Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්පාඤ්ඤ රතු හමුදාවේ මෙවර ලෝක කුසලාන සිහිනය

මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් පිළිබඳ ලිපි මාලාවක් “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගයෙන් අපි සාකච්ඡා කරමු. මෙයට පෙර බ්‍රසීල සහ ප්‍රංශ කණ්ඩායම් පිළිබඳ ලිපි ඉදිරිපත් කල අතර අද තවත් එක් විශේෂ කණ්ඩායමක් පිළිබඳව අපගේ අවධානය යොමු කරමු. අද අපි සාකච්ඡා කරන්නේ ස්පාඤ්ඤ කණ්ඩායම පිළිබඳවයි.

අතීතයේ දක්ෂතා

“ස්පාඤ්ඤය 2010 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව”   (rwrant.co.za)

2008-2012 යුගයේ දී පාපන්දු ලෝකයේ කිරුළ හිමිකරගෙන සිටි ස්පාඤ්ඤ කණ්ඩායම පසුගිය 2014 පාපන්දු ලෝක කුසලානයේ දී අනපේක්ෂිත ආකාරයෙන් පළමු වටයෙන්ම ඉවත් විය. මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන ස්පාඤ්ඤ කණ්ඩායම පිළිබඳ විමසීමට ප්‍රථම මේ දක්වා පැවති ලෝක කුසලාන වල දී ස්පාඤ්ඤය දක්වා තිබෙන දස්කම් සහ ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසය පිළිබඳ කෙටියෙන් විමසා බලමු.

Real Federacion Espanola de Futbol (ස්පාඤ්ඤ භාෂාවෙන්)යනු ස්පාඤ්ඤ පාපන්දු සංගමයේ නමයි. එය හැඳින්වෙන කෙටි නම වන්නේ RFEF ය. ඉංග්‍රීසි භාෂාවෙන් Royal Spanish Football Federation ලෙසින් ස්පාඤ්ඤ පාපන්දු සංගමය හැඳින්වේ.

ස්පාඤ්ඤ පළමු වරට ජාත්‍යාන්තර තරඟයකට ක්‍රීඩා කර තිබෙන්නේ 1920 වසරේ දීය. ඒ ඩෙන්මාර්කයට එරෙහිවයි. එම තරඟය 1-0 ක් ලෙසින් ස්පාඤ්ඤය ජයගෙන ඇත.
 1982 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ස්පාඤ්ඤ විසින් දරන ලදී.

මේ දක්වා පැවති පාපන්දු ලෝක කුසලාන 20 අතුරින් 14 ට සුදුසුකම් ලබාගැනීමට ස්පාඤ්ඤයට හැකිවී තිබේ.

2010 වසරේ දී පාපන්දු ලෝක ශූරයින් ලෙසින් අභිෂේක ලබන්නට ස්පාඤ්ඤය සමත්විය.

1950 පාපන්දු ලෝක කුසලානයේ දී සිව්වැනි ස්ථානය හිමිකරගත් ස්පාඤ්ඤය ඒ හැරුනුකොට අනෙකුත් ලෝක කුසලාන වලදී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට අසමත් වීම තරමක් පුදුම සහගත කරුණකි.

මේ දක්වා පාපන්දු ලෝක කුසලාන තරඟ 59 ට ක්‍රීඩා කර තිබෙන ස්පාඤ්ඤය ඉන් තරඟ 29 ක ජය හිමිකරගැනීමට සමත්වී ඇත.

පාපන්දු ලෝක කුසලාන තරඟ වලදී ස්පාඤ්ඤය වෙනුවෙන් වැඩිම ගෝල වාර්තා කර තිබෙන්නේ දාවිද් වියියා ය. ඒ ගෝල 9 කි.

ස්පාඤ්ඤය නියෝජනය කරමින් වැඩිම ලෝක කුසලාන තරඟ සංඛ්‍යාවකට සහභාගී වී තිබෙන්නේ හිටපු ස්පාඤ්ඤ දැල් රකින්නා සහ නායකයා වූ ඊකර් කැසියස් ය. ඔහු තරඟාවලි 4 දී තරඟ 17 ක් ක්‍රීඩා කර ඇත.

සුදුසුකම් ලබාගත් ආකාරය

“දාවිද් සිල්වා” (scmp.com)

මෙවර පාපන්දු ලෝක කුසලාන වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ස්පාඤ්ඤය ක්‍රීඩා කරන ලද්දේ යුරෝපා (UEFA) කලාපයෙනි. එහිදී G කාණ්ඩය යටතේ තරඟ වැදුන ස්පාඤ්ඤය G කාණ්ඩයේ පෙරමුණ ගත්තේ ඉතාලිය අභිබවමිනි. සුදුසුකම් ලබාගැනීමේ තරඟ වලදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ස්පාඤ්ඤය ඔවුන් සහභාගී වූ තරඟ 10 න් 9 කම ජය හිමිකරගැනීමට සමත්විය. සුදුසුකම් ලැබීමේ තරඟ 10 දීම ස්පාඤ්ඤට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායම් වලට ලබාගැනීමට හැකිවී තිබෙන්නේ ගෝල 3 කි. සුදුසුකම් ලබාගැනීමේ තරඟ වල දී ඩියේගෝ කොස්තා, ඉස්කෝ, දාවිද් සිල්වා සහ අල්වාරෝ මොරාතා යන ක්‍රීඩකයින් සිව්දෙනාම ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝල 5 බැගින් රැස් කිරීමට සමත්වූහ.

මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන ස්පාඤ්ඤ කණ්ඩායම

ඕනෑම ප්‍රධාන පාපන්දු තරඟාවලියක් සඳහා සංචිතයක් නම් කල විට එම සංචිතය පිලිබඳ අඩු වැඩි වශයෙන් විවේචන එල්ල වීම සාමාන්‍ය කාරණයකි. මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් තෝරාගන්න ලද ස්පාඤ්ඤ සංචිතය මාධ්‍ය වෙත ඉදිරිපත් කල පසු එම සංචිතය පිළිබඳව ද විවිධාකාරයේ විවේචන එල්ල විය. අල්වාරෝ මොරාතා, මාර්කෝස් අලොන්සෝ, පෙඩ්රෝ, සෙස්ක් ෆැබ්‍රිගාස් (සිව් දෙනාම චෙල්සි කණ්ඩායමේ ක්‍රීඩකයින් ය.) සහ සර්ජි රොබර්ටෝ (බාර්සිලෝනා) යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුලත් නොවීම ක්‍රීඩා ලෝලීන්ගේ කණගාටුවට​ හේතුවක් විය.

මෙවර ස්පාඤ්ඤ කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරන්නේ හූලන් ලොපෙටෙගී ය. මෙවර ස්පාඤ්ඤ සංචිතය අනුව ක්‍රීඩා කරන කණ්ඩායම පිළිබඳ යමක් පැවසීම ඉතා අසීරු කාර්යයක් වන අතර ඉහත රූප සටහන ඉදිරිපත් කරන ලද්දේ ඔබට දල අදහසක් ලබාගැනීමට පමණක් බවත් නැවතත් සිහිපත් කරමි. මෙහි සිටින ක්‍රීඩකයින්, මෙහි තිබෙන ස්ථාන සහ ක්‍රීඩකයින් සිටින්නා වූ ස්ථාන වෙනස් වීමට ද ඉඩ තිබේ.

ඉදිරිපෙළ

“ඩියේගෝ කොස්තා” (beinsports.com)

CF (Centre Forward) ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයාගේ ප්‍රධාන කාර්යය ගෝල ලබා ගැනීම බව අපි පෙර ලිපි වල දී සාකච්ඡා කළෙමු. මෙවර ස්පාඤ්ඤ කණ්ඩායමේ CF ක්‍රීඩකයා ලෙසින් අල්වාරෝ මොරතා ක්‍රීඩා කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කල ද ඔහු සංචිතයේ නොමැති බැවින් ඇට්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමේ ඩියේගෝ කොස්තා CF ක්‍රීඩකයා ලෙසින් ක්‍රීඩා කරනු ඇත. ඩියේගෝ කොස්තා බ්‍රසීලයේ උපත ලද ක්‍රීඩකයෙක් වන අතර පසුගිය ලෝක කුසලානයේ දී ඔහු බ්‍රසීලය වෙනුවට ස්පාඤ්ඤය තෝරාගැනීම පිලිබඳ විශාල ආන්දෝලනයක් ද ඇතිවිය. කොස්තාට අමතරව වැලන්සියා කණ්ඩායමේ රොද්‍රිගෝ ද CF ස්ථානයේ ක්‍රීඩා කළහැකි සුපිරි මට්ටමේ ක්‍රීඩකයෙකි.

CF ක්‍රීඩකයාට දෙපසින් සිටින ක්‍රීඩකන් දෙදෙනා LW (Left Winger) සහ RW (Right Winger) ලෙසින් හැඳින්වේ. මෙවර ස්පාඤ්ඤයේ LW ක්‍රීඩකයා ලෙසින් රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ඉස්කෝ ක්‍රීඩා කරනු ඇත. ඉස්කෝට අමතරව රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ මාර්කෝ ඇසෙන්සියෝට ද LW ස්ථානයේ ක්‍රීඩා කල හැක. RW ස්ථානයේ ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩකයින් තිදෙනෙක් සිටින අතර පුහුණුකරු එය තීරණය කරනු ඇත. මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ දාවිද් සිල්වා, සෙල්ටා විගෝ කණ්ඩායමේ ඉයාගෝ අස්පස් සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ලූකස් වැස්කස් යන තිදෙනාම සුපිරි මට්ටමේ RW ක්‍රීඩකයින් වේ. මේ අතරින් දාවිද් සිල්වා ඉදිරියෙන් සිටින නමුත් අස්පස් ද පසුගිය කාලය පුරාවටම විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි. දාවිද් සිල්වා මැදපෙළ ක්‍රීඩා කර අස්පස් RW ස්ථානයේ ක්‍රීඩා කිරීමට ද ඉඩ තිබේ.

මැදපෙළ

 “අන්ද්‍රේස් ඉනියෙස්ටා (වමේ) සහ සර්ජියෝ බුස්කෙට්ස් (දකුණේ) (AP)

මැදපෙළ CM (Centre Midfield) ස්ථාන දෙක සඳහා ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් තිදෙනෙක් සිටී. බාර්සිලෝනා කණ්ඩායමේ අන්ද්‍රේස් ඉනියෙස්ටා (ඔහු බාර්සිලෝනා පිළෙන් ඉතා මෑතකදී විශ්‍රාම ගත්තේ ය​), බයර්න් මියුනික් කණ්ඩායමේ තියාගෝ සහ ඇට්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමේ කෝකේ අතුරින් ක්‍රීඩකයින් දෙදෙනෙක් CM ස්ථාන දෙකෙහි ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කල හැක. DM (Defensive Midfield) ස්ථානයේ වසර ගණනාවක සිට අඛණ්ඩව ක්‍රීඩා කල විශිෂ්ට ක්‍රීඩක සර්ජියෝ බුස්කෙට්ස්ගේ ස්ථානය මෙවරත් ඔහුට හිමිවනු ඇත.

ආරක්ෂක පෙළ

“රාමෝස් (වමේ) සහ පීකේ (දකුණේ)” (sportynews.com)

ස්පාඤ්ඤය ඉතා ශක්තිමත් ආරක්ෂක පෙළකින් සමන්විතය. LB (Left Back) ස්ථානය සඳහා බාර්සිලෝනා කණ්ඩායමේ ජෝර්ඩි අල්බා යොදාගනු ඇත. RB (Right Back) ස්ථානය සඳහා රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ඩැනී කවහාල් ක්‍රීඩා කරනු ඇත. ඊට අමතරව චෙල්සි කණ්ඩායමේ සෙසාර් ආහ්පිලිකෙටා ද දක්ෂ FB (Full Back) ක්‍රීඩකයෙකි. CB (Centre Back) ස්ථාන දෙක සඳහා සුපුරුදු පරිදි රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ සර්හියෝ රාමෝස් සහ බාර්සිලෝනා කණ්ඩායමේ ජෙරාඩ් පීකේ ක්‍රීඩා කරනු ඇත. රාමෝස් වර්තමාන ස්පාඤ්ඤ කණ්ඩායමේ නායකත්වය ද දරන අතර රාමෝස්-පීකේ සුසංයෝගය වසර ගණනක් පුරාවට ස්පාඤ්ඤයට විශිෂ්ට ප්‍රථිපල ගෙනදීමට සමත්විය. මෙවර ද ඔවුන් දෙදෙනා මත විශාල වගකීමක් පැටවී ඇත.

ස්පාඤ්ඤයේ දැල් රකින්නා වශයෙන් කටයුතු කරන්නේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ දාවිද් ඩි හේ ය. මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී හොඳම දැල් රකින්නාට හිමි රන් අත්වැසුම හිමිකරගැනීම සඳහා ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා ලෙසත් ඔහුව​ හැඳින්වුවහොත් ඔබ එයට එකඟ වනු ඇත.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී ස්පාඤ්ඤයේ ගමන් මඟ

“දාවිද් ඩි හේ” (sportskeeda.com)

ස්පාඤ්ඤය මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා කරන්නේ B කාණ්ඩයෙනි. B කාණ්ඩයේ සිටින අනෙකුත් රටවල් වන්නේ පෘතුගාලය, මොරොක්කෝව සහ ඉරානයයි. මෙහි පෘතුගාලය සමඟ පැවැත්වෙන තරඟය තරමක් අසීරු එකක් වූවත් අනෙකුත් තරඟ දෙක පහසුවෙන්ම ජයගැනීමේ හැකියාව ස්පාඤ්ඤයට තිබේ. ඒ අනුව B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ස්පාඤ්ඤයට විශාල ඉඩක් ඇත​.

වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව 8 වැනි ස්ථානයේ සිටින ස්පාඤ්ඤයට B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට හැකිවූවහොත් අවසාන 16 දෙනාගේ වටයේ දී රුසියාව මුණගැසීමට තිබෙන සම්භාවිතාව විශාල එකකි. ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයට පහසුවෙන්ම පිවිසීමට ද ස්පාඤ්ඤයට හැකිවනු ඇත. එම විස්තර තරඟාවලිය ආරම්භ වූවාට පසුව සාකච්ඡා කරමු. මීළඟ ලිපියෙන් අපි ඔබ වෙත ජර්මන් කණ්ඩායම පිළිබඳ විස්තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

Cover – “සර්ජියෝ රාමෝස් (වමේ), ඉස්කෝ (මැද) සහ මාර්කෝ ඇසෙන්සියෝ (දකුණේ)” (Claudio Villa/Getty Images)

Related Articles