Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාවේ අවාසනාව

ක්‍රිකට් ලොවේ ඉතා පෙරළිකාර කණ්ඩායමක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම ඉහළින්ම සැලකෙනවා. වර්ණභේදවාදය නිසා වසර ගණනාවක්ම ජාත්‍යන්තර ක්‍රිකට් තහනම්ව සිටි දකුණු අප්‍රිකාව, එක්දින ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට පටන් ගත්තේ 1990 දශකය ආරම්භයේදීම එම තහනම ඉවත් කළ පසු යි. එතැන් පටන් ජගත් එක්දින තරග වල දී ඔවුන් ප්‍රකට කළ දක්ෂතාවයන් අති මහත්.

දකුණු අප්‍රිකා කණ්ඩායම පසුගිය 27 වසර පුරාම ජගත් එක්දින පිටිය තුළ කෙතරම් පෙරළි කළා ද කිවහොත්, මේ වන විට එක්දින ලෝක කුසලාන කිහිපයකම හිමිකාරීත්වය ලබාගැනීමට තරම් දක්ෂතාවක් ඔවුන් තුළ තිබුණා. කෙසේ නමුත් එවැනි අවස්ථා කිහිපයක්ම ඔවුන් තුළින් ගිලිහී ගියේ ඉතාමත් අවාසනාවන්ත ආකාරයට යි. මේ සමහර සිදුවීම් විමසා බලන විට එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි වල දී ඔවුන් තරම් අවාසනාවන්ත වූ කණ්ඩායමක් තවත් නැතැයි කීමේ  කිසිදු වරදක් නැහැ.

1992

ESPN cricinfo

1992 වසරේ දී ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල සත්කාරකත්වයෙන් 5 වන ලෝක කුසලානය ඇරඹෙනවා. මෙය දකුණු අප්‍රිකා කණ්ඩායම සහභාගී වූ පළමු ලෝක කුසලානය යි. වසර විස්සක් ජාත්‍යන්තර ක්‍රිකට් තහනම්ව සිටිය ද සිය හැකියාවන්හි කිසිදු අඩුවක් නොමැති බව පෙන්වමින්, කෙප්ලර් වෙසල්ස්ගේ නායකත්වයෙන් යුතු පෙරළිකාර දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටය කරා පැමිණෙනවා. මෙහි දී ඔවුනට හමුවන්නේ එංගලන්තය යි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති මේ තරගය වර්ෂාව හේතුවෙන් ඕවර 45කට සීමා වූ අතර මුලින් පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 252ක ඉලක්කයක් දකුණු අප්‍රිකානුවන්ට ලබා දෙන අතර ඔවුන් එය සාර්ථකව හඹායන සෙයක් දිස් වුණා. කෙසේ වෙතත් ජයග්‍රහණයට ලකුණු 22ක් තිබිය දී නැවත වර්ෂාව ඇද හැලෙනවා. මේ වන විට දකුණු අප්‍රිකාවට සිය ඉලක්කය ලබා ගැනීමට පන්දු 13ක් ඉතිරිව තිබුණා.

1992 වසර වන විට ඩක්වත් ලුවිස් න්‍යාය හඳුන්වා දී නොතිබූ අතර වර්ෂාවෙන් අහිමි වූ කාලයට පන්දු ඕවර අඩුකර, ඊට අනුරූපව ප්‍රතිවාදී ඉනිමේ අඩුවෙන්ම ලකුණු රැස් කළ ඕවර වල ලකුණු අඩු කර ඉලක්කය නැවත සැකසීම සිදු වූවා. මේ අනුව වර්ෂාව නතර වන විට තරගයේ පන්දු ඕවර දෙකක් අහිමිව තිබූ අතර දකුණු අප්‍රිකාවට ලකුණු රැස් කිරීමට ඉතිරිව තිබුණේ එක් පන්දුවක් පමණ යි. ඔවුන්ගේ අවාසනාවට එංගලන්තය නිලකුණු ඕවරයක් හා එක් ලකුණක් පමණක් රැස් කළ ඕවරයක් ක්‍රීඩා කර තිබූ අතර ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාවට ලකුණු 21ක් අවශ්‍යව තිබුණා. එයා සපුරාගත නොහැකි ඉලක්කයක් වූ බැවින් ඉතා අවාසනාවන්ත ලෙස දකුණු අප්‍රිකාවට සිය පළමු ලෝක කුසලාන චාරිකාව නිමා කරන්නට සිදු වුණා.

1996

Mike Hewitt/ Getty Images

දකුණු ආසියාවේ පැවති 6 වන හෙවත් 1996 ලෝක කුසලානය ශ්‍රී ලාංකිකයින්ට නම් ස්වර්ණමය මතකයන් රැගත් එකක් වෙන්නේ ශ්‍රී ලංකාව ලෝක ශූරයින් වීම නිසා යි. කෙසේ නමුත් දකුණු අප්‍රිකාවට නම් මේ තරගාවලියේත් ඇත්තේ අඳුරු මතකයක්.

තරගාවලියේ මූලික වටයේ දී හොඳින්ම ක්‍රීඩා කළ හැන්සි ක්‍රොන්යේ ගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්නේ අපරාජිතව යි. අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුනට කොදෙව්වන් මුණගැසෙන අතර, මෙවර ඔවුන්ගේ ගමනට හරස් කපන්නේ විශිෂ්ට ශතකයක් රැස් කළ බ්‍රයන් ලාරා හා  කොදෙව් දඟ පන්දුව යි. පෙර වතාවේ දී මෙන් අවාසනාවන්ත සිද්ධියක් සිදු නොවුණත් අවසානයේ ලකුණු 19ක පරාජයක් උරුම කරගනිමින් නිවෙස් බලා යන්නට දකුණු අප්‍රිකානුවන්ට සිදු වෙනවා.

1999

sportskeeda.com

දකුණු අප්‍රිකාව තවත් ‘ඉතා අවාසනාවන්ත’ සිද්ධියකට මුහුණ පාන්නේ එංගලන්තයේ පැවති 7 වන එක්දින ලෝක කුසලානයේ දී යි. මෙය දිනාගනීවියැ යි විශ්වාස කළ කණ්ඩායම් අතර දකුණු අප්‍රිකාව ඉදිරියෙන්ම සිටියා. එවර දකුණු අප්‍රිකා කණ්ඩායම ඉතා සමබර මෙන්ම ප්‍රබලම එකක් වී තිබුණා.

සියළු දෙනා අපේක්ෂා කළ අන්දමට මූලික වටය හා සුපිරි 6 වටය සාර්ථකව නිමා කළ දකුණු අප්‍රිකාව එජ්බැස්ටන්හි දී ඕස්ට්‍රේලියාව මුණගැසුණේ අවසන් පූර්ව තරගය සඳහා යි. දකුණු අප්‍රිකාව මෙයත් පහසුවෙන් ජයගන්නා බවක් පෙනෙන්නට වූයේ මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව ලකුණු 213කට සීමා වීම නිසා යි. කෙසේ නමුත් පිළිතුරු ඉණිම දියත් කළ දකුණු අප්‍රිකාවට සිතූ ලෙසින් ජයග්‍රාහී ඉලක්කයට ළඟාවීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ. දකුණු අප්‍රිකාවේ කඩුළු 9ක්ම බිඳ හෙළන්නට ඔවුන් සමත් වෙනවා.

දකුණු අප්‍රිකා ඉණිමේ අවසන් ඕවරය එලැඹෙන විට ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 9ක් අවශ්‍යව තිබූ අතර අතැතිව සිටියේ එක් කඩුල්ලක් පමණයි. කෙසේ නමුත් එම තරගවාරයේ ඔවුන්ගේ සාර්ථකම පිතිකරු ලාන්ස් ක්ලූස්නර් පිතිකරණ අන්තයේ රැඳී සිටීම ඔවුන්ට අස්වැසිල්ලක් වුණා. අවසාන ඕවරයේ පළමු පන්දු 2ට 4 පහර දෙකක් එල්ල කොට ක්ලූස්නර් ලකුණු සම කළත්, එම ඕවරයේ සිව්වන පන්දුවේ දී අනෙක් අන්තයේ රැඳී සිටි ඇලන් ඩොනල්ඩ් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. අවසන් තරගයට සහභාගී වන කණ්ඩායම තේරීමට සුපිරි වටයේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේ ජයග්‍රාහකයින්ට පිරිනැමීමට තීරණය කෙරුණු අතර, එය ඕස්ට්‍රේලියාව දිනා තිබූ නිසා ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

2003

Shaun Botterill/Getty Images

සිය රටෙහිදීම පැවති 8 වන ලෝක කුසලානයත් දකුණු අප්‍රිකානුවන්ට අමිහිරි මතකයක් ගෙන දුන් එකක් වුණා. ඩර්බන් හි ශ්‍රී ලංකාව සමග පැවති මූලික වටයේ තරගය ඔවුන් විසින් අත්‍යවශ්‍ය ලෙසම ජයගත යුතුව තිබුණේ එසේ නොමැති වුවහොත් ඔවුන් තරගාවලියෙන් ඉවත් වන නිසා යි.

මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 269ක් ලබා ගත් අතර එය හඹාගිය දකුණු අප්‍රිකා ඉණිම අතරතුර වැසි වැටෙනවා. තරගය ඕවර 45කට මේ නිසා සීමා වන අතර ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ‘ජයග්‍රහණයේ සීමාකාරී ලකුණ’ ලෙස 229 සඳහන් කෙරෙනවා. කෙසේ නමුත් එය ජයග්‍රාහී ඉළක්කය ලෙස වැරදියට වටහා ගන්නා (ජයග්‍රාහී ඉළක්කය 230) දකුණු අප්‍රිකා නායකත්වය හා පුහුණුකරුවන් වැසි වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී පන්දුවට පහර දෙමින් සිටි මාක් බවුචර්ට හා ලාන්ස් ක්ලූස්නර්ට උපදෙස් දෙන්නේ ලකුණු 229 ලබාගෙන සිය කඩුළු ද්විත්වය ආරක්ෂා කරගන්නා ලෙස යි. ඔවුන් එය පැවසූ ලෙසම සිදු කරන අතර තරගයේ යවන්නට හැකියාව ලැබුණු අවසන් පන්දුව හෙවත් 45 වන ඕවරයේ අවසන් පන්දුව යවන විට ලකුණු 229 ලබා සිටි හෙයින් බවුචර් ආරක්ෂාකාරී පහරක් එල්ල කොට සිය කඩුල්ල රැකගන්නවා. එවිටම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන අතර එමඟින් ලකුණු සමවීම පමණක් සිදුවූවා. එය දකුණු අප්‍රිකාවට ඉදිරියට යන්නට ප්‍රමාණවත් වූවේ නැහැ.

2007

Adrian Dennis/ Getty Images

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවති 9 වන ලෝක කුසලානයේ දී දකුණු අප්‍රිකාව මෙහෙයවූයේ ග්‍රැහැම් ස්මිත් නම් තරුණ නායකයා යි. තරගාවලියේ මූලික අදියර සාර්ථකව නිමාකර අවසන් පූර්ව වටයට ළඟා වීමට ඔවුනට හැකි වෙනවා.

ශාන්ත ලුසියාහි පැවති අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාවට මුණ ගැසෙන්නේ ඕස්ට්‍රේලියා වයි. 2003 ලෝක ශූරයන් හමුවේ දියාරු තරග රටාවක් දියත් කළ ඔවුන් ලකුණු 149කට සීමා වන අතර ඕස්ට්‍රේලියාව පහසුවෙන් එම ඉළක්කය හඹා යනවා. ඕස්ට්‍රේලියාව අවසන් තරගයට සුදුසුකම් ලබද්දී දකුණු අප්‍රිකාවට කදමළු බැඳගෙන නිවෙස් බලා යාමට සිදු වෙනවා.

2011

EPA

දසවන ලෝක කුසලාන තරගාවලිය නැවතත් දකුණු ආසියාවේ පැවැත්වුණු අතර මෙවර ද දකුණු අප්‍රිකාව මූලික වටය හොඳින් ක්‍රීඩා කර, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. ධකා හි පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී ඔවුන් මුණ ගැසෙන්නේ නවසීලන්තය යි.

මුලින් පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 221කට සීමා වන අතර බොහෝ දෙනා අනුමාන කළේ දකුණු අප්‍රිකාව බොහෝ පහසුවෙන් එය හඹා යනු ඇත කියා යි. කෙසේ නමුත් ඔවුන් ලකුණු 172කට සීමා වන්නේ ලෝක කුසලාන බලාපොරොත්තු නැවත වරක් සුණු විසුණු කරගනිමින්.

2015

Hannah Peters/Getty Images AsiaPac

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයේදී පැවති 11 වන හෙවත් 2015 එක්දින ලෝක කුසලානයේ මූලික වට වල දී නැවත වරක් දකුණු අප්‍රිකාව හොඳ දස්කම් දක්වනවා. මෙහි දී දකුණු අප්‍රිකාව සිය අවාසනාවන්ත අතීතයේ අඳුරු මතක දුරලාගන්නා සෙයක් දිස් වූයේ ප්‍රථම වතාවට ඔවුන් ලෝක කුසලානයක පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ජයග්‍රහණය කිරීම නිසා යි. පසුගිය වර අනුශූරයින් වූ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව විසින් අර්ධ අවසන් පූර්ව තරගයේදී පරාජය කරන අතර ඔවුනට අවසන් පූර්ව වටයේ දී ඕක්ලන්ඩ්හි දී මුණ ගැසෙන්නේ සත්කාරක නවසීලන්තයයි.

වෙනදාට වඩා මෙවර දකුණු අප්‍රිකාවට වැඩි අවස්ථාවක් ඇතැයි විචාරකයින් ප්‍රකාශ කළේ නවසීලන්තය ද කිසිම දිනෙක ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබා නොතිබූ නිසා යි. එය සාක්ෂාත් කරමින් මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව හොඳ ලකුණු සංඛ්‍යාවක් වන 281ක් ලබා ගන්නවා. දකුණු අප්‍රිකා ඉණිම අතරමඟදී වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා ඔවුන් පන්දුවට පහර දී තිබුණේ ඕවර 43ක් පමණක් බැවින් එය ඉතා තරගකාරී ලකුණු සංඛ්‍යාවක් වුණා.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව නවසීලන්තයට ලකුණු 298ක ජයග්‍රාහී ඉළක්කයක් ලැබුණු අතර එය ඉතා අපහසු එකක් සේ දිස් වුණා. නමුත් අවශ්‍යම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ නවසීලන්ත පිතිකරුවන් විශිෂ්ට ලෙස පන්දුවට පහර දී ජයග්‍රාහී ඉළක්කය පසු කර යන්නේ දකුණු අප්‍රිකානුවන්ගේ ලෝක කුසලාන සිහිනය තව දුරටත් සිහිනයක්ම කරමින්. තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ දී දෙපසටම ජය දෝලනය වූ අතර අවසානයේ එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබිය දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට නවසීලන්ත පිතිකරු ග්‍රාන්ට් එලියට්ට හැකියාව ලැබෙනවා. සුපුරුදු පරිදි දකුණු අප්‍රිකාව සිය මව් රට බලා පැමිණෙනවා.

දොළොස්වන හෙවත් 2019 ලෝක කුසලානයට තවත් ඇත්තේ වසරක පමණ කාලයකුයි. සුපුරුදු පරිදි මේ වතාවේත් දකුණු අප්‍රිකාව සතුව සමබර හා අතිදක්ෂ කණ්ඩායමක් සිටිනවා. මේ වතාවේ ඔවුන්ගේ ඉරණම කුමක්වේදැ යි ලොව පුරා ක්‍රිකට් රසිකයන් බලා සිටිනවා.

කවරයේ පින්තූරය -tsmplug.com

Related Articles