Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම LPL සටනේ පෙරමුණට

පසුගිය දෙසැම්බර් 5 වැනිදා ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ තරග 13ක් මේ වන විට අවසන්. එම තරගවල ප්‍රතිඵලවලට අනුව ගිය වර ශූරතාව දිනා ගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 8ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් ව සිටිනවා. ඔවුන් සමඟ කරට කර සටනක නිරත ව සිටින දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 7ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. එම තරගාවලියේ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

LPL තරගාවලිය උණුසුම් මුහුණුවරක් 

ජැෆ්නා කිංග්ස්, දඹුල්ල ජයන්ට්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කැන්ඩි වොරියර්ස්, කළම්බු ස්ටාර්ස් යන කණ්ඩායම් පහේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය ආශ්‍රිත ව ක්‍රියාත්මක වන තරගාවලිය සඳහා ඉතාමත් දක්ෂ දෙස් – විදෙස් ක්‍රීඩකයන් රැසක් එක් වී සිටිනවා. තරගාවලියේ මේ දක්වා පැවති තරගවල දී වැඩි දස්කම් දැක්වූ ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග 5කට සහභාගි ජයග්‍රහණ 4ක් ලබා ගැනීමට සමත් වුණා. 

ජැෆ්නා පිතිකරුවන් දස්කම් දක්වමින්  – lplt20sl.com

 

පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගත් ජැෆ්නා කණ්ඩායමට වනිඳු හසරංග, තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ, අවිශ්ක ප්‍රනාන්දු, ෂොයිබ් මලික්, වහාබ් රියාස්, උපුල් තරංග වැනි ප්‍රබල ක්‍රීඩකයන් ඇතුළත් ව සිටිනවා. මේ දක්වා පැවති තරගවල දී ඔවුන් දැක්වූ දස්කම්වලට අනුව පිට පිටම දෙවන වරටත් ශූරතාව දිනාගැනීමට ඉතාමත් හොඳ අවස්ථාවක් තිබෙනවා. 

ප්‍රසාද ලකුණු සටහන 

1) ජැෆ්නා කිංග්ස්- ලකුණු 8   (තරග 5)

2) දඹුල්ල ජයන්ට්ස්- ලකුණු 7   (තරග 5)

3) ගෝල් ග්ලැඩියේටර්ස්- ලකුණු 5   (තරග 6)

4) කළම්බු ස්ටාර්ස්- ලකුණු 4   (තරග 5)

5) කැන්ඩි වොරියර්ස්-ලකුණු 2   (තරග 5)

ජැෆ්නා කණ්ඩායමේ සුපිරි තරුව වනිඳු හසරංග – lplt20sl.com

 

මෙවර LPL තරගාවලිය සඳහා ලබා දී තිබුණු තණතීරුවලින් බොහොමයක් පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය වුණා. එනිසා බොහෝ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට හැකියාව ලැබුණා. ඒ අතුරින් අඛණ්ඩ ව ලකුණු අතර සිටින කළම්බු කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් ලකුණු 181ක් ලබා ගෙන තරගාවලියේ වැඩි ම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර ඉහළින් ම වැජඹෙනවා.

චන්දිමාල් මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කළ කැපී පෙනෙන ඉනිම බවට පත්වුණේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි ව පන්දු 40කින් නොදැවී ලබා ගත් ලකුණු 65 යි. පහතින් දක්වා  තිබෙන්නේ මේ වන විට තරගාවලියේ වැඩි ම ලකුණු ලබාගෙන සිටින පිතිකරුවන් සිව්දෙනා පිළිබඳව යි. 

1) දිනේෂ් චන්දිමාල් (කළම්බු ස්ටාර්ස්)- ලකුණු 181 (ඉනිම්-5)

2) ෆිල් සෝල්ට් (දඹුල්ල ජයන්ට්ස්)- ලකුණු 180 (ඉනිම්-5)

3) කුසල් මෙන්ඩිස් (ගෝල් ග්ලැඩියේටර්ස්)- ලකුණු 159 (ඉනිම්- 6)

4) තිසර පෙරේරා (ජැෆ්නා කිංග්ස්)- ලකුණු 150 (ඉනිම්- 4)

චන්දිමාල් දඹුල්ල කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ ඉනිමේ අවස්ථාවක් – cricketexchange.in

 

පිතිකරුවන් දස්කම් අතරට එලෙස පැමිණෙද්දී සමහර පන්දු යවන්නන් ද විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. ඉන් වඩාත් කැපී පෙනුණු පන්දු යවන්නා බවට පත්වුණු එංගලන්ත ක්‍රීඩක සමිට් පටෙල් තරග 6කට සහභාගි වෙමින් කඩුලු 11ක් බිඳ දැමුවා. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම බවට පත්වුණේ කැන්ඩි වොරියර්ස්  කණ්ඩායමට එරෙහි ව ලකුණු 13කට දවා ගත් කඩුලු 3යි. මේ දක්වා පැවති තරගවල දී වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නන් සිව්දෙනා පිළිබඳ ව පහතින් දක්වා තිබෙනවා. 

1) සමිත් පටෙල් (ගෝල් ග්ලැඩියේටර්ස්)- කඩුලු 11 (තරග- 6)

2) සීක්කුගේ ප්‍රසන්න (කළම්බු ස්ටාර්ස්)- කඩුලු 9 (තරග- 5) 

3) මහීෂ් තීක්ෂණ (ජැෆ්නා කිංග්ස්)- කඩුලු 8 (තරග- 5)

4) නුවන් ප්‍රදීප් (දඹුල්ල ජයන්ට්ස්)- කඩුලු 8 (තරග- 5) 

සමිට් පටෙල් – lplt20sl.com

 

අළු බඳුන පළමු ටෙස්ට් තරගයෙන් කැංගරුවන්ට ජය

2021/22 අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පසුගිය සෙනසුරාදා බ්‍රිස්බේන් නුවර ගැනා පිටියේ දී නිමාව දුටුවා. එම තරගය පුරාවට සුපිරි දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 9ක පහසු ජයක් හිමි කර ගත්තා.

ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ට්‍රැවිස් හෙඩ් පන්දු 148කින්  වේගවත් ලකුණු 152ක් ලබා ගත්තා. එහි දී ඔහු පන්දු 85කින් සිය ශතකය සම්පූර්ණ කරමින් අළු බඳුන තරග ඉතිහාසයේ තෙවැනි වේගවත් ම ශතකය වාර්තා කළා. 

ට්‍රැවිස් හෙඩ් සිය ශතකය සම්පූර්ණ කළ අවස්ථාව – cricket.com.au

 

එහි වාර්තාව උසුලන ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් 2006/07 තරගාවලියේ දී පන්දු 57කින් සිය ශතකය සම්පූර්ණ කළා. එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ රැඳී සිටින එංගලන්තයේ ගිල්බට් ජෝශප් 1902 වසරේ පැවති තරගාවලියේ දී පන්දු 76කින් ශතකයක් වාර්තා කළා.

ඒ අයුරින් හෙඩ් පිත්තෙන් සුපිරි දස්කම් දක්වද්දී පන්දුවෙන් හපන්කම් පෑ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්, සමස්ත තරගය පුරාවට ලකුණු 89කට කඩුලු 7ක් දවා ගත්තා. එය කමින්ස් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබා දුන් පළමු තරගය බවට පත්වීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

කමින්ස් පන්දුවෙන් දස්කම් දක්වමින් – cricket.com.au

 

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම- 147/10, (බට්ලර්- 39, කමින්ස්- 38/5, ස්ටාක්- 35/2, හේසල්වුඩ්- 42/2)

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම- 425/10, (හෙඩ්- 152, වෝනර්- 94, ලබුෂේන්- 74, රොබින්සන්- 58/3)

එංගලන්ත දෙවන ඉනිම- 297/10, (රූට්- 89, මලාන්- 82, ලයන්- 91/4, ග්‍රීන්- 23/2, කමින්ස්- 51/2)

ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම- 20/1, (හැරිස්- 9*, කේරි- 9, රොබින්සන්- 13/1)

ඕස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක් 

තරගයේ වීරයා- ට්‍රැවිස් හෙඩ් 

ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු කණ්ඩායම – skysports.com

 

කාල්සන් පිට පිට ම 5 වන වරටත් ලෝක චෙස් ශූරතාව දිනයි 

2021 ලෝක චෙස් ශූරතාවලිය පසුගිය දිනවල ඩුබායි හීදී ක්‍රියාත්මක වුණා. එහි දී ලොව අංක එකේ චෙස් ක්‍රීඩකයා වන නෝර්වේ රාජ්‍යයේ කාල්සන් මැග්නස් පිට පිට ම පස්වන වතාවටත් ලෝක චෙස් ශූරයා බවට පත්වුණා. මෙවර චෙස් ලෝක ශූරතාවයේ දී රුසියාවේ ඉයන් නෙපොම්නියාචි, කාල්සන්ගේ ප්‍රතිවාදියා බවට පත්වුණා. ඔවුන් දෙදෙනා අතර පැවති මුල් තරග 5 ම ජය පැරදුමෙන් තොර ව නිමාවට පත්වුණා.

ඉන් අනතුරු ව  සුපුරුදු රිද්මයට පැමිණි කාල්සන් ප්‍රබල සටනකින් පසුව 6 වන තරගය ජයග්‍රහණය කළා. එම පරාජයෙන් පසුව දැඩි පසුබෑමකට ලක් වුණු නෙපොම්නියාචි ඊළඟට පැවති තරග පහෙන් 3ක් පරාජයට පත්වුණා. එනිසා 7.5-3.5ක් ලෙසින් පිට පිට ම පස්වන වරටත් ලෝක චෙස් ශූරයා බවට පත්වීමට කාල්සන් මැග්නස්ට හැකියාව ලැබුණා. එලෙස ලෝක චෙස් ශූරයා බවට පත්වුණු කාල්සන්ට යුරෝ මිලියන 1.2ක ත්‍යාග මුදලක් හිමි වුණා.

කාල්සන් ජයග්‍රාහී කුසලානය සමඟින් – gettyimages.com

 

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට එක්දින තරගාවලි ජයග්‍රහණයක්

මීට මාස කිහිපයකට පෙර ලෝක ශූර බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහි ව පැවති එක්දින තරගාවලිය 5-0ක් ලෙසින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා තවත් එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. ඔවුන් එංගලන්තයට එරෙහිව පැවති එක්දින තරගාවලිය ජයග්‍රහණය කළේ තරග 3-2ක් ලෙස යි.

එහි දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ පිත්තෙන් ලකුණු 139ක් සහ පන්දුවෙන් කඩුලු 9ක් දවා ගෙන තරගාවලියේ සුපිරි තරුව බවට පත්වුණා. ඒ වාගේ ම පවන් පතිරාජ තරගාවලිය පුරා ම ලකුණු අතර සිටියා. දෙවන තරගයේ දී ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 113 අමතක නොවන ඉනිමක් බවට පත්වුණා. 

ජයග්‍රාහී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම – island.lk

තරග ප්‍රතිඵල 

1) පළමු තරගය- එංගලන්තයට ලකුණු 25ක ජයක් 

එංගලන්තය- 242/10 (49.3)

ශ්‍රී ලංකාව- 217/10 (47.3)

දුනිත් වෙල්ලාලගේ- 30/5 (9.3) සහ 68 (68)

2) දෙවන තරගය- ශ්‍රී ලංකාවට ලකුණු 148ක ජයක් 

ශ්‍රී ලංකාව- 251/4 (50)

එංගලන්තය- 103/10 (31.4)

පවන් පතිරාජ- 113 (131), වනුජ සහන්- 21/5 (10)

3) තෙවන තරගය- ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්  

එංගලන්තය- 114/10 (34.3)

ශ්‍රී ලංකාව- 115/8 (44)

දුනිත් වෙල්ලාලගේ- 13/3 (6) 

4) සිව්වන තරගය- ශ්‍රී ලංකාවට ලකුණු 126ක ජයක් 

ශ්‍රී ලංකාව- 243/7 (50)

එංගලන්තය- 117/10 (33.3)

රවීන් ද සිල්වා- 59 (87), 6/3 (3.3)

5) පස්වන තරගය- එංගලන්තයට ලකුණු 25ක ජයක් 

එංගලන්තය- 214/8 (50)

ශ්‍රී ලංකාව- 166/10 (35.1)

ටොම් ප්‍රෙස්ට් – 41/6 (10) 

දුනිත් වෙල්ලාලගේ තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් අවස්ථාව – facebook.com

කවරයේ ඡායාරූපය- ජැෆ්නා කිංග්ස් කණ්ඩායම - lplt20sl.com

මූලාශ්‍ර:

espncricinfo.com 

howstat.com 

fide.com

Related Articles