Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ජයග්‍රහණයකින් ඇරඹුණු T20 සුපිරි 12 වටය

2021 ICC 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරග පසුගිය සෙනසුරාදා ආරම්භ වුණා. ඒ යටතේ සිය පළමු තරගයට සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හමුවේ කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කළා. එ නිසා ශ්‍රී ලංකාව පුරා යළිත් ක්‍රිකට් උණුසුම පැතිරෙමින් තිබෙනවා. 

බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ ව මහත් අභිමානයෙන් යුතුව කතා කරනවා. ඒ විදිහට  අපේ රටට ක්‍රිකට් වසන්තය  යළිත් උදා වී තිබෙන මොහොතක ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු විශේෂ සිදුවීම් පිළිබඳ විස්තර මෙම ලිපියෙන් ගෙන එනවා. 

 සුපිරි 12 තරග වටය ඇරඹෙයි

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරග 4ක් පසුගිය සති අන්තයේ දී ක්‍රියාත්මක වුණා. එම තරගවල දී ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා. ඒ පිළිබඳ ව වැඩිදුර තොරතුරු පහතින් දක්වා තිබෙනවා.

දකුණු අප්‍රිකානුවන් හමුවේ ඕස්ට්‍රේලියාවට තියුණු ජයක් 

සුපිරි 12 තරග වටය ආරම්භ කරමින් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව පසුගිය සෙනසුරාදා උරෙනුර ගැටුණා. අබුඩාබි හි දී පැවති එම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායකයා මුලින් ම පන්දු යැවීමට තීරණය කළා. පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය අයුරින් සකස් කර තිබුණු එම තණතීරුවේ හැසිරීම පිළිබඳ ව මැනවින් අවබෝධ කරගත් ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් නිවැරදි එල්ලයක් සහිත ව ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 46ක් තුළ බිඳ වැටුණා.

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ජෝස් හේස්ල්වුඩ් – gettyimages.com

 

ඒඩන් මාක්‍රම් සහ ඩේවිඩ් මිලර් ඉන් පසුව පිටියේ එකතු වුණා. ලකුණු 34ක සබඳතාවක් ගොඩනගමින් කඩා වැටී තිබුණු දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීමට ඔවුන් ප්‍රබල උත්සාහයක නිරත වුණා. දකුණු අප්‍රිකානුවන්ගේ කඩුලු 3ක් ලකුණු 3ක් ඇතුළත නැවත බිඳ වැටුණු නිසා ඕස්ට්‍රේලියානුවන්ට තරගයට යළි  අවතීර්ණ වීමට හැකි වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු අප්‍රිකානු ඉනිම 118/9ක් ලෙසින් නිමාව දුටුවා. එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ජෝස් හේස්ල්වුඩ්, ඇඩම් සැම්පා සහ මිචෙල් ස්ටාක් කඩුලු 2 බැගින් බිඳ දැමුවා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් වටිනා ඉනිමක් ක්‍රීඩා කළ ඒඩන් මාක්‍රම් ලකුණු 40ක් ලබා ගත්තා.

ඒඩන් මාක්‍රම්ගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

ලකුණු 119ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට රිසි සේ ලකුණු ලබා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් අවසරයක් ලැබුණේ නැහැ. එනිසා 8 වන පන්දු වාරය නිමාව දකින විට කැංගරු ලකුණු පුවරුව 39/3 ලෙසින් දිස්වුණා. ඒ මොහොතේ දී පිටියේ එකතු වුණු ග්ලේන් මැක්ස්වෙල් සහ ස්ටීව් ස්මිත් කණ්ඩායමේ ලකුණු තත්ත්වය 80/3 දක්වා ඉහළ දැමුවා.

එලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරා යමින් තිබුණු අවස්ථාවක ක්‍රියාත්මක වුණු නොකියා සහ ෂම්සි කඩුලු 2ක් දවා ගත් නිසා ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 81/5 බවට පත්වුණා. ජයග්‍රහණය සඳහා පන්දු 28කින් ලකුණු 38ක් ලබා ගැනීමට අවශ්‍ය වුණු ඒ මොහොතේ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ මාකස් ස්ටොයිනිස් නොදැවී ලකුණු 24ක් ලබා ගෙන අවසන් පන්දුවාරයේ දී සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. 

ඕස්ට්‍රේලියාව තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

දකුණු අප්‍රිකාව- 118/9 (20), (මාක්‍රම්- 40, හේස්ල්වුඩ්- 19/2, සැම්පා- 21/2, ස්ටාක්- 32/2) 

ඕස්ට්‍රේලියාව- 121/5 (19.4), (ස්මිත්- 35, ස්ටොයිනිස්- 24*, නොකියා- 21/2, ෂම්සි- 22/1)

ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- ජෝස් හේසල්වුඩ් 

පසුගිය 20/20 ලෝක ශූරයන්ට දරුණු පරාජයක් 

ඩුබායි හිදී සුපිරි 12 වටයේ තවත් තරගයක් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ක්‍රියාත්මක වුණා. ඒ, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් අතර යි. එහි දී 2016 T20 ලෝක කුසලාන අවසන් තරග පරාජයේ වාඩුව ගත් එංගලන්ත ක්‍රීඩකයන් කොදෙව්වන් හමුවේ කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළා. එහි දී කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් පිතිකරුවන් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ තත්ත්වයකට පත්වුණා.

එනිසා පන්දුවාර 14.2ක් තුළ කොදෙව් ඉනිම ලකුණු 55කට සීමා වුණා. එම ඉනිමේ දී ප්‍රබල පන්දු යැවීමක නිරත වුණු අඩිල් රෂීඩ් ලකුණු 2කට කොදෙව් කඩුලු 4ක් දවා ගන්නා විට මොයින් අලී සහ තයිමාල් මිල්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. ඉන් පසු ව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 8.2ක් අවසානයේ දී කඩුලු 4ක් දැවී තිබිය දී ජයග්‍රාහී කඩඉම පසු කර ගියා.

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු අඩිල් රෂීඩ් – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

බටහිර ඉන්දීය කොදෙව්- 55/10 (14.2), (ගේල්- 13, රෂීඩ්- 2/4, අලී- 17/2, මිල්ස්- 17/2)

එංගලන්තය- 56/4 (8.2), (බට්ලර්- 24*, රෝයි- 11, හොසේන්- 24/2)

එංගලන්තයට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා- මොයින් අලී 

ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ ජය පැන් බොයි 

ඔක්තෝබර් 24 වැනි දා සුපිරි 12 වටයේ තවත් තරග 2ක් පැවැත්වුණා. ඉන් සාජා පිටියේ පැවති පළමු තරගයේ දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය උරෙනුර ගැටුණා. එහි දී මුලින් ම පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා.

රහීම් සහ නයිම් පන්දුවට පහරදෙමින් – gettyimages.com

එම ඉනිමේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ මොහොමඩ් නයිම් සහ මුෂ්ෆිකර් රහීම් අර්ධ ශතක වාර්තා කළා. එලෙස බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු අතරට පැමිණෙද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් කුසල් පෙරේරා දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 2/1 ලෙසින් සටහන් වුණා. ඉන් අනතුරු ව චරිත් අසලංක සහ පැතුම් නිස්සංක අතරේ ගොඩනැගුණු ලකුණු 69ක සබඳතාව නිසා පන්දුවාර 8ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 71ක් ලබා ගෙන සිටියා.

ඒ සමඟ ම තරගයට අවතීර්ණ වුණු බංග්ලාදේශ පන්දු යවන්නන් පන්දු 9ක් ඇතුළත කඩුලු 3ක් බිඳ දැමුවා. එහි දී ශකීබ් යැවූ 9 වන පන්දුවාරයේ දී ශ්‍රී ලංකා කඩුලු 2ක් දැවී යාම සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ අයුරින් කඩුලු දැවී යාමත් සමඟින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 79/4 බවට පත්වුණා. 

ශකීබ් කඩුල්ලක් දවාගනිමින් – gettyimages.com

 

ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියක වැටී සිටි එම අවස්ථාවේ පිටියේ එකතු වුණු චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ නොසැලෙමින් පන්දුවට පහර දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 15 වන පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 4ක් දැවී ලකුණු 126ක් ලබාගෙන සිටියා.

ඉන් පසු ක්‍රියාත්මක වුණු භානුක, මොහොමඩ් සයිෆුඩීන් යැවූ 16 වන පන්දුවාරයේ දී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා. ඒ සමඟ ම තරගය බංග්ලාදේශ ග්‍රහණයෙන් ගිලිහී ගියා. එ නිසා පන්දුවාර 18.5ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණා. 

අසලංක සහ භානුක පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

එහි දී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වුණු චරිත් අසලංක දැවැන්ත හයේ පහර 5ක් සමඟ පන්දු 49කින් නොදැවී ලකුණු 80ක් ලබා ගනිමින් ඔහු අංක 3 ස්ථානයට වඩාත් සුදුසු පිතිකරුවා බව ඔප්පු කළා. සිය 30 වන උපන් දිනය දවසේ අගනා ඉනිමක් ක්‍රීඩා කළ භානුක හයේ පහර 3ක් සමඟ පන්දු 31කින් ලකුණු 53ක් වාර්තා කළා. එම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය තුළ සිය අපරාජිත බව තව දුරටත් රැක ගැනීමට හැකියාව ලැබුණා. 

කෙටි ලකුණු පුවරුව 

බංග්ලාදේශය- 171/4 (20), (නයිම්- 62, රහීම්- 57*, චාමික- 12/1, බිනුර- 27/1)

ශ්‍රී ලංකාව- 172/5 (18.5), (අසලංක- 80*, භානුක- 53, නිස්සංක- 24, ශකීබ්- 17/2, නසුම්- 29/2)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- චරිත් අසලංක 

පාකිස්තානය ඓතිහාසික ජයක් ලබයි 

ඉන්දු-පාකිස්තාන තරගයත් ඩුබායි පිටියේ දී පසුගිය ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වුණා. වැඩි පිරිසකගේ ඇස ගැටුණු එම තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට සුපුරුදු දස්කම් පෙන්වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ පාකිස්තාන පන්දු යවන්නන් සිදු කළ ප්‍රබල පන්දු යැවීම නිසා යි. ඉන් නොසැලුණු නායක විරාත් කෝලි ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් ලබාගත් ලකුණු 57ට පින්සිදු වන්නට ඉන්දීය ඉනිම 151/7 ලෙසින් නිමාව දුටුවා. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ෂහීන් අෆ්රිඩී කඩුලු 3ක් බිඳ දැමුවා.

අෆ්රීඩීගේ පන්දුවක් හමුවේ රාහුල් දැවීගිය අවස්ථාව – gettyimages.com

 

ඉන් පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් ඉනිම ආරම්භ කළා. ඉනිම ආරම්භයේ සිට වගකීමෙන් පන්දුවට පහර දුන් එම පිතිකරු යුගළය ප්‍රබල ඉන්දීය පන්දු බළ ඇණියට තරගයට අවතීර්ණ වීම සඳහා කිසිදු අවස්ථාවක් ලබාදුන්නේ නැහැ.

එනිසා පන්දුවාර 17.5 ක් අවසානයේ දී කිසිවකු නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට පාකිස්තානුවන්ට හැකියාව ලැබුණා. එහි දී රිස්වාන් පන්දු 55කින් නොදැවී  ලකුණු 79ක් ලබා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබාදුන් අසාම් පන්දු 52කින් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තා. එම සුපිරි ජයග්‍රහණය පාකිස්තානුවන් ඉන්දියාව හමුවේ ලෝක කුසලාන තරගයක දී ලබා ගත් මුල් ම ජයග්‍රහණය ලෙසින් සටහන් වුණා.

රිස්වාන් සහ අසාම් පන්දුවට පහරදෙමින් – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

ඉන්දියාව- 151/7 (20), (කෝලි- 57, පන්ට්- 39, අෆ්රීඩී- 31.3, හසන්- 44/2)

පාකිස්තානය- 152/0 (17.5), (රිස්වාන්- 79*, අසාම්- 68*)

පාකිස්තානයට කඩුලු 10ක ජයක් 

තරගයේ වීරයා- ෂහීන් අෆ්රිඩී 

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමටත් සුපිරි ජයක් 

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ලෝක ශූර බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියක් රංගිරි දඹුලු ක්‍රීඩාංගණය ආශ්‍රිත ව මේ දිනවල  පැවැත්වෙනවා. එම තරගාවලියේ මුල් තරග 4 ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම යි. තරගාවලියේ අවසන් තරගය ඔක්තෝබර් 25 වන සඳුදා (අද) පැවැත්වෙනවා. නිමා වුණු තරග හතරේ ප්‍රතිඵල පහතින් දක්වා තිබෙනවා.

පළමු තරගය- ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම- 228/9 (50)

                   බංග්ලාදේශ යොවුන් කණ්ඩායම- 186/10 (46.2)

දෙවන තරගය- ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම- 228/8 (50)

                     බංග්ලාදේශ යොවුන් කණ්ඩායම- 227/10 (49.3)

තෙවන තරගය– බංග්ලාදේශ යොවුන් කණ්ඩායම- 184/10 (49.3)

                      ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම- 188/7 (46.4)

සිව්වන තරගය- බංග්ලාදේශ යොවුන් කණ්ඩායම- 224/8 (50)

                      ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම- 225/9 (49.3)

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම (Daily News)

 

ශ්‍රී ලංකා 23න් පහළ පාපන්දු කණ්ඩායම අද තරග බිමට 

ලබන වසරේ දී පැවැත්වීමට නියමිත 23න් පහළ ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල රටවල් කිහිපයක් ආශ්‍රිත ව පැවැත්වෙනවා. එහි දී A කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා 23න් පහළ පාපන්දු කණ්ඩායම මීට දින කිහිපයකට පෙර කටාර් දේශය බලා පිටත් ව ගියා. ශ්‍රී ලංකාව තරග වදින කාණ්ඩයට කටාර්, යේමනය සහ සිරියාව ඇතුළත් ව සිටිනවා. පහතින් දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකාව කණ්ඩායමේ තරග කාලසටහන යි.

ඔක්තෝබර් 25- ශ්‍රී ලංකාව සහ සිරියාව 

ඔක්තෝබර් 28- ශ්‍රී ලංකාව සහ කටාර් 

ඔක්තෝබර් 31- ශ්‍රී ලංකාව සහ යේමනය 

තරගාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා 23න් පහළ පාපන්දු කණ්ඩායම -thepapare.com

 

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයේ අවස්ථාවක් - gettyimages.com

මූලාශ්‍ර: 

espncricinfo.com 

t20worldcup.com 

goal.com

Related Articles