Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් ඉතිහාසයේ දකුණු ආසියානු සලකුණ

ටෝකියෝ ඔලිම්පික් උළෙල ආරම්භ වෙන්න ඉතිරිව තිබෙන්නේ තව දිනක කාලයක්. මේ දවස්වල ගොඩක් උදවිය ඔලිම්පික් ඉතිහාසය පිළිබඳ ව සොයා බලන්නට උනන්දු වෙනවා. Roar සිංහල පාඨකයන් වන ඔබ ද ඔලිම්පික් ඉතිහාසය පිළිබඳ  තොරතුරු දැනගැනීමට කැමැත්තෙන් සිටින බව අප හොඳින් ම දන්නවා.  මෙම ලිපිය දිගහැරෙන්නේ ඔලිම්පික් උළෙල ඉතිහාසයේ දී දකුණු ආසියානු රටවල් දැක් වූ දස්කම් පිළිබඳව යි. 

 ඉන්දියාව- (රන්-9, රිදී- 7, ලෝකඩ- 12)

1900 වසරේ සිට ඔලිම්පික් උළෙල නියෝජනය කරන ඉන්දියාව මේ වන විට ඔලිම්පික් තරගාවලි 25කට සහභාගි වී තිබෙනවා. එහි දී ඉන්දියානුවන් 1920 වසරේ සිට ඔලිම්පික් උළෙල අඛණ්ඩව  නියෝජනය කිරීම විශේෂත්වයක්. එහි දී ඉන්දියාව පදක්කම් සටහනේ ඉහළ ම ස්ථානය දිනාගැනීමට සමත් වුණේ 1900 පැරිස් ඔලිම්පික් උළෙලේ දීයි. එදා නෝමන් ප්‍රිට්චාඩ් නම් ක්‍රීඩකයා මීටර් 200 සහ මීටර් 200 කඩුලු පැනීම යන ඉසව් ද්විත්වයෙන් ලබා ගත් රිදී පදක්කම් යුගළ නිසා ඉන්දියාව සමස්ත පදක්කම් සටහනේ 17 වන ස්ථානය දිනා ගත්තා.

නෝමන් ප්‍රිට්චාඩ්
නෝමන් ප්‍රිට්චාඩ් – thehansindia.com

ඉන්දියානුවන් ඔලිම්පික් ඉතිහාසයේ දී ලබාගත් රන් පදක්කම් 9න් 8ක් ම පිරිමි හොකී කණ්ඩායම දිනා ගෙන තිබීම සුවිශේෂී සිදුවීමක්. එහි දී ඔවුන් 1928-1956 කාල සමයේ පැවති ඔලිම්පික් තරගාවලිවල දී පිට පිටම හය වතාවක් හොකී රන් පදක්කම ලබාගැනීම අමතක නො වන සිදුවීමක්. ඊට අමතර ව 1964 ටෝකියෝ සහ 1980 මොස්කව් යන ඔලිම්පික් තරගාවලිවල දී ඉන්දියානුවන් පිරිමි හොකී රන් පදක්කම දිනා ගත්තා. 1960 දී රෝම ඔලිම්පික් තරගාවලියේ හොකී රිදී පදක්කම දිනා ගත් ඉන්දියාව 1968 මෙක්සිකෝ සිටි සහ 1972 මියුනිච් ඔලිම්පික් තරගාවලිවල දී ලෝකඩ පදක්කම දිනා ගත්තා. සමස්තයක් විදියට ඉන්දියාව හොකී ක්‍රීඩාවෙන් ඔලිම්පික් රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගෙන තිබෙනවා. 1980 වසරෙන් පසුව ඉන්දියාවට හොකී ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් හිමි නොවුණු බවත් මෙහි දී සඳහන් කළ යුතුයි.

ඉන්දියානු හොකී කණ්ඩායම 1952 හෙල්සින්කි ඔලිම්පික් උළෙලේ දී
ඉන්දීය හොකී කණ්ඩායම 1952 හෙල්සින්කි ඔලිම්පික් උළෙලේ දී – gettyimages

හොකී ක්‍රීඩාවෙන් ලැබුණු රන් පදක්කම් 8 හැරුණු කොට ඉන්දියානුවන්ට හිමි ව තිබෙන්නේ තවත් එකම එක ඔලිම්පික් රන් පදක්කම පමණ යි. 2008 බීජිං ඔලිම්පික් උළෙලේ දී එම වටිනා රන් පදක්කම දිනාගැනීමට සමත් වුණේ අභිනව් බින්ද්‍රා නම් ක්‍රීඩකයා යි. ඒ ඉලක්කයට වෙඩි තැබීම නම් ක්‍රීඩාවෙන්. එහි දී බින්ද්‍රා තරග වැදුණේ මීටර් 10 වායු රයිෆල් ඉසව්ව යටතේ යි. ඉන්දියාව වෙනුවෙන් වැඩි ම තනි පදක්කම් ප්‍රමාණයක් දිනා ගත් ක්‍රීඩකයන් ලෙසින් වැජඹෙන්නේ ලෙස්ලි ක්ලෝඩියස් සහ උදම් සිං යන හොකී ක්‍රීඩකයන් යුගළ යි. 1948-1960 කාල සමයේ පැවති ඔලිම්පික් තරගාවලි 4කට සහභාගි වුණු ඔවුන් රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කමක් බැගින් ලබා ගත්තා. පහත දක්වා තිබෙන්නේ ඉන්දියාව එක් එක් ක්‍රීඩාවෙන් පදක්කම් ලබාගත් ආකාරය පිළිබඳව යි.

හොකී- රන්- 8,  රිදී- 1, ලෝකඩ- 2

ඉලක්කයට වෙඩි තැබීම- රන්- 1,  රිදී- 2, ලෝකඩ- 1

මලල ක්‍රීඩා –  රිදී- 2

මල්ලවපොර-  රිදී- 1, ලෝකඩ- 4

බැඩ්මින්ටන්- රිදී- 1, ලෝකඩ- 1

බොක්සිං- ලෝකඩ- 2

ටෙනිස් සහ බර ඉසිලීම- ලෝකඩ පදක්කම් 1 බැගින් 

අභිනව් බින්ද්‍රා
අභිනව් බින්ද්‍රා – gettyimages

ලෝකයේ ප්‍රබල රටක් වන ඉන්දියාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග ඉතිහාසයේ රන් පදක්කම් 181ක් ද, ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ රන් පදක්කම් 155ක් ද දිනාගෙන තිබෙනවා. ඔවුන් ඔලිම්පික් තරග ඉතිහාසයේ රන් පදක්කම් 9ක් පමණක් ලබාගෙන තිබීම පුදුම සහගත සිදුවීමක්. සාමාන්‍යයෙන් ඉන්දියානුවන් වැඩිපුර දස්කම් දක්වන්නේ හොකී, ඉලක්කයට වෙඩි තැබීම, මල්ලවපොර වැනි ක්‍රීඩා සඳහා යි. ඒ අතුරින් හොකී ක්‍රීඩාවේ ආධිපත්‍යය  පසුගිය කාලයේ දී හිමි ව තිබුණේ ජර්මනිය, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල්වල යි. එසේම ඉලක්කයට වෙඩි තැබීම සහ මල්ලවපොර යන ක්‍රීඩාවලින් චීනය, අමෙරිකාව, ජපානය, රුසියාව වැනි රටවල් වැඩි දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ හේතු නිසා ආසියානු සහ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිවල වඩාත් සාර්ථක වුණු ඉන්දියාව ඔලිම්පික් තරග ඉතිහාසයේ දී අසාර්ථක වී තිබෙන බව කිව යුතුයි.

 පාකිස්තානය- (රන්-3, රිදී- 3 ලෝකඩ- 4)

දකුණු ආසියානු කලාපයේ රටවල් අතුරින් ඉන්දියාවට පසුව ඔලිම්පික් බිමේ දී වඩාත් සාර්ථකත්වයට පත්ව සිටින රට වන්නේ පාකිස්තානය යි. 1948 වසරේ සිට ඔලිම්පික් උළෙලට සහභාගි වුණු පාකිස්තානය අවස්ථා 17ක දී ඔලිම්පික් තරගාවලියට සහභාගි වුණා. එම කාල සමයේ පාකිස්තානය ඔලිම්පික් තරගාවලියට සහභාගි නොවුණේ 1980 වසරේ දී පමණ යි. ඉන්දියාව මෙන් ම පාකිස්තානයත් හොකී ක්‍රීඩාවෙන් ඔලිම්පික් බිමේ දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. ඔවුන් මුලින් ම ඔලිම්පික් පදක්කම් ජයග්‍රහණය කළේ 1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලේ දීයි. එදා පාකිස්තාන හොකී කණ්ඩායම රිදී පදක්කම දිනා ගත්තා. එහි දී ඔවුන් අවසන් තරගයේ දී ඉන්දියානුවන් අතින් පරාජයට පත්වුණා.

1956 ඔලිම්පික් උළෙලේ හොකී අවසන් තරගයේ අවස්ථාවක්
1956 ඔලිම්පික් උළෙලේ හොකී අවසන් තරගයේ අවස්ථාවක් – The Hindu

ඉන් වසර 4කට පසුව පැවති රෝම ඔලිම්පික් තරගාවලියේ දී පාකිස්තානය හොකී රන් පදක්කම දිනාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එදා පාකිස්තානය හමුවේ ගෝල 1-0ක් ලෙසින් පරාජයට පත්වුණේ පිට පිටම හොකී ඔලිම්පික් රන් පදක්කම් 6ක් දිනා ගෙන සිටි ප්‍රබල ඉන්දියානු කණ්ඩායම යි. එම විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව පාකිස්තාන හොකී කණ්ඩායම ඔලිම්පික් තරග බිමේ දී සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. පහත දක්වා තිබෙන්නේ 1964-1992 කාල සමය තුළ පාකිස්තාන හොකී කණ්ඩායම ඔලිම්පික් පදක්කම් දිනා ගත් ආකාරය පිළිබඳව යි.

1964 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය- රිදී පදක්කම 

1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් තරගාවලිය- රන් පදක්කම 

1972 මියුනිච් ඔලිම්පික් තරගාවලිය- රිදී පදක්කම 

1976 මොන්ට්‍රියල් ඔලිම්පික් තරගාවලිය- ලෝකඩ පදක්කම 

1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය- රන් පදක්කම 

1992 බාසිලෝනා ඔලිම්පික් තරගාවලිය- ලෝකඩ පදක්කම 

1960 රෝම ඔලිම්පික් උළෙලේ දී පාකිස්ථානු හොකී කණ්ඩායම
1960 රෝම ඔලිම්පික් උළෙලේ දී පාකිස්තාක හොකී කණ්ඩායම – gettyimages

ඒ අයුරින් පාකිස්තානය හොකී ක්‍රීඩාවෙන් දිනා ගත් ඔලිම්පික් පදක්කම් 8ට අමතර ව තවත් ඔලිම්පික් ලෝකඩ පදක්කම් 2ක් දිනා ගෙන තිබෙනවා. ඉන් පළමු ලෝකඩ පදක්කම මල්ලවපොර ක්‍රීඩක මොහොමඩ් බෂීර්ට හිමිවුණේ 1960 රෝම ඔලිම්පික් උළෙලේ දීයි. එදා ඔහු පිරිමි නිදහස් ආර වෙල්ටර්වේට් ඉසව්ව යටතේ තරග වදිමින් එම ජයග්‍රහණය ලබා ගත්තා. ඊට අමතරව 1988 සෝල් ඔලිම්පික් උලෙළේ දී බොක්සිං ක්‍රීඩක හුසේන් ෂා පාකිස්තානයට ලෝකඩ පදක්කමක් දිනා දුන්නා. ඒ මිඩ්ල්වේට් බර පන්තිය යටතේ තරග වදිමින්. ඒ අනුව 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලින් පසුව පාකිස්තානයට කිසිදු ඔලිම්පික් පදක්කමක් හිමි නොවීම විශේෂ සිදුවීමක්. පාකිස්තානය 1960 රෝම ඔලිම්පික් උළෙලේ දී පාකිස්තානය රන් සහ ලෝකඩ පදක්කම බැගින් දිනා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් රටවල් 83ක් අතුරින් 20 වැනි ස්ථානය දිනා ගත්තා. එය එරට ඔලිම්පික් ඉතිහාසයේ වාර්තා වුණු ඉහළ ම ජයග්‍රහණය ලෙසින් සටහන් වුණා.    

ශ්‍රී ලංකාව- ( රිදී- 2)

1948 වසරේ දී ලංකා කණ්ඩායමක් මුල් ම වරට ඔලිම්පික් තරගාවලියකට සහභාගි වුණා. එදා සිට අද දක්වා ඔලිම්පික් උළෙල 17කට සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් ලැබුණා. එහි දී ශ්‍රී ලංකා නියෝජනයක් දක්නට නොලැබුණේ 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ දී පමණ යි. 1948 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ දී ඩන්කන් වයිට් මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් ලංකාවට රිදී පදක්කමක් දිනා දුන්නා. එය අප රටට හිමි වුණු පළමු ඔලිම්පික් පදක්කම ලෙසින් ඉතිහාසගත වුණා. ඒ අයුරින් ඩන්කන් වයිට් දැක්වූ සුපිරි දස්කම නිසා ලංකාව රටවල් 59ක් අතුරින් ලංකාව 28 වැනි ස්ථානය දිනාගත්තා. එය ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දැක්වූ ඉහළම දක්ෂතාව යි.

ඩන්කන් වයිට්
ඩන්කන් වයිට් – Sunday Observer

ඩන්කන් වයිට් එම ජයග්‍රහණය ලබාගෙන වසර 52ක් ගත වනතුරු ම ශ්‍රී ලංකාවට කිසිදු ඔලිම්පික් පදක්කමක් හිමිවුණේ නැහැ. එම පදක්කම් ඉඩෝරය නිමා කළ සුසන්තිකා ජයසිංහ 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තා. එහි දී ඇයට තරගය නිමා කිරීමට තත්පර 22.28ක කාලයක් ගතව තිබුණා. එදා සුසන්තිකා ලබාගත් පදක්කමෙන් පසුව යළිත් වරක් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට අප රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාවක් ලැබුණේ නැහැ. වසර 73ක මෙරට ඔලිම්පික් ඉතිහාසය තුළ අප දිනාගෙන තිබෙන්නේ රිදී පදක්කම් 2ක් පමණ යි.

සුසන්තිකා රිදී පදක්කම දිනාගත් අවස්ථාව
සුසන්තිකා රිදී පදක්කම දිනාගත් අවස්ථාව – gettyimages

 ඇෆ්ගනිස්ථානය- ( ලෝකඩ- 2)

ඇෆ්ගනිස්ථානය මුල්ම වරට ඔලිම්පික් තරගාවලියකට සහභාගි වුණේ 1936 වසරේ දී යි. එදා සිට අද දක්වා ඔලිම්පික් උළෙල 14කට සහභාගි වුණු ඇෆ්ගනිස්ථානය තවමත් දිනා ගෙන තිබෙන්නේ ඔලිම්පික් ලෝකඩ පදක්කම් 2ක් පමණ යි. එම පදක්කම් ද්විත්වය ම ඇෆ්ගනිස්ථානයට දිනා දුන්නේ රෝහුල්ලා නික්පායි නම් ටයිකුන්ඩෝ ක්‍රීඩකයා යි. ඉන් පළමු පදක්කම ඔහු දිනා ගත්තේ 2008 බීජිං ඔලිම්පික් තරගාවලියේ කිලෝග්‍රෑම් 58 ඉසව්ව යටතේ යි. ඉන් වසර 4කට පසු පැවති ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී කිලෝග්‍රෑම් 68 ඉසව්ව යටතේ තරග වැදුණු නික්පායි යළිත් සිය රටට ලෝකඩ පදක්කමක් දිනා දුන්නා. එදා නික්පායි දැක්වූ දස්කම නිසා ඇෆ්ගනිස්ථානය පදක්කම් සටහනේ 79වන ස්ථානය දිනාගත්තා. එය ඔවුන් ඔලිම්පික් තරගාවලියක දී පෙන්වූ ඉහළම දක්ෂතාව බවට පත්වුණා.

රෝහුල්ලා නික්පායි
රෝහුල්ලා නික්පායි – gettyimages

දකුණු ආසියා කලාපයට අයත් අනිකුත් රටවල් වන බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින තවමත් කිසිදු ඔලිම්පික් පදක්කමක් දිනා ගෙන නැහැ. ඒ අනුව වසර 125ක ඔලිම්පික් තරග ඉතිහාසය තුළ දකුණු ආසියානු කලාපයේ රටවල් ලබා ගෙන තිබෙන්නේ පදක්කම් 42ක් පමණ යි. එයිනුත් පදක්කම් 19ක් ම හොකී ක්‍රීඩාවෙන් ලබාගෙන තිබීම සුවිශේෂී සිදුවීමක්.

අපේ ඔලිම්පික් ලිපි එකතුවට මෙතැනින් පිවිසෙන්න.

කවරයේ ඡායාරූපය- ඉන්දීය හොකී කණ්ඩායම 1980 ඔලිම්පික් උළෙලේ දී  (gettyimages)

මූලාශ්‍ර :

olympic.com

Related Articles