Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක වාර්තාවක් සමඟ අපට පැරාඔලිම්පික් රන් පදක්කමක්

16 වන ගිම්හාන පැරා ඔලිම්පික් උළෙල මේ දිනවල ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වෙනවා.  එම තරගාවලිය සඳහා සහභාගි වුණු ලාංකීය ක්‍රීඩකයකු අද දිනයේ දී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. ඒ  F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගය සඳහා සහභාගි වුණු දිනේෂ් ප්‍රියන්ත යි.

දිනේෂ් ප්‍රියන්තට ලෝක වාර්තාවක් සමඟින් රන් පදක්කමක් – Outlook India

එහි දී මීටර් 67.79ක් දුරකට හෙල්ලය විසි කළ දිනේෂ් ප්‍රියන්ත ලෝක වාර්තාවක් සමඟින් රන් පදක්කමක් දිනා ගැනීම කැපී පෙනුණු සිදුවීමක් වුණා. ඔහු 2016 රියෝ පැරා ඔලිම්පික් උළෙලේ දීත් මෙම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබුණා. මෙවර දිනේෂ් දිනාගත් රන් පදක්කම ශ්‍රී ලංකාව පැරා ඔලිම්පික් ඉතිහාසයේ දිනා ගත් පළමු රන් පදක්කම වීම විශේෂත්වයක්.  

පැරා ඔලිම්පික් පදක්කම් සටහන – olympic.com

ඒ අයුරින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමෙන් විශේෂ සිදුවීම් රැසක් වාර්තා වුණා. මෙතැන් සිට ඔබට කියන්නේ ඒ පිළිබඳව යි. 

පසුගිය දිනක ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ එක්දින සහ 20/20 තරගාවලිවලට සහභාගිවීම සඳහා යි. නිමා වුණු ඉන්දීය 20/20 තරගාවලිය ජයග්‍රහණය කිරීම නිසා යහපත් මානසිකත්වයකින් පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන්ට හොඳ තරගයක් ලබා දීමට සූදානමින් සිටිනවා. ඒ අයුරින් ශ්‍රී ලංකාවට යළිත් වරක් ක්‍රිකට් වසන්තය උදා වුණා. 

ඉසුරු උදාන CPL තරග බිමේ වැඩ පෙන්නයි 

2021 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය අගෝස්තු 26 වැනි දා ආරම්භ වුණා. එම තරගාවලිය සඳහා ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එක්ව සිටිනවා. ඒ අනුව ඉසුරු උදාන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමටත් තිසර පෙරේරා බාබඩෝස් රෝයල්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරනවා. එම තරගාවලිය යටතේ පැවති සිව්වන තරගය අගෝස්තු 27 වැනිදා ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් සහ බාබඩෝස් රෝයල් යන කණ්ඩායම් අතර පැවැත්වුණා.

ඉසුරු උදාන කඩුල්ලක් ලබාගැනීමේ සතුට සමරමින් – getty images

එහි දී ට්‍රින්බැගෝ කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වුණු ඉසුරු උදාන පන්දුවාර 4ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 21කට කඩුලු 5ක් දවා ගත්තා.  එම ඉනිමේ දී ජොන්සන් චාල්ස්, ග්ලේන් පිලිප්ස්, ජේසන් හෝල්ඩර්, අසාම් ඛාන් සහ තිසර පෙරේරා යන පිතිකරුවන් උදානගේ පන්දුවලට ගොදුරු වුණා. ඒ අයුරින් උදාන සිදු කළ පන්දු යැවීම කැරිබියන් ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ හයවන හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වුණා. පහත දක්වා තිබෙන්නේ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වාර්තා වුණු හොඳම පන්දු යැවීම් 6යි.

  • 1) ශකීබ් අල් හසන්- 6/6 (4)
  • 2) සොහේල් තන්වීර්- 3/5 (4) 
  • 3) මොහොමඩ් නබී- 15/5 (4)
  • 4) හේඩ්න් වොල්ෂ්- 19/5 (4)
  • 5) රේමන් රීෆර්- 20/5 (4)
  • 6) ඉසුරු උදාන- 21/5 (4)   

පැරා ඔලිම්පික් තරගාවලිය ආරම්භ වෙයි 

16 වන ගිම්හාන පැරා ඔලිම්පික් උළෙල පසුගිය අගෝස්තු 24 වැනිදා ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වුණා. එම තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාර මූලික වටයේ දී දැක්වූ දස්කම්වලට අනුව දෙවන වටයට සුදුසුකම් ලබා ගත්තා. ඔහු ඊළඟ තරග වටයේ දී ඉන්දියාවේ චිකාරා විවේක් සමඟින් තරග වැදීමට නියමිත යි. ඒ අයුරින් සම්පත් බණ්ඩාර සාර්ථක ප්‍රතිඵල ලබා ගනිද්දී ඔරු පැදීමේ තරගවලට සහභාගි වුණු මහේෂ් ජයකොඩි ක්‍රීඩකයාටත්, රෝද පුටු ටෙනිස් තරගයට සහභාගි වුණු සුරේෂ් ධර්මසේන ක්‍රීඩකයාටත් ඊළඟ වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබුණේ නැහැ. 

2004-2016 කාල සමයේ පැවති සෑම පැරා ඔලිම්පික් තරගාවලියක ම ශූරතාව දිනා ගත් චීනය මෙවර පැරා ඔලිම්පික් තරගාවලියේ දීත් සුපුරුදු දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ අනුව මෙම ලිපිය අවස්ථාව වන විට රන් පදක්කම් 40ක් ලබාගෙන සිටි චීනය පදක්කම් සටහනේ පෙරමුණේ පසුවුණා. ඔවුන්ට පිටුපසින් සිටි මහා බ්‍රිතාන්‍ය සහ රුසියානු ඔලිම්පික් කමිටුව පිළිවෙළින් රන් පදක්කම් 22ක් සහ 15ක් ලබා ගෙන සිටියා. දින 15ක් පුරාවට පැවැත්වෙන තරගාවලිය ලබන සැප්තැම්බර් 5 වැනිදා අවසන් වීමට නියමිත යි.

අගෝස්තු 29 වැනිදා සවස් වරුව වන විට පදක්කම් සටහන දිස්වුණු ආකාරය – olympic.com

 

එංගලන්තයට වසර 54කට පසු ලැබුණු විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණය

2021 ඉන්දු-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය පසුගිය සෙනසුරාදා නිමාවට පත්වුණා. හෙඩිංග්ලි පිටියේ දී පැවති එම තරගයෙන් ඉනිමක සහ ලකුණු 76ක ජයග්‍රහණයක් හිමිවුණේ සත්කාරක එංගලන්ත කණ්ඩායමට යි. එංගලන්තය හෙඩිංග්ලි පිටියේ දී ඉන්දියාව හමුවේ අවසන් වරට ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබාගෙන තිබුණේ 1967 වසරේ දීයි. එනිසා මෙය එංගලන්තයට විශේෂ ජයග්‍රහණයක් වුණා. පහත දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව 

  • ඉන්දීය පළමු ඉනිම- 78/10, (රෝහිත්- 19, ඇන්ඩර්සන්- 6/3, ඕවටන්- 14/3, රොබින්සන්- 16/2)
  • එංගලන්ත පළමු ඉනිම- 432/10, (රූට්- 121, මලාන්- 70, හමීඩ්- 68, බර්න්ස්- 61, ෂමී- 95/4)
  • ඉන්දීය දෙවන ඉනිම- 278/10 (පුජාරා- 91, රෝහිත්- 59, කෝලි- 55, රොබින්සන්- 65/5, ඕවටන්- 47/3)

එංගලන්තයට ඉනිමක සහ ලකුණු 76ක ජයක් 

තරගයේ  වීරයා- ඔලී රොබින්සන් 

එංගලන්තය තරගය ජයග්‍රහණය කළ මොහොත – getty images

තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරග තුන අවසන් වන විට කණ්ඩායම් දෙක ම තරගය බැගින් ජයගෙන සිටිනවා. තරගාවලියේ සිව්වන තරගය එළඹෙන සැප්තැම්බර් 2 වැනිදා කෙනිංටන් ඕවල් පිටියේ දී ආරම්භ වීමට නියමිත යි.  

ග්‍රේස් කණ්ඩායම ඩයලොග්-SLC කුසලානය ජයග්‍රහණය කරයි  

ඩයලොග්-SLC ආරාධිත 20/20 ලීග් ක්‍රිකට් තරගාවලිය මහනුවර පල්ලෙකැලේ පිටියේ දී  පසුගිය අගෝස්තු 24 වැනිදානිමාවට පත්වුණා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් SLC ග්‍රේස් සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් SLC රෙඩ්ස් යන කණ්ඩායම් අතර පැවැත්වුණු අවසන් තරගයෙන් ග්‍රේස් කණ්ඩායමට ලකුණු 42ක පහසු ජයක් හිමි වුණා. පහත දැක්වෙන්නේ අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

කෙටි ලකුණු පුවරුව 

  • SLC ග්‍රේස්- 201/4 (20)
  • මිනෝද් භානුක- 74 (51)
  • දසුන් ශානක- 48* (17)
  • නුවනිඳු ප්‍රනාන්දු- 47 (36)
  • අකිල ධනංජය- 24/2 (4)

SLC රෙඩ්ස්- 159/9 (19.4)

ඕෂධ ප්‍රනාන්දු- 46 (27)

නුවන් ප්‍රදීප් – 17/2 (3.4)

පුලින තරංග- 27/2 (4)

SLC ග්‍රේස් කණ්ඩායමට ලකුණු 42ක ජයක් 

ජයග්‍රාහී ග්‍රේස් කණ්ඩායම – Sri Lanka Cricket

 

දකුණු අප්‍රිකානුවන් හමුවේ ගෞරවය බේරාගැනීමට හැකිවේවි ද? 

ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකානුවන් හමුවේ ලක්බිමේ දී අවසන් වරට එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළේ 2013 වසරේ දීයි.  1993-2021 කාල සමයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මෙරට දී තරග වැදුණු එක්දින තරගවල දී වැඩි දස්කම් පෙන්වීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. පහතින් දක්වා තිබෙන්නේ එදා සිට අද දක්වා මෙරට දී පැවති ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලිවල සාරාංශය යි.

1993 එක්දින තරගාවලිය

  • තරග- 3
  • ශ්‍රී ලංකා ජය- 1
  • දකුණු අප්‍රිකා ජය- 1
  • තීරණයක් නැති- 1

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා- රොෂාන් මහානාම- ලකුණු 101

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා- ඇලන් ඩොනල්ඩ් සහ පැට් සිම්කොක්ස්- කඩුලු 5 බැගින් 

2000 සිංගර් තුන්කොන් කුසලානය 

2000 වසරේ ජූලි මාසයේ දී පැවැත්වුණු සිංගර් තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, පාකිස්තානය, සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් සහභාගි වුණා. එහි දී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු මූලික වටයේ තරග දෙකෙන් ශ්‍රී ලංකාවට ජය හිමි වුණා. ඉන් පසුව දෙරට අතර පැවැත්වුණු අවසන් තරගයෙන් ද ලකුණු 30ක ජයක් හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි.

තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා- ගැරී කර්ස්ටන්- ලකුණු 236

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා- මුත්තයියා මුරලිදරන්- කඩුලු 9

2004 එක්දින තරගාවලිය

  • තරග- 5
  • ශ්‍රී ලංකා ජය- 5
  • දකුණු අප්‍රිකා ජය- 0

තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා- කුමාර් සංගක්කාර- ලකුණු 247

තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා- උපුල් චන්දන සහ තිලකරත්න දිල්ෂාන්- කඩුලු 8 බැගින් 

2004 එක්දින තරගාවලිය ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – getty images

2013 එක්දින තරගාවලිය

  • තරග- 5
  • ශ්‍රී ලංකා ජය- 4
  • දකුණු අප්‍රිකා ජය- 1

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා- කුමාර් සංගක්කාර- ලකුණු 372

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා- අජන්ත මෙන්ඩිස්- කඩුලු 10

2013 එක්දින තරගාවලි ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – getty images

 

2014 එක්දින තරගාවලිය

  • තරග- 3
  • දකුණු අප්‍රිකා ජය- 2
  • ශ්‍රී ලංකා ජය- 1

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා- හෂීම් අම්ලා- ලකුණු 258

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා- රයන් මැක්ලරන්- කඩුලු 9

2018 එක්දින තරගාවලිය

  • තරග- 5
  • දකුණු අප්‍රිකා ජය- 3
  • ශ්‍රී ලංකා ජය- 2

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා- ඇන්ජලෝ මැතිස්ව්- ලකුණු 235

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා- අකිල ධනංජය- කඩුලු 14

ජයග්‍රාහී දකුණු අප්‍රිකානු කණ්ඩායම –  getty images

 

1993-2021 කාල සමයේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව මෙරට දී එක්දින තරග 24ක් ක්‍රීඩා කර තිබෙනවා. ඉන් 16ක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වෙද්දී දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණය කිරීමට හැකිවුණේ තරග 7ක් පමණ යි. ඒ අනුව ලබන සැප්තැම්බර් 2 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ දී අපේ කණ්ඩායමට ඇති ප්‍රබලත ම අභියෝගය වන්නේ මව්බිමේ දී සිය ගෞරවය බේරාගැනීම යි. දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට එම අභියෝගය ජයගැනීමට හැකිවේවා යන්න ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ එක ම පැතුම යි.

කවරයේ ඡායාරූපය- රන් පදක්කමක් දිනා ගත් හෙල්ල විසිකිරීමේ තරගය සඳහා සහභාගි වුණු දිනේෂ් ප්‍රියන්ත - Outlook India
 මූලාශ්‍ර-

olympic.com

espncricinfo

Related Articles