Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරු පහේ හෝටල් බඳු පාපන්දු ලෝක කුසලාන ක්‍රීඩාංගණ

පෘථිවියේ එක් ක්‍රීඩාවක් වෙනුවෙන් පැවැත්වෙන විශාලත ම තරගාවලිය වන පාපන්දු ලෝක කුසලානය 22 වන වතාවටත් එළඹෙන නොවැම්බර් මස 20 වැනි දා, කටාර් රාජ්‍යයේ දී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් වී තිබෙනවා. එදින සත්කාරක කටාර් රාජ්‍යය සහ ඉක්වදෝරය අතර පැවැත්වෙන තරගයෙන් පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නිල වශයෙන් ආරම්භ වනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීම උදෙසා මේ දිනවල කටාර් රාජ්‍යය ලහි ලහියේ සූදානම් වනවා. ඒ වෙනුවෙන් එරට නිර්මාණය වූ ක්‍රීඩාංගණ සංඛ්‍යාව 8ක්. ඩොලර් බිලියන ගණනින් වියදම් කරමින් නිර්මාණය වූ මෙම ක්‍රීඩාංගණ ලොව පුරා ඇති තරු පහේ හෝටල් පවා පරාජය කිරීමට හැකි තරම් අලංකාර ව, පිළිවෙළට හා පහසුකමින් යුතුව නිර්මාණය කර තිබෙනවා.

ඉතිහාසයේ වැඩි ම වියදමක් දැරූ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ද මෙය වන අතර කටාර් රාජ්‍ය මේ වෙනුවෙන් පොම්ප කළ මුදල ඩොලර් බිලියන 220ක්.

තරුපහේ හෝටල් මෙන් නිර්මාණය වූ ක්‍රීඩාංගණ ඇතුළත දර්ශනයක් – www.thesun.com

ලොව පුරා මේ වන විටත් ලක්ෂ ගණනින් මෙවර පාපන්දු ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර උණු කැවුම් මෙන් විකිණෙමින් පවතිනවා. ඒ වගේම රූපවාහිනිය ඔස්සේ බිලියන 3 කට අධික ජනතාවක් පාපන්දු ලෝක කුසලානය සජීවී ව නරඹනු ඇතැයි ද දැනටමත් අනාවැකි පළ වී තිබෙනවා.

අප මෙම ලිපියෙන් කතා කරනුයේ ලෝක කුසලානය වෙනුවෙන් කටාර් රාජ්‍යය ඩොලර් බිලියන ගණනින් වියදම් කරමින් නිම කළ ක්‍රීඩාංගණ ගැන යි.

1. ලුසයිල් අයිකොනික් ක්‍රීඩාංගණය (Lusail Iconic Stadium)

22 වන ලෝක පාපන්දු ශූරයා තේරීමේ අවසන් මහා තරගය ඇතුළු ව තරඟ 10 ක් මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත යි. 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ම නිර්මාණය වූ නගරයක මෙම ක්‍රීඩාංගණය ඉදිකර තිබීම ද විශේෂත්වයක්. එරට අගනුවර වන දෝහා සිට කිලෝමීටර් 23 ක් පමණ උතුරට වන්නට ලුසයිල් ක්‍රීඩාංගණය පිහිටා තිබෙනවා.

ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු 2017 වර්ෂයේදී ආරම්භ කොට 2021 අප්‍රේල් මාසයේ දී අවසන් කිරීමට ඔවුන් කටයුතු කළා. 2021 වර්ෂයේ නොවැම්බර් මස 22 වැනි දා නිල වශයෙන් ලුසයිල් අයිකොනික් ක්‍රීඩාංගණය විවෘත වුණා. පසුගිය දා අල් හිලාල් සහ සමලේක් කණ්ඩායම් අතරේ පැවති ලුසයිල් කුසලාන තරගය මෙම ක්‍රීඩාංගණය ලෝක කුසලානයට සිදු කළ පෙර පුහුණුවක් බවට නම් කිරීම ද නිවැරැදි යි.

ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත ලුසයිල් අයිකොනික් ක්‍රීඩාංගණය – www.fourfourtwo.com

මූලික වටයේ තරග 6ක්, එක් 16 දෙනාගේ වටයේ තරගයක්, එක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක්, එක් අවසන් පූර්ව වටයේ තරගයක් සහ අවසන් මහා තරගය මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. කටාර් රාජ්‍යයේ විශාලත ම ක්‍රීඩාංගණය ද වන මෙහි ප්‍රේක්ෂක ධාරිතාව 80 000ක්.

මූලික වටයේ දී ලුසයිල් අයිකොනික් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග

1. නොවැම්බර් 22 – ආර්ජන්ටිනාව සහ සෞදි අරාබිය

2. නොවැම්බර් 24 – බ්‍රසීලය සහ සර්බියාව

3. නොවැම්බර් 26 – ආර්ජන්ටිනාව සහ මෙක්සිකෝව

4. නොවැම්බර් 28 – පෘතුගාලය සහ උරුගුවේ

5. නොවැම්බර් 30 – සෞදි අරාබිය සහ මෙක්සිකෝව

6. දෙසැම්බර් 02 – බ්‍රසීලය සහ කැමරූනය

2. අල් බයිත් ක්‍රීඩාංගණය (Al Bayt Stadium)

2014 වර්ෂයේ දී නැවත ඉදිකිරීම ආරම්භ වූ මෙම අල් බයිත් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු නිමා වූයේ 2021 වර්ෂයේ දී යි. 2021 වසරේ නොවැම්බර් මස 29 වැනි දා මෙම ක්‍රීඩාංගණය නිල වශයෙන් විවෘත කළා. ලෝක කුසලානයට ප්‍රථම ව පෙරහුරුවක් වශයෙන් පැවති 2021 FIFA අරාබි කුසලානයේ සමාරම්භක උත්සවය සඳහා ද අල් බයිත් ක්‍රීඩාංගණය යොදා ගත්තා. මෙවර ලෝක කුසලානයේ මංගල තරගය වන කටාර් සහ ඉක්වදෝරය අතර තරගය ද මෙහි පැවැත්වෙනවා.

ලෝක කුසලාන පළමු තරගය පැවැත්වීමට නියමිත අල් බයිත් ක්‍රීඩාංගණය – www.fourfourtwo.com

60 000 කට පමණ සජීවි ව තරගය නැරඹීමට හැකි මේ ක්‍රීඩාංගණයේ පසුගිය අරාබි කුසලානය යටතේ කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති තරගය මෙහි සිට 63 439 ක් දෙනෙක් නරඹා තිබුණා. එක් අවසන් පූර්ව වටයේ තරගයක් ද සමඟින් 2022 පාපන්දු ලෝක කුසලානයේ දී අල් බයිත් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 9ක්. එයට මූලික වටයේ තරග 6ක්, අවසන් 16 දෙනාගේ වටයේ තරගයක් සහ එක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් අයත්.

මූලික වටයේ දී අල් බයිත් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග

1. නොවැම්බර් 20 – කටාර් සහ ඉක්වදෝරය

2. නොවැම්බර් 23 – මොරොක්කෝව සහ ක්‍රොඒෂියාව

3. නොවැම්බර් 25 – එංගලන්තය සහ අමෙරිකාව

4. නොවැම්බර් 27 – ස්පාඤ්ඤය සහ ජර්මනිය

5. නොවැම්බර් 29 – නෙදර්ලන්තය සහ කටාර්

6. දෙසැම්බර් 01 – කොස්ටා රිකා සහ ජර්මනිය

3. අල් තුමානා ක්‍රීඩාංගණය (Al Thumana Stadium)

නැවත ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් 2017 වර්ෂයේ දී ප්‍රතිසංස්කරණ කළ මෙම ක්‍රීඩාංගණය 2021 ඔක්තෝබර් මස 22 වැනි දා විවෘත කිරීමට කටයුතු කෙරුණා. ඉන් අනතුරු ව 2021 වර්ෂයේ දී පැවති FIFA අරාබි කුසලාන තරගාවලියේ තරග 6ක් පැවැත්වීමට ද මෙම ක්‍රීඩාංගනය භාවිත කළා. 40, 000 කට පමණ තරගයක් නැරඹීමට හැකි අල් තුමානා ක්‍රීඩාංගණය එරට අගනුවර වන දෝහා නගරයේ පිහිටා තිබෙනවා.

දෝහා අගනුවර පිහිටා ඇති අල් තුමානා ක්‍රීඩාංගණය – www.fourfourtwo.com

22 වන පාපන්දු ලෝක කුසලානය යටතේ අල් තුමානා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 8ක්. ඒ මූලික වටයේ තරග 6ක්, එක් 16 දෙනාගේ වටයේ තරගයක් හා එක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් වශයෙන්. කටාරයේ අග නුවර පිහිටා ඇති නිසා ම මෙම ක්‍රීඩාංගණය ඉදිරියේ දී බොහෝ පාපන්දු තරග සඳහා ද යොදා ගනු ඇතැයි අනුමාන කරනවා.

මූලික වටයේ දී අල් තුමානා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග

1. නොවැම්බර් 21 – සෙනගාලය සහ නෙදර්ලන්තය

2. නොවැම්බර් 23 – ස්පාඤ්ඤය සහ කොස්ටා රිකා

3. නොවැම්බර් 25 – කටාර් සහ සෙනගාලය

4. නොවැම්බර් 27 – බෙල්ජියම සහ මොරොක්කෝව

5. නොවැම්බර් 29 – ඉරානය සහ අමෙරිකාව

6. දෙසැම්බර් 01 – කැනඩාව සහ මොරොක්කෝව

4. 974 ක්‍රීඩාංගණය (Stadium 974)

මෙවර ලෝක කුසලානයේ වඩාත් අවධානයට පාත්‍ර වී තිබෙන ක්‍රීඩාංගණය මෙය බව පැවසීම වඩාත් නිවැරැදි යි. එයට හේතුව වන්නේ 974 ක්‍රීඩාංගණය තාවකාලික ක්‍රීඩාංගණයක් වීම යි. මෙය නිර්මාණය කොට තිබෙන්නේ කන්ටේනර් බහාලුම් 974 ක් භාවිත කොට වීම විශේෂත්වයක්. මේ නිසා ම එය Stadium 974 ලෙස හැඳින්වෙනවා. එය ලෝක කුසලානයෙන් අනතුරු ව නැවත ගලවා ඉවත් කර 2030 ලෝක කුසලානයට රැගෙන යාමට බලාපොරොත්තු වන බව ද වාර්තා වනවා.

කන්ටේනර් බහාලුම් 974 ක් මත නිමවුණු ක්‍රීඩාංගණය – www.fourfourtwo.com

2021 වර්ෂයේ නොවැම්බර් මස 30 වැනි දා විවෘත වූ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාව 40, 000ක්. එය කන්ටේනර් බහාලුම් 974 ක් ම භාවිත කිරීමට තවත් හේතුවක් වන්නේ කටාර් රාජ්‍යයේ නිල දුරකථන කේතය +974 වීම කිසා යි. එය ද ක්‍රීඩාංගණයට තවත් සුවිශේෂී බවක් එක් කරනවා. මෙම ක්‍රීඩාංගණය ලෝක කුසලානයේ තරග 7ක් පැවැත්වීමට දායකත්වය සපයනවා. එයට මූලික වටයේ තරග 6ක් සහ එක් 16 දෙනාගේ වටයේ තරගයක් අයත්.

මූලික වටයේ දී 974 ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග

1. නොවැම්බර් 22 – මෙක්සිකෝව සහ පෝලන්තය

2. නොවැම්බර් 24 – පෘතුගාලය සහ ඝානාව

3. නොවැම්බර් 26 – ප්‍රංශය සහ ඩෙන්මාර්කය

4. නොවැම්බර් 28 – බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය

5. නොවැම්බර් 30 – පෝලන්තය සහ ආර්ජන්ටිනාව

6. දෙසැම්බර් 02 – ස්විට්සර්ලන්තය සහ සර්බියාව

කන්ටේනර් බහාලුම් 974 ක් මත නිමවුණු ක්‍රීඩාංගණයේ ඇතුළත – www.youtube.com/c/KhelUpdates

5. කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (Khalifa International Stadium)

1976 වර්ෂයේ දී නිමවුණ මෙම ක්‍රීඩාංගණය ලෝක කුසලානය වෙනුවෙන් ම ප්‍රතිසංස්කරණය සිදු වුණා. 2014 වර්ෂයේ දී ආරම්භ වූ වැඩකටයුතු නිමා වූයේ 2017 වර්ෂයේදී යි. කටාර් පාපන්දු ඉතිහාසයේ වඩාත් සුවිශේෂී ස්ථානයක් මෙන් ම සුවිශේෂී මතක සටහන් ද මෙම කලීෆා ක්‍රීඩාංගණය සතු වනවා.

ලෝක කුසලාන තරග පැවැත්වෙන පැරණිත ම ක්‍රීඩාංගණය ද මෙම කලීෆා ක්‍රීඩාංගණයයි – www.fourfourtwo.com

45 416 කට ආසන පහසුකම් සහිත ක්‍රීඩාංගණය කටාර් හි අගනුවර වන දෝහා හි පිහිටා තිබෙනවා. අරාබි ගල්ෆ් කුසලානය, ආසියානු කුසලානය, පෑන් අරාබි කුසලානයට ආදී වැදගත් තරගාවලි ගණනාවකට ඉතිහාසය පුරාවට ම කලීෆා ක්‍රීඩාංගණය තම සත්කාරකත්වය ලබා දුන්නා. 2022 පාපන්දු ලෝක කුසලානය යටතේ එහි පැවැත්වෙන තරග සංඛ්‍යාව 8ක්. එයට මූලික වටයේ තරග 6ක්, අවසන් 16 දෙනාගේ වටයේ තරගයක් සහ තෙවන ස්ථානය තේරීමේ තරගය ද අයත් වනවා.

මූලික වටයේ දී කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග

1. නොවැම්බර් 21 – එංගලන්තය සහ ඉරානය

2. නොවැම්බර් 23 – ජර්මනිය සහ ජපානය

3. නොවැම්බර් 25 – නෙදර්ලන්තය සහ ඉක්වදෝරය

4. නොවැම්බර් 27 – ක්‍රොඒෂියාව සහ කැනඩාව

5. නොවැම්බර් 29 – ඉක්වදෝරය සහ සෙනගාලය

6. දෙසැම්බර් 01 – ජපානය සහ ස්පාඤ්ඤය

6. එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණය (Education City Stadium)

2016 වර්ෂයේ දී ඉදිකිරීම් කටයුතු ආරම්භ වූ මෙම ක්‍රීඩාංගණය ලෝක කුසලානය වෙනුවෙන් ම නවීකරණය වී අවසන් වුණේ 2020 වර්ෂයේ දී යි. එය 2020 ජූනි මස 15 වැනි දා නිල වශයෙන් කුසලානයට විවෘත කෙරුණා. ඊට ප්‍රථමයෙන් 2019 දී පැවති FIFA Club ලෝක කුසලාන අවසන් මහා තරගයේ සත්කාරකත්වය ලබා ගැනීමට එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණය සූදානම් වී සිටිය ද වැඩ නිම වී නොතිබීම නිසා එම තරගය කලීෆා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

අලංකාර එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණය -www.fourfourtwo.com

45,350 ක පමණ ප්‍රේක්ෂක ධාරිතාවක් හිමි මෙහි ලෝක කුසලාන තරගාවලියේ තරඟ 8ක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙනවා. ඒ යටතට මූලික වටයේ තරග 6ක්, එක් 16 දෙනාගේ වටයේ තරගයක් හා එක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් අයත්.

මූලික වටයේ දී එඩියුකේෂන් සිටි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග

1. නොවැම්බර් 22 – ඩෙන්මාර්කය සහ ටියුනීසියාව

2. නොවැම්බර් 24 – උරුගුවේ සහ දකුණු කොරියාව

3. නොවැම්බර් 26 – පෝලන්තය සහ සෞදි අරාබිය

4. නොවැම්බර් 28 – දකුණු කොරියාව සහ ඝානාව

5. නොවැම්බර් 30 – ටියුනීසියාව සහ ප්‍රංශය

6. දෙසැම්බර් 02 – දකුණු කොරියාව සහ පෘතුගාලය

7. අහමඩ් බින් අලී ක්‍රීඩාංගණය (Ahmad Bin Ali Stadium)

2003 වසරේ සිට කටාර් රාජ්‍යයේ පැවති මෙම ක්‍රීඩාංගණය ලෝක කුසලානය ඉලක්ක කර ගෙන 2016 දී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළා. එලෙස නැවත සැකසූ අහමඩ් බින් අලී ක්‍රීඩාංගණය 2020 දෙසැම්බර් මස 18 වැනි දා විවෘත කළා. එය විවෘත කළේ කටාර් රාජ්‍යයේ ජාතික දිනය දා වීම ද විශේෂත්වයක්.

අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේ ඉතිහාසය 2003 වසර දක්වා ඈතට දිව යනවා – www.fourfourtwo.com

මෙවර ලෝක කුසලානය යටතේ තරග 7 ක සත්කාරකත්වය අහමඩ් බින් අලී ක්‍රීඩාංගණය දැරීමට සූදානමින් පසු වනවා. එයට මූලික වටයේ තරග 6ක් සහ එක් 16 දෙනාගේ වටයේ තරගයක් ද අයත්.ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාව 44 740 ක් ලෙසින් සටහන් වුණා.

මූලික වටයේ දී අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග

1. නොවැම්බර් 21 – අමෙරිකාව සහ වේල්සය

2. නොවැම්බර් 23 – බෙල්ජියම සහ කැනඩාව

3. නොවැම්බර් 25 – වේල්සය සහ ඉරානය

4. නොවැම්බර් 27 – ජපානය සහ කොස්ටා රිකා

5. නොවැම්බර් 29 – එංගලන්තය සහ වේල්සය

6. දෙසැම්බර් 01 – ක්‍රොඒෂියාව සහ බෙල්ජියම

8. අල් ජනොබ් ක්‍රීඩාංගණය (Al-Janoub Stadium)

මෙම ලිපියෙන් කතා කරන අවසන් ක්‍රීඩාංගණය වන්නේ මෙම අල් ජනොබ් ක්‍රීඩාංගණය යි. පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් ම 2014 වර්ෂයේ දී ඉදිකිරීම් කටයුතු අරඹා මෙය 2019 මැයි 16 වැනි දා විවෘත කළා. 2021 FIFA අරාබි කුසලාන තරග 6ක්, අරාබි ගල්ෆ් කුසලානය මෙන් ම 2020 AFC චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගයටත් මේ වන විට අල් ජනොබ් ක්‍රීඩාංගණය සත්කාරක දායකත්වය ලබා දී තිබෙනවා.

අලුතෙන් ම ඉදි කළ අල් ජනොබ් ක්‍රීඩාංගණය – www.fourfourtwo.com

40 000 ක ප්‍රේක්ෂක ධාරිතාවයක් සහිත ක්‍රීඩාංගනයේ 2022 ලෝක කුසලානය යටතේ පැවැත්වීමට නියමිත තරඟ සංඛ්‍යාව 7ක්. එයට මූලික වටයේ තරඟ 6ක් සහ එක් 16 දෙනාගේ වටයේ තරඟයක් අයත් වනවා.

මූලික වටයේ දී අල් ජනොබ් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරග

1. නොවැම්බර් 22 – ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව

2. නොවැම්බර් 24 – ස්විට්සර්ලන්තය සහ කැමරූනය

3. නොවැම්බර් 26 – ටියුනීසියාව සහ ඕස්ට්‍රේලියාව

4. නොවැම්බර් 28 – කැමරූනය සහ සර්බියාව

5. නොවැම්බර් 30 – ඕස්ට්‍රේලියාව සහ ඩෙන්මාර්කය

6. දෙසැම්බර් 02 – ඝානාව සහ උරුගුවේ

කවරයේ ඡායාරූපය - 2022 පාපන්දු ලෝක කුසලානය සඳහා භාවිතා කරන සියලු ක්‍රීඩාංගණ -www.timeoutabudhabi.com
මූලාශ්‍ර :
www.fifa.com
www.stadiumguide.com
www.qatar2022.qa.com

Related Articles