Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු සටනේ ආසනල් පෙරමුණට

2022/23 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය පසුගිය අගෝස්තු මාසයේ මුල් සතියේ දී ආරම්භ වුණා. ගෙවුණු මාසයක කාලය තුළ එම තරගාවලියේ තරග සති 9ක් ක්‍රියාත්මක වුණා. එහි දී ඉහළ දස්කම් දැක්වූ ආසනල් කණ්ඩායම තරග 9කට සහභාගි වී ජයග්‍රහණ 8ක් වාර්තා කළා.

එසේ ලබා ගත් ජයග්‍රහණ 8ත් සමඟින් ලකුණු 24ක් ලබා ගෙන සිටින ආසනල් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. ඔවුන්ට ප්‍රබල සටනක් ලබා දෙමින් සිටින මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ජයග්‍රහණ 7ක් සහ ජය පැරදුමෙන් තොර අවසානයන් 2ක්ද සමඟින් ලකුණු 23ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. 

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ තොරතුරු 

මෙවර එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේ සිට දස්කම් අතර සිටි ආසනල් කණ්ඩායම, ඇස්ටන් විලා, බ්‍රෙන්ට්ෆෝර්ඩ්, ලිවර්පූල්, ටොටෙන්හැම් හොට්ස්පර්, ලෙස්ටර්ෂයර්, බෝර්න්මවුත්, ක්‍රිස්ටල් පැලස් සහ ෆුල්හැම් යන කණ්ඩායම් හමුවේ ජයග්‍රහණ වාර්තා කළා. එසේ ජයග්‍රහණ 8ක් වාර්තා කළ ආසනල් කණ්ඩායම පරාජයට පත් වුණේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හමුවේ පැවති තරගය පමණ යි. එහි දී ආසනල් පිල වෙනුවෙන් දස්කම් දැක්වූ ගේබ්‍රියල් ජේසුස් ගෝල 5ක් ද, ගේබ්‍රියල් මාටිනෙල්ලී ගෝල 4ක් ද වාර්තා කළා.

 ගේබ්‍රියල් ජේසුස් – gettyimages.com

 

ආසනල් කණ්ඩායමට කරට කර සටනක් ලබා දෙමින් සිටින මැන්චෙස්ටර් සිටි කණ්ඩායම සවුත්හැම්ප්ටන්, නොටිංහැම් ෆොරස්ට්, මැන්චෙස්ටර් යුනයිටඩ්, බෝර්න්මවුත්, වොල්වර්හැම්ප්ටන් වොන්ඩර්ස්, වෙස්ට් හැම් යුනයිටඩ්, සහ ක්‍රිස්ටල් පැලස් යන කණ්ඩායම්වලට එරෙහි ව ජයග්‍රහණය ලබා ගත්තා.

එසේ සුපිරි දස්කම් දැක් වූ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ඇස්ටන් විලා සහ නිව් කාසල් යුනයිටඩ් කණ්ඩායම් හමුවේ පැවති තරග ජය පැරදුමෙන් තොර ව අවසන් කර ගත්තා. එහි දී මැන්චෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් ගෝල 15ක් වාර්තා කළ අර්ලින්ග් හාලන්ඩ් මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත් ව සිටිනවා. 

 අර්ලින්ග් හාලන්ඩ් – gettyimages.com

 

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානයේ රැඳී සිටින ටොටෙන්හැම් හොට්ස්පර් පිල ජයග්‍රහණ 6ක් සමඟින් ලකුණු 20ක් ලබා ගෙන සිටිනවා. එහි දී එම කණ්ඩායම වෙනුවෙන් ගෝල 8ක් රැස් කළ හැරී කේන් තරගාවලියේ දෙවන වැඩි ම ගෝල ලාභියා බවට පත් ව සිටිනවා. පසුගිය තරග වාර 4දී මුල් ස්ථාන 3 අතර සිටි ප්‍රබල ලිවර්පූල් කණ්ඩායම මෙවර එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දැඩි පසුබෑමකට ලක්ව සිටිනවා. එම කණ්ඩායම තරග 8කට සහභාගි වී ජයග්‍රහණ 2ක් සහ ජය පැරදුමෙන් තොර අවසානයන් 4ක් සමඟින් ලකුණු 10ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 10 වන ස්ථානයේ රැඳී සිටිනවා. 

කැරම් ලෝක ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 4ක් 

8 වන ලෝක ශූරතා කැරම් තරගාවලිය මැලේසියාවේ දී පසුගිය සිකුරාදා නිමාවට පත් වුණා. එම තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගත්තා. එහි දී පිරිමි කණ්ඩායම් ඉසව්වේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමි වෙද්දී කාන්තා කණ්ඩායම් ඉසව්වේ දී හිමි වුණේ ලෝකඩ පදක්කම යි. ඊට අමතර ව ෂහීඩ් හිල්මි ස්වීස් ලීග් තරග ඉසව්වේ ලෝකඩ පදක්කමත්, නිශාන්ත ප්‍රනාන්දු සහ ෂහීඩ් හිල්මි පිරිමි යුගළ තරග ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනා ගත්තා. 

 නිශාන්ත ප්‍රනාන්දු සහ ෂහීඩ් හිල්මි – thepapare.com

 

මෙවර කැරම් ලෝක ශූරතා තරගාවලියේ දී වැඩි ම Slams ජයග්‍රහණ වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ නිශාන්ත ප්‍රනාන්දු සම්මාන දිනා ගත්තා. කැරම් ක්‍රීඩාවේ දී Slams යනුවෙන් හඳුන්වන්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයාට එකඳු අවස්ථාවක් හෝ ලබා නොදී තමන් තරගය ආරම්භ කළ පසු තමන්ගේ සියලු ම සුදු ඉත්තන් කැරම් පුවරුවෙන් ඉවත් කිරීම යි. ප්‍රතිවාදී ක්‍රීඩකයා තරගය ආරම්භ කළ පසු තමන්ගේ ඉත්තන් (කළු ඉත්තන්) සියල්ල ම ප්‍රතිවාදී ක්‍රීඩකයාට අවස්ථාව නොදී පුවරුවෙන් ඉවත් කිරීම black slams ලෙස හැඳින්වෙන්වා. මෙවර තරගාවලියේ දී නිශාන්ත Slams ජයග්‍රහණ 9ක් වාර්තා කිරීමට සමත් වුණා. 

ඕස්ට්‍රේලියාවට තවත් 20/20 තරගාවලි ජයග්‍රහණයක් 

ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වුණු තරග 2කින් සමන්විත 20/20 ක්‍රිකට් තරගාවලිය බ්‍රිස්බේන් හි දී පසුගිය සිකුරාදා නිමාවට පත් වුණා. එම තරගාවලිය තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කළේ සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම යි. මේ එම තරගාවලිය යටතේ පැවති තරගවල කෙටි ලකුණු පුවරු යි.

තරගාවලියේ උද්වේගකර අවස්ථාවක් – gettyimages.com

 

පළමු තරගය 

බටහිර ඉන්දීය කොදෙව්- 145/9 (20), (මේයර්ස්- 39, හේස්ල්වුඩ්- 35/3, කමින්ස්- 22/2, ස්ටාක්- 40/2)

ඕස්ට්‍රේලියාව- 146/7 (19.5), (ෆින්ච්- 58, වේඩ්- 39*, ජෝශප්- 17/2, කෝට්‍රල්- 49/2) 

ඕස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක් 

තරගයේ වීරයා- ඒරොන් ෆින්ච් 

දෙවන තරගය 

ඕස්ට්‍රේලියාව- 178/7 (20), (වෝනර්- 75, ඩේවිඩ්- 42, ජෝශප්- 22/3, මැකෝයි- 33/2)

බටහිර ඉන්දීය කොදෙව්- 147/8 (20), (ජොන්සන්- 29, හොසේන්- 25, ස්ටාක්- 20/4, කමින්ස්- 32/2)

ඕස්ට්‍රේලියාවට ලකුණු 31ක ජයක් 

තරගයේ වීරයා- ඩේවිඩ් වෝනර් 

තරගාවලියේ වීරයා- ඩේවිඩ් වෝනර් 

 ඩේවිඩ් වෝනර් තරගාවලියේ වීරයා සම්මානය සමඟ – gettyimages.com

 

බංගබන්දු ස්කොෂ් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරිට 

2 වන බංගබන්දු ස්කොෂ් තරගාවලිය බංග්ලාදේශයේ ඩකා නුවර දී පසුගිය දිනවල පැවැත්වුණා. ඒ යටතේ පැවති පිරිමි ඒකල තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකා ජාතික ස්කොෂ් ශූර රවිඳු ලක්සිරි සහභාගි වුණා. එහි දී ඔහු පළමු තරග වටයේ දී බංග්ලාදේශ ක්‍රීඩක අබිඩ් මන්සූර් තරග වට 3-0 (11-3, 11-2, 11-1) ලෙස පරාජයට පත් කරමින් දෙවන තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. දෙවන වටයේ දී ඔහු ඉරාන ක්‍රීඩක සේපර් එටමඩ්පූර් තරග වට 3-1 (11-8, 11-6, 8-11, 11-7) ලෙස පරාජයට පත් කළා. 

ඉන් පසුව පැවති අර්ධ අවසන් පූර්ව වටයේ දී ප්‍රබල සටනකින් පසුව මැලේසියා ක්‍රීඩක ඩන්කන් ලී තරග වට 3-2 (11-6, 9-11, 11-7, 5-11, 11-8) ලෙස පරාජය කිරීමට ලක්සිරිට හැකි වුණා. එම ජයග්‍රහණයෙන් පසුව සුපුරුදු රිද්මය පවත්වා ගත් ලක්සිරි අවසන් පූර්ව තරග වටයේ දී මැලේසියා ක්‍රීඩක අමීර් අමිරුල් තරග වට 3-0 (11-7, 11-8, 11-3) ලෙස පරාජයට පත් කළා. එසේ අවසන් තරගය දක්වා පැමිණි ලක්සිරි අවසන් තරගයේ දී ඊජිප්තු ක්‍රීඩක සියාඩ් ඊබ්‍රාහිම් තරග වට 3-1 (11-8, 11-6, 5-11, 11-9) ලෙස පරාජයට පත් කළ ලක්සිරි තරගාවලියේ පිරිමි ඒකල ශූරතාව දිනා ගත්තා. එය ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩා ඉතිහාසය තුළ වාර්තා වුණු වටිනා ම ජයග්‍රහණයක්.

 තරගාවලියේ ශූරතාව දිනා ගත් රවිඳු ලක්සිරි – facebook.com/chathura Ranasinghe

 

9 වන කාන්තා රග්බි ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙයි

9 වන කාන්තා රග්බි ලෝක කුසලාන තරගාවලිය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි දී පසුගිය සෙනසුරාදා ආරම්භ වුණා. ඒ සඳහා නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ෆීජි, ප්‍රංශය, අමෙරිකාව, ජපානය, කැනඩාව, ස්කොට්ලන්තය, ඉතාලිය සහ වේල්ස් යන කණ්ඩායම් එක් ව සිටිනවා. මේ එම තරගාවලිය යටතේ මෙතෙක් පැවති තරගවල ප්‍රතිඵල යි. 

1). නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව – නවසීලන්තයට ලකුණු 41-17ක ජයක් 

2). වේල්සය සහ ස්කොට්ලන්තය- වේල්සයට ලකුණු 18-15ක ජයක් 

3). ඉතාලිය සහ අමෙරිකාව- ඉතාලියට ලකුණු 22-10ක ජයක් 

4). කැනඩාව සහ ජපානය- කැනඩාවට ලකුණු 41-5ක ජයක් 

5). ප්‍රංශය සහ දකුණු අප්‍රිකාව- ප්‍රංශයට ලකුණු 40-5ක ජයක්  

6). එංගලන්තය සහ ෆීජි- එංගලන්තයට ලකුණු 84-19ක ජයක් 

7) නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයේ අවස්ථාවක් (gettyimages.com)

ශ්‍රී ලංකාවට චෙස් ක්‍රීඩාවෙන් තවත් ජාත්‍යන්තර පදක්කමක් 

ආසියානු ආධුනික කාන්තා චෙස් තරගාවලිය ඕමානයේ දී පසුගිය බදාදා නිමාවට පත් වුණා. එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉරානය, කිර්ගිස්තානය, ඕමානය, පාකිස්තානය, බහරේන්, කටාර්, යේමනය, ක්වේට්, පලස්තීනය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ක්‍රීඩිකාවන් සහභාගි වුණා. එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලිය සඳහා එක් වුණු පසිඳි විජේසූරිය තරග 9කට සහභාගි වී ජයග්‍රහණ 7ක් සහ පරාජ 2ක් සමඟින් ලකුණු 7ක් ලබා ගෙන තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගත්තා. එහි දී ඇයගේ ලෝක චෙස් ශ්‍රේණිගතකිරීම් අගය ලකුණු 33කින් ඉහළ ගියා. 

 පසිඳි විජේසූරිය – facebook.com/Chess federation of sri lanka

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියා කුසලානයේ දස්කම් අතරට 

2022 ආසියා කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේ දී මේ දිනවල පැවැත්වෙනවා. ඒ සඳහා එක් වුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මූලික වටයේ දී ඉහළ දස්කම් දක්වමින් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එහි දී ශ්‍රී ලංකාව තරග 5කට සහභාගි වී බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව සහ තායිලන්තය යන කණ්ඩායම් හමුවේ ජයග්‍රහණ වාර්තා කළා.

ඉන්දියාවට එරෙහි ව පැවති තරගය පමණක් පරාජයට පත් වුණා. ශ්‍රී ලංකාව මූලික තරග වටය යටතේ සහභාගි වන  අවසන් තරගය හෙට දිනයේ පාකිස්තානයට එරෙහි ව පැවැත්වෙනවා. මේ ශ්‍රී ලංකාව මෙවර ආසියා කුසලාන කාන්තා තරගාවලියේ මූලික තරග වටයේ දී දස්කම් දැක්වූ ආකාරය යි.

1). ශ්‍රී ලංකාව සහ ඉන්දියාව- ඉන්දියාවට ලකුණු 41ක ජයක් 

2). ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය- ශ්‍රී ලංකාවට ලකුණු 11ක ජයක් (D/L න්‍යාය අනුව)

3). ශ්‍රී ලංකාව සහ තායිලන්තය- ශ්‍රී ලංකාවට ලකුණු 49ක ජයක් 

4). ශ්‍රී ලංකාව සහ මැලේසියාව- ශ්‍රී ලංකාවට ලකුණු 72ක ජයක් 

5). ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය- ශ්‍රී ලංකාවට ලකුණු 3ක ජයක් (D/L න්‍යාය අනුව)

 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියා කුසලාන තරගාවලියේ දී – espncricinfo.com

කවරයේ ඡායාරූපය- ආසනල් කණ්ඩායම එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දස්කම් දක්වමින් - gettyimages.com  

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

premierleague.com

lada.gov.my

chessresults.com 

squashinfo.com

rugbyworldcup.com

Related Articles