Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයන් තිදෙනෙකු පමණක් දැක්වූ විරල දස්කම

එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ විවිධ ආකාරයේ දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ව අපට හමුවනවා. එලෙස හමුවන ඇතැම් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා ලෝක කුසලාන ඉතිහාසය පුරාවටම අමරණීය වන්නේ එවැනි දක්ෂතාවයක් ඉතිහාසය පුරාවටම කිසිදු ක්‍රීඩකයෙකුට පෙන්වීමට නොහැකි වීම නිසා යි. එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේ දී එවැනි විරල දස්කමක් දැක්වූ ක්‍රීඩකයන් තිදෙනෙකු අපට හමුවනවා. එහිදී මොහින්දර් අම්රනාත්, අරවින්ද ද සිල්වා, සහ ෂේන් වෝන් යන ක්‍රීඩකයන් තිදෙනා එකම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ මෙන්ම අවසන් තරගයේ ද තරගයේ වීරයා බවට පත්වීම එම විරල දස්කම යි. එසේ නම් ඔවුන් තිදෙනා තරගාවලි ඉතිහාසයේ දී දැක්වූ එම විරල දස්කම පිළිබඳව යි මේ.

1983 තරගාවලියේ දී මුලින්ම එම දස්කම කළ මොහින්දර් අමර්නාත්

1983 වසරේ ඉන්දීය කණ්ඩායමට එක්දින ලෝක කුසලානය දිනා දීම සඳහා විශාල මෙහෙවරක් ඉටුකළ මොහින්දර් අමර්නාත් අවසන් පූර්ව තරගයේ දී මෙන්ම අවසන් තරගයේදී සුපිරි දස්කම් දැක්වූයේ ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ වීරයෙකු වෙමින්.

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති අවසන් පූර්ව තරගය

මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 60 අවසානයේ දී සියල්ලන්ම  දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 213ක් පමණ යි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මොහින්දර් අමර්නාත් එංගලන්ත කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවන් දෙදෙනෙකු වුණු ඩේවිඩ් ගවර් සහ මයික් ගැටිංව දවාගත්තේ ඔහු යැවූ පන්දුවාර 12 තුළ ලකුණු 27ක් පමණක් ලබාදෙමින්. අනතුරුව ලකුණු 214ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අමර්නාත් පන්දු 92කින් ලකුණු 46ක් ලබාගත්තේ ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී ගමනට සවියක් වෙමින්.

මොහින්දර් අවසන් පූර්ව තරගයේදී පන්දුවට පහරදෙමින් (gettyimages)

කොදෙව්වන්ට එරෙහිව අවසන් අවසන් තරගයේ දී දස්කම් දැක්වූ අම්රනාත්

ලෝඩ්ස් පිටියේ පැවති මෙම ලෝක කුසලාන අවසන් තරගයේ දී, කාසියේ වාසිය පරාජය වීම නිසා පන්දු යවන්නන්ට හිතකර තණ තීරුවක ඉන්දියානුවන්ට මුලින්ම පන්දුවට පහරදීමට සිදුවුණා. එහිදී ප්‍රබල කොදෙව්  වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දු 80ක් තුළ ලකුණු 26ක් ලබාගත් අමර්නාත් ඉන්දීය ඉනිම ගොඩනැගීමට ලබාදුන්නේ විශාල සහයක්. එලෙස ඉන්දීය කණ්ඩායම පන්දුවාර 54.4ක් අවසානයේ දී ලකුණු 183කට දැවීයාමෙන් පසුව පිළිතුරු ඉනිම ඇරඹූ ප්‍රබල කොදෙව් පිතිකරුවන්ට එරෙහිව පන්දුවෙන් තර්ජනයක් එල්ල කළ අමර්නාත් පන්දුවාර 7ක් යවමින් ලකුණු 12කට කඩුලු 3ක් ලබාගත්තේ තරගය පුරාවටම තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින්.

අමර්නාත්  අවසන් තරගයේ දී පන්දුවට පහරදෙමින් (gettyimages)

1996 තරගාවලියේ අරවින්ද ද සිල්වා එම දස්කම දැක්වූ දෙවැන්නා වෙයි

1996 ලෝක කුසලාන තරගාවලිය තුළ තරග 6ක දී ලකුණු 448ක් ලබාගත් අරවින්ද අවසන් පූර්ව තරගයේ දී පිත්තෙන් ද අවසන් තරගයේ දී තුන් ඉරියව්වෙන්ම ද දස්කම් දැක්වූයේ ශ්‍රී ලංකාවට මුල්මවරට ලෝක කුසලානය උරුමකර දෙමින්.

ඉන්දියාවට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී ක්‍රියාත්මක වුණු අරවින්දගේ පිත්ත

1996 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණේ  කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 2ම ලකුණු 1ක් තුළ දැවීගොස් තිබුණු අවස්ථාවේ පිටියට පිවිසි අරවින්ද එම අවස්ථාවේ හතරේ පහර 14ක් සමගින් පන්දු 47කින් ලකුණු 66ක් ලබාගත්තේ ශ්‍රි ලංකා කණ්ඩායම වැටී තිබුණු අගාධයෙන් ගොඩනගමින්. එහිදී අරවින්ද ක්‍රීඩා කළ ඉනිම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ වෙමින්  අවසානයේ දී තරගය ජයග්‍රහණය කළේ ලෝක කුසලාන ඉතිහාසයේ මුල්මවරට අවසන් තරගයකට සුදුසුකම් ලබමින්.

කල්කටාවේ දී ඉන්දියානුවන්ට බැටදුන් අරවින්ද (gettyimages)

අවසන් තරගයේ දී කැංගරුවන්ව අවමානයට ලක්කළ ශතකය

ලාහෝර් නුවර ගඩාෆි පිටියේ දී පැවති අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් අවස්ථාවක 137/1 ලෙසින් ප්‍රබල තත්ත්වයකට පත්වුණා. නමුත් එම අවස්ථාවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම විශාල ලකුණු ප්‍රමාණයක් කරා යන ගමනට තිරිංග යෙදූ අරවින්ද ලකුණු 42කට කඩුලු 3ක් දවාගනිමින් නියමිත පන්දුවාර 50 තුළ ඕස්ට්‍රේලියානු ඉනිම 241/7කට සීමා කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන්නා. ඉන්පසුව ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 2ම ලකුණු 23ක් තුළ දැවීගොස් තිබුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු අරවින්ද පන්දු 124කින් නොදැවී ලකුණු 107ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින්.

අරවින්ද ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

1999 තරගාවලියේ දී ෂේන් වෝන් එම දස්කම දැක්වූයේ අවසන් වරට යි

ඉතාමත් අසීරුවෙන් 1999 ලෝක කුසලාන ජයග්‍රහණය කරා ඕස්ට්‍රේලියානුවන් ගිය ගමනේ අවසන් පූර්ව සහ අවසන් තරගවල දී ෂේන් වෝන් කඩුලු 4 බැගින් ලබාගත්තේ සිය රටට දෙවන වරටත් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමට සවියක් වෙමින්.

අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකානුවන් හැඬවූ වෝන්

එජ්බැස්ටන්හි පැවති මෙම අවසන් පූර්ව තරගයේ දී ලකුණු 214ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවන් එක් අවස්ථාවක 48/0 ලෙස ලකුණු ලබා සිටියේ ඕස්ට්‍රේලියානුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින්. නැවතත් තරගයට අවතීර්ණ වීම සඳහා ඕස්ට්‍රේලියානුවන්ට කඩුලු අවශ්‍ය වුණු එම මොහොතේ  ක්‍රියාත්මක වුණු ෂේන් වෝන් ලකුණු 5ක් තුළ දකුණු අප්‍රිකානු පළමු කඩුලු 3ම දවාගෙන, ඉන් නොනැවතී ඔහුට නියමිත වුණු පන්දුවාර 10 තුළ 29/4 ලෙසින් කඩුලු ලබාගත්තේ කැංගරුවන් අවසන් තරගයට රැගෙන යමින්.

වෝන් විසින් ගැරී කර්ස්ටන්ව දවාගත් අවස්ථාව(gettyimages)

අවසන් තරගයේ දී පාකිස්ථානුවන් අසරණ කළ ෂේන් වෝන්

පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් පිටියේ දී පැවති අවසන් තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 77ක් ලබාසිටියේ තරගයේ පාලනය ඔවුන් අතට ගැනීමට උත්සහ කරමින්. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ෂේන් වෝන් ලකුණු 33කට ලබාගත් කඩුලු 4 නිසා එදා පාකිස්ථානු ඉනිම පන්දුවාර 39ක් තුළ ලකුණු 139කට සීමාවුණේ ඕස්ට්‍රේලියානුවන්ට පහසු ඉලක්කයක් ලබාදෙමින්.

වෝන් අවසන් තරගයේදී කඩුල්ලක් ලබාගැනීමේ සතුට සමරමින් (gettyimages)

කවරයේ ඡායාරූපය- අරවින්ද 1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී තරගයේ වීරයා සම්මානය හිමිකරගත් අවස්ථාව (Sportstar 23rd of March 1996)

Related Articles