Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20/20 ලෝක කුසලාන ඉතිහාසයේ බැබළුණු පන්දු යවන්නෝ 6ක්

2021 ICC T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරග මේ දිනවල අවසන් වෙමින් පවතිනවා. එහි දී සුපිරි දස්කම් පෑ වනිඳු හසරංග සහ චරිත් අසලංක යන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් යුගළය ශ්‍රී ලංකා-කොදෙව් තරගය අවසන් වන විට තරගාවලියේ වැඩි ම කඩුලු සහ ලකුණු ලාභීන් බවට පත්ව සිටිනවා.

ඒ අතුරින් හසරංග බිඳ දැමූ කඩුලු 16 එදා මෙදා තුර පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියක දී පන්දු යවන්නකු ලබාගත් වැඩිම කඩුලු ප්‍රමාණය යි. ඊට පෙර එම වාර්තාවට හිමිකම් කී අජන්ත මෙන්ඩිස් 2012 T20 ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු 15ක් දවා ගෙන තිබුණා.

වනිඳු හසරංග සහ චරිත් අසලංක – gettyimages.com

 

ඒ අයුරින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දස්කම් අතරට පැමිණෙද්දී සුපිරි 12 තරග වටය යටතේ ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයේ දී තවත් 20/20 ලෝක කුසලාන තරගාවලි වාර්තාවක් බිඳ වැටුණා. ඒ බංග්ලාදේශ ක්‍රීඩක ශකිබ් අල් හසන් අතින්. එහි දී ශකීබ් 20/20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩි ම කඩුලු ප්‍රමාණයක් බිඳ දැමූ පන්දු යවන්නා බවට පත්වුණේ පාකිස්තාක ක්‍රීඩක ෂයිඩ් අෆ්රිඩි තබා තිබුණු වාර්තාව අභිබවා යමින්.

එලෙස 20/20 ලෝක කුසලාන වාර්තාවක් බිඳ වැටුණු මොහොතේ ඒ පිළිබඳව විමසා බැලීම වඩාත් යෝග්‍ය යැයි අප සිතුවා. එනිසා 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නන් හය දෙනාගේ දස්කම් පිළිබඳව මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

ගුල්  2007 තරගාවලියේ දී පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

6). උමාර් ගුල් (පාකිස්තානය)- කඩුලු 35 (තරග 24) 

පාකිස්තානය නියෝජනය කළ දක්ෂ වේගපන්දු යවන්නකු වුණු උමාර් ගුල් 2007-2014 කාල සමයේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලි 4කට සහභාගි වුණා. ඒ අතුරින් 2007 සහ 2009 වසරවල පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ගුල් සමත් වුණා.

එම තරගාවලි ද්විත්වයේ දී කඩුලු 13 බැගින් දවාගත් මෙම පන්දු යවන්නා තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණා. ඒ අනුව 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ද්විත්වයක දී තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණු එකම පන්දු යවන්නා ලෙසින් උමාර් ගුල් ඉතිහාසගත වුණා. 

 

2009 T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නවසීලන්තයට එරෙහි ව පැවති තරගයක දී මෙම සුපිරි වේග පන්දු යවන්නා ලකුණු 6කට කඩුලු 5ක් දවා ගත්තා. එය 20/20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වේගපන්දු යවන්නකු සිදු කළ හොඳ ම පන්දු යැවීම ලෙසින් අදටත් වාර්තා පොත්වල රැඳී තිබෙනවා.

ගුල් නවසීලන්තය හමුවේ ලකුණු 6කට කඩුලු 5ක් දවාගත් තරගයේ අවස්ථාවක් – gettyimages.com

2012 සහ 2014 වසරවල පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිවල දී ගුල්ගේ දස්කම් ඉස්මතු වුණේ නැහැ. එනිසා ඔහුට සිය 20/20 ලෝක කුසලාන දිවියේ දී තරග 24කට සහභාගි වී ලබා ගැනීමට හැකි වුණේ කඩුලු 35ක් පමණ යි. ගුල්ගේ 20/20 ලෝක කුසලාන තරග දිවියේ පන්දු යැවීමේ දත්ත පහතින් දක්වා තිබෙනවා. 

තරග- 24

පන්දුවාර- 82.4

ලකුණු- 604

කඩුලු- 35

පන්දු යැවීමේ සාමාන්‍ය- 17.26

හොඳ ම පන්දු යැවීම- 6/5- නවසීලන්තයට එරෙහිව 

පන්දු වාරයකට ලකුණු- 7.31 

මෙන්ඩිස් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුල්ලක් දවාගනිමින් – gettyimages.com

 

5). අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)- කඩුලු 35 (තරග 21) 

2009-2014 කාල සමයේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලි 4 සඳහා සහභාගි වුණු අජන්ත මෙන්ඩිස් පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ අයුරින් අජන්ත පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට 20/20 ලෝක කුසලාන අවසන් තරග 3කට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වුණා.

අජන්ත මෙන්ඩිස් නම් සුපිරි දඟපන්දු යවන්නාගේ 20/20 ලෝක කුසලාන තරග දිවියේ අමතක නොවන පන්දු යැවීම වන්නේ 2012 T20 ලෝක කුසලානයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව ලකුණු 8කට දවා ගත් කඩුලු 6 යි. එය 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ යම් පන්දු යවන්නකු සිදුකළ හොඳ ම පන්දු යැවීම ලෙසින් වාර්තා අතර රැඳී පවතිනවා. 

අජන්ත 20/20 ලෝක කුසලාන අවසන් තරගයේ දී – gettyimages.com

 අජන්ත ඊට අමතර ව 20/20 ලෝක කුසලාන තරගයක දී සිදු කළ අමතක නොවන පන්දු යැවීම ලෙසින් වාර්තා වුණේ 2012 T20 ලෝක කුසලාන අවසන් තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 12කට දවාගත් කඩුලු 4යි. එදා අජන්ත සුපිරි පන්දු යැවීමක නිරත වුණත් ශ්‍රී ලංකාවට 20/20 ලෝක කුසලානය අහිමි වුණු බව මෙහි දී සිහිපත් කළ යුතු යි. ඒ අයුරින් 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ දී සුපිරි දස්කම් දැක්වූ අජන්තගේ පන්දු යැවීමේ දත්ත පහත ආකාරයට දක්වන්නට පුළුවන්. 

තරග- 21

පන්දුවාර- 78.3

ලකුණු- 526

කඩුලු- 35

පන්දු යැවීමේ සාමාන්‍ය- 15.03

හොඳම පන්දු යැවීම- 8/6- සිම්බාබ්වේට එරෙහි ව 

පන්දුවාරයකට ලකුණු- 6.72

නෙදර්ලන්තයට එරෙහිව පන්දු යවමින් – gettyimages.com

 

4). සහීඩ් අජ්මාල් (පාකිස්තානය)- කඩුලු 36 (තරග 23)

20/20 ලෝක කුසලාන ඉතිහාසයේ කැපී පෙනෙන පන්දු යවන්නකු බවට පත්වුණු සහීඩ් අජ්මාල් 2009 T20 ලෝක කුසලානය සිය රටට දිනා දීම සඳහා පන්දුවෙන් විශාල සේවයක් කළා. එවර තරගාවලියේ දී අයර්ලන්ත කණ්ඩායමට එරෙහි ව ලකුණු 19කට ලබා ගත් කඩුලු 4 අජ්මාල්ගේ 20/20 ලෝක කුසලාන තරග දිවියේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. 

 2010 T20 ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 26කට දවා ගත් කඩුලු 4 සහ 2012 T20 ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්තයට එරෙහි ව ලකුණු 30කට ලබා ගත් කඩුලු 4 සහීඩ් අජ්මාල්ගේ 20/20 ලෝක කුසලාන දිවියේ ඉතිරි හොඳ ම පන්දු යැවීම් ලෙසින් සටහන් වුණා.

 දකුණු අප්‍රිකානු තරගයේ දී අජ්මාල් කඩුල්ලක් දවාගනිමින් – gettyimages.com

ඒ අයුරින් 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ නමක් දිනා ගත් පන්දු යවන්නකු වුණු අජ්මාල්ගේ පන්දු යැවීමේ දත්තයි මේ. 

තරග- 23

පන්දුවාර- 89.2

ලකුණු- 607

කඩුලු- 36

පන්දු යැවීමේ සාමාන්‍ය- 16.86

හොඳම පන්දු යැවීම- 19/4- අයර්ලන්තයට එරෙහි ව 

පන්දුවාරයකට ලකුණු- 6.80

එංගලන්තයට එරෙහිව පන්දුවෙන් දස්කම් පෑ මාලිංග – gettyimages.com

3). ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)- කඩුලු 38 (තරග 31) 

20/20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් වේග පන්දු යවන්නා ලෙසින් වැජඹෙන ලසිත් මාලිංග 2007-2014 කාල සමයේ පැවති සියලු ම 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වුණා. එහි දී 20/20 ලෝක කුසලාන අවසන් තරග 3ක් නියෝජනය කිරීමේ වරම මාලිංගට හිමි වුණා. මාලිංග සිය 20/20 ලෝක කුසලාන තරග දිවියේ හොඳ ම පන්දු යැවීම වාර්තා කළේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව යි. ඒ 2012 T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 31කට කඩුලු 5ක් දවා ගනිමින්.

විශේෂයෙන් ම අවසන් පන්දු වාරවල දී තර්ජනාත්මක ව පන්දු යැවීමේ හැකියාවක් තිබුණු ක්‍රීඩකයකු වුණු මාලිංග 2014 T20 ලෝක කුසලාන තරගාවලියේ දී කොදෙව්වන්ට එරෙහිව පැවති තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී කොදෙව්වන්ට එරෙහි ව ලකුණු 5කට ලබා ගත් කඩුලු 2 අමතක කරන්නට බැහැ.

කොදෙව්වන්ට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී ස්මිත්ව දවාගත් අවස්ථාව – gettyimages.com

මාලිංග එදා සුපිරි  පන්දු යැවීමක නිරත වෙමින් ක්‍රිස් ගේල් සහ ඩ්වේන් ස්මිත් යන ප්‍රබල පිතිකරුවන් දෙදෙනා දවා ගත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයට පිවිසීමට හැකියාව ලැබුණා. එසේම එවර 20/20 ලෝක කුසලාන අවසන් තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහි ව වයිඩ් යෝකර් පන්දු යවමින් මාලිංග අනුගමනය කළ අපූරු උපක්‍රමය කාගේත් අවධානයට ලක් වුණා. ඒ අයුරින් 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ නොමැකෙන නමක් තැබූ මාලිංගගේ පන්දු යැවීමේ දත්ත පහත ආකාරයට දක්වන්නට පුළුවන්. 

තරග- 31

පන්දුවාර- 102.4

ලකුණු- 763

කඩුලු- 38

පන්දු යැවීමේ සාමාන්‍ය- 20.08

හොඳ ම පන්දු යැවීම- 31/5- එංගලන්තයට එරෙහිව 

පන්දුවාරයකට ලකුණු- 7.45

නෙදර්ලන්ත තරගයේ දී ෂහීඩ් අෆ්රිඩි පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

2). ෂහීඩ් අෆ්රිඩි (පාකිස්තානය)- කඩුලු 39 (තරග 34)

2007-2016 කාල සමයේ පැවති සියලු ම 20/20 ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වුණු ෂහීඩ් අෆ්රිඩී දකුණතින් පාදඟ පන්දු යවමින් ප්‍රතිවාදී කණ්ඩායම්වල පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කළා.

2009 T20 ලෝක කුසලාන තරගාවලියේ දී නෙදර්ලන්තයට එරෙහි ව ලකුණු 11කට දවා ගත් කඩුලු 4 සහ 2007 T20 ලෝක කුසලාන තරගාවලියේ දී ස්කොට්ලන්තයට එරෙහි ව ලකුණු 19කට දවා ගත් කඩුලු 4 අෆ්රීඩිගේ 20/20 ලෝක කුසලාන තරග දිවියේ හොඳ ම පන්දු යැවීම් ලෙසින් සටහන් වුණා. 

සිය 20/20 ලෝක කුසලාන තරග දිවියේ පළමු තරගාවලි ද්විත්වය වුණු 2007 සහ 2009 තරගාවලිවල දී පන්දුවෙන් දස්කම් පෑ අෆ්රීඩී, තරග 14කට සහභාගි වී කඩුලු 22ක් බිඳ දැමුවා. අවසන් වරට ක්‍රීඩා කළ 20/20 ලෝක කුසලාන තරගාවලි 4 දී දස්කම් අතර පැමිණීමට අෆ්රිඩීට හැකියාව ලැබුණේ නැහැ.

 2009 T20 ලෝක කුසලාන අවසන් තරගයේ දී පන්දු යවමින් – gettyimages.com

එනිසා එම තරගාවලි හතර යටතේ ක්‍රීඩා කළ තරග 20 දී අෆ්රිඩීට දවා ගැනීමට හැකිවුණේ කඩුලු 17ක් පමණ යි. පහතින් දක්වා තිබෙන්නේ මෙම පන්දු යවන්නා 20/20 ලෝක කුසලානවල දී දැක්වූ දස්කම් පිළිබඳ යි.

තරග- 34

පන්දුවාර- 102.4

ලකුණු- 907

කඩුලු- 39

පන්දු යැවීමේ සාමාන්‍ය- 23.26

හොඳම පන්දු යැවීම- 11/4- නෙදර්ලන්තයට එරෙහි ව 

පන්දුවාරයකට ලකුණු- 6.72

පැපුවා නිව් ගිනියාවට එරෙහිව තරගයේ දී – gettyimages.com

1). ශකීබ් අල් හසන් (බංග්ලාදේශයි)- කඩුලු 41 (තරග 31)

එදාමෙදා තුර පැවති සියලු ම 20/20 ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වුණු බංගලිදේශයේ ශකීබ් අල් හසන් සිය 20/20 ලෝක කුසලාන දිවියේ හොඳ ම පන්දු යැවීම මෙවර තරගාවලියේ දී  වාර්තා කළා. ඒ පැපුවා නිව් ගිනියා කණ්ඩායමට එරෙහිව යි. එහි දී ශකීබ්ගේ පන්දු යැවීම 9/4 ලෙසින් සටහන් වුණා.

ඊට අමතර ව 2016 තරගාවලියේ දී ඕමානයට එරෙහිව ලකුණු 15කට ලබා ගත් කඩුලු 4 සහ 2007 තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ව ලකුණු 34ට දවා ගත් කඩුලු 4 ශකීබ්ගේ 20/20 ලෝක කුසලාන තරග දිවියේ හොඳ ම පන්දු යැවීම් ලෙසින් සටහන් වුණා.

ශකීබ් 2014 තරගාවලියේ දී – gettyimages.com

බංග්ලාදේශ කණ්ඩායම 2014, 2016 සහ 2021 T20 ලෝක කුසලාන තරගාවලිවල පළමු තරග වටය සඳහා සහභාගි වුණා. දුර්වල කණ්ඩායම් සහභාගි වුණු එම තරගවල දී කඩුලු 19ක් දවා ගැනීමට ශකීබ්ට හැකියාව ලැබුණා. එසේ නොවුණා නම් මෙම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවට ශකීබ්ගේ නම ඇතුළත් නොවීමට පවා ඉඩ තිබුණා. එලෙස ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ශකීබ් අල් හසන් තරග 31ක දී කඩුලු 41ක් දවා ගෙන 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා ලෙසින් වැජඹෙනවා. 

තරග- 31

පන්දුවාර- 110.1

ලකුණු- 709

කඩුලු- 41

පන්දු යැවීමේ සාමාන්‍ය- 17.29

හොඳම පන්දු යැවීම- 9/4- පැපුවා නිව් ගිනියාවට එරෙහිව 

පන්දුවාරයකට ලකුණු- 6.44

කවරයේ ඡායාරූපය- මාලිංග 20/20 ලෝක කුසලාන තරගයක දී දස්කම් දක්වමින් - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com 

howstat.com  

Related Articles