Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ පැරා ඔලිම්පික් ජයග්‍රහණ

ලංකාව දැනට දිනා ඇති ඔලිම්පික් පදක්කම් ගණන දෙක කි. පැරා ඔලිම්පික්  පදක්කම් දෙකක් ද මේ වන විට අප රට වෙනුවෙන් දිනා දී තිබෙන බව ඔබ දන්නවා ද?

ඔලිම්පික් තරම් අවධානයක් නොමැති ක්‍රීඩා උළෙලක් වූවත්, පැරා ඔලිම්පික් යනු ඔලිම්පික් හා සම තත්ත්වයේ සැලකිය හැකි ක්‍රීඩා උළෙලක්. ඉතින් අද ලිපිය පැරා ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය ගැන යි.

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ආරම්භ වූ පැරා ඔලිම්පික්

දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය හමුදා භටයන් (History on the Net)

පැරා ඔලිම්පික් තරගය විවිධ ශාරීරික අබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන විශාලතම ක්‍රීඩා උළෙල යි. ආබාධිත තත්ත්වයන් අනුව ක්‍රීඩා ඉසව් පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයකට බෙදා වෙන් කර ඇති මෙම ක්‍රීඩා උළෙල ඔලිම්පික් ක්‍රීඩා උළෙල සේ ම වැදගත්කමකින් යුතු ව සැලකීමට ලෝක ප්‍රජාව විසින් කටයුතු කරනවා.

1945 වසරේ දෙවන ලෝක යුද්ධය නිම වීමෙන්  අනතුරුව අබාධිත බ්‍රිතාන්‍ය සොල්දාදුවන් වෙනුවෙන් ක්‍රීඩා උළෙලක් 1948 වසරේ දී ආරම්භ වූ අතර, එය පැරා ඔලිම්පික් තරගාවලිය දක්වා ක්‍රමයෙන් විකාශනය වෙනවා.

1960 වසරේ ඉතාලියේ රෝමයේ දී පළමු නිල පැරා ඔලිම්පික් තරගාවලිය ආරම්භ වූ අතර, ඒ සඳහා රටවල් 23ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට ආසන්න පිරිසක් සහභාගී වෙනවා. එලෙස පටන් ගත් පැරා ඔලිම්පික් තරගාවලිය සඳහා වර්තමානය වන විට රටවල් 100කට අධික ප්‍රමාණයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් සහභාගී වෙනවා.

පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා සමගාමී ව පැවැත්වෙන අතර, ග්‍රීෂ්ම හා සීත සෘතු සඳහා වෙන වෙන ම වසර දෙකෙන් දෙකට ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා. ඔලිම්පික් හා සම තත්ත්වයේ ලා පැරා ඔලිම්පික් හඳුන්වා දුන්නත් ඒ සඳහා රැස් වෙන අරමුදල් අතර වෙනස බැලූ විට, පැරා ඔලිම්පික් සඳහා අඩු සැලකිල්ලක් දක්වන බව ද පෙනී යනවා.

පැරා ඔලිම්පික් හා ශ්‍රී ලංකාව

පැරා ඔලිම්පික් (Wikipedia)

ශ්‍රී ලංකාව ප්‍රථමවරට පැරා ඔලිම්පික් තරගයක් සඳහා සහභාගී වෙන්නේ 1996 වසරේ දී යි. ඒ ඇට්ලන්ටාවේ ග්‍රීෂ්ම සෘතු පැරා ඔලිම්පික් තරගයට යි. ඒ සඳහා එක් මලල ක්‍රීඩකයෙක් සහභාගී වෙනවා. ඔහු කාලික පතිරණ යි. ඉන්පසු ව එළඹෙන සෑම ග්‍රීෂ්ම සෘතු පැරා ඔලිම්පික් තරගයක් සඳහා ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායමක් සහභාගී වෙනවා.

සෑම වසර හතරකට ම වරක් පැවැත්වෙන ග්‍රීෂ්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පමණක් ශ්‍රී ලංකාවේ පැරා ඔලිම්පික් කණ්ඩායම සහභාගී වෙන අතර, 1996 වසරේ සිට 2016 දක්වා ශ්‍රී ලංකාව සහභාගී වී තිබෙන ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලවල් ප්‍රමාණය 6ක්.

1996 ඇට්ලන්ටා, 2000 සිඩ්නි, 2004 ඇතෑන්ස්, හා 2008 බීජිං යන පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල දී පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබෙන්නේ නෑ.

නමුත් 2012 ලන්ඩන් හා 2016 රියෝ පැරා ඔලිම්පික් තරගවල දී එක් පදක්කම බැඟින් දිනා ගනිමින් පැරා ඔලිම්පික් ලොව ජයකෙහෙලි නැංවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පැරා ඔලිම්පික් පදක්කම

ප්‍රදීප් සංජය (ThePapare.com)

ශ්‍රී ලංකාවට පළමු පැරා ඔලිම්පික් පදක්කම දිනා දෙන්නේ ප‍්‍රදීප් සංජය යි. ඒ 2012 වසරේ දී ලන්ඩන් නුවර පැවති ග්‍රීෂ්ම පැරා පැරලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගි වෙමින්. ඔහු එක් අතක් අහිමි කී‍්‍රඩකයන් (T46) සඳහා පැවැත්වෙන පිරිමි මීටර 400 දුර දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වෙනවා.

ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙක් වෙනවා. ශ්‍රී ලංකාවේ පැවති හතරවන ඊළාම් යුධ සමයේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දී බෝම්බයකට හසු වීමෙන් අබාධිත තත්ත්වයට පත් වූ ක්‍රීඩකයෙක් ලෙස ඔහු ව හඳුන්වා දෙන්න පුළුවන්.

පැරා ඔලිම්පික්වලට අමතර ව ප්‍රදීප් විසින් 2013 වසරේ ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද 2010 වසරේ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම ද දිනා ගන්නවා. ඊට අමතර ව 2014 වසරේ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 ලෝකඩ පදක්කම ද, මීටර් 800 රිදී පදක්කම ද දිනා ගැනීමට ඔහු සමත් වෙනවා.

රියෝ හි දී ලැබුණු දෙවන පැරා පදක්කම

දිනේෂ් ප්‍රියන්ත (Sri Lanka Army)

2016 වසරේ ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ යි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් සහභාගී වෙනවා.

එක අතක් අබාධිත පිරිමි හෙල්ල විසි කිරීමේ (T46) ඉසව්වට සහභාගී වෙන ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත, එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා. ඒ සමගින් ශ්‍රී ලංකාව දැනට ලබාගත් පැරා ඔලිම්පික් පදක්කම් ගණන 2 දක්වා ඉහළ යනවා.

දිනේෂ් ප්‍රියන්ත ද ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙක් වන අතර, ඔහු අබාධිත තත්ත්වයට පත්වන්නේ හතරවන ඊළාම් යුද්ධයේ අවසාන කාල සිමාවේ දී කිලිනොච්චියේ දී සිදු වූ ගැටුමකින් පසු ව යි.

පැරා ඔලිම්පික් පදක්කමට අමතරව දිනේෂ් ප්‍රියන්ත විසින් 2017 වසරේ ලන්ඩනයේ පැවති ලෝක පැරා මළල ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසි කිරීමෙන් රිදී පදක්කම හිමි කරන්නවා. 2018 වසරේ ජකර්තා නුවර පැවති ආසියානු පැරා ඔලිම්පික් උළෙලේ දී හෙල්ල විසිකිරීමෙන් රන් පදක්කම දිනා ගන්නවා.

මේ වන විට ලංකාව පැරා ඔලිම්පික් පදක්කම් දෙකක් දිනා ඇති අතර, එම පදක්කම් දෙක ම ලෝකඩ පදක්කම් වෙනවා. 2020 ටෝකියෝ ග්‍රීෂ්ම පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් ලබා ගැනීමට හැකි වේවා යි අපි ඔවුනට සුබ පතමු.

 

කවරයේ පින්තූරය: Business Insider UK

මූලාශ්‍රයයන්:

paralympic.org

disabled-world.com

dailymirror.lk

Related Articles