Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් අසාධාරණයට එරෙහි වූ අවස්ථා 6ක්

ලෝක ක්‍රිකට් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී මතභේදාත්මක සිදුවීම් රැසක් ද අපගේ සිහියට නැඟෙනවා. ක්‍රීඩකයන් සහ විනිසුරුවරුන් අතර ඇතිවුණු ගැටුම් සහ ක්‍රීඩකයන් දෙපිරිසක් අතර ඇතිවුණු ගැටුම් ඒ අතුරින් විශේෂ යි. ක්‍රිකට් පිටියේ විවිධ අයුරින් සිදු වන අසාධාරණකම්, එවැනි ගැටුම් ඇති වීමට ප්‍රධාන හේතුව යි. ඇතැම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ද අසාධාරණයට එරෙහි වන්නට ගොස් ගැටුම් ඇති කර ගත් අවස්ථාවන් කිහිපයක් පිළිබඳ ව බොහෝ දෙනා අදටත් කතා කරනවා. ඒ අතුරින් සිදුවීම් 6ක් පිළිබඳ තොරතුරුයි මේ.  

6). විනිසුරු ඩැරල් හෙයාර් සමඟින් උරෙනුර ගැටුණු අර්ජුන රණතුංග 

1995-96 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය මෙල්බර්න් පිටියේ දී දෙසැම්බර් 26 වැනි දින ආරම්භ වුණා. එම තරගයට පෙර පර්ත් හි දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා  පන්දු යවන්නන් පන්දුව පළුදු කරන බවට අභූත චෝදනාවක් එල්ල වුණා. එපමණක් නොව ශ්‍රී ලංකා නිල ඇඳුමේ ලාංඡනය පිළිබඳව ද ගැටලුවක් ඇති වුණා.

එනිසා බිඳුණු මානසිකත්වයකින් යුක්ත ව යි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙල්බර්න් ටෙස්ට් තරගයට අවතීර්ණ වුණේ. 

පර්ත් ටෙස්ට් තරගයේ දී පන්දුව පළුදු කිරීමේ චෝදනාව එල්ල වුණු අවස්ථාව- gettyimages.com

 

එම තරගයේ කාසියේ වාසිය දිනා ගත්  ශ්‍රී ලංකා නායකයා පන්දුවට මුලින් ම පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දුන්නා. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මැනවින් පන්දුවට පහරදෙමින් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 117ක් ලබා ගෙන ස්ථාවර තත්ත්වයකට පත්ව සිටියා.

ඒ මොහොතේ මුත්තයියා මුරලිදරන්, මාක් වෝ වෙත යොමු කළ පන්දුව නිපන්දුවක් ලෙසින් විනිසුරු ඩැරල් හෙයාර් සංඥා කළා. එම පන්දුවාරයෙන් පසුව ද හෙයාර් විනිසුරුවරයා දිගින් දිගට ම මුරලිදරන්ට නිපන්දු සංඥා කළා. 

විනිසුරු හෙයාර් නිපන්දු සංඥා කළ ආකාරය – gettyimages.com

 

එහි දී ඔහු 7 වන නිපන්දුව සංඥා කිරීමෙන් පසු ව ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග විනිසුරු හෙයාර් සමඟින් වාදයක පැටළුණා. එම අවස්ථාවේ හෙයාර් විනිසුරුවරයා අර්ජුන හමුවේ පවසා සිටියේ මුරලිදරන් පන්දුව දමා ගසන නිසා ඒ අයුරින් නිපන්දු සංඥා කරන බව යි. 

ඒ මොහොතේ දී  නායකත්වය තාවකාලික ව අරවින්දට ලබා දුන් අර්ජුන මඳ වේලාවකට පිටියෙන් ඉවත් වුණා. ඒ, කණ්ඩායමේ පුහුණුකරුවාගෙන් සහ කළමනාකරුවාගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා යි.

මුරලිදරන් දිගින් දිගටම පන්දු යැවූ ආකාරය- gettyimages.com

 

මුරලිදරන් ඉන් අනතුරු ව අනිත් අන්තයෙන් පන්දු යැවීම සඳහා යෙදවීමට නායක අර්ජුන තීරණය කළා. තේ පානය අතරතුර විනිසුරු හෙයාර් ශ්‍රී ලංකා බලධාරීන් හමුවේ පවසා සිටියේ මුරලිදරන් කුමන අන්තයෙන් පන්දු යැව්වත් නිපන්දු සටහන් කිරීමට තමන් පසුබට නොවන බව යි.

මුරලිදරන් එලෙස ක්‍රිකට් පිටියෙන් අතු ගා දැමීමට කුමන්ත්‍රණයක් සිදු වුණු අවස්ථාවේ නායක අර්ජුන, විනිසුරු හෙයාර් සමඟ කරට කර හැපෙමින් සිය සහෝදර ක්‍රීඩකයාගේ ක්‍රිකට් දිවිය රැක ගත් බව මෙහි දී ගෞරවයෙන් සිහිපත් කළ යුතු යි. 

මුරලිදරන් සහ අර්ජුන – wwos.nine.com.au

 

5). අසාධාරණ ලෙස දිව ගිය අමතර ලකුණට විරෝධය පෑ මහේල 

2009 ශ්‍රී ලංකා-පාකිස්තාන 20/20 තරගාවලිය යටතේ පැවති එක ම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 8.2ක් අවසානයේ  කඩුලු 3ක් දැවී ලකුණු 62ක් ලබා ගෙන සිටියා. ඒ මොහොතේ ඇන්ජලෝ මැතිව්ස් යොමු කළ පන්දුවකට පොයින්ට් කලාපයට පහරක් එල්ල කළ අෆ්රිඩී ඉක්මන් ලකුණක් ලබා ගැනීම සඳහා ඉදිරියට දිව ගියා.

ඒ සමඟ ම පන්දුව ක්ෂණයකින් රැක ගත් චාමර කපුගෙදර පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ල වෙත එල්ල කළා.  එවිට අෆ්රීඩීගේ සිරුරේ දැවටුණු පන්දුව වෙනත් දිශාවකට ගමන් කළා. එය දුටු අෆ්රිඩී ඉක්මනින් ම තවත් ලකුණක් කරා දිව ගියා. 

ෂයිඩ් අෆ්රිඩී – gettyimages.com

 

පන්දුව අෆ්රිඩීගේ සිරුරේ දැවටී වෙනත් දිශාවකට ගිය නිසා ඔහුට අමතර ලකුණක් ලබා ගැනීමට කිසිදු අයිතියක් තිබුණේ නැහැ. අෆ්රීඩිගේ එම නොහික්මුණු ක්‍රියාව නිසා මහේල දැඩි ලෙස කෝපයට පත්  වුණා.  එහි ප්‍රතිඵලයක් වශයෙන් මහේල, අෆ්රිඩී සමඟ උණුසුම් වාග් සංග්‍රාමයක නිරත වුණා.

ඔවුන් දෙදෙනා අතර ඇතිවුණු එම ගැටුම නිරාකරණය කිරීම සඳහා විනිසුරුවන්ට පවා පවා මැදිහත් වීමට සිදුවුණා. අෆ්රිඩී ලබා ගත් අමතර ලකුණ අහෝසි කිරීමට විනිසුරුවරයා තීරණය කිරීමත් සමඟ ම ගැටුම අවසානයේ දී සමථයකට පත් වුණා.

මහේල ජයවර්ධන – gettyimages.com

 

4). යුනිස් ඛාන්ට එරෙහි ව ලබා දුන් තීරණයකට විරෝධය පෑ සංගක්කාර 

2009 ශ්‍රී ලංකා-පාකිස්තාන එක්දින තරගාවලියේ පස්වන තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පන්දුවට මුලින් ම පහර දුන් පාකිස්තානුවන් පන්දුවාර 34.3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 188ක් ලබා ගෙන ප්‍රබල තත්ත්වයකට පත්ව සිටියා.

එනිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන් කඩුලු කිහිපයක් ඉක්මනින් දවා ගැනීම සඳහා ප්‍රබල උත්සාහයක නිරත වෙමින් සිටියා. ඒ මොහොතේ දී  ධම්මික ප්‍රසාද් යොමු කළ පන්දුවක් ප්‍රතිවාදී පිතිකරු යුනිස් ඛාන්ගේ පිත්ත පරයමින් කඩුලු රකින්නා වෙත ඇදී ගියා. 

යුනිස් ඛාන් පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

එහි දී සුරැකි ව පන්දුව රැකගත් කුමාර් සංගක්කාර විනිසුරුවරයාගෙන් උඩ පන්දුවක් සඳහා ප්‍රබල ඉල්ලීමක් කළා. ඒ මොහොතේ ප්‍රධාන විනිසුරු ගාමිණී සිල්වා එම ඉල්ලීම නිෂ්ප්‍රභ කළා. පන්දුව පිත්තේ වදින හඬ පැහැදිලිව ම ඇසුණත් කිසිවක් නොවුණු විලසින් යුනිස් සීමා ඉර මත රැඳී සිටීම නිසා සංගක්කාර උරණ වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සංගක්කාර සහ යුනිස් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. ඒ මොහොතේ සංගක්කාර යුනිස්ගේ ක්‍රීඩාශීලීත්වය පිළිබඳ ප්‍රශ්න කිරීම නිසා ගැටුම නැවතත් ඇවිළ ගියා. විනිසුරුවරුන් මැදිහත් වීම ගැටුම  අවසානයේ දී සමථයකට පත් කළා. 

සංගක්කාර සහ යුනිස් ගැටුණු අවස්ථාව – gettyimages.com

 

3). සහායට දුවන්නෙක් ලබා නොදුන් නිසා අර්ජුන ඇති කර ගත් ගැටුම 

1995-96 බෙන්සන් සහ හෙජස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිඩ්නි පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහරදුන් ඕස්ට්‍රේලියානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 273ක් ලබා ගත්තා.

ක්‍රීඩා පිටියට වර්ෂාව ඉන් අනතුරු ව පතිත වීම හේතුවෙන් තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 25කින් ලකුණු 168ක් ලබා ගැනීමට නියම වුණා.

1995-96 බෙන්සන් සහ හෙජස් තුන්කොන් තරගාවලියේ අවස්ථාවක් – gettyimages.com

 

එම අභියෝගය සාර්ථක ව භාර ගත් ශ්‍රී ලංකා පිතිකරුවන් 18 වන පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබිය දී කඩුලු 5ක් දැවී ලකුණු 120ක් ලබා ගෙන සිටියා. ඒ වන විට සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටියා.

එම තීරණාත්මක අවස්ථාවේ අර්ජුනට ඇති වුණු ආබාධයක් හේතුවෙන්  දිවීමට සහායකයෙක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා. ඒ සමඟ ම කඩුලු රැකීමෙහි නිරත ව සිටි ඉයන් හීලි කෝපයට පත්වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසින් අර්ජුන සහ හීලි අතර බහින්බස්වීමක් ඇති වුණා. 

අර්ජුන සහ හීලි ගැටුණු අවස්ථාව – foxsports.com.au

 

ඒ අතරතුර සහාය දුවන්නෙක් ලෙස ක්‍රීඩා පිටියට පැමිණීමට සනත් ජයසූරිය උත්සාහ කළා. එය දුටු ස්ටීව් රැන්ඩල් විනිසුරුවරයා සනත් ජයසූරියට අතින් සංඥාවක් කළේ ක්‍රීඩා පිටියෙන් ඉවතට යන ලෙස යි.  සනත් පිටියෙන් ඉවත් කිරීමත් සමඟින් උරණ වුණු අර්ජුන විනිසුරු රැන්ඩල් සමඟ උණුසුම් වචන හුවමාරුවක් යෙදුණා. එහි දී අර්ජුන විනිසුරුවරයාට පෙන්වා දුන්නේ මතු ව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට දිවීමේ අපහසුතාවක් පවතින බව යි.  

නායක අර්ජුනගේ ඉල්ලීමට අවසානයේ දී කන් දුන් විනිසුරුවන් දෙපළ ඔහුට සහාය දුවන්නෙක් ලබාදුන්නා. එම වාද විවාද මැද අර්ජුනගේ පිත්තෙන් අගනා ලකුණු 41ක් වාර්තා වුණත් එය ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන යාමට ප්‍රමාණවත් නොවුණු බව මෙහි දී සඳහන් කළ යුතු යි. 

2). නිපන්දුවක් සම්බන්ධ ගැටලුවකට විනිසුරුවරයා සමඟ ගැටුණු මහේල 

2012 CB කුසලාන තුන්කොන් තරගාවලියේ දෙවන අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ් ඕවල් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ පන්දුවට මුලින් පහර දුන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 43.4ක් අවසානයේ  කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 226ක් ලබා ගෙන ප්‍රබල තත්ත්වයක සිටියා. ඒ මොහොතේ ෆර්වීස් මහරුෆ් ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් වෙත යොමු කළ පන්දුවට ක්ලාක් හතරේ පහරක් එල්ල කළා. 

මයිකල් ක්ලාක් පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

මහරුෆ් යැවූ එම පන්දුව ක්ලාක්ගේ ඉණෙන් ඉහළට පතිත වුණු නිසා පැහැදිලිව ම එය නිපන්දුවක් වුණා. විනිසුරු බෘස් ඔක්සන්ෆර්ඩ් එය නිපන්දුවක් ලෙසින් සංඥා කළේ නැහැ. ඒ සමඟ ම ක්ලාක් එය නිපන්දුවක් බව විනිසුරුවරයාට අතින් සංඥා කළා. එවිට විනිසුරු ඔක්සන්ෆර්ඩ් ද එය  නිපන්දුවක් බවට සංඥා කළා. 

එම අවස්ථාවේ විනිසුරුවරයා ළඟට පැමිණි මහේල ඔහුගෙන් විමසා සිටියේ විනිසුරුවරයා ඔයාද? එහෙමත් නැත්නම් මයිකල් ක්ලාක් ද? යන්න යි. ඉන්   නොනැවතුණු මහේල විනිසුරු ඔක්සන්ෆර්ඩ් සමඟ දිගින් දිගට ම වාද කළා. අවසානයේ එම ගැටුම සමථයකයකට පත් කිරීම සඳහා අනිත් විනිසුරු වූ අසාද් රවුෆ්ට ද මැදිහත් වන්නට සිදු වුණා. 

මහේල සහ විනිසුරු ඔක්සන්ෆර්ඩ් ගැටුණු මොහොත- gettyimages.com

 

1). විනිසුරු රොස් එමර්සන් සමඟ ගැටුණු අපේ නායකයා 

1998/99 කාල්ටන් සහ යුනයිටඩ් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ 8 වන තරගය ඇඩිලේඩ් ඕවල් පිටියේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුණා. අවසන් වටයට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වුණා.

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ පන්දුවට මුලින් ම පහරදුන් එංගලන්ත පිතිකරුවන් 17 වන පන්දුවාරය නිමා වෙද්දී කඩුලු 1ක් දැවී ලකුණු 92ක් ලබා සිටියා. 

එංගලන්ත පිතිකරුවන් පන්දුවට පහරදෙමින්- gettyimages.com

 

එම අවස්ථාවේ දී එංගලන්ත ඉනිමේ 18 වන පන්දු වාරය ක්‍රියාත්මක කිරීම සඳහා මුරලිදරන් කැඳ වූ අවස්ථාවේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස ටෝනි මැක්විලන් කටයුතු කළ අතර, Square Leg විනිසුරු ලෙස රොස් එමර්සන් කටයුතු කළා. 

එම විනිසුරුවන් දෙපළ පිළිබඳ ව විශේෂයෙන් ම සිහිපත් කළ යුතු කරුණ වන්නේ 1996 වසරේ බ්‍රිස්බේන් පිටියේ දී කොදෙව්වන්ට එරෙහි ව එක්දින  තරගයක දී මුරලිදරන්ට එරෙහි ව පන්දුව දමා ගැසීමේ චෝදනාව එල්ල කළේ ඔවුන්  දෙපළ වීම යි. 

1996 දී මුරලිදරන්ට එරෙහිව නිපන්දුවක් සංඥා කළ විනිසුරු එමර්සන්- theaustralian.com.au

 

මෙම තරගයේ දී මුරලිදරන් 18 වන පන්දුවාරයේ 4 වන පන්දුව ක්‍රියාත්මක කිරීමත් සමඟ ම Square Leg විනිසුරු ලෙස කටයුතු කළ එමර්සන්, එය නිපන්දුවක් ලෙස සටහන් කර මුරලිදරන් පන්දුව දමා ගසන බවටත් සැක කරන බව වැඩිදුරටත් සඳහන් කළා.

විනිසුරු එමර්සන් එම නිපන්දුව සටහන් කිරීම නිසා දැඩි ලෙස උරණ වුණු අර්ජුන රණතුංග ඔහු සමඟ බහින්බස් වීමෙන් පසුව  සිය කණ්ඩායම රැගෙන ක්‍රීඩා පිටියේ හතරේ සීමාවෙන් ඉවතට ගියා. 

අර්ජුන සහ විනිසුරු එමර්සන් ගැටුණු අවස්ථාව – gettyimages.com

 

ඉන් අනතුරු ව එම ස්ථානයට පැමිණි පුහුණුකරු රෝයි ඩයස් සහ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු, උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ව අර්ජුන සමග සාකච්ඡා කළා. එම අවස්ථාවේ තරග තීරක පීටර් වැන්ඩර්මව් එහි පැමිණ අර්ජුන සමඟ සංවාදයේ යෙදුණා.

ඒ මොහොතේ සිද්ධිය සමථයකට පත් වුණත්අර්ජුනට එරෙහි ව විනය පරීක්ෂණයක් පසු ව පැවැත්වුණා.

හතරේ සීමාව අසලට වී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ – gettyimages.com

එදා මුරලිදරන්ට  සිදු වුණු අසාධාරණය හමුවේ නොබිය ව හඬ නැගූ අර්ජුන සිය සහෝදර ක්‍රීඩකයාගේ ක්‍රිකට් දිවිය ආරක්ෂා කළා. ඒ අයුරින් අර්ජුන මුරලිදරන් වෙනුවෙන් කතා නොකළා නම් ඔහුගේ ක්‍රිකට් දිවිය අකාලයේ නවතින්නට පවා ඉඩ තිබුණා. 

කවරයේ ඡායාරූපය - අර්ජුන සහ ඉයන් හීලි ගැටුණු අවස්ථාවක් - heraldsun.com.au

මූලාශ්‍ර:

espncricinfo.com

Howstat.com

cricket.com.au

Australian Cricket Year Book 1996

Related Articles