Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1982 වසරේ එංගලන්තයට එරෙහිව ගිලිහී ගිය මංගල ටෙස්ට් ජයග්‍රහණය

1981 වසරේ ජූලි 21 වන දින ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනාගත් 8 වන රට බවත් පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී සන්ධිස්ථානයක්. ටෙස්ට් වරම් අහිමි රටක් ලෙස ශ්‍රී ලංකාව ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් සහ එම අවධියේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන්ගේ දුරදක්නා නුවණ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාගැනීමට සහායක් වුණා. එලෙස විශාල කැපකිරීම් රැසක ප්‍රතිඵලයක් ලෙස ටෙස්ට් වරම් වරම් දිනා ගත් ශ්‍රී ලංකාවට, සිය මංගල ටෙස්ට් තරගය එංගලන්තයට එරෙහිව  ක්‍රීඩා කිරීමට සිදුවූයේ 1982 වසරේ පෙබරවාරි මස 17 වන දා සිට 21 වන දා දක්වා කොළඹ පී. සරවනමුත්තු පිටියේ දී යි. එදා වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් එංගලන්ත පිලට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකා පිල, එක් අවස්ථාවක ඉතාමත් ප්‍රබල තත්ත්වයක පසු වුව ද, අත්දැකීම් මඳකම නිසා ශ්‍රී ලංකා පිලට නොසිතූ පරාජයක් අත් විය. එසේ නම් මීට වසර 36කට පෙර පැවති එම ටෙස්ට් තරගය පිළිබඳ ව අතීත මතකයන් අපි මෙලෙස ආවර්ජනය කරමු.

පළමු දිනයේ දී වැඩි වාසි එංගලන්තයට

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක බන්දුල වර්ණපුර මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේ මෙම තරගය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ විශේෂඥ දඟපන්දු යවන්නන් තිදෙනා වූ සෝමචන්ද්‍ර ද සිල්වා, අජිත් ද සිල්වා, සහ ලලිත් කලුපෙරුමගෙන් සිව්වන ඉනිමේ දී උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා යි. නමුත් බන්දුලගේ තීරණය අභියෝගයට  ලක් කළ එංගලන්ත ආරම්භක වේගපන්දු යුගලය වූ ඉයන් බොතම් සහ බොබ් විලිස් ආරම්භයේ සිට ම නිසි එල්ලයක් සහිත ව ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 4 ම ලකුණු 34ක් තුළ දැවී ගියා. එහි දී නායක වර්ණපුර සහ රෝයි ඩයස් පිළිවෙලින් ලකුණු 2කට සහ 0කට විලිස්ගේ පන්දු හමුවේ ද, සිදත් වෙත්තමුණි සහ දුලිප් මෙන්ඩිස් පිළිවෙලින් ලකුණු 6කට සහ 17කට බොතම්ගේ පන්දු හමුවේ ද දැවී යාම ශ්‍රී ලංකා පිලට දැරිය නොහැකි පාඩුවක් වුණා.

මංගල ටෙස්ට් තරගයේ දී ම මෙවන් අසාර්ථක ආරම්භයක් ලබා ගැනීම නිසා ශ්‍රී ලංකා පිලට යම් පීඩනයක් එල්ල වුව ද, ඉන් අනතුරුව පිටියේ එක්වූ රන්ජන් මඩුගල්ලේ සහ අර්ජුන රණතුංග ඉතාමත් වගකීමෙන් සහ දැඩි විශ්වාසයෙන් පන්දුවට පහර එල්ල කරමින් ශ්‍රී ලංකා පිල වැටී තිබුණු අගාධයෙන් ගොඩගනු ලැබුවා. ඒ අතරතුර එවකට කොළඹ ආනන්ද විදුහලේ ඉගෙනුම ලැබූ 18 හැවිරිදි පාසල් සිසුවෙකු වූ අර්ජුන රණතුංග ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම එක්දින අර්ධ ශතකය වාර්තා කළේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ඔහුගේ නම සනිටුහන් කර ගනිමිනුයි. අර්ජුනගේ සහ රංජන්ගේ එම අධිෂ්ඨානශීලී පිතිකරණය නිසා ම 34/4ක් ලෙස අසීරු අඩියක පසු වූ ශ්‍රී ලංකා පිල, 133/4 දක්වා ස්ථාවර තත්ත්වයකට පත් වූයේ තරගයේ ජයග්‍රහණය පිළිබඳ ව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට යම් බලාපොරොත්තුවක් ඇති කරමිනුයි.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ එම බලාපොරොත්තු සුන් කරමින් එංගලන්තය සතු ව සිටි අත්දැකීම් බහුල ම දඟපන්දු යවන්නා වූ ඩෙරෙක් අන්ඩර්වුඩ්, ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙමින් අර්ජුන ව ලකුණු 54කට දවා ගැනීමත් සමග ම ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම ආරම්භ වෙනවා. රංජන් පමණක් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහරදුන්න ද, අනිත් අන්තයේ පන්දුවට පහරදුන් පිතිකරුවන් වූ සෝමචන්ද්‍ර ද සිල්වා, අසන්තා ද මෙල් සහ ලලිත් කලුපෙරුම අන්ඩර්වුඩ්ට ගොදුරු වීම නිසා පළමු දිනය අවසානයේ දී ශ්‍රී ලංකා පිල 183/8 ලෙස නැවතත් අවදානම් අඩියකට වැටුණා. නමුත් රංජන් මඩුගල්ලේ, නොදැවී ලකුණු 64ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටීම ශ්‍රී ලංකා පිලට විශාල සවියක් වූ අතර, දෙවනි දිනයේ ශ්‍රී ලංකා පිල සෑහීමකට පත්විය හැකි ලකුණු ප්‍රමාණයක් කරා ගෙන යාමේ වගකීම ද රංජන් මත පැවරී තිබුණා.

ශ්‍රී ලංකා-එංගලන්ත මංගල ටෙස්ට් තරගයේ දසුනක් (gettyimages)
බොතම් සිදත්ට පන්දුවක් යවමින් (gettyimages)
අර්ජුන පන්දුවට පහරදෙමින් (gettyimages)
රංජන් මඩුගලේගේ අධිෂ්ඨානශීලී ඉනිමේ අවස්ථාවක් (gettyimages)

තරගයේ පාලනය එංගලන්තය යටතට

දෙවන දිනය ආරම්භ වන විට පිටියේ රැඳී සිටි ශ්‍රී ලංකා පිතිකරු යුගලය වූයේ රංජන් මඩුගල්ලේ සහ මහේෂ් ගුණතිලක යි. මොවුන් දෙදෙනාට ම පන්දුවට පහර එල්ල කිරීමේ හැකියාව තිබුණු නිසා ශ්‍රී ලංකා පිලට සෑහීමකට පත්විය හැකි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවනු ඇති බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ විශ්වාසය වුණා. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු උදෑසන ම සුන්කර දැමූ අන්ඩර්වුඩ්, ඔහු ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවාගත් 17 වන අවස්ථාව වාර්තා කරමින් මඩුගල්ලේ ව ලකුණු 65කට දවා ගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 190/9ක් බවට පත් කරමිනුයි. නොසිතූ මොහොතක මඩුගල්ලේ දැවී ගිය ද, ඉන් නොසැලුණු මහේෂ් ගුණතිලක අවසන් පිතිකරු අජිත් ද සිල්වා සමග එක්ව වටිනා ලකුණු 28ක සබඳතාවයක් පැවැත්වූයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 218කට නිමාව දකින විට නොදැවී ලකුණු 22ක් ලබා පිටියේ රැඳී සිටිමිනුයි. ඒ අතර ශ්‍රී ලංකා පළමු ඉනිම 218ක් වැනි ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් පෙරමුණ ගත් අන්ඩර්වුඩ්, ලකුණු 28කට කඩුලු 5ක් සහ බොතම්, ලකුණු 28කට කඩුලු 3ක් දවාගත්තා.

ශ්‍රී ලංකා පිල අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමෙන් අනතුරුව සිය පළමු ඉනිමට විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණෙන් පිටියට පිවිසි එංගලන්ත පිලට ශ්‍රී ලංකා ආරම්භක වේගපන්දු යවන්නා වූ අසන්තා ද මෙල්ගේ ප්‍රබල වේගපන්දු යැවීම ඉදිරියේ රිසිසේ පන්දුවට පහරදීමට නොහැකි වුණා. එදා අසන්තාගේ එම ප්‍රබල පන්දු යැවීම ඉදිරියේ අසරණ වූ එංගලන්ත පිලේ ග්‍රැහැම් ගුච් ලකුණු 22කටත්, ජෙෆ් කුක් 11කටත්, ක්‍රිස් ටවාරේ ලකුණු 0කටත් දැවී යාම නිසා එංගලන්ත ලකුණු පුවරුව 40/3ක් බවට පත්වුණා. කිසිවෙකු බලාපොරොත්තු නොවූ එංගලන්ත පිලේ එම හදිසි කඩා වැටීමෙන් අනතුරුව පිටියේ එක්වූ නායක කීත් ෆ්ලෙචර්, වමත් පිතිකරු ඩේවිඩ් ගවර් සමග එක්ව අගනා ලකුණු 80ක සබඳතාවයක් ගොඩනඟමින් එංගලන්ත ඉනිම ප්‍රබල ස්ථානයකට රැගෙන ආව ද, අජිත් ද සිල්වා ලකුණු 45ක් ලබා සිටි ෆ්ලෙචර් ව දවා ගැනීමත් සමග ම නැවතත් තරගය දෙපිලට ම විවෘත වුණා. ෆ්ලෙචර්ගේ නික්ම යාමෙන් පසු ව ගවර්ට එක්වූ බොතම්, එංගලන්ත ලකුණු පුවරුව 151ක් දක්වා ඉහළ නැංවුව ද, අසන්තා දිනයේ ලබාගත් 4 වන කඩුල්ල ලෙස බොතම් ව ලකුණු 13කට දවා ගනිමින් එංගලන්ත ඉනිම 151/5 බවට පත් කළා. එතැන් සිට ඩේවිඩ් ගවර් සහ බොබ් ටේලර් හොඳින් පන්දුවට පහර දුන්නේ  දිනය නිමාවන විට එංගලන්ත පිල 186/5 වැනි ප්‍රබල තත්ත්වයකට ගෙනයමිනුයි. එහි දී එංගලන්ත පිලේ නැංගුරම වූ වමත් පිතිකරු ඩේවිඩ් ගවර් දිනය නිමාවන විට නොදැවී ලකුණු 79ක් ලබාගෙනයි සිටියේ.

අජිත් ද සිල්වා නායක ෆ්ලෙචර් ව දවාගත් මොහොත (gettyimages)
ගවර්ගේ ඉවසිලිවන්ත ඉනිමේ අවස්ථාවක්  (gettyimages)

ශ්‍රී ලංකා පිල තරගය කණපිට හරවයි

186/5 ලෙස ලකුණු ලබා සිටිය දී තෙවන දින උදෑසන ම සිය ඉනිම ඇරඹූ එංගලන්ත පිලේ ලකුණු පුවරුවට තවත් ලකුණු 14ක් එකතු වන විට ම, ලකුණු 89ක් ලබා සිටි ඩේවිඩ් ගවර් දැවී යාමත් සමග ම එංගලන්ත ඉනිම කඩාවැටීම ආරම්භ වුණා. එම අවස්ථාවේ සෝමචන්ද්‍ර ද ගවර්ගේ කඩුල්ල ලබා ගැනීමෙන් නොනැවතී, තවත් කඩුලු 2ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ලකුණු 223කට සීමා කිරීමට මූලිකත්වය ගත්තා. එලෙස මුල් ඉනිමේ එංගලන්ත පිල 223ක් වැනි ලකුණු ප්‍රමාණයකට සීමා කිරීම සඳහා පන්දුවෙන් විශාල මෙහෙයක් කළ අසන්තා ද මෙල් 70/4 සහ සෝමචන්ද්‍ර ද සිල්වා 54/3 ලෙස කඩුලු ලබා ගත්තා.

ඉන් අනතුරුව ලකුණු 5ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක වර්ණපුර සහ රෝයි ඩයස් එක්ව ගොඩනැඟූ ලකුණු 83ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා ඉනිම 113/1 ලෙස ප්‍රබල තත්ත්වයකට පත්වුව ද, එම්බියුරි වර්ණපුර ව ලකුණු 38කටත්, අන්ඩර්වුඩ් රෝයි ඩයස් ව ලකුණු 77කටත් දවා ගැනීම නිසා දිනය නිමාවන විට ශ්‍රී ලංකා පිල 152/3 ලෙස ලකුණු ලබාගනිමින් එංගලන්ත පිලට වඩා ලකුණු 147ක් ලබා සිටියේ කඩුලු 7ක් අතැති ව යි. මේ වන විට තරගයේ වැඩි වාසිය පැහැදිලි ව ම ශ්‍රී ලංකා පිල සතු වූයේ සිව්වන දිනයේ දී දුලිප්, රංජන්, අර්ජුන වැනි පිතිකරුවන් හොඳින් ම පන්දුවට පහර දී ලකුණු 300කට වැඩි ඉලක්කයක් තරගයේ අවසන් කාර්තු 4 තුළ විශේෂඥ දඟපන්දු යවන්නන් තිදෙනෙකු ඉදිරියේ හඹා යාමේ අභියෝගය එංගලන්ත පිලට ලබාදීමට හැකි ව තිබූ නිසා යි. එම නිසා ම මංගල ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි හැකියාවක් තරගයේ තෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා පිලට ලැබී තිබුණා.

සිදත් වෙත්තමුණි පහරක් එල්ල කරමින් (gettyimages)
නායක වර්ණපුර පන්දුවට පහර දෙමින් (gettyimages)

ශ්‍රී ලංකා පිලට නොසිතූ පරාජයක්

එංගලන්තයට සිව්වන දින තේපානයෙන් පසු ව විශාල ඉලක්කයක් ලබා දීමේ අරමුණෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරු යුගලය වූ දුලිප් සහ රන්ජන් 167/3 දක්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉදිරියට ගෙනාවේ එංගලන්ත පිලට වඩා ලකුණු 162ක් ඉදිරියෙන් සිටිමිනුයි. මේ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ජයග්‍රහණය පිළිබඳ ව බලාපොරොත්තු තබා සිටිය ද,  කිසිවෙකු නොසිතූ අන්දමින් ක්‍රියාත්මක වූ එංගලන්ත දඟපන්දු යුගලය වූ අන්ඩර්වුඩ් සහ එම්බියුරි, ලකුණු 8ක් තුළ ඉතිරි ශ්‍රී ලංකා කඩුලු 7 ම දවා ගැනීම නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 175කට සීමා වූයේ, එංගලන්ත පිලට ලකුණු 171ක ඉලක්කයක් ලබා දෙමිනුයි. එහි දී ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කළ එම්බියුරි ලකුණු 33කට කඩුලු 6ක්, සහ අන්ඩර්වුඩ් ලකුණු 67කට කඩුලු 3ක් ලබා ගත්තා. බලාපොරොත්තු නොවූ ආකාරයට ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමෙන් අනතුරුව ලකුණු 171ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිල ක්‍රිස් ටැවරේ ලබා ගත් අගනා ලකුණු 85 නිසා කඩුලු 3ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රහණය ලබා ගත්තා. එදා වෘත්තීය මට්ටමේ අත්දැකීම් මඳකම නිසා එලෙස මංගල ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව පිල පරාජය වුව ද, ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාදීම සෑම අතින් ම සාධාරණ බව සියලු දෙනාගේ ම මතය යි.

ශ්‍රී ලංකාව පරාජය කරා රැගෙන ගිය එංගලන්ත දඟපන්දු යුගලය වූ අන්ඩර්වුඩ් සහ එම්බියුරි (gettyimages)

කවරයේ ඡායාරූපය: අර්ජුන පළමු ඉනිමේ පන්දුවට පහර දෙමින් (gettyimages)

Related Articles