ඕනෑම රටක කීර්තිය වැඩිවීමට එම රටෙහි ජාතික කණ්ඩායම් හෝ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජාත්‍යාන්තර තලයෙහි දක්වන දක්ෂතා බෙහෙවින් ඉවහල් වේ. 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම නිසා ශ්‍රී ලංකාව නමැති කුඩා දිවයින ලෝකයෙහි බොහෝ ප්‍රචලිත වූ අතර එමගින් අප රටට ඉමහත් කීර්තියක් ද අත්කර ගැනීමට හැකිවිය.

එපමණක් ද නොව ශ්‍රී ලංකාවෙහි එතෙක් පැවති ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ දෑ තිලිණ කිරීමටද 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට හැකිවිය. ලෝක කුසලානයේ ජයත් සමඟින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ ප්‍රතිපාදන ලැබුණු අතර එය ක්‍රීඩාවේ වර්ධනයට මෙන්ම ක්‍රීඩකයින්ගේ සුභසාදනයට ද මහත් පිටිවහලක් විය. ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ තව තවත් ජනප්‍රිය වීමටද 1996 ලෝක කුසලානයෙහි ජය බෙහෙවින් ඉවහල් විය. 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර වසර 22 ක් සපිරෙන මේ මොහොතෙහි එම ලෝක කුසලානය පිලිබඳව සහ එම ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ පිළිබඳව සිදුකරන පසුවිපරමකි මේ.

1996 දී පැවැත්වුනේ 6 වැනි ක්‍රිකට් ලෝක කුසලානය වූ අතර ඒ සඳහා අනුග්‍රහය දැක්වූයේ ITC ආයතනයෙහි සන්නාමයක් වන WILLS සන්නාමයයි. 1996 පෙබරවාරි මස 14 වැනිදා සිට මාර්තු මස 17 වැනිදා දක්වා පැවැත් වූ 1996 ලෝක කුසලානයෙහි සත්කාරකත්වය දරන ලද්දේ පකිස්තානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යි. රටවල් තුනෙහි ක්‍රීඩාංගන 26 කදී තරඟ 37 ක් පැවැත්විය. තරඟාවලියේ මූලික වටය A සහ B ලෙස කාණ්ඩ ද්විත්වයක් ලෙස ලීග් ක්‍රමයට ද ඉන්පසු අර්ධ අවසාන වටයේ සිට පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට ද පැවැත්වීමට සැලසුම් කර තිබුණි. තරඟාවලියට කණ්ඩායම් 12 ක් සහභාගී වූ අතර මූලික වටයේදී එම කණ්ඩායම් පහත ආකාරයට A සහ B ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරඟ වැදීය.

A කාණ්ඩය – ඉන්දියාව​, ශ්‍රී ලංකාව​, ඔස්ට්‍රේලියාව​, බටහිර ඉන්දීය කොදෙව්, කෙන්යාව​, සිම්බාබ්වේ

B කාණ්ඩය – දකුණු අප්‍රිකාව, පකිස්තානය, නෙදර්ලන්තය, එංගලන්තය, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය

මූලික වටය

මූලික වටයේදී ශ්‍රී ලංකාවට තරඟ 5 කට මුහුණදීමට සිදු වූ අතර ශ්‍රී ලංකාව එම එක් එක් තරඟය ක්‍රීඩා කළ ආකාරය පිලිබඳ දැන් අපි විමසා බලමු. මෙම ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ අර්ජුන රණතුංග විසින් වන අතර ශ්‍රී ලංකාවේ පුහුනුකාරීත්වය දරන ලද්දේ ඩේව් වට්මෝර් විසිනි.

1996 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතව තිබූ පළමු වැනි තරඟය ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ 1996 පෙබරවාරි මස 17 වැනි දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දීය. නමුත් ආරක්ෂක හේතූන් නිසා යයි පවසමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ අතර එබැවින් එම තරඟය පැවැත්වීමට නොහැකි විය. තරඟයේ ජය සමඟින් ප්‍රසාද ලකුණු දෙක ශ්‍රී ලංකාවට හිමිවිය.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරඟය

ශ්‍රී ලංකාවට මීළඟට යෙදී තිබූ තරඟය වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරඟයයි. 1996 පෙබරවාරි මස 21 වැනි දින කොළඹ SSC පිටියේදී මෙම තරඟය පැවැත්වීය. එවකට බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ආදරය කළ කණ්ඩායමක් වූ සිම්බාබ්වේ කණ්ඩායමෙහි නායකත්වය දරන ලද්දේ ඇන්ඩි ෆ්ලවර් විසිනි. කාසිය වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 228 ක් පමණි. පන්දුවාර 37 කදී ජයග්‍රාහී ඉලක්කය පසුකළ ශ්‍රී ලංකාව තරඟය ජයගත්තේ කඩුලු 6 කිනි. අසංක ගුරුසිංහ සහ අරවින්ද ද සිල්වා 3 වැනි කඩුල්ල සඳහා ලකුණු 172 ක සම්බන්ධතාවක් පැවැත්විය. අරවින්ද ද සිල්වා තරඟයේ වීරයා වූයේය.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟය

1996 පෙබරවාරි මස 25 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරඟයද ක්‍රීඩා නොකරම අතහැර දැමීමට සිදුවිය. එයට හේතුව වූයේ කොදෙව්වන්ද ඕස්ට්‍රේලියානුවන් මෙන් ආරක්ෂක හේතූන් යැයි පවසා මෙම තරඟයට සහභාගී නොවීමයි. ඒ අනුව තරඟයේ ජය සමඟින් ප්‍රසාද ලකුණුත් ශ්‍රී ලංකාවට පිරිනැමීය.

තරඟාවලිය පැවැත්වීමට පෙර 1996 පෙබරවාරි මස 13 වැනිදා ඉන්දීය ක්‍රීඩකයින් සහ පකිස්තානු ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවත් සමඟින් තරගයකට සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය පිළිබඳව ගැටලුකාරී තත්වයක් නොමැති බව ලොවටම පෙන්වීම සඳහායි. නමුත් ඔස්ට්‍රේලියාව සහ කොදෙව්වන් තමන්ගේ මතය වෙනස් නොකරන ලදී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය

1996 මාර්තු මස 2 වැනිදා ඉන්දියාවේ දිල්ලි නුවර පැවතී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය බොහෝ දෙනාගේ අවධානය යොමු වූ තරඟයක් විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කරන ලදී. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේදී ඉන්දියාව කඩුලු 3 කට ලකුණු 271 ක් ලබාගැනීමට සමත් විය. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සචින් තෙන්ඩුල්කාර් පන්දු 137 කදී ලකුණු 137 ක් වාර්තා කිරීමට සමත්විය. එම ඉනිමට හතරේ පහර 8 ක් සහ හයේ පහරවල් 5 ක් ඇතුලත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගලය වූ සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ පිටිය සිසාරා පහරවල් එල්ල කළහ. ඔවුන් දෙදෙනා මුල් පන්දුවාර තුනට ලකුණු 42 ක් ලබා ගැනීමට සමත් වූ අතර වැඩියෙන්ම ප්‍රහාරයට ලක් වූ ඉන්දීය පන්දු යවන්නා වූයේ මනෝජ් ප්‍රභාකර් ය. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ කඩුලු 4 ක් ලකුණු 141 ක් වන විට බිඳ වැටුණ අතර එහිදී නායක අර්ජුන රණතුංග සමඟ එක් වූ හෂාන් තිලකරත්න නොබිඳුණු ලකුණු 132 ක සම්බන්ධතාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා ගෙනයන ලදී. පන්දු 76 කදී ලකුණු 79 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ආරම්භයක් ලබාදුන් සනත් ජයසූරිය තරඟයේ වීරයා ලෙසින් අබිසෙස් ලැබීය.

ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර තරඟය

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසාන තරඟය ක්‍රීඩා කලේ කෙන්යාවට එරෙහිවයි. වාර්තා පිට වාර්තා තැබූ මෙම තරඟය පැවැත්වුනේ 1996 මාර්තු මස 6 වැනි දින මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේදී ය. මෙම තරඟයට පෙර මෙම ලෝක කුසලානයේදී කෙන්යා කණ්ඩායම එවකට ප්‍රබල කණ්ඩායමක් වූ කොදෙව්වන් ලකුණු 73 කින් පරාජය කර තිබුණි. ඒ වනවිට කෙන්යානු කණ්ඩායම තමන්ගේ කණ්ඩායම පිළිබඳ අධි තක්සේරුවකින් සිටි අතර ඔවුන් පිලිබඳ ඔවුන්ට තිබූ එම අධි තක්සේරුව පැවතුනේ සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ පන්දුවට පහරදීමට පැමිණෙන තෙක් පමණි. කාසියේ වාසිය දිනූ කෙන්යානු නායක මොරිස් ඔඩුම්බේ ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීම සඳහා ආරාධනා කරන ලදී.

කෙන්යාවේ මාර්ටින් සූජි බ​.ඉ.කො. හි ශිවනරින් චන්ද්‍රපෝල් දවාගනී (AP)

ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගලය පිටියට පැමිණි වහාම අනුකම්පා විරහිතව කෙන්යානු පන්දු යවන්නන්ට පහර දෙන ලදී. ප්‍රථම කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 83 ක් එකතු කිරීමට සනත්ට සහ කලූට හැකිවිය. සනත් හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක්  සමඟින් පන්දු 27 කදී ලකුණු 44 ක් ලබාගත් අතර කළු හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු කදී ලකුණු 33 ක් ලබාගැනීමට සමත්විය.

ලකුණු 88 ක් වනවිට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවාගැනීමට කෙන්යානු පන්දු යවන්නන්ට හැකිවිය. ඉන්පසු පිටියට එක් වූයේ අරවින්ද ද සිල්වා සහ අසංක ගුරුසිංහයි. ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 183 ක් එකතුකළ අතර ගුරුසිංහ ලකුණු 84 කට දැවී ගියේය​. ඒ වනවිට ලකුණු පුවරුව දැක්වුණේ 271/3ක් වශයෙනි. ඉන්පසු නායක අර්ජුන රණතුංග සමඟින් එක් වූ අරවින්ද නැවතත් ලකුණු 106 ක ශතක සම්බන්ධතාවක් පිහිටවීය. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේදී ශ්‍රී ලංකාව කඩුලු 5 කට ලකුණු 398 ක් රැස් කිරීමට සමත්විය. ඉතා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අරවින් ද සිල්වා පන්දු 117 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 14 ක් සමඟින් ලකුණු 145 ක් ලබාගැනීමට සමත්විය. නායක අර්ජුන රණතුංග පන්දු 49 කදී ලකුණු 75 ක් ලබාගත්තේය. කිසිදු කෙන්යානු පන්දු යවන්නෙක් සැලකිය යුතු දස්කමක් ප්‍රදර්ශනය නොකළ අතර මොරිස් ඔඩුම්බේගේ සොහොයුරු එඩ්වර්ඩ් ඔඩුම්බේ ලකුණු 34 කට කඩුලු 2 ක් බිඳහෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෙන්යානු කණ්ඩායම ඉතාමත් ගෞරවාන්විත ආකාරයෙන් තරඟය පරාජය විය. ඔවුන් සිය පන්දුවාර 50 ට ලකුණු 254 ක් ලබාගැනීමට සමත්විය. එතෙක් මෙතෙක් කෙන්යාවෙන් බිහිවූ සුපිරිම පිතිකරු ලෙසින් හැඳින්විය හැකි ස්ටීව් ටිකෝලෝ කෙන්යාව වෙනුවෙන් ලකුණු 96 ක් රැස් කළ අතර ඔහුට කදිම සහයක් දැක් වූ හිතේෂ් මෝදි ලකුණු 41 ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක අගනා සම්බන්ධයක් පිහිටුවීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් සහ නායක අර්ජුන රණතුංග කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය. අරවින්ද ද සිල්වා තරඟයේ වීරයා ලෙසින් අභිෂේක ලැබීය.

මෙම තරඟයේ දී පිහිට වූ වාර්තා කිහිපයක්

  1. අරවින්ද ද සිල්වා ලබාගත් ලකුණු 145 ඒ වනවිට ශ්‍රී ලංකාවේ පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව​ විය. අරවින්ද පසු කරන ලද්දේ සනත් ජයසූරිය විසින් 1994 වසරේ දී නවසීලන්තයට එරෙහිව රැස් කරන ලද ලකණු 140 යි. අද වන විටත් ශ්‍රී ලාංකික පිතිකරුවෙකු විසින් ලෝක කුසලානයකදී ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව​ ලෙසින් අරවින්දගේ මෙම ලකුණු 145 වාර්තා පොත්වල ඉතිරිව පවතී.
  1. මෙම තරඟයේ දී අරවින්ද ද සිල්වා සහ අර්ජුන රණතුංග දෙදෙනාම එක්දින ලකුණු 5000 සීමාව පසුකළහ. එක්දින ලකුණු 5000 සීමාව පසුකළ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනා වූයේ අරවින්ද සහ අර්ජූනය.
  1. ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 398 ඒ වනවිට එක්දින ජාත්‍යාන්තර තරඟයක වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව​ විය. එම වාර්තාව වසර 10 ක් පුරා අඛණ්ඩව​ පැවතුනි.
  1. ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග සිය අර්ධ ශතකය වාර්තා කරන ලද්දේ පන්දු 29 කිනි. ඒ වනවිට ලෝක කුසලාන තරඟයක වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය ලෙසින් එම අර්ධ ශතකය හැඳින්වූ අතර අර්ජුන විසින් බිඳ හෙලන ලද්දේ වසර 21 ක් පැරණි වාර්තාවක් විය.
  1. කෙන්යාවේ ස්ටීව් ටිකෝලෝ විසින් රැස් කළ ලකුණු 96 ඒ වනවිට කෙන්යානු ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව විය.

ශ්‍රී ලංකාව මේ ආකාරයට විශිෂ්ට ජයග්‍රහණයකින් මූලික වටය අවසන් කළ අතර මූලික වටයේ දී ශ්‍රී ලංකාව කාණ්ඩයේ ඉදිරියෙන් ම සිටියේ ය​. B කාණ්ඩයේ ඉදිරියෙන් ම සිටියේ දකුණු අප්‍රිකාවයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අර්ධ අවසන් පූර්ව තරඟය

ජයසූරිය එංගලන්තයට එරෙහිව​ (cricbuzz)

1996 ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරඟය පැවැත්වුනේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතරයි. 1996 මාර්තු මස 9 වැනි දින පකිස්තානයේ ෆයිසල්බාද් නුවර පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ එංගලන්ත නායක මයික් ඇතර්ටන් සහ රොබින් ස්මිත්ය. ඔවුන් දෙදෙනා ඉතාමත් විශ්වාසයෙන් යුතුව පන්දුවට පහරදුනි. මුළු ලකුණු 31 ක් වනවිට නායක මයික් ඇතර්ටන් ක්‍රීඩාගාරයට හරවා යැවීමට චමින්ද වාස් ට හැකිවිය. ඒ වනවිට ඇතර්ටන් ලකුණු 22 ක් ලබාගෙන සිටියේය. එම කඩුල්ලත් සමඟින් දිගින් දිගටම එංගලන්ත පිතිකරුවන්ට පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය. පන්දු රැකීමෙන්ද ඔවුන්ට මනා සහයෝගයක් ලැබුණි. එහි ප්‍රතිපලයක් ලෙසින් එංගලන්ත පිතිකරුවන්ට ස්ථාවර වීමට අවස්තාවක් නොලැබී ගිය අතර විශාල සම්බන්ධතා පැවැත්වීමට නොහැකි විය.

එක් අන්තයකින් එංගලන්තයේ කඩුලු බිඳවැටෙන විට අනෙක් අන්තය ආරක්ෂා කරගනිමින් ලකුණු ලබාගැනීමේ වේගයද යම් පමණකින් තබාගෙන පන්දුවට පහරදුන් ක්‍රීඩකයා වූයේ පිලිප් ඩිෆ්‍රේටස් ය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් පන්දු 64 කදී ලකුණු 67 ක් ලබාගැනීමට ඩිෆ්‍රේටස් ට හැකිවිය. එයට අමතරව එංගලන්තයේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක් එකතු කිරීමට වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ඩර්මොට් රීව් සහ ඩරන් ගෆ් සමත් විය. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 35 ක් සහ 25 ක් ලබාගැනීමට සමත්වූහ. ඒ අනුව එංගලන්තය සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 කට ලකුණු 235 ක් ලබාගැනීමට සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන සහ සනත් ජයසූරිය කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස රොමේෂ් කලුවිතාරණ ලකුණු 8 කට දැවී ගිය නමුත් ඉන්පසු සනත් ජයසූරිය හා අසංක ගුරුසිංහ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් පිහිටවීය. එම පන්දුවට පහරදීම වර්තමානයේ විස්සයි විස්ස තරඟයක පන්දුවට පහරදීමට සමාන විය. එංගලන්තයෙන් තරඟය සම්පූර්ණයෙන්ම උදුරා ගැනීමට එම සම්බන්ධතාවට හැකි වූ අතර එහි පුරෝගාමියා වූ සනත් ජයසූරිය හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් සමඟින් පන්දු 44 කදී ලකුණු 82 ක් රැස් කිරීමට සමත්විය. එතැන් සිට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය එතරම්ම දුෂ්කර නොවීය. පන්දුවාර 40.4 කදී ලකුණු 235 පසුකර තරඟය ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. සනත් ජයසූරිය තරඟයේ වීරයා විය.

අර්ධ අවසන් පූර්ව වටයෙහි පැවතී අනෙක් තරඟ

මාර්තු මස 9 වැනි දින ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉන්දියාවේ බෙන්ගලූරු හිදී දෙවන අර්ධ අවසන් පූර්ව තරඟයට සහභාගී වූහ​. ඉන්දියාව ලකුණු 39 කින් ජය ගත් අතර තරඟයේ වීරයා නව්ජෝට් සිං සිධූ විය.

මාර්තු මස 11 වැනි දින දකුණු අප්‍රිකාව සහ බ.ඉ.කො. අතර පාකිස්තානයේ කරච්චි හීදී පැවති තුන්වන අර්ධ අවසාන පූර්ව තරඟයෙන් බ.ඉ.කො. කණ්ඩායමට ලකුණු 19 ක ජයක් ලැබිණ​. තරඟයේ වීරයා බ්‍රයන් ලාරා.

මාර්තු මස 11 වැනි දින ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවති සිව් වැනි අර්ධ අවසාන පූර්ව තරඟයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 6 ක ජයක් ලැබුණි. තරඟයේ වීරයා මාර්ක් වෝ

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, බ.ඉ.කො. සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

අවසන් පූර්ව වටය

1996 ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රථම අවසන් පූර්ව තරඟය පැවැත්වුනේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ කල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේදී ය. ඒ 1996 මාර්තු මස 13 වැනිදා ය. කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක මොහොමඩ් අසාරුදීන් ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරාගත්තේය.

ඉන්දීය ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගලයට සාර්ථක වීමට ජවගල් ශ්‍රීනාත් ඉඩ නොදුන්නේය. ප්‍රථම පන්දුවාරයේදී ම සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ දවාගැනීමට ශ්‍රීනාත් සමත්විය. ඉන්පසු අරවින්ද ද සිල්වා වේගවත් ඉනිමක් දියත් කළ අතර අසංක ගුරුසිංහ සමඟින් ලකුණු 33 ක්ද නායක අර්ජුන රණතුංග සමඟින් ලකුණු 50 ක්ද ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එකතු කිරීමට අරවින්දට හැකිවිය. ගුරුසිංහ එක් ලකුණකට දැවී ගිය අතර ලකුණු 66 ක් ලබාසිටි අරවින්ද දැවී යනවිට ලකුණු තත්වය දැක්වුණේ 85/4 ක් වශයෙනි. මේ අවස්තාවේදී නායක අර්ජුන රණතුංග සිය නායකත්ව කුසලතාව මැනවින් ප්‍රදර්ශනය කළේය. රොෂාන් මහානාම සමඟින් එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 83 ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩනැගීමට අර්ජුන සමත්විය. මුළු ලකුණු සංඛ්‍යාව​ 168 ක්ව තිබියදී ලකුණු 35 ක් ලබාසිටි අර්ජුන දැවී ගියේය. මුළු ලකුණු සංඛ්‍යාව​ 182 ක් වන විට ලකුණු 58 ක් ලබා සිටි රොෂාන් මහානාම ද ආබාධ තත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය. ඉන් අනතුරුව හශාන් තිලකරත්න පසුපෙළ ක්‍රීඩකයින් සමඟ එක්වී ශ්‍රී ලංකාවේ ලකුණු තත්වය ඉහළ දැමීමට කටයුතු කළේය. හෂාන් ලකුණු 32 ක් ලබාගත් අතර චමින්ද වාස් පන්දු 16 කදී වේගවත් ලකුණු 23 ක් ලබාගත්තේය. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 8 කට ලකුණු 251 ක් ලබාගැනීමට සමත්විය. ඉන්දියාව වෙනුවෙන් ජවගල් ශ්‍රීනාත් කඩුලු 3 ක්ද සචින් තෙන්ඩුල්කාර් කඩුලු 2 ක් ද බිඳහෙලීය.

ලකුණු 252 ක ජයග්‍රාහී ඉලක්කයක් හබා යාමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමට එතරම් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ඉඩ නොදුන් චමින්ද වාස්, නව්ජෝට් සිං සිදූ ලකුණු 3 කට දවාගැනීමට සමත්විය. නමුත් සචින් තෙන්ඩුල්කාර් සහ සංජේ මන්ජ්රේකාර් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධයක් පැවැත් වූ අතර ඒ වනවිට ඉන්දීය ලකුණු පුවරුව දැක්වුණේ 98/1 ක් වශයෙනි. එම අවස්තාව වනවිට තරඟයේ පාලනය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් තිබූ අවස්තාවක් විය. මෙම අවස්තාවේදී ක්‍රියාත්මක වූ සනත් ජයසූරිය ඉතා කල්පනාකාරීව පන්දු යැවූ අතර සචින් තෙන්ඩුල්කාර් විසින් සිදුකරන ලද කුඩා අතපසුවීමකින් උපරිම ප්‍රයෝජන ගත් කඩුලු රකින රොමේෂ් කලුවිතාරණ ලකුණු 65 ක් ලබාසිටි තෙන්ඩුල්කාර් ස්ටම්ප් කරන ලදී. 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දායක කරගැනීමට සියලුම ක්‍රීඩකයින් සිය උපරිමය ලබාදුනි. බොහෝ දුෂ්කර බාධක මැදින් ලබාගත් ජයක් විය. නමුත් කලූගේ මෙම ස්ටම්ප් කිරීම 1996 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී හැරවුම් ලක්ෂය බව හැඳින්වූවාට වරදක් නැතැයි සිතමි. මෙම ස්ටම්ප් කිරීම නොවන්නට මෙම තරඟයෙන් ඉන්දියාව ජයගැනීමට තිබූ ඉඩ කඩ​ ඉතා විශාල එකක් විය.

තෙන්ඩුල්කාර් ගේ දැවී යාම (The Cricket Monthly)

තෙන්ඩුල්කාර්ගේ දැවීයාමෙන් අනතුරුව ඉන්දීය කඩුලු එක පිට එක ඇද වැටෙන්නට පටන්ගත් අතර ශ්‍රී ලංකාවේ දඟ පන්දු බල ඇණිය විසින් ඉන්දීය ඉනිම විනාශ කරන ලදී. මෙලෙස ඉන්දීය කඩුලු එක පිට එක ඇද වැටෙන විට ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ බාධා එන්න එන්නම වැඩිවිය. ඔවුන් විවිධ දෑ ක්‍රීඩාංගනය වෙත විසිකරන ලදී. අවසානයේදී ඉන්දීය ඉනිම කඩුලු 8 කට ලකුණු 120 ක්ව පැවතී අවස්ථාවේ තරඟය ඉදිරියට පවත්වාගෙන යාමට කිසිසේත්ම නොහැකි ආකාරයක් නිරූපණය විය. ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ බාධා කිරීම් ඒ තරමටම වැඩිවිය. මේ අවස්තාවේදී එම තරඟයේ තීරක ලෙස කටයුතු කළ හිටපු බ.ඉ.කො. සුපිරි නායක ක්ලයිව් ලොයිඩ් මහතා පිටියට පැමිණ තරඟයේ ජය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කරන ලදී. පුවත් මවන්නෙක් වන ඉන්දීය පිතිකරු විනෝද් කම්බ්ලි ඒ වනවිට නොදැවී ක්‍රීඩාකරමින් සිටි අතර ඔහු හැඩු කඳුලින් යුතුව ක්‍රීඩාගාරය වෙත පියමැන්නේය.

දෙවැනි අවසන් පූර්ව තරඟය ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර 1996 මාර්තු මස 14 වැනි දින ඉන්දියාවේ චන්දිගාර් හීදී පැවැත්වුණි.

මෙහිදී කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. මුල් පෙළ අසාර්ථක වුවද මයිකල් බෙවන් සහ ස්ටුවර්ට් ලෝ දෙදෙනාගෙ ඉනිම් ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුළු 8 කට ලකුණු 207 දක්වා රැගෙන යාමට ඉවහල් විය​. ඒ අනුව කොදෙව්වන්ට සිය 4 වැනි ලෝක කුසලාන අවසාන මහා තරඟය වෙත පිවිසීමට ලකුණු 208 ක් අවැසිව තිබූ අතර ඕස්ට්‍රේලියාවට සිය තෙවැනි ලෝක කුසලාන අවසාන මහා තරඟය වෙත පිවිසීමට කඩුලු 10 ක් අවශ්‍ය විය. කොදෙව්වන්ගේ මුල් පෙළ පිතිකරුවන් සියල්ලක්ම පාහේ ඉතා මනාව පිත්ත හැසිරවිය. වරෙක කොදෙව් ඉනිම දැක්වූයේ කඩුලු 2 කට ලකුණු 165 ක් වශයෙනි. නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ විශිෂ්ට සටන්කාමීත්වය හමුවේ කොදෙව්වන් එකා පිට එකා දැවී ගියහ. අවසානයේදී කොදෙව් ඉනිම ලකුණු 202 කට සීමා විය.

ඒ අනුව 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලැබීය.

අවසාන මහා තරඟය

1996 මාර්තු මස 17 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරඟය නැරබීමට ක්‍රීඩා ලෝලීන් හැට දෙදහසකට අධික පිරිසක් පැමිණ සිටියහ. මෙම ඓතිහාසික අවසාන මහා තරඟය විනිශ්චය කිරීමේ භාග්‍යයට හිමිකම් කීවේ සුපිරි ක්‍රිකට් විනිසුරුවන් දෙපළක් වන බ.ඉ.කො. ජාතික ස්ටීව් බක්නර් සහ එංගලන්තයේ ඩේවිඩ් ෂෙපර්ඩ් ය. තුන්වැනි විනිසුරු ලෙසින් කටයුතු කරනු ලැබුවේ දකුණු අප්‍රිකානු ජාතික සිරිල් මිච්ලි ය​. ප්‍රථම අවසන් පූර්ව තරඟයේ තරඟ තීරක ලෙසින් කටයුතු කළ බ.ඉ.කො. හිටපු නායක සහ සුපිරි පිතිකරු ක්ලයිව් ලොයිඩ් මෙම තරඟයේත් තරඟ තීරක ලෙසින් කටයුතු කරන ලදී. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කරන ලදී. එම තීරණයෙන් බොහෝ දෙනා මවිත වූයේ ඊට පෙර පැවතී ලෝක කුසලාන පහේදී ම ශූරතාවය හිමිකරගෙන තිබුනේ අවසාන මහා තරඟයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම වීම නිසාය. නමුත් එවකට ශ්‍රී ලංකාව ඉලක්ක හඹා ගොසින් ජයග්‍රහණය කිරීමට වැඩි හැකියාවක් තිබූ කණ්ඩායමක් වූ අතර නායක අර්ජුන සිය කණ්ඩායමේ ශක්තිය පිළිබඳව විශ්වාසය තබන ලදී.

ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කරන ලද්දේ නායක මාක් ටේලර් සමඟින් මාක් වෝ ය. ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබාගත් අතර මුළු ලකුණු සංක්‍යාව 36 ක් වනවිට මාක් වෝ ක්‍රීඩාගාරයට හරවා යැවීමට චමින්ද වාස් සමත්විය. ඉන්පසු පිටියට පිවිසි රිකී පොන්ටින් සමඟ එක්වූ නායක මාක් ටේලර් ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගීය. නායක මාක් ටේලර් ලකුණු 74 ක් ලබාගත් අතර එය ඔහු මෙම ලෝක කුසලාන තරඟමාලාවේදී රැස් කළ වැඩිම ලකුණු සන්ක්යාවද වේ. ඉන්පසු මුළු ලකුණු සංක්‍යාව 152 ක්ව පැවතී අවස්තාවේදී රිකී පොන්ටින් ද දැවී ගිය අතර දැවී යනවිට ඔහු ලකුණු 45 ක් ලබා සිටියේය. ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවතුනේ තරඟයේ 31 වැනි පන්දුවාරයයි. ටේලර් සහ පොන්ටින් දෙදෙනාම දවාගනු ලැබුවේ අරවින්ද ද සිල්වා විසිනි. මේ අවස්ථාවේ දී නොකළ යුතු යමක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් සිදුකරනු ලැබීය​. එය ඔවුන්ගේ රිද්මය ඔවුන් විසින්ම අඩපන කරගත් අවස්තාවක් ලෙසින් හැඳින්විය හැක. ඕස්ට්‍රේලියාවේ පිතිකරණ ලැයිස්තුව ඉතිරිව තිබියදී ෂේන් වෝන් පන්දුවට පහරදීමට එවූ අතර එය ඉතා වැරදි තීරණයක් විය. ෂේන් වෝන් ලකුණු 2 ක් පමණක් ලබා සිටියදී මුරලිගේ පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසුවී දැවී යන ලදී. මෙසේ කඩුලු දැවීයාම ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමක මානසික මට්ටම ඉහළ යෑමට බලපාන සාධකයකි.

මුළු ලකුණු සංක්‍යාව 170 ක්ව පැවතී අවස්ථාවේ දී ස්ටීව් වෝ දවාගැනීමට කුමාර් ධර්මසේනට හැකිවිය. ඉන්පසු ඕස්ට්‍රේලියාවට පීඩනයක් එල්ල කරමින් තරඟයේ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකිවිය. ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 202 ක් වනවිට ස්ටුවර්ට් ලෝ දවාගැනීමට සනත් ජයසූරියට හැකියාව ලැබීය. බෙවන් සහ ලෝ 6 වැනි කඩුල්ල සඳහා එක්කළ ලකුණු 32 ක වෙනුවෙන් පන්දු 50 ක් වැයකර තිබුනි. මීළඟට පන්දුවට පහරදීමට පැමිණි ඉයන් හීලිද ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යැවීමට අරවින්ද ද සිල්වා සමත්විය. මේ අවස්තාවේදී ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව දැක්වුණේ පන්දුවාර 44.1 කදී 205/7 ක් වශයෙනි. එම අසීරු අවස්ථාවේදී කණ්ඩායමේ බර සිය කරමතට ගත මයිකල් බෙවන්, පෝල් රයිෆල් සමඟින් එක්ව 8 වැනි කඩුල්ලට නොබිදූණු ලකුණු 36 ක් එකතු කිරීමට සමත්විය. ඒ අනුව නියමිත් පන්දුවාර 50 අවසානයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 241 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය සමත්විය.

ශ්‍රී ලංකාවට​ ලෝකය හමුවේ නමක් තැබීමට අවශ්‍යව තිබුනේ ලකුණු 242 කි. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 ක්ද කඩුලු 10 ක්ද අතැතිව තිබුණි. සුපුරුදු පරිදි සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ ඉනිම ආරම්භ කිරීමට පැමිණි නමුත් ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි විය. ජයසූරිය ලකුණු 9 කටද කලූ ලකුණු 6 කටද දැවී ගියහ. ඒ වනවිට ශ්‍රී ලංකාව ලබාසිටියේ ලකුණු 23 ක් පමණි. ඉන්පසු පිටියට එක්වූ අරවින්ද ද සිල්වා, අසංක ගුරුසිංහ සමඟින් එක්ව ඉතා වටිනා සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්විය. දෙදෙනාම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් මායිම් නොකර පිටිය සිසාරා පහරවල් එල්ල කළහ. ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 125 ක සම්බන්ධයක් පිහිටවූ අතර එය ශ්‍රී ලංකාවට ජය ගෙන ආ සම්බන්ධතාවය යැයි හැඳින්වීම වරදක් නැත. කඩුලු දෙකක් දැවී තිබෙන මොහොතක ලකුණු වේගයද හොඳින් පවත්වාගනිමින් පිහිටවූ මෙම සම්බන්ධතාව ඉතා විශිෂ්ට එකක් විය. මුළු ලකුණු සංඛ්‍යාව​ 148 ක් වනවිට අසංක ගුරුසිංහ ලකුණු 65 කට දැවී ගියේ පෝල් රයිෆල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ය.

අවසන් තරඟය අවසානය​ (BBC)

ඉන්පසු පිටියට එක්වූ නායක අර්ජුන රණතුංග සහ උපනායක අරවින්ද ද සිල්වා කිසිදු චකිතයකින් තොරව පන්දුවට පහරදුන් අතර ඔවුන් දෙදෙනා අප රට සැබෑම ලෝක ශූරයින් ලෙසින් ලොවට ඒත්තු ගන්වමින් පන්දුවට පහරදෙන ලදී. නායක අර්ජුන, ෂේන් වෝන් ට එලව එලවා පහර දුන් අයුරු ක්‍රීඩා ලෝලීන්ට දැනුදු මතක ය​. අවසානයේදී පන්දුවාර 46.2 ක් තුළ ශ්‍රී ලංකාව ලකුණු 245 ක් ලබාගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකරන ලදී. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක නොවන මෙම සොඳුරු අවස්ථාවේ දී අරවින්ද සිල්වා නොදැවී විශිෂ්ට ශතකයක් රැස් කළ අතර එය සටහන් වූයේ ලෝක කුසලාන අවසාන මහා තරඟයක ලබාගත් තෙවැනි ශතකය ලෙසයි. නායක අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47 ක් ලබාගත්තේය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේමියන් ෆ්ලෙමින් සහ පෝල් රයිෆල් කඩුල්ල බැගින් බිඳහෙලීය.

ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගී වූයේ එවකට පාකිස්තානු අග්‍රාමාත්‍ය බෙනාසීර් භූතෝ මහත්මියයි. විශිෂ්ට ශතකයක් ලබාගනිමින් කඩුලු 3 ක්ද ලබාගනිමින් උඩපන්දු දෙකක්ද රැකගත් අරවින්ද ද සිල්වා අවසාන මහා තරඟයේ වීරයා ලෙසින් අභිෂේක ලැබූ අතර තරඟාවලිය පුරා පිත්තෙන් ලකුණු 221 ක් ද පන්දුවෙන් කඩුලු 7 ක්ද බිඳහෙලූ සනත් ජයසූරිය තරඟාවලියේ වීරයා ලෙසින්ද අභිෂේක ලැබීය. ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ කඩුලු 15 ක් ලබාගනිමින් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ලකුණු 523 ක් රැස් කරගනිමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

පාකිස්ථාන අගමැතිණිය අතින් ශ්‍රී ලංකා නායකයාට කුසලානය ලැබුණ පසු (Getty Images)

1996 මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබාගැනීමට බොහෝදෙනා වෙහෙස මහන්සි වූ අතර සියලුම පාර්ශව තම තමන්ගේ වගකීම් කොටස නිසි ආකාරව ඉටු කරන ලදී. ක්‍රිකට් පාලක මණ්ඩලය, තේරීම් කමිටුව, පුහුණුකරුවන්, කණ්ඩායමේ කළමනාකාරීත්වය, නායකයා ඇතුළු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්, අනුග්‍රාහකයින්, මාධ්‍යය සහ ප්‍රේක්ෂකයින් යන මේ සියල්ල සිය වගකීම් නියමිත පරිදි ඉෂ්ට කළ නිසා රටක් වශයෙන් අප සියලුදෙනාටම මෙම ජයග්‍රහණය ලබාගැනීමට හැකිවිය. අනාගත පරපුරට තිලිණ කිරීමට හැකිවිය.

Cover Image: අර්ජුන රණතුංග කුසලානයද සමඟ (Getty Images)