Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෝකියෝ ඔලිම්පික් වරම් ලද ශ්‍රීලාංකීය සුපිරි ක්‍රීඩා තරු

ලොව අසිරිමත් ම ක්‍රීඩා සැණකෙළිය වශයෙන් සැලකෙන ඔලිම්පික් උලෙළ, 32 වන වරටත් පැවැත්වීම සඳහා ජපානය සූදානමින් සිටිනවා. එළැඹෙන ජූලි 23 වැනිදා ටෝකියෝ නුවර දී ඇරඹීමට නියමිත මෙම ක්‍රීඩා උලෙළ අගෝස්තු 8 වන තෙක් පැවැත්වෙනවා. මීට පෙර 1964 වසරේ දී ජපානයේ ටෝකියෝ නගරය ඔලිම්පික් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදුන්නා. එය ආසියානු රටක ඔලිම්පික් තරගාවලිය පැවැත්වූ පළමු අවස්ථාව යි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි සෞඛ්‍යාරක්ෂිත නීතිරීති යටතේ යි මෙවර ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන්නේ. ඊට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් ක්‍රීඩා 7ක් වෙනුවෙන් සුදුසුකම් ලැබුවා. ඒ අනුව වැඩි ම ක්‍රීඩා ප්‍රමාණයකට ශ්‍රී ලාංකික තරගකරුවන් ඉදිරිපත් වුණු ඔලිම්පික් උලෙළ යි මේ. එකී ටෝකියෝ ඔලිම්පික් උලෙළට සහභාගී වන ශ්‍රී ලාංකීය ක්‍රීඩා තරු පිළිබඳ ව යි මෙම ලිපිය ගෙන එන්නේ.

මැතිව් අබේසිංහ, අනිකා ගෆූර්, මිල්කා ගෙහානි ද සිල්වා – Design credit: Roar Media/Jamie Alphonsus

9) අනිකා ගෆූර් (පිහිනුම්)

17 හැවිරිදි අනිකා ගෆූර් මෙවර ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් වරම් ලබාගත් ළාබාලත ම ක්‍රීඩිකාව යි. තායිලන්තයේ ජීවත් වන ඇය, පිහිනුම් තරගවල දී මුල්ම වරට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලබාගත්තේ 2019 වසරේ දී යි. එම වසරේ දකුණු කොරියාවේ පැවති ලෝක ජල ක්‍රීඩා ශූරතාවලියේ දී සමනල ආර මීටර් 50 සහ 100 ඉසව් සඳහා ඇය සහභාගී වුණත්, විශේෂ දස්කමක් දැක්වීමට ඇයට අවස්ථාවක් ලැබුණේ නැහැ.

එම වසරේ අග භාගයේ දී නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු තරගාවලියේ දී ඇය රිදී සහ ලෝකඩ පදක්කම බැගින් දිනාගත්තා. ඒ, මීටර් 100 මෙඩ්ලි සහාය සහ මීටර් 100 සමනල ආර යන පිහිනුම් ඉසව් සඳහා යි. මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලද ඇය මීටර් 100 සමනල ආර ඉසව්ව යටතේ තරග වැදීමට සූදානමින් සිටිනවා. ඒ අනුව, සමනල ආර ඉසව්වක් යටතේ ඔලිම්පික් වරම් ලද මුල්ම ලාංකීය පිහිනුම් ක්‍රීඩිකාව බවට ද පත් වී වාසනාව අනිකා ගෆූර්ට හිමි වුණා.

අනිකා ගෆූර්
අනිකා ගෆූර්  – The Phuket News

8) මිල්කා ගෙහානි ද සිල්වා (ජිම්නාස්ටික්)

මිල්කා ගෙහානි ද සිල්වා නම් 18 හැවිරිදි ක්‍රීඩිකාව ජිම්නාස්ටික්වලින් ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය නියෝජනයට වරම් ලැබුවා. ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් වරම් ලද ප්‍රථම ලාංකීය ක්‍රීඩිකාව ඇය යි. ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීම් රැසක් ඇති ක්‍රීඩිකාවක වන ඇය, කණිෂ්ඨ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය, ආසියානු කණිෂ්ඨ ශූරතා තරගාවලිය, යොවුන් ඔලිම්පික් තරගාවලිය, ලෝක ශූරතාවලිය වැනි ඉහළ පෙළේ තරගාවලිවල දී ශ්‍රී ලංකාව නියෝජනය කළා.

මිල්කා ගෙහානි
මිල්කා ගෙහානි – Imago

එමඟින් ඇයට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් රැසක් ලබාගන්නට හැකි වුණා. එලෙස වසර කිහිපයක් තිස්සේ ලබාගත් අත්දැකීම්වලින් සන්නද්ධ ව යි ඇය මෙවර ඔලිම්පික් තරගාවලියට එක් වන්නේ.

7) ටෙහානි එගොඩවෙල (ඉලක්කයට වෙඩි තැබීම)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු ටෙහානි එගොඩවෙල, කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉසව්වෙන් මෙවර ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීමට වරම් ලැබුවා. අවසන් වරට ලාංකීය ක්‍රීඩිකාවක් ඉලක්කයට වෙඩි තැබීමේ අංශයෙන් ඔලිම්පික් වරම් ලබාගත්තේ 2004 ඇතන්ස් ඔලිම්පික් උලෙළේ දී යි. ඒ, පුෂ්පමාලි රාමනායක නම් ක්‍රීඩිකාව යි.

ටෙහානි එගොඩවෙල
ටෙහානි එගොඩවෙල – Ada Derana

පසුගිය වසර කිහිපය පුරාවට ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වූ ඇය, 2016 සහ 2019 දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිවල දී කාන්තා මීටර් 50 රයිෆල් ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනාගැනීමට ද සමත් වුණා.

6) මැතිල්ඩා කාල්සන් (අශ්වාරෝහක තරග)

ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් වරම් දිනාගත් මුල්ම යොවුන් ක්‍රීඩිකාව වන මැතිල්ඩා කාල්සන්, අශ්වාරෝහක තරග සඳහා සහභාගී වීමට සූදානමින් සිටිනවා. කුඩා කාලයේ දී ඇයගේ භාරකාරීත්වය ස්වීඩන් ජාතික යුවළකට පැවරූ නිසා ඇය 2018 වසර වන තුරු ම ස්වීඩනයේ ජීවත් වුණා. ඉන්පසු ව ශ්‍රී ලංකාවට පැමිණි මැතිල්ඩා, මෙරට පුරවැසිභාවය ලබාගත්තේ ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමේ පරමාර්ථයෙන්.

මැතිල්ඩා කාල්සන්, නිමාලි ලියනආරච්චි – Design credit: Roar Media/Jamie Alphonsus

එලෙස සිය මව්බිම නියෝජනය කිරීම සඳහා කැපකිරීම් රැසක් සිදු කළ ඇය, අවසානයේ දී එම සිහිනය සැබෑ කරගත්තා. ඒ අනුව මැතිල්ඩා, ගිනිකොනදිග ආසියානු සහ ඕෂනියා කලාපයීය රටවලින් අශ්වාරෝහක තරග සඳහා වරම් ලද ක්‍රීඩිකාවන් දෙදෙනා අතරට එක් වුණා.

මැතිල්ඩා කාල්සන්
මැතිල්ඩා කාල්සන් – Noelle Floyd

  ශ්‍රී ලාංකිකයෙක් අශ්වාරෝහක තරග සඳහා ඔලිම්පික් වරම් හිමි කර ගත් මුල්ම අවස්ථාව එය යි. එලෙස ඔලිම්පික් වරම් ලබාගත් මැතිල්ඩා, තරග වැදීමට නියමිත ව සිටින්නේ චොපින් නම් අශ්වයා සමඟ යි.

5) නිමාලි ලියනආරච්චි (මලල ක්‍රීඩා)

නිලානි රත්නායක ක්‍රීඩිකාවට මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව යටතේ ඔලිම්පික් වරම් ලැබීමට නියමිත බව පසුගිය දිනවල මෙරට මාධ්‍ය ඔස්සේ නිවේදනය වුණා. නවතම වාර්තා අනුව පෙනී යන්නේ ඇයට ඔලිම්පික් වරම් අහිමි ව ඇති බව යි. ජූලි 4 වැනිදා වන තුරුම ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගිවන්නේ නිලානි රත්නායක ද? එසේත් නැත්නම් නිමාලි ලියනආරච්චි ද යන ගැටලුව තිබුණා. නමුත් අද (05)  දිනයේ නිමාලිගේ සහභාගිත්වය ස්ථීර බව ජාතික ඔලිම්පික් කමිටුව නිල වශයෙන් නිවේදනය කළා. ඒ අනුව නිමාලි ලියනආරච්චි කාන්තා මීටර් 800 ඉසව්ව යටතේ ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත යි.ඒ වෙනුවට නිමාලි ලියනආරච්චිට ඔලිම්පික් වරම් ලැබී තිබෙන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ලෝක මලල ක්‍රීඩා සංගමයෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේ යි. මෙවර ඔලිම්පික් උලෙළේ දී මීටර් 800 ඉසව්ව යටතේ තරග බිමට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින නිමාලි, පසුගිය වසර 5-6ක කාලය තුළ ජාත්‍යන්තර තරගවල දී කැපී පෙනුණු චරිතයක්. එහි දී ඇය ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණය වන්නේ 2019 ලෝක ආරක්ෂක ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 ඉසව්වෙන් ලබාගත් රිදී පදක්කම යි. එසේ ම, 2015 ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ලබාගත් ඇය, ඉන් වසර 2කට පසු ව පැවති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා. ඊට අමතර ව ඇය 2016 දකුණු ආසියානු තරගාවලියේ දී එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා.

නිමාලි ලියනආරච්චි
නිමාලි ලියනආරච්චි – SBS.com

4) චාමර නුවන් ධර්මවර්ධන (ජූඩෝ)

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම ජූඩෝ ක්‍රීඩකයෙකු ලෙසින් නමක් දිනාගෙන සිටින චාමර ධර්මවර්ධන, මෙවර පිට පිට ම දෙවන වරටත් ඔලිම්පික් වරම් දිනාගත්තා. 2016 ඔලිම්පික් තරගාවලියේ දී කි.ග්‍රෑ. 73 සැහැල්ලු බර (Light Weight) පන්තිය යටතේ තරග වැදුණු චාමර තුන්වැනි වටය දක්වා පැමිණීමට සමත් වුණා.

චාමර නුවන් ධර්මවර්ධන, ටෙහානි එගොඩවෙල – Design credit: Roar Media/Jamie Alphonsus

එදා තුන්වන තරග වටයේ දී ඔහු පරාජය කළ ජෝජියානු ක්‍රීඩකයා, අවසානයේ දී ලෝකඩ පදක්කම දිනාගත්තා. පසුගිය කාලයේ දස්කම් අතර සිටි චාමර, 2019 දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී කි.ග්‍රෑ. 73 ලයිට්වේට් ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.

චාමර ධර්මවර්ධන
චාමර ධර්මවර්ධන – Daily FT

පසුගිය ඔලිම්පික් තරගාවලියේ දී ලබාගත් අත්දැකීම් ද සමඟ මෙවර තරග බිමට පිවිසෙන ඔහු හොඳ සටනක් ලබාදෙනු ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය යි.

3) මැතිව් අබේසිංහ (පිහිනුම්)

පසුගිය කාලයේ දී පිහිනුම් අංශයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් අත් කර දුන් මැතිව් අබේසිංහ, මෙවර දෙවන වරටත් ඔලිම්පික් වරම් හිමි කරගෙන තිබෙනවා. ඒ, මීටර් 100 නිදහස් ආර ඉසව්ව යටතේ යි. 2016 සහ 2019 වසරවල දී පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිවල දී රන් පදක්කම් 7 බැගින් දිනාගත් ඔහු, දකුණු ආසියානු පිහිනුම් වාර්තා 6කට ද හිමිකම් කියනවා.

මැතිව් අබේසිංහ
මැතිව් අබේසිංහ (Daily Mirror)

2018 වසරේ දී මීටර් 100 නිදහස් ආර ඉසව්වෙන් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණු මැතිව්, ආසියානු ක්‍රීඩා තරගාවලියේ අවසන් තරගයටත්, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියේ අවසන් පූර්ව වටයටත් සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා. එනිසා, සිය උපරිම දස්කම් පෙන්වීමට මෙවර ඔහුට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා.

2) යුපුන් අබේකෝන් (මලල ක්‍රීඩා)

ගෙවුණු මාස කිහිපය තුළ යුපුන් අබේකෝන් පිළිබඳ සමාජජාලා වෙතින් නිතර අසන්නට ලැබුණා. ඒ, ඔහු යුරෝපයේ පැවති මලල ක්‍රීඩා තරගාවලිවල දී දැක්වූ කැපී පෙනෙන දක්ෂතා නිසා යි.

Caption

මේ වන විට මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් පාන ඔහු, ඉතාලියේ සැවෝනා හි පැවති මලල ක්‍රීඩා තරගාවලියක දී එම වාර්තාව පිහිටුවූයේ තත්පර 10.15ක කාලයක් වාර්තා කරමින්. එලෙස ඔහු දැක්වූ සුපිරි දස්කම් නිසා ම මීටර් 100 ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමේ වරම හිමි වුණා.

යුපුන් අබේකෝන්
යුපුන් අබේකෝන් (sportswithharitha.com)

ඒ අනුව, චින්තක ද සොයිසා 1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 100 තරග ඉසව්ව නියෝජනය කිරීමෙන් පසු, ඔලිම්පික් තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වට සුදුසුකම් ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙසින් යුපුන් ඉතිහාසගත වුණා.

1) නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්)

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වන අත්දැකීම් බහුල ම ක්‍රීඩකයා වන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩක, නිලූක කරුණාරත්න යි. 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ බැඩ්මින්ටන් පිරිමි ඒකල ඉසව්වට සහභාගී වුණු නිලූක පළමු වටයේ දී විශාල පෙරළියක් සිදු කළා. ඒ, ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල අංක 8 ක්‍රීඩකයා වූ ජපානයේ කෙනිචි ටාගෝ තරග වට 2-0ක් ලෙසින් පරාජයට පත් කිරීම යි. එහි දී ලකුණු තත්ත්වය 21-18 සහ 21-16 ලෙසින් සටහන් වුණා. ඉන්පසු ව පැවති 16 දෙනාගේ තරග වටයේ දී ඉන්දියාවේ කාශ්‍යප පරුපල්ලී, නිලූකගේ ප්‍රතිවාදියා බවට පත් වුණා. එදා තියුණු තරගයකින් පසුව තරග වට 2-1ක් ලෙසින් තරගය ජය ගැනීමට කාශ්‍යප සමත් වුණා. එහි දී ලකුණු තත්ත්වය 21-14, 15-21 සහ 21-9 ලෙසින් සටහන් වුණා.

නිලූක කරුණාරත්න
නිලූක කරුණාරත්න (Daily News)

2016 රියෝ ඔලිම්පික් තරගාවලියේ බැඩ්මින්ටන් ඉසව්ව සඳහා තරග කළ නිලූක, පළමු වටයේ දී තරග 3කට සහභාගී වුණා. එහි දී ඔහු ගෝතමාලා ක්‍රීඩකයා හමුවේ නිතරග ජයක් ද, පෝලන්ත ක්‍රීඩකයා හමුවේ තරග වට 2-0ක ජයක් ද හිමි කරගත්තා. ඉතිරි තරගයේ දී ඔහුට තරග වැදීමට සිදුවුණේ 2014 දෙසැම්බර් සිට 2016 ජූනි දක්වා පිරිමි ඒකල ඉසව්වේ ලොව අංක එකේ ක්‍රීඩකයා ලෙසින් වැජඹුණු චෙන් ලොන්ග් සමඟ යි. එදා ලොන්ග් හමුවේ 21-7 සහ 21-10 ලෙසින් ලබාගත් පරාජයත් සමඟ ම නිලූකට පළමු වටයෙන් ම ඉවත් වීමට සිදු වුණා. ඒ අයුරින් ඔහු පරාජය කළ ලොන්ග්, පිරිමි ඒකල ඉසව්වේ රන් පදක්කම දිනාගත් බව මෙහි දී විශේෂයෙන් ම සඳහන් කළ යුතු යි.

කවරයේ ඡායාරූපය- 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත් ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් -Design credit: Roar Media/Jamie Alphonsus

මූලාශ්‍ර- National Olympic.com

Committee olympics.com

Related Articles