහ අසිත පිත්තෙන් දස්කම් දක්වද්දී තරගය පුරාවට පන්දුවෙන් දස්කම් දැක්වූ දුවිඳු රණතුංග කඩුලු 7ක් බිඳ දැමුවා. මේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම- 387/10, (ජෝර්ජ් බෙල්- 107, රොස් විට්ෆීල්ඩ්- 86, දුවිඳු රණතුංග- 100/4)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 407/10, (අසිත වන්නිනායක- 132, රනුද සෝමරත්න- 65, බර්ටි ෆෝමන්- 94/4)

එංගලන්ත දෙවන ඉනිම- 292/10, (රොස් විට්ෆීල්ඩ්- 119, වනුජ සහන්- 89/4, දුවිඳු රණතුංග- 34/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 276/7,(රනුද සෝමරත්න- 120*, ළහිරු දවටගේ- 49, තෝමස් ඇස්පින්වෝල්- 67/4) 

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට කඩුලු 3ක ජයක් 

පළමු ඉනිමේ දී ශතකයක් ලබාගත් අසිත වන්නිනායක – srilankacricket.lk

 

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමක් මුල්ම වරට එංගලන්තයේ දී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගත්තේ 2000 වසරේ දී යි. එදා කෞශල්‍ය වීරරත්නගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත වුණු ටෙස්ට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කළා.

ඉන් වසර 16කට පසුව එනම් 2016 වසරේ දී චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම තරග 1-0ක් ලෙසින් එංගලන්තයේ දී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කළා. එහි දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ තරගයේ දී ළහිරු කුමාර කඩුලු 11ක් දවා ගනිමින් දස්කම් දැක්වූ බව මෙහි දී විශේෂයෙන් ම සිහිපත් කළ යුතු යි.

චරිත් අසලංක – gettyimages.com

 

අබුඩාබි ජාත්‍යන්තර චෙස් තරගාවලියේ දී දස්කම් දැක්වූ සුසල් 

2022 අබුඩාබි ජාත්‍යන්තර චෙස් තරගාවලිය පසුගිය බ්‍රහස්පතින්දා නිමාවට පත් වුණා. එම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 148ක් සහභාගි වුණා.

ඒ අතර චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් තත්ත්වයේ ක්‍රීඩකයන් 43ක් සහ චෙස් ඉන්ටර්නැෂනල්මාස්ටර් තත්ත්වයේ ක්‍රීඩකයන් 34ක් සිටියා. ඉතාමත් උසස් තත්ත්වයේ චෙස් තරගාවලියක් වුණු ඒ  සඳහා සුසල් ද සිල්වා සහ රනිඳු ලියනගේ යන ශ්‍රී ලංකා ක්‍රීඩක යුගළය ද සහභාගි වුණා.

තරගාවලිය පැවති ආකාරය – chessbase.in

 

මීට පෙර මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වී තිබෙන්නේ අකිල කාවින්ද පමණ යි. ඔහු 2017 වසරේ දී ඒ සඳහා සහභාගි වුණා.

මෙවර තරගාවලිය සඳහා සහභාහි වුණු ශ්‍රී ලංකා ක්‍රීඩක යුගළය අතුරින් කැපී පෙනෙන දස්කම් දැක්වූයේ  ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරයා වන සුසල් ද සිල්වා යි.

සුසල් ද සිල්වා – themorning.lk

 

එහි දී සුසල් තරග වට 9කින් ලකුණු 5ක් ලබා ගෙන තරගාවලියේ 51 වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. එහි දී ඔහු ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වයේ ඉන්දියානු ක්‍රීඩකයන් තිදෙනකු පරාජයට පත් කළා.

මෙම තරගාවලියේ ආරම්භක ශ්‍රේණිගතකිරීම්වල 134 වන ස්ථානයේ පසු වුණු සුසල් අවසානයේ දී සමස්ත තරගාවලියේ 51 වන ස්ථානය දිනා ගැනීම ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩාව ලද විශාල ජයග්‍රහණයක්.

2022 අබුඩාබි ජාත්‍යන්තර චෙස් තරගාවලියේ අවසන් ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක සුසල් ද සිල්වාට 51 වන ස්ථානය හිමි කර ගත් ආකාරය – chessresults.com

 

පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර 

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් සිය රටට විශාල ගෞරවයක් ලබා දුන්නා. එහි දී මලල ක්‍රීඩා ඉසව් යටතේ පාලිත බණ්ඩාර රිදී පදක්කමක් සහ යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

ඩිලංක ඉසුරු කුමාර බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ද, නෙත්මි අහිංසා මල්ලව පොර ක්‍රීඩාවෙන් ද තවත් ලෝකඩ පදක්කම් 2ක් දිනා දුන්නා. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර දැක්වීම සඳහා උත්සවයක් ඔලිම්පික් කමිටු නිවහනේ දී පසුගිය අගෝස්තු 25 වැනිදා පැවැත්වුණා. 

උත්සවය සඳහා සහභාගි වී සිටි පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභීහු – facebook.com-NOC

 

තාලියේ වාසය කරන ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට එම අවස්ථාව සඳහා සහභාගි වීමට හැකි වුණේ නැහැ. එහි දී  උපහාර උත්සවය සඳහා සහභාගි වුණු ඉතිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාට සමරු තිළිණ පිරිනැමීමක් සිදු වුණා. 

පාලිත බණ්ඩාර සමරු තිළිණ ලබාගත් අවස්ථාව – facebook.com-NOC

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, ක්‍රිස්බ්‍රෝ ආයතනයේ අලෙවි කළමනාකරු අමෝරිස් සීලර් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කළ දම්පත් ප්‍රනාන්දු යන නිලධාරින් එම අවස්ථාවට එක්ව සිටියා.

උත්සවය අතරතුර – facebook.com-NOC

කවරයේ ඡායාරූපය- ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

epl.com

chessresults.com

sportingnews.com

facebook.com

Related Articles