Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 යොවුන් ලෝක කුසලානයෙන් මතු වුණු සුපිරි තරු 6ක්

2022 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පසුගිය සෙනසුරාදා නිමාව දුටුවා. එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති අවසන් තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කර ගත් ඉන්දීය යොවුන් ක්‍රිකට් පිල පස්වන වරටත් යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තා. ඇෆ්ගනිස්ථානය පරාජය කළ ඕස්ට්‍රේලියාව තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගත්තා. දුනිත් වෙල්ලාලගේ යටතේ මෙවර තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ තරගවල දී ඉහළ දස්කම් දැක්වුවත් අවසානයේ දී ඔවුන්ට හිමි වුණේ 6 වන ස්ථානය යි.

ජයග්‍රාහී ඉන්දීය යොවුන් ක්‍රිකට් කණ්ඩායම – gettyimages.com

 

ඒ අයුරින්  නිමාව දුටු මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සිටියා. ඔවුන් නුදුරු දිනයක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වනු ඇති බවට සමහර ක්‍රිකට් විචාරකයන් අනාවැකි පළ කළා. එයින්  සුපිරි යොවුන් ක්‍රිකට් තරු 6ක් දැක්වූ දස්කම් පිළිබඳ මෙම ලිපියෙන් ඔබ වෙත කරුණු ඉදිරිපත් කරනවා. 

6). යාෂ් ඩුල් (ඉන්දියාව)- ලකුණු 229 (තරග- 4)

මෙවර යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ මෙම සුපිරි ක්‍රීඩක යාෂ් ඩුල් යි. තරගාවලියේ මූලික වටය අතරතුර මොහු කොරෝනා ආසාදිතයකු බව හඳුනා ගත්තා. එනිසා ඩුල්ට උගන්ඩාව සහ අයර්ලන්තය සමඟ පැවති තරග අහිමි ව ගියා. මෙම ක්‍රීඩකයා එම තරග ක්‍රීඩා කළා නම් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභීන් කිහිපදෙනා අතර එක්වීම සඳහා හොඳ අවස්ථාවක් තිබුණා.

මෙවර තරගාවලිය යටතේ ඩුල් ක්‍රීඩා කළ තරග හතරෙන් 2කදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී දකුණු අප්‍රිකාවට එරෙහි ව අගනා ලකුණු 82ක් ලබා ගත් ඩුල්, ඕස්ට්‍රේලියාවට එරෙහි ව පැවති අවසන් පූර්ව තරගයේ දී පන්දු 110කින් වේගවත් ලකුණු 110ක් ලබා ගත්තා. පහතින් දක්වා තිබෙන්නේ ඩුල් එක් එක් තරගයේ දී ලකුණු ලබා ගත් ආකාරය යි.  

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකය වාර්තා කළ අවස්ථාව- gettyimages.com

 

1) දකුණු අප්‍රිකාවට එරෙහිව (මූලික වටය)- 82 (100)

2) බංග්ලාදේශයට එරෙහිව (අර්ධ අවසන් පූර්ව තරගය)- 20* (26)

3) ඕස්ට්‍රේලියාවට එරෙහිව (අවසන් පූර්ව තරගය)- 110 (110)

4) එංගලන්තයට එරෙහිව (අවසන් තරගය)- 17 (32)

නිවැරදි තාක්ෂණයෙන් යුක්ත පිතිකරුවකු වන ඩුල් අනාගතයේ දී සුපිරි ක්‍රිකට් තරුවක් වනු ඇති බවට දැනටමත් අනාවැකි පළ වී තිබෙනවා. ඔහුගේ නායකත්ව හැකියාව පිළිබඳත් බොහෝ දෙනෙක් කතා කරනවා. මෙම යොවුන් ක්‍රීඩකයාගේ වටිනාකම තේරුම් ගත් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ඔහුගේ නම 2022 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ද ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි කාලයේ දී මෙම ක්‍රීඩකයාගේ දස්කම් දැක බලා ගැනීමට හැකිවනු ඇති බවට සැකයක් නැහැ.

5). හසිබුල්ලා ඛාන් (පාකිස්තානය)- ලකුණු 380 (තරග- 4)

2022 යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ප්‍රබල පාකිස්තාන කණ්ඩායමක් සහභාගි වුණා. ඔවුන් මූලික තරග වටයේ සියලු ම තරග ජයග්‍රහණය කරමින් කාගේත් අවධානය දිනා ගත්තා. කිසිවෙකු නොසිතූ අයුරින් ඔවුන් අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 119ක දැවැන්ත පරාජයක් උරුම කර ගත්තා. ඉන් පසුව බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සමඟ පැවති තරග ජයග්‍රහණය කළ පාකිස්තානය තරගාවලියේ පස්වන ස්ථානය දිනා ගත්තා. ඒ අයුරින් සැලකිය යුතු තරම් දස්කම් පෙන්වූ පාකිස්තාන කණ්ඩායමේ සාර්ථකත්වය පිටුපස සිටින ප්‍රබල ක්‍රීඩකයා වන්නේ හසිබුල්ලා ඛාන් නම් සුපිරි පිතිකරුවා යි.

ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 136ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

මෙවර යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ හසිබුල්ලා ඛාන් තරග 6ක දී ලකුණු 380ක් ලබා ගත්තා. එහි දී මෙම ක්‍රීඩකයා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් හමුවේ ශතක වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. ඒ අයුරින් පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ හසිබුල්ලා තරගාවලියේ දෙවන වැඩි ම ලකුණු ලාභියා බවට පත්වුණා. කඩුලු රැකීමෙන් දස්කම් දැක්වූ මෙම සුපිරි තරුව දවා ගැනීම් 10කට සිය දායකත්වය ලබා දුන්නා. පහත දක්වා තිබෙන්නේ තරගාවලිය තුළ ඔහු දස්කම් දැක්වූ ආකාරය යි. 

1) සිම්බාබ්වේට එරෙහිව (මූලික වටය)- 135 (155)

2) ඇෆ්ගනිස්ථානයට එරෙහිව (මූලික වටය)- 2 (11)

3) පැපුවා නිව් ගිනියාවට එරෙහිව (මූලික වටය)- 18* (36)

4) ඕස්ට්‍රේලියාවට එරෙහිව (අර්ධ අවසන් පූර්ව තරගය)- 10 (10)

5) බංග්ලාදේශයට එරෙහිව (Play Off තරග)- 79 (107)

6) ශ්‍රී ලංකාවට එරෙහිව (Play Off තරග)- 136 (151)

4). ජෝෂුවා බොයිඩන් (එංගලන්තය)- කඩුලු 15 (තරග- 6)

එංගලන්ත යොවුන් ක්‍රිකට් කණ්ඩායම මෙවර යොවුන් ලෝක කුසලානයේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඒ වසර 24කට පසුව යි. එසේ එංගලන්තය ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණයේ නියමුවා බවට පත්වුණේ ජෝෂුවා බොයිඩන් නම් වේග පන්දු යවන්නා යි. නව පන්දුවෙන් ඉතාමත් හොඳින් පන්දු යැවූ බොයිඩන් තරග තුනක දී පළමු පන්දු වාරයේ දී ම කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. ඔහු අවසන් සහ අවසන් පූර්ව යන තරග දෙකේ දී එම දස්කම දැක්වීම සුවිශේෂී සිදුවීමක් වුණ. ඒ අයුරින් තරගාවලිය පුරා ම සුපිරි දස්කම් දැක්වූ බයිඩන් තරග 6ක දී කඩුලු 15ක් බිඳ දැමුවා.

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන බොයිඩන් (gettyimages.com)

පහතින් දක්වා තිබෙන්නේ බොයිඩන් එක් එක් තරගයේ දී කඩුලු දවා ගත් ආකාරය යි.  

1) බංග්ලාදේශයට එරෙහිව (මූලික වටය)- 16/4 (9)

2) කැනඩාවට එරෙහිව (මූලික වටය)- 44/4 (10)

3) එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව (මූලික වටය)- 10/2 (5)

4) දකුණු අප්‍රිකාවට එරෙහිව (අර්ධ අවසන් පූර්ව තරගය)- 31/2 (8)

5) ඇෆ්ගනිස්ථානයට එරෙහිව (අවසන් පූර්ව තරගය)- 23/1 (7)

6) ඉන්දියාවට එරෙහිව (අවසන් තරගය)- 24/2 (7)

3). රාජ් බාවා (ඉන්දියාව)- ලකුණු 252 සහ කඩුලු 9 (තරග- 6)

2022 යොවුන් ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වුණු ඉන්දියානු කණ්ඩායමේ සුපිරි ම තරුව බවට පත්වුණේ රාජ් බාවා යි. මූලික තරග වටයේ සිට දස්කම් අතර සිටි මෙම ක්‍රීඩකයා තරගාවලිය තුළ දී ලකුණු 252ක් ලබා ගනිමින් කඩුලු 9ක් බිඳ දැමීමට සමත් වුණා. එහි දී ඔහු උගන්ඩාවට එරෙහි ව පන්දු 108කින් නොදැවී ලබා ගත් ලකුණු 162 මෙවර තරගාවලියේ යම් පිතිකරුවෙක් වාර්තා කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වුණා.

එය යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ යම් පිතිකරුවෙක් ලබාගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් ද වාර්තා අතරට එක් වුණා. එහි දී ඔහු අතින් බිඳ වැටුණේ 2004 තරගාවලියේ දී ෂිකර් ධවාන් ස්කොට්ලන්තයට එරෙහි ව නොදැවී ලකුණු 155ක් ලබා ගෙන පිහිටුවා තිබුණු වාර්තාව යි.

උගන්ඩාව හමුවේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ බාවා – gettyimages.com

අවසන් තරගයේ දී පිත්තෙන් ලකුණු 35ක් සහ පන්දුවෙන් ලකුණු 31කට කඩුලු 5ක් බිඳ දමමින් බාවා දැක්වූ සුපිරි දස්කම් කාගේත් අවධානයට ලක් වුණා. එලෙස දැක්වූ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමි වුණා. මෙවර යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තුළ බාවා දැක්වූ දස්කම් නිසා ම ඔහුගේ නමත් 2022 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඇතුළත් කර තිබෙනවා.

පහතින් දක්වා තිබෙන්නේ මෙවර යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ දී  රාජ් බාවා දස්කම් දැක්වූ ආකාරය යි.

1) දකුණු අප්‍රිකාවට එරෙහිව (මූලික වටය)- 13 (19) සහ 47/4 (6.4)

2) අයර්ලන්තයට එරෙහිව (මූලික වටය)- 42 (64) සහ 24/0 (5)

3) උගන්ඩාවට එරෙහිව (මූලික වටය)- 162* (108) සහ 12/0 (2)

4) බංග්ලාදේශයට එරෙහිව (අර්ධ අවසන් පූර්ව තරගය)- 0 (5) සහ 16/0 (6)

5) ඕස්ට්‍රේලියාවට එරෙහිව (අවසන් පූර්ව තරගය)- DNB සහ 20/0 (3.5)

6) එංගලන්තයට එරෙහිව (අවසන් තරගය)- 35 (54) සහ 31/5 (9.5)

රාජ් බාවා අවසන් තරගයේ දී කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින්- gettyimages.com

 

2). ඩෙවල්ඩ් බ්‍රෙවිස් (දකුණු අප්‍රිකාව)- ලකුණු 506 සහ කඩුලු 7 (තරග- 6)

මෙවර යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණේ ඩෙවල්ඩ් බ්‍රෙවිස් නම් දකුණු අප්‍රිකානු පිතිකරුවාට යි. තරගාවලිය පුරා ම ලකුණු අතර සිටි මෙම අති දක්ෂ පිතිකරුවා තරග 6කදී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 506ක් ලබා ගැනීමට සමත් වුණා.

එය තනි යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක දී යම් පිතිකරුවකු ලබාගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. 

බ්‍රෙවිස් බංග්ලාදේශය හමුවේ ශතකය ලබාගත් අවස්ථාව – gettyimages.com

 

එහි දී ඔහු අතින් බිඳ වැටුණේ ඉන්දීය ක්‍රීඩක ෂිකර් ධවාන් 2004 යොවුන් ලෝක කුසලානයේ දී තබා තිබුණු ලකුණු 505ක වාර්තාව යි. පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුණු බ්‍රෙවිස් කඩුලු 7ක් ද දවා ගත්තා.

එම දස්කම් නිසා ඔහුගේ නම 2022 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ද ඇතුළත් කර තිබෙනවා. පහතින් දක්වා තිබෙන්නේ මෙවර යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ දී  බ්‍රෙවිස් දස්කම් දැක්වූ  ආකාරය යි.

1) ඉන්දියාවට එරෙහිව (මූලික වටය)- 65 (99) සහ 43/2 (7.5) 

2) උගන්ඩාවට එරෙහිව (මූලික වටය)- 104  (110) සහ 18/2 (5.4)

3) අයර්ලන්තයට එරෙහිව (මූලික වටය)- 96 (122) සහ 13/0 (1)

4) එංගලන්තයට එරෙහිව (අර්ධ අවසන් පූර්ව තරගය)- 97 (88) සහ 40/2 (6.2)

5) ශ්‍රී ලංකාවට එරෙහිව (Play Off තරග)- 6 (12) සහ 52/1 (10)

6) බංග්ලාදේශයට එරෙහිව (Play Off තරග)- 138 (130) සහ 34/0 (5)

මෙම පිතිකරුවාගේ පිතිකරණ රටාව හිටපු දකුණු අප්‍රිකානු සුපිරි තරුවක් වුණු ඒ බී ද විලියර්ස්ගේ පිතිකරණ රටාවට යම් සමානත්වයක් පෙන්නුම් කරනවා. එනිසා ඔහුට Baby AB සුරතල් නාමය පටබැඳී තිබෙන බවත් කිව යුතු යි.

බ්‍රෙවිස් පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

1). දුනිත් වෙල්ලාලගේ (ශ්‍රී ලංකාව)- ලකුණු 264 සහ කඩුලු 17 (තරග- 6)

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී කාගේත් අවධානය දිනා ගත් තරුවක් බවට පත්වුණා. එහි දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් පිත්තෙන් ලකුණු 264ක් ලබා ගත් වෙල්ලාලගේ පන්දුවෙන් අති විශිෂ්ට දස්කම් දක්වමින් කඩුලු 17ක් දවා ගත්තා.

ඒ අනුව මෙවර තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වීමට ඔහුට හැකියාව ලැබුණා. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයක දී බිඳ දැමූ වැඩි ම කඩුලු ප්‍රමාණය ලෙසින් ද එය සටහන් වුණා. 

පන්දුවෙන් දස්කම් දැක්වූ වෙල්ලාලගේ – gettyimages.com

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගයක දී ශතකයක් වාර්තා කළ මුල් ම ශ්‍රී ලංකා නායකයා ලෙසින් ද ඔහු වාර්තා අතරට එක් වුණා. ඔහු එක් එක් තරගයේ දී දැක්වූ දස්කම් පහතින් දක්වා තිබෙනවා.

1) ස්කොට්ලන්තයට එරෙහිව (මූලික වටය)- 10 (31) සහ 27/5 (9) 

2) ඕස්ට්‍රේලියාවට එරෙහිව (මූලික වටය)- 52 (71) සහ 28/5 (10)

3) කොදෙව්වන්ට එරෙහිව (මූලික වටය)- 15 (15) සහ 39/3 (10)

4) ඇෆ්ගනිස්ථානයට එරෙහිව (අර්ධ අවසන් පූර්ව තරගය)- 34 (61) සහ 36/3 (10)

5) දකුණු අප්‍රිකාවට එරෙහිව (Play Off තරග)- 113 (130) සහ 29/1 (6)

6) පාකිස්තානයට එරෙහිව (Play Off තරග)- 40 (67) සහ 72/0 (10)

දුනිත් වෙල්ලාලගේ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ දී දැක්වූ සුපිරි දස්කම් නිසා  ඔහුගේ නම 2022 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ද ඇතුළත් කර තිබෙනවා. ඒ වාගේම නුදුරු දිනයක දී ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇති බවට ඇතැම් ක්‍රිකට් විචාරකයන් අනාවැකි පළ කළ බවත් සිහිපත් කළ යුතු යි.

දුනිත් වෙල්ලාලගේ දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කළ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

කවරයේ ඡායාරූපය- වෙල්ලාලගේ ඕස්ට්‍රේලියානු තරගයේ දී - gettyimages.com 

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

icc-cricket.com

Related Articles