Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුරෝපා පාපන්දු සමාජවල රජ කළ දකුණු ඇමරිකානු පාපන්දු තරු

මෙතෙක් පාපන්දු පිටිය තුළ දක්නට ලැබුණු සුපිරිම තරු බිහි වුණේ යුරෝපා සහ දකුණු ඇමරිකා මහද්වීප ආශ්‍රිතව යි. එම නිසාම පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට පවා ප්‍රබල ලෙස සටන් කරන්නේ මෙම මහද්වීප දෙකට අයත් රටවල් සමූහය යි. ජාත්‍යන්තර පාපන්දු පිටියේ දී දකුණු ඇමරිකානු රටවල් ප්‍රබල ලෙස තරග කළත්, එම රටවල්වලට අයත් වන පාපන්දු සමාජ යුරෝපා පාපන්දු සමාජ තරම් ධනවත් නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු ඇමරිකානු රටවල පාපන්දු ක්‍රීඩකයන් යුරෝපා පාපන්දු ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ අතීතයේ සිටම යි. 

ලියොනල් මෙසී- ආජන්ටිනාව 

ආජන්ටිනාවෙන් බිහි වුණු සුපිරිම පාපන්දු තරුවක් වන ලියොනල් මෙසී, 2004 වසරේ සිට ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. එහි දී තරග 703ක් සඳහා සහභාගි වුණු මෙසී, ගෝල 617ක් ලබාගෙන තිබෙන්නේ සුපිරි දස්කම් දක්වමින්. එසේම බාර්සිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ත්‍රිත්ව ගෝල 47ක් ලබාගත් මෙසී, ඉන් 35ක් ම ලබාගත්තේ ස්පාඤ්ඤ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දී යි. එලෙස බාර්සිලෝනා කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙකු වුණු මෙසී යුරෝපයේ පාපන්දු සමාජ අතර පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ දී ද සුපිරි දස්කම් දක්වා තිබෙනවා. එහි දී බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් ගෝල 114ක් ලබාගත් මෙසී, එම තරගාවලි ඉතිහාසය තුළ දෙවැනියට වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා. 

මෙසී බාසිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කරමින් (gettyimages)

ඇල්ෆ්රෙඩෝ ඩි ස්ටෙෆානෝ- ආජන්ටිනාව 

ආජන්ටිනාවේ උපත ලැබූ ස්ටෙෆානෝ මුල් යුගයේ දී ක්‍රීඩා කළේ ආජන්ටිනාවේ රිවර් ප්ලේට් ක්‍රීඩා සමාජයට යි. නමුත්, පසු යුගයේ දී ස්පාඤ්ඤ පුරවැසිභාවය ලබාගත් ස්ටෙෆානෝ අනතුරුව ස්පාඤ්ඤයේ රියල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. එහි දී තරග 396ක් සඳහා සහභාගි වුණු ස්ටෙෆානෝ ගෝල 308ක් ලබාගෙන තිබෙනවා. එලෙස සුපිරි දස්කම් දැක්වූ ස්ටෙෆානෝ 1956-1960 දක්වා පැවති සෑම යුරෝපා පාපන්දු ක්‍රීඩා සමාජ කුසලාන අවසන් තරගයක දී ම ගෝල ලබාගත්තේ රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමට ශූරතාවය දිනාගැනීමට දායකත්වය ලබාදෙමින්. එසේම රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම වෙනුවෙන් Ballon d’or සම්මානය දිනාගත් මුල්ම ක්‍රීඩකයා වීමේ ගෞරවය දිනාගත්තේත් ඇල්ෆ්රෙඩෝ ඩි ස්ටෙෆානෝ නම් සුපිරි තරුව යි. ස්ටෙෆානෝ 1957 වසරේ දී එම සම්මානය දිනාගත්තේ රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම වෙනුවෙන් දැක්වූ සුපිරි දස්කම් නිසා යි.

ස්ටෙෆානෝ රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම පිට පිටම ලබාගත් කුසලාන 5 සමග (gettyimages)

සර්ජියෝ ඇගියුරෝ- ආජන්ටිනාව 

ආජන්ටිනාවෙන් බිහි වුණු තවත් සුපිරි ප්‍රහාරකයෙකු වන ඇගියුරෝ මැංචෙස්ටර් සිටි සහ ඇත්ලෙටිකෝ මැඩ්‍රිඩ් යන ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කළා. නමුත් එහි දී ඔහු වැඩිම කාලයක් ක්‍රීඩා කළේ මැංචෙස්ටර් සිටි කණ්ඩායමට යි. එම කාලසමය තුළ මැංචෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් තරග 300ක් ක්‍රීඩා කළ ඇගියුරෝ, එහි දී  ගෝල 244ක් ලබාගත්තේ සුපිරි දස්කම් දක්වමින්. එසේම එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ගෝල 173ක් ලබාගෙන ඇති ඇගියුරෝ තරගාවලි ඉතිහාසය තුළ වැඩිම ගෝල ලබාගත් විදෙස් ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. ඇගියුරෝ එලෙස දෙවන ස්ථානය ලබාගන්නා විට එම ලැයිස්තුවේ පළමු ස්ථානය දිනාගෙන සිටින්නේ ගෝල 175ක් ලබාගත් ප්‍රංශ ක්‍රීඩක තියරි හෙන්රි යි.

ඇගියුරෝ මැංචෙස්ටර් සිටි කණ්ඩායම නියෝජනය කරමින් (gettyimages)

ලුයිස් සුආරෙස්- උරුගුවේ 

උරුගුවේ දේශයෙන් බිහි වුණු පාපන්දු ක්‍රීඩකයෙකු වන සුආරෙස් අයැක්ස්, ලිවර්පූල් සහ බාර්සිලෝනා යන පාපන්දු ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කළා. එහි දී අයැක්ස් සහ ලිවර්පූල් කණ්ඩායම් නියෝජනය කරමින් දස්කම් දැක්වීමට සුආරෙස්ට හැකියාව ලැබුණත්, ඔහු වැඩි කාලයක් ක්‍රීඩා කළේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායමට යි. එසේ නම් එම කාලසමය තුළ සුආරෙස් ඉහත ක්‍රීඩා සමාජ තුනට ක්‍රීඩා කරමින් දස්කම් දැක්වූයේ මෙසේ යි. 

බාර්සිලෝනා- ගෝල 189 (තරග 254)

අයැක්ස්- ගෝල 111 (තරග 159)

ලිවර්පූල්- ගෝල 82 (තරග 125) 

සුවාරෙස් බාර්සිලෝනා කණ්ඩායම නියෝජනය කරමින් (gettyimages)

රොනාල්ඩෝ- බ්‍රසීලය 

පාපන්දුවලට ප්‍රසිද්ධ බ්‍රසීලයෙන් බිහි වුණු සුපිරිම පාපන්දු තරුවක් වන රොනාල්ඩෝ, යුරෝපයේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජ කිහිපයක් සඳහා ම ක්‍රීඩා කළා. එහි දී එම පාපන්දු ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරමින් සුපිරි දස්කම් දැක්වූ රොනාල්ඩෝ එක් එක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල ලබාගත්තේ මෙසේ යි.

රියල් මැඩ්‍රිඩ්- ගෝල 98 (තරග 150)

ඉන්ටර් මිලාන්- ගෝල 49 (තරග 68)

බාර්සිලෝනා- ගෝල 47 (තරග 49)

PSV Eindhoven- ගෝල 42 (තරග 46) 

රොනාල්ඩෝ රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම වෙනුවෙන් තරග කරමින් (gettyimages)

රිවාල්ඩෝ- බ්‍රසීලය 

බ්‍රසීලයෙන් බිහි වුණු තවත් සුපිරි පාපන්දු තරුවක් වුණු රිවාල්ඩෝ වැඩි කාලයක් ක්‍රීඩා කළේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ක්‍රීඩා සමාජය සඳහා යි. එම කාලය අතරතුර තරග 235ක් වෙනුවෙන් බාර්සිලෝනා කණ්ඩායම නියෝජනය කළ රිවාල්ඩෝ එහි දී ගෝල 130ක් වාර්තා කළා. 

 රිවාල්ඩෝ බාර්සිලෝනා කණ්ඩායම නියෝජනය කරමින් (gettyimages)

දියාගෝ මැරඩෝනා- ආජන්ටිනාව 

ආජන්ටිනාවට 1986 පාපන්දු ලෝක කුසලානය දිනා දුන් නායකයා වුණු දියාගෝ මැරඩෝනා, දිගු කලක් ක්‍රීඩා කළේ ඉතාලියේ නැපොලි ක්‍රීඩා සමාජයට යි. එහි දී නැපොලි කණ්ඩායම වෙනුවෙන් තරග 259ක් ක්‍රීඩා කළ මැරඩෝනා, එහි දී ගෝල 115ක් ලබාගැනීමට සමත් වුණා. නැපොලි කණ්ඩායම යුරෝපා ක්‍රීඩා සමාජ පාපන්දු ශූරතාවය දිනාගෙන තිබෙන්නේ 1988/1989 තරගාවලියේ දී පමණ යි. එහි දී නැපොලි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මැරඩෝනා අවසන් තරගයේ දී ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා.

මැරඩෝනා නැපොලි  කණ්ඩායම වෙනුවෙන් තරග කරමින් (gettyimages)

එඩින්සන් කවානි- උරුගුවේ 

උරුගුවේ දේශයෙන් බිහි වුණු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු වූ කවානි ඉතාලියේ නැපොලි සහ ප්‍රංශයේ PSG යන ක්‍රීඩා සමාජ වෙනුවෙන් සිය දායකත්වය ලබා දී තිබෙනවා. එහි දී PSG කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දක්වා ඇති කවානි එම සමාජය වෙනුවෙන් වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා ලෙසින් වාර්තා අතරට එක්ව සිටිනවා. එසේ නම් පහත දැක්වෙන්නේ කවානි නැපොලි සහ PSG ක්‍රීඩා සමාජ වෙනුවෙන් දස්කම් දක්වා තිබෙන ආකාරය යි.

PSG- ගෝල 196 (තරග 289)

නැපොලි- ගෝල 95 (තරග 116)

කවානි PSG කණ්ඩායම වෙනුවෙන් තරග කරමින් (gettyimages)

ගේබ්‍රියල් බැටිස්ටුටා- ආජන්ටිනාව

ආජන්ටිනාව නියෝජනය කළ දක්ෂ ප්‍රහාරකයෙකු වුණු ගේබ්‍රියල් බැටිස්ටුටා, ඉතාලියේ ෆියොරෙන්ටිනා පාපන්දු ක්‍රීඩා සමාජය සඳහා වසර 8ක් පමණ තරග කළා. එහි දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණු බැටිස්ටුටා ගෝල 168ක් වාර්තා කළේ තරග 269කට සහභාගි වෙමින්.

බැටිස්ටුටා ෆියොරෙන්ටිනා කණ්ඩායම වෙනුවෙන් තරග කරමින් (gettyimages)

රොමාරියෝ- බ්‍රසීලය 

බ්‍රසීලයට 1994 පාපන්දු ලෝක කුසලානය දිනා දීම සඳහා විශාල මෙහෙයක් කළේ රොමාරියෝ නම් සුපිරි තරුව යි. මොහු සිය පාපන්දු දිවිය තුළ දී PSV Eindhoven සහ බාර්සිලෝනා යන යුරෝපීය කණ්ඩායම් දෙකට ක්‍රීඩා කළා. එහි දී ඔහු එම කණ්ඩායම් වෙනුවෙන් ගෝල ලබාගත්තේ පහත දැක්වෙන ආකාරයට යි.

PSV Eindhoven- ගෝල 98 (තරග 109) 

බාර්සිලෝනා- ගෝල 34 (තරග 46)

රොමාරියෝ PSV Eindhoven කණ්ඩායම වෙනුවෙන් තරග කරමින් (gettyimages)

ගොන්සාලෝ හිගුඒන්- ආජන්ටිනාව  

ප්‍රංශයේ දී උපත ලැබූ හිගුඒන් ජාත්‍යන්තර තරගවල දී නියෝජනය කළේ ආජන්ටිනා කණ්ඩායම යි. එලෙස ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කළ හිගුඒන් රියල් මැඩ්‍රිඩ්, නැපොලි සහ යුවෙන්ටස් යන යුරෝපා පාපන්දු ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කළා. එහි දී ඔහු ගෝල ලබාගත්තේ පහත ආකාරයට යි.

රියල් මැඩ්‍රිඩ්- ගෝල 107 (තරග 190)

නැපොලි- ගෝල 71 (තරග 104)

යුවෙන්ටස්- ගෝල 44 (තරග 87)

හිගුඒන් රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම වෙනුවෙන් තරග කරමින් (gettyimages)

මාරියෝ කෙම්පස්- ආජන්ටිනාව 

1978 වසරේ දී ආජන්ටිනාව මුල්මවරට පාපන්දු ලෝක කුසලානය දිනාගත්තේ මාරියෝ කෙම්පස් විසින් දැක්වූ සුපිරි දස්කම් නිසා යි. එලෙස ජාත්‍යන්තර පාපන්දු පිටියේ සුපිරි තරුවක් ලෙසින් බැබළුණු මෙම ක්‍රීඩකයා ස්පාඤ්ඤයේ වැලෙන්සියා පාපන්දු ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. එහි දී තරග 247ක් ක්‍රීඩා කළ කෙම්පස් ගෝල 146ක් ලබාගැනීමට සමත් වුණා.

කෙම්පස් වැලෙන්සියා කණ්ඩායම වෙනුවෙන් තරග කරමින් (gettyimages)

මෙම ක්‍රීඩකයන්ට අමතරව රොනාල්ඩීනියෝ, කාකා, හර්නන් ක්‍රෙස්පෝ, රොබාර්ටෝ කාලෝස්, නෙයිමාර්, තියාගෝ සිල්වා, ඩැනී අල්වේස්, දියාගෝ ෆෝර්ලාන්, ඒන්ජල් ඩි මරියා වැනි සුපිරි දකුණු ඇමරිකානු පාපන්දු තරු යුරෝපා පාපන්දු වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. එලෙස දකුණු ඇමරිකානු පාපන්දු ක්‍රීඩකයන් යුරෝපා පාපන්දු තරගාවලිවලට එක්වීම නිසා එහි තරගකාරී බව මෙන්ම ගුණාත්මක බවත් වැඩි වී තිබෙන බව අවසන් වශයෙන් සිහිපත් කළ යුතු යි.

කවරයේ ඡායාරූපය- බාර්සිලෝනා කණ්ඩායමේ සුපිරි තරුව මෙසී (gettyimages) 

Related Articles