Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ජය මාවතට පිවිසි සතියක්

2022 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පසුගිය ජනවාරි 14 වැනිදා ආරම්භ වුණා. එම තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඔවුන් සහභාගි වුණු  පළමු තරගයෙන් ලකුණු 40ක ජයග්‍රහණයක් හිමි කර ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම මෙවර යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ජයග්‍රාහී ආරම්භයක් ලබාගැනීමට සමත් වුණා. එම තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳව මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු ජය ලබයි 

මෙවර යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගය පසුගිය ජනවාරි 14 වැනිදා ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ජෝර්ජ්ටවුන් හිදී පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ මුල් කඩුලු 6 ම ලකුණු 99ක් තුළ බිඳ වැටුණා.

ඒ මොහොතේ පිටියේ එකතු වුණු සකුණ ලියනගේ සහ රවීන් ද සිල්වා අගනා ලකුණු 77ක සබඳතාවක් ගොඩනඟමින් සිය කණ්ඩායම වැටී තිබුණු අගාධයෙන් ගොඩ ගත්තා. එම වටිනා සබඳතාව නිමාවීමෙන් පසුව ඉක්මනින් කඩුලු බිඳ වැටුණු නිසා පන්දුවාර 45.2කදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 218කට නිමාව දුටුවා. එහි දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සකුණ ලියනගේ පන්දු 85කින් වේගවත් ලකුණු 85ක් ලබා ගැනීම කැපී පෙනුණු සිදුවීමක් වුණා.

සකුණ ලියනගේ – espncricinfo.com

 

ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඉනිම ආරම්භයේ සිට ඉතාමත් සෙමෙන් ලකුණු රැස් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 21.3ක් අවසන් වෙද්දී ස්කොට්ලන්ත ලකුණු පුවරුව 49/1ක් ලෙස දිස්වුණා. ඒ මොහොත වන විට ඔවුන්ට ජයග්‍රහණය සඳහා පන්දු 171කින් ලකුණු 170ක් අවශ්‍ය වුණා. එනිසා ස්කොට්ලන්ත පිතිකරුවන් වටා විශාල පීඩනයක් ගොඩනැඟී තිබුණා.

ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වුණා. එසේ ඔහු යොමු කළ පීඩනය හමුවේ අසරණ වුණු ස්කොට්ලන්ත පිතිකරුවන්ට පන්දුවාර 48.4ක් ඇතුළත සියලු දෙනා ම දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 178ක් පමණයි. එහි දී සුපිරි පන්දුයැවීමක නිරත වුණු වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු 5ක් බිඳ දැමුවා. එම දක්ෂතාව නිසා ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමි වුණා. 

දුනිත් වෙල්ලාලගේ – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 218/10 (45.2)- (සකුණ- 85, රවීන්- 30, ෆිෂර්- 56/3, ජාර්විස්- 27/2, ඩේවිඩ්සන්- 50/2)

ස්කොට්ලන්තය- 178/10 (48.4)- (ජාර්විස්- 55, වෙල්ලාලගේ- 27/5, ඩැනියල්- 16/2, වනුජ- 33/1)

ශ්‍රී ලංකාවට ලකුණු 40ක ජයක් 

තරගයේ වීරයා- දුනිත් වෙල්ලාලගේ 

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ හමුවේ ජයපැන් බොයි 

2022 ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පළමු තරගයපල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී ඊයේ දිනයේ  ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සිටින සුපිරි තරු තුනක් වන වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගාවලිය සඳහා සහභාගි වන්නේ නැහැ. එනිසා අත්දැකීම් අඩු ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙම තරගය සඳහා ක්‍රීඩා කළා. එය සිම්බාබ්වේ කණ්ඩායමට වාසිදායක තත්ත්වයක් වුණා.

එනිසා කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයා පන්දුවට මුලින්ම  පහරදීමට තීරණය කළා. හසරංග සහ චමීර නොමැතිව තරග බිමට පිවිසි ශ්‍රී ලංකා පන්දු බළඇණිය සිම්බාබ්වේ පිතිකරුවන් හමුවේ අසරණ වුණා. සිය ඉනිම පුරා මැනවින් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබා ගත්තා. එහි දී ෂෝන් විලියම්ස් පන්දු 87කින් වේගවත් ලකුණු 100ක් ලබා ගනිද්දී රෙගිස් චකබ්වා අගනා ලකුණු 72ක් වාර්තා කළා.

ෂෝන් විලියම්ස් සිය ශතකය සම්පූර්ණ කළ මොහොත – gettyimages.com

 

විදුලි ආලෝක ධාරා මධ්‍යයේ ලකුණු 297ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් ඉනිම ආරම්භයේ සිට ඉතාමත් සංයමයකින් පන්දුවට පහර දුන්නා. ඔවුන් හැකි තරම් කඩුලු අතැතිව ඉනිම ගොඩනගන්නට වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 24.3ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 147/2 බවට පත්ව තිබුණා.

ඒ මොහොතේ ලකුණු 75ක් ලබා සිටි පැතුම් නිස්සංක දැවී යාමත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට වැටුණා. ඉන් පසු ව පිටියේ එක් වුණු චරිත් අසලංක සහ දිනේෂ් චන්දිමාල් පන්දු 127කින් අගනා ලකුණු 129ක අගනා සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවත කරා යොමු කළා. ඒ අනුව පන්දුවාර 48.3ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

සිම්බාබ්වේ- 296/9 (50), (විලියම්ස්- 100, චකබ්වා- 72, චාමික- 69/3, වැන්ඩසේ- 44/2, ප්‍රදීප්- 54/2)

ශ්‍රී ලංකාව- 300/5 (48.3), (නිස්සංක- 75, චන්දිමාල්- 75, අසලංක- 71, නගරාවා- 56/3, රාසා- 23/1)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- දිනේෂ් චන්දිමාල් 

චන්දිමාල් පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

ටෙස්ට් තරගාවලි 3ක නිමාව සනිටුහන් වෙයි 

2021/23 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය හේතුවෙන් මේ දිනවල ටෙස්ට් ක්‍රිකට් පිටිය තරමක් දුරට  කාර්යබහුල වී තිබෙනවා. එම කාර්යබහුල බව මඳක් අඩුකරමින් ටෙස්ට් තරගාවලි 3ක් ගෙවුණු සතියේ නිමාවට පත්වුණා. ඒ අතුරින් කාගේත් අවධානය දිනා ගත්තේ ඉන්දු-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය යි. එම තරගාවලියේ තෙවන ටෙස්ට් තරගයකේප්ටවුන් නුවර නිව්ලන්ඩ්ස් පිටියේ දී  පසුගිය අඟහරුවාදා ආරම්භ වුණා. ඒ වන විට කණ්ඩායම් දෙක ම තරගය බැගින් ජයග්‍රහණය කර තිබුණු නිසා එම තරගයේ ප්‍රතිඵලයට අනුව තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය වීමට නියමිත ව තිබුණා. 

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ දී දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සුපුරුදු රිද්මයට පැමිණෙමින් ඉන්දීය පිතිකරුවන් අන්ත අසරණ තත්ත්වයකට පත් කළා. එනිසා කේප්ටවුන් ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 7ක පහසු ජයක් හිමි වුණා. මෙම ටෙස්ට් තරගය තුළ ඉන්දීය කණ්ඩායමේ කඩුලු 20ක් බිඳ වැටුණා. එම කඩුලු 20 ම උඩපන්දු මඟින් දැවීයාම ඉතාමත් විරල ගණයේ සිදුවීමක් වුණා. ඊට පෙර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ  එවැනි සිදුවීමක් වාර්තා වී නොතිබීම විශේෂත්වයක් වුණා. 

පන්දුවෙන් දස්කම් දැක්වූ මාර්කෝ ජැන්සන් – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

ඉන්දීය පළමු ඉනිම- 223/10, (කෝලි- 79, පුජාරා- 43, රබාඩා- 73/4, ජැන්සන්- 55/3)

අප්‍රිකානු පළමු ඉනිම- 210/10, (පීටර්සන්- 72, බවුමා- 28, බූම්රා- 42/5, ෂමී- 39/2)

ඉන්දීය දෙවන ඉනිම- 198/10, (පන්ට්- 100*, ජැන්සන්- 36/4, එන්ගිඩි- 21/3, රබාඩා- 53/3)

අප්‍රිකානු දෙවන ඉනිම- 212/3, (පීටර්සන්- 82, ඩූසන්- 41*, බවුමා- 32*, ටාකූර්- 22/1)

දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා- කීගන් පීටර්සන් 

තරගාවලියේ වීරයා- කීගන් පීටර්සන් 

ජයග්‍රාහී දකුණු අප්‍රිකානු කණ්ඩායම – gettyimages.com

 

පසුගිය දෙසැම්බර් මාසයේ දී ආරම්භ වුණු අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පස්වන සහ අවසන් ටෙස්ට් තරගය ඊයේ දිනයේ දි නිමාව දුටුවා. හෝබාර්ට් නුවර බෙලරීව් ඕවල් පිටියේ දී ක්‍රියාත්මක වුණු එම ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 146ක පහසු ජයක් හිමි වුණා. ඒ අනුව මෙවර අළුබඳුන ටෙස්ට් තරගාවලිය තරග 4-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා. පහතින් දක්වා තිබෙන්නේ හෝබාර්ට් ටෙස්ට් තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 303/10, (හෙඩ්- 101, ග්‍රීන්- 74, ලබුෂේන්- 44, බ්‍රෝඩ්- 59/3, වුඩ්- 115/3)

එංගලන්ත පළමු ඉනිම- 188/10, (වෝක්ස්- 36, රූට්- 34, කමින්ස්- 45/4, ස්ටාක්- 53/3)

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 155/10, (කේරි- 49, ස්මිත්- 27, වුඩ්- 37/6, බ්‍රෝඩ්- 51/3)

එංගලන්ත දෙවන ඉනිම- 124/10, (ක්‍රෝලි- 36, බෝලන්ඩ්- 18/3, ග්‍රීන්- 21/3, කමින්ස්- 42/3)

ඕස්ට්‍රේලියාවට ලකුණු 146ක ජයක් 

තරගයේ වීරයා- ට්‍රැවිස් හෙඩ් 

තරගාවලියේ වීරයා- ට්‍රැවිස් හෙඩ් 

ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම – gettyimages.com

 

ක්‍රයිස්චර්ච් නුවර හේග්ලි ඕවල් පිටියේ දී පැවති නවසීලන්ත-බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය පසුගිය බ්‍රහස්පතින්දා නිමාව දුටුවා. එම තරගය ආරම්භ වන විට බංග්ලාදේශ කණ්ඩායම තරග 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටියා. එනිසා මෙම ටෙස්ට් තරගය පිළිබඳව බොහෝ දෙනෙකු අවධානයෙන් පසුවුණා.

එවැනි තත්ත්වයක් යටතේ ආරම්භ වුණු ටෙස්ට් තරගයේ දී නවසීලන්ත පිතිකරුවන් මෙන් ම පන්දු යවන්නන් ද සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ටොම් ලේතම් නවසීලන්ත පළමු ඉනිමේ දී ලකුණු 252ක් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ලේතම්ගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

ඒ අයුරින් සුපිරි දස්කම් පෑ කිවියන් මෙම ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 117කින් ජයගෙන තරගාවලිය 1-1ක් ලෙසින් අවසන් කළා. 

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්ත පළමු ඉනිම- 521/6, (ලේතම්- 252, කොන්වේ- 109, බ්ලන්ඩල්- 57, ෂොරිෆුල්- 79/2)

බංග්ලාදේශ පළමු ඉනිම- 126/10, (යසිර්- 55, බෝල්ට්- 43/5, සවුති- 28/3, ජේමිසන්- 32/2)

බංග්ලාදේශ දෙවන ඉනිම- 278/10, (ලිටන්- 102, මොමිනුල්- 37, ජේමිසන්- 82/4, වැග්නර්- 77/3)

නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 117ක ජයක් 

තරගයේ වීරයා- ටොම් ලේතම් 

තරගාවලියේ වීරයා- ඩෙවොන් කොන්වේ 

නවසීලන්තය තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව – gettyimages.com

 

විශිෂ්ටයන් දෙදෙනකුගේ වෙනස් සමු ගැනීම් 

ලෝක ක්‍රිකට් පිටියෙන් සමුගැනීම් දෙකක් පිළිබඳව පුවත් පසුගිය සතියේ දී අසන්නට ලැබුණා. ඉන් කාගේත් අවධානය දිනා ගත්තේ රොස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොත යි. 2006-2022 කාල සමය තුළ ජාත්‍යන්තර තරග 447කදී නවසීලන්තය නියෝජනය කළ ටේලර් ශතක 40ක් සහ අර්ධ ශතක 93ක් සමඟින් ලකුණු 18173ක් ලබා ගැනීමට සමත් වුණා.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවියෙන් සමු ගන්නා නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් සහ එක්දින ලකුණු ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවා ලෙස වැජඹීම සුවිශේෂී සිදුවීමක් වුණා. ටේලර් සිය අවසන් ටෙස්ට් තරගයේ දී පිත්තෙන් සාර්ථක වුණේ නැහැ. නමුත් තරගය තුළ ක්‍රියාත්මක වුණු අවසන් පන්දුවෙන් කඩුල්ලක් ලබා ගනිමින් සිය ටෙස්ට් තරග දිවිය විශිෂ්ට අයුරින් අවසන් කිරීමට ඔහුට හැකියාව ලැබීම විශේෂත්වයක් වුණා. 

රොස් ටේලර් ටෙස්ට් තරග දිවියට සමුදුන් මොහොත – gettyimages.com

 

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ දී උරුම කර ගත් පරාජයෙන් පසුව නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. පසුගිය කාලයේ දී ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ ඔසවා තැබීමට විශාල මෙහෙවරක් කළ කෝලි 2014 වසරේ දී මුල්ම වරට ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා.

එදා සිට ටෙස්ට් තරග 68කදී ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ මෙම සුපිරි ක්‍රීඩකයා එයින් තරග 40කදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුණා.  කෝලිගේ නායකත්වය යටතේ ගෙවුණු වසර 7කට වැඩි කාලය තුළ ඉන්දීය කණ්ඩායම පරාජය වී ඇත්තේ ටෙස්ට් තරග 17ක් පමණ යි. ඒ අයුරින් කෝලි ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට බලවත් පාඩුවක් බව ක්‍රිකට් විචාරකයන් පවසා සිටිනවා. 

විරාත් කෝලි අවසන් වුණු ටෙස්ට් තරගයේ දී  – gettyimages.com

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම - twitter.com

මූලාශ්‍ර:

 espncricinfo.com 

howstat.com

Related Articles