Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙවර 20/20 ලෝක කුසලානයේ දී පෙරළියක් කරන්න අපට පුළුවන් 

1996 විල්ස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට මාස කිහිපයකට පෙර නවසීලන්තයෙන් බිහි වුණු විශිෂ්ටත ම වේගපන්දු යවන්නෙක් වන රිචඩ් හැඩ්ලි අපූරු අනාවැකියක් පළ කළා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම  නියත වශයෙන් ම 1996 විල්ස් ලෝක කුසලානය දිනා ගන්නා බව යි. එදා හැඩ්ලිගේ අනාවැකිය සත්‍ය කරමින්ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් විල්ස් ලෝක කුසලානය ශ්‍රී ලංකාව  දිනා ගත්තා. 

 1996 විල්ස් ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනා ගත් මොහොත – gettyimages.com

 

එම ජයග්‍රහණය ලබා ගෙන වසර 25ක් ගෙවීයද්දී තවත් නවසීලන්ත ජාතිකයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන අනාවැකියක් පළ කළා. ඒ මේ වන විට ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙසින් කටයුතු කරන සයිමන් ඩූල් නම් හිටපු නවසීලන්ත වේගපන්දු යවන්නා යි. 2021 නොවැම්බර් මාසයේ පැවති එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු ශ්‍රී ලංකා 20/20 ක්‍රිකට් කණ්ඩායම ගැන පවසා සිටියේ මෙවැනි කතාවක්.

සයිමන් ඩූල්ගේ අනාවැකිය

“ඉතාමත් හොඳ තරුණ ක්‍රීඩකයන් පිරිසක් සිටින ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වය යටතේ  හොඳ ඉදිරි ගමනක් යමින් සිටිනවා. මෙම කණ්ඩායමට දක්ෂ දඟපන්දු යවන්නන්, හොඳ වේගයක් සහිත වේගපන්දු යවන්නන් සහ ප්‍රහාරාත්මක පිතිකරුවන් ඇතුළත් වෙලා ඉන්නවා. තවත් වසරක පමණ කාලයක් ඔවුන් එකට ක්‍රීඩා කළොත් කණ්ඩායමක් වශයෙන් විශාල දියුණුවක් ලබාගන්නට පුළුවන් වෙයි. එවිට 2022 ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20/20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව වඩාත් භයානක කණ්ඩායමක් බවට පත්වේවි!

 සයිමන් ඩූල් – gettyimages.com

 

එදා සයිමන් ඩූල් පළ කළ අනාවැකිය අද යම් තාක් දුරකට සත්‍ය වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල කණ්ඩායම් අභිබවා 2022 ආසියා කුසලානය ජයග්‍රහණය කළ නිසා යි. එම ජයග්‍රහණයත් සමඟින් මෙවර 20/20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව යම් පෙරළියක් කරනු ඇති බවට මේ වන විට අනාවැකි පළවෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ගැන එවැනි අනාවැකි පළකිරීමට හේතු වන කරුණු පිළිබඳ ව මෙම ලිපියෙන් සාකච්ඡා කරනවා. 

කණ්ඩායම එකතු කර ගෙන ඉදිරි ගමනක් යා හැකි නායකයෙක් සිටීම 

ජැමෙයිකාව, බාබඩෝස්, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, ඇන්ටිගුවා, ගයානා වැනි විවිධ දූපත්වලින් පැමිණි ක්‍රීඩකයන්ගෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම නිර්මාණය වී තිබෙනවා. එසේ විවිධ දූපත්වලින් පැමිණි ක්‍රීඩකයන් පිරිසක් එකට එකතු වී ක්‍රීඩා කළ නිසා ඈත අතීතයේ දී කොදෙව් කණ්ඩායම තුළ සමගියක් දක්නට ලැබුණේ නැහැ. 1970 දශකය ආරම්භ වෙද්දීත් කොදෙව් කණ්ඩායම තුළ එවැනි සමගියක් දක්නට ලැබුණේ නැහැ. එනිසා ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඉහළ ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වුණේ නැහැ.

එවැනි වටපිටාවක කොදෙව් ක්‍රිකට් පරිපාලනය ක්ලයිව් ලොයිඩ්ට කොදෙව් කණ්ඩායමේ නායකත්වය ලබාදීමට තීරණය කළා. ඒ 1975 එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට මාස කිහිපයකට පෙර යි.  එදා කොදෙව් කණ්ඩායමේ නායකත්වය භාර ගත් ලොයිඩ් විවිධ දූපත්වලින් පැමිණි ක්‍රීඩකයන් එකතු කර එක කණ්ඩායමක් සේ සාර්ථක ඉදිරි ගමනක් ගියා. එනිසා කොදෙව්වන්ට 1975 සහ 1979 ලෝක කුසලාන දිනා ගැනීමට හැකි වුණා. වර්තමාන ශ්‍රී ලංකා 20/20 කණ්ඩායමේ නායකත්වය දරණ දසුන් ශානක ද ලොයිඩ් වගේ නායකයෙක්. 

 දසුන් ශානක – gettyimages.com

 

ඔහු මේ වන විට විසිරී තිබුණු කණ්ඩායමක් එකතු කරගෙන ඉතාමත් හොඳ ගමනක් යමින් සිටිනවා. පසුගිය ආසියා කුසලාන තරගාවලියේ බංග්ලාදේශ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමාජ මාධ්‍ය ජාල වෙත අපූරු සටහනක් එකතු කර තිබුණා. එහි දක්වා තිබුණේ සහෝදරයන් 11 දෙනෙක් කණ්ඩායමක සිටිනවා නම් තරග ජයග්‍රහණය කිරීමට අපහසුවක් නැති බව යි. එයින් පැහැදිලි වන්නේ මේ වන විට දසුන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ පවතින එකමුතු බව යි. එම එකමුතුකම අඛණ්ඩව පවත්වාගෙන ගියොත් මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථකත්වය කරා ළඟා වෙන්න පුළුවන්. 

ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වූ සටන්කාමී ක්‍රීඩා විලාසය 

ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළේ ආසියා කුසලාන තරගාවලිය සඳහා යි. එම තරගාවලියේ ඔවුන් ජයග්‍රහණය කළ සියලු තරගවල දී සටන්කාමී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. එහි දී මූලික වටය යටතේ බංග්ලාදේශයට එරෙහි ව පැවති තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 184ක ඉලක්කයක් හඹා ගියා. එම අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 8ක් ලකුණු 171කට දැවී ගියා. ඒ මොහොතේ සටන අත් නොහැරි අසිත ප්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. 

 බංග්ලාදේශ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව – gettyimages.com

 

බංග්ලාදේශ තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් පෙන්වූ සටන්කාමීත්වය සුපිරි 4 වටයේ ඇෆ්ගනිස්තානය හමුවේ පැවති තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් දක්නට ලැබුණා. එම තරගයේ පන්දුවට මුලින් ම පහර දුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 15.2ක් අවසන් වෙද්දී කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 139ක් ලබා ගෙන ස්ථාවර තත්ත්වයකට පත් ව සිටියා. තරගයේ වැඩි වාසි ඇෆ්ගනිස්තානයට හිමි ව තිබුණු ඒ මොහොතේ දක්ෂ ලෙස  පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇෆ්ගනිස්තාන ඉනිමේ අවසන් පන්දු 28 දී ලකුණු 36ක් පමණක් ලබා දී කඩුලු 5ක් දවා ගත්තා. එනිසා ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 175කට සීමා වුණා පමණක් නොව ශ්‍රී ලංකා පිලට එය පහසුවෙන් හඹා යාමට ද හැකි වුණා.

ආසියා කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 තරග වටය

පසුගිය ආසියා කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 තරග වටයේ ඉන්දියාවට එරෙහි ව පැවති තරගයේ දී ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කිසිවෙක් නොදැවී ලකුණු 97ක් ලබා සිටියා. ඒ මොහොතේ ක්‍රියාත්මක වුණු ඉන්දීය පන්දු යවන්නන් ලකුණු 13ක දී කඩුලු 4ක් බිඳ දමමින් තරගය කණපිට පෙරළුවා. ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට ප්‍රබල පීඩනයක් තල්ලුවෙමින් පැවති එම අවස්ථාවේ සටන්කාමී පිතිහරඹයක නිරත වුණු දසුන් ශානක සහ භානුක රාජපක්ෂ නොබිඳුණු ලකුණු 64ක සබඳතාවක් ගොඩනඟමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. 

 ඉන්දියාවට එරෙහිව තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

 

පාකිස්තානයට එරෙහි ව පැවති සුපිරි 4 වටයේ තරගයේ දී ලකුණු 124ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 29ක් ඇතුළත බිඳ වැටුණා. පන්දු යවන්නන්ට හිතකර තත්ත්වයක් පැවති ඒ මොහොතේ සටන අත් නොහැරි පැතුම් නිස්සංක සහ භානුක රාජපක්ෂ ලකුණු 51ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවත වෙත යොමු කළා. පාකිස්තානය සමඟ පැවති අවසන් තරගයේ දීත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 58/5ක් ලෙසින් දිස්වුණු අවස්ථාවේ නොසැලුණු  භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග ලකුණු 58ක සබඳතාවක් ගොඩනැඟුවා.  

එම සබඳතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට 170ක් වැනි ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වුණා. ඉන් අනතුරුව ලකුණු 171ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 93ක් ලබා සිටි අවස්ථාවේ සිය සටන්කාමීත්වය පෙන්වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 19කට කඩුලු 5ක් දවා ගෙන පාකිස්තාන ඉනිම සුණුවිසුණු කළා. ශ්‍රී ලංකාව එම තරගය ලකුණු 23කින් ජය ගත්තා. 

ඉහත උදාහරණවලින් මනාව පැහැදිලි වන්නේ වර්තමාන 20/20 පිටියේ සිටින සටන්කාමී කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාව ද එකතු වී සිටින බවයි. 

ආසියා කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ප්‍රබල පන්දු බළඇණියක් සිටීම 

මෙම ලිපිය ලියන අවස්ථාව වන විට 20/20 පන්දු යවන්නගේ ශ්‍රේණිගතකිරීම්වල මුල් ස්ථාන 5 අතර පසුවන පන්දු යවන්නෙන් දෙදෙනෙක් ශ්‍රී ලංකාව සතු ව සිටිනවා. එම ලැයිස්තුවේ වනිඳු හසරංග 3 වන ස්ථානයේ ද, මහීෂ් තීක්ෂණ 5 වන ස්ථානයේ ද පසුවෙනවා. එම ක්‍රීඩකයන් දෙදෙනා 2022 IPL තරගාවලියේ දීත් දස්කම් අතරට පිවිසීමට සමත් වුණා.

එහි දී ඔහු තරග 16කට සහභාගි වෙමින් කඩුලු 26ක් දවා ගෙන තරගාවලියේ දෙවන වැඩි ම කඩුලු ලාභියා බවට පත් වුණා. ඊට අමතර ව 2022 IPL තරගාවලියේ දී දස්කම් දැක්වූ දුෂ්මන්ත චමීර ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බළ ඇණිය ශක්තිමත් කරනවා. 

 වනිඳු හසරංග – gettyimages.com

 

මේ පන්දු යවන්නන්ට අමතර ව ළහිරු කුමාර සහ ප්‍රමෝද් මදුෂාන් යන වේගපන්දු යවන්නන් ද ශ්‍රී ලංකා සංචිතයේ  සිටිනවා. එම පන්දු යවන්නන් තිදෙනාට පැයට කිලෝමීටර් 140කට වැඩි වේගයකින් පන්දු යැවීමේ හැකියාව තිබෙනවා. එහි වාසිය  ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු තණතීරුවල දී ලබාගන්නට පුළුවන්. ඉහත සඳහන් කළ පන්දු යවන්නන්ට අමතර ව ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න සහ දසුන් ශානක ශ්‍රී ලංකා පිල සතුව සිටින තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයන්. ඔවුන් ද සිය උපරිම දායකත්වය ප්‍රධාන පන්දු යවන්නන්ට ලබා දෙනවා. එනිසා ශ්‍රී ලංකා පන්දු යවන බළ ඇණිය වඩාත් ප්‍රබල තත්ත්වයක තිබෙනවා.

ශ්‍රී ලංකාව සතු ව ශක්තිමත් පිතිකරු ලැයිස්තුවක් සිටීම 

වර්තමාන ශ්‍රී ලංකා 20/20 කණ්ඩායම සතුව භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක වැනි දක්ෂ පිතිකරුවන් රැසක් සිටිනවා. ඊට අමතර ව දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න වැනි දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයන් සිටිනවා. එනිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 1 සිට 8 දක්වා පිතිකරණ ස්ථානවල හොඳින් පන්දුවට පහරදිය පිතිකරුවන් සිටිනවා. පිතිකරු ලැයිස්තුවේ අංක 9 සහ 10 ස්ථානවල ක්‍රීඩා කරන දුෂ්මන්ත චමීරට සහ මහීෂ් තීක්ෂණට ද පන්දුවට පහර දීමේ යම් හැකියාවක් තිබෙන නිසා ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුව ඉතාමත් ශක්තිමත්. 

 භානුක රාජපක්ෂ – gettyimages.com

 

පසුගිය තරගාවලිවල දී ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ අංක 3 සහ 4 ස්ථානවල ක්‍රීඩා කළ පිතිකරුවන් දස්කම් අතරට පිවිසියේ නැහැ. 2021 T20 ලෝක කුසලානයේ දී අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරමින් තරගාවලියේ 5 වන වැඩි ම ලකුණු ලාභියා වුණු චරිත් අසලංක මේ දිනවල ලකුණු අතර නොසිටීම විශාල පාඩුවක්. ඔහු යළි සුපුරුදු දස්කම් අතරට පිවිසියොත් කුසල්, පැතුම්, චරිත් සහ ධනංජය යන පිතිකරුවන්ට මුල් ස්ථානවල පන්දුවට පහරදීමේ අවස්ථාව තිබෙනවා.

ඔවුන් සිව්දෙනා එකතු වී ඉනිමේ මුල් පන්දුවාර 10 තුළ හොඳින් පන්දුවට පහරදුන්නොත් භානුක, දසුන්, වනිඳු, චාමික වැනි ප්‍රහාරාත්මක පිතිකරුවන්ට වේගයෙන් පන්දුවට පහර දී ඉනිම හොඳින් අවසන් කිරීමට අවස්ථාව ලැබෙනවා. එසේ ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුව ක්‍රියාත්මක වුණොත් ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් වන ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම අසීරු නෑ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඉහළ තලයක පැවතීම 

ඩේව් වට්මෝර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට 1995 අප්‍රේල් මාසයේ දී පත්වුණා. ඔහු එම තනතුර භාර ගෙන වැඩි කලක් යන්නට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඉහළ තත්ත්වයකට පත් කළා. 

එක්තරා අවස්ථාවක ඔහු කණ්ඩායමේ ක්‍රීඩකයන් අමතා පැවසුවේ “එක්දින තරගයක දී සෑම පන්දු රකින්නකුට ම ලකුණු 2 බැගින් නවත්වන්න පුළුවන් නම් එතන ම ලකුණු 22ක් නැවතිලා තියනවා. ඒ ලකුණු 22න් එක්දින තරගයක ප්‍රතිඵලය පවා වෙනස් වෙනස් වෙන්න පුළුවන්” යන්න යි. වට්මෝර් 1996 ලෝක කුසලානය පෙනි පෙනී තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දියුණු කිරීම අපිට ලෝක කුසලානය දිනන්නට බොහෝ උපකාරී වුණා.  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ඩේව් වට්මෝර් – gettyimages.com

 

එදා ශ්‍රී ලංකා කණ්ඩායම කෙටි කාලයක් තුළ පන්දු රැකීම දියුණු කර ගත් ආකාරයට ම වර්තමාන ශ්‍රී ලංකා T20 කණ්ඩායම ද මේ වන විට සිය පන්දු රැකීම දියුණු කර ගෙන තිබෙනවා. පසුගිය ආසියා කුසලාන අවසන් තරගයේ දී එය අපට පැහැදිලිව ම දැකගන්නට ලැබුණා. එම තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන් දක්ෂ ලෙස උඩපන්දු රැක ගත්තා පමණක් නොව පන්දුව දක්ෂ ලෙස නතර කිරීමෙන් සැලකිය යුතු තරම් ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදීන්ගෙන් උදුරා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 20/20 ලෝක කුසලානයේ දී ඒ අයුරින් දක්ෂ ලෙස පන්දු රැකීම සිදුකළොත් ප්‍රතිවාදීන් කණ්ඩායම්වලට අප පරද්දන්නට ලෙහෙසි වන එකක් නැහැ. 

ඕනෑම අවස්ථාවක තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයන් සතු වීම  

ශ්‍රී ලංකා පිල ඕනෑම අවස්ථාවක යළි නැඟීසිටිමින් ප්‍රතිවාදියාට පහර දිය හැකි ආකාරයේ කණ්ඩායමක් බව හිටපු නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් එක්තරා අවස්ථාවක ප්‍රකාශ කළා. ඔහුගේ එම ප්‍රකාශයට සාධාරණයක් ඉටු කළ හැකි ක්‍රීඩකයන් වර්තමාන ශ්‍රී ලංකා 20/20 කණ්ඩායමේ සිටිනවා. ඒ වනිඳු හසරංග, දසුන් ශානක සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් තිදෙනා යි.  

පසුගිය ජූනි මාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහි ව පැවති 20/20 තරගයක දී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවසන් පන්දුවාර 3දී ලකුණු 59ක් අවශ්‍ය වුණා. එම අවස්ථාවේ ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ දසුන් පන්දු 13කින් ලබාගත් වේගවත් ලකුණු 48 නිසා ශ්‍රී ලංකාවට නොසිතූ ජයග්‍රහණයක් උරුම වුණා. 2022 ආසියා  කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 58ක් ලබා සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 170ක් දක්වා ඔසවා තැබුවා. එය තරගය සම්පූර්ණයෙන් ම වෙනස් කළ ඉනිමක් බවට පත් වුණා. 

 ඕස්ට්‍රේලියාව හමුවේ 20/20 තරගය ජය ගත් මොහොත – gettyimages.com

 

එම අවසන් තරගයේ දීම පාකිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 110ක් ලබා ගෙන සිටි මොහොතේ දක්ෂ පන්දු යැවීමක නිරත වුණු වනිඳු හසරංග එකම පන්දු වාරයක දී කඩුලු 3ක් දවා ගෙන තරගය කණපිට පෙරළුවා. අද වන විට තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයන් ශ්‍රී ලංකා 20/20 කණ්ඩායමේ සිටින බව පෙන්වීමට ඉහත  උදාහරණ  හොඳට ම ප්‍රමාණවත්. 

පෙරළියක් කරන්න අපට පුළුවන් 

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට ශ්‍රී ලංකාව සහභාගි වෙනවා. එය අපගේ කණ්ඩායමට ලැබෙන අමතර වාසියක්. එමඟින් අපේ ක්‍රීඩකයන්ට ඕස්ට්‍රේලියානු තණතීරුවලට හොඳින් හුරුවෙන්නට පුළුවන්. මෙවර T20 ලෝක කුසලානයේ දී ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්හුඩ්ට අමතර ව මහේල ජයවර්ධන ද විශේෂඥ පුහුණුකරුවෙක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එකතු වෙනවා. ඔවුන්ගෙන් ලැබෙන ගුරුහරුකම්වලින් හොඳින් ප්‍රයෝජන ගෙන අපේ ක්‍රීඩකයන් සුපුරුදු දස්කම් අතරට පැමිණියොත්  ශ්‍රී ලංකාවට මෙවර 20/20 ලෝක කුසලානයේ දී විශාල පෙරළියක් කරන්නට පුළුවන්. 

කවරයේ ඡායාරූපය- 2022 ආසියා කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

cricbuzz.com

icc-cricket.com

Related Articles