Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අඩු ම පන්දුවාර ගණනක දී ශ්‍රී ලංකාව දැවී ගිය ටෙස්ට් ඉනිම්

2022 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පසුගිය ජූලි 1 වැනිදා නිමාවට පත්වුණා.  දඟපන්දු යවන්නන්ට වඩාත් හිතකර තණතීරුවක පැවති එම තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් හිමි වුණේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යි.

එහි දී ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම  හමුවේ ශ්‍රී ලංකා දෙවන ඉනිම පන්දුවාර 22.5කට සීමා වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

පන්දුවෙන් දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නෝ – gettyimages.com

 

එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමක අඩු ම පන්දුවාර ප්‍රමාණයක දී දැවී ගිය අවස්ථාව ලෙස ඉතිහාසගත වුණා. 40 වසරක මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය දෙස ආපසු හැරීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමක දී පන්දුවාර 30කට පෙර දැවී ගිය අවස්ථා අටක් හමුවෙනවා. එම අවස්ථා අට පිළිබඳ මතකය මෙතැන් සිට ඔබ වෙත ඉදිරිපත් කරනවා. 

8). 1994 ශ්‍රී ලංකා-පාකිස්තාන අස්ගිරිය ටෙස්ට් තරගයේ දී- පන්දුවාර 28.2 

1994 ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ තෙවන තරගය මහනුවර අස්ගිරිය පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායක සලීම් මලික් පන්දුවට මුලින් ම පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළා. පාකිස්තාන නායකයා එවැනි තීරණයක් ගත්තේ වේග පන්දු යවන්නන්ට උචිත අයුරින් සකසා තිබුණු තණතීරුවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා යි.

එවැනි තත්ත්වයක් යටතේ අස්ගිරිය තණතීරුව මත තිබුණු ජීවය උකහාගත් වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් ශ්‍රී ලංකා පිතිකරුවන්ට එරෙහි ව තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 9 ලකුණු 46ක් ඇතුළත බිඳ වැටුණා.

වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් 90 දශකයේ දී – gettyimages.com

 

එම අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කළ පුබුදු දසනායක සහ රවීන්ද්‍ර පුෂ්පකුමාර අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 25ක සබඳතාවක් ගොඩ නැඟුවා. එසේ නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ම වරට ටෙස්ට් ඉනිමක දී ලකුණු 50කට අඩුවෙන් දැවී යන්නට ඉඩ තිබුණා.

සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වෙමින් පාකිස්තාන වේගපන්දු යවන්නන් හමුවේ නොසැලී පන්දුවට පහරදෙමින් සිටි පුෂ්පකුමාර, අක්‍රම්ගේ පන්දුවක් හමුවේ  ලකුණු 6කට දැවී යාමත් සමඟින් ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාව දුටුවා. 

වසීම් අක්‍රම් 1994 ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දී – gettyimages.com

 

එහි දී පන්දුවාර 28.2ක් තුළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 71ක් පමණ යි. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමක දී ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය ලෙසින් අදටත් වාර්තා අතර රැඳී තිබෙනවා.

එදා ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කළ වකාර් යුනිස් ලකුණු 34කට කඩුලු 6ක් දවා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් වසීම් අක්‍රම් ලකුණු 32කට කඩුලු 4ක් බිඳ දැමුවා. ඔවුන් දෙදෙනා සිදු කළ එම දක්ෂ පන්දු යැවීම නිසා එම ටෙස්ට් තරගයෙන් පාකිස්තානයට ඉනිමක සහ ලකුණු 40ක ජයක් හිමි වුණා. 

 වකාර් යුනිස් 1994 ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දී – gettyimages.com

 

7). 2001 ශ්‍රී ලංකා-එංගලන්ත එස්. එස්. සී. ටෙස්ට් තරගයේ දී- පන්දුවාර 28.1

2001 එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය එස්. එස්. සී. පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 241ක් රැස් කරද්දී එංගලන්ත පළමු ඉනිම ද ලකුණු 249කට සීමා වුණා.

ඉන් පසුව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව එක් අවස්ථාවක කඩුලු 3ක් දැවී ලකුණු 57ක් ලබා ගෙන සිටියා. 

2001 ශ්‍රීලංකා-එංගලන්ත එස්. එස්. සී.ටෙස්ට් තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු එංගලන්ත පන්දු බළ ඇණිය ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 7 ම ලකුණු 24ක් තුළ දවා ගැනීම අමතක නොවන සිදුවීමක් වුණා. එනිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 28.1ක දී ලකුණු 81කට සීමා වුණා.

එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ඈෂ්ලි ජයිල්ස් ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනිද්දී ඩැරන් ගෆ් ලකුණු ලකුණු 23කට කඩුලු 3ක් බිඳ දැමුවා. එසේ  ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටීමෙන් පසුව ලකුණු 74ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කඩුලු 4ක තියුණු ජයක් හිමි කර ගත්තා.  

පන්දුවෙන් දස්කම් දැක්වූ ඈෂ්ලි ජයිල්ස් – gettyimages.com

 

6). 1984 ශ්‍රී ලංකා-නවසීලන්ත අස්ගිරිය ටෙස්ට් තරගයේ දී- පන්දුවාර 27.3

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ හමු වන අමතක නොවන ටෙස්ට් තරග අතුරින් එකක් 1984 වසරේ අස්ගිරිය පිටියේ දී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර යි. එම තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වුණු නිසා තරගයේ අවසන් දිනය ආරම්භ වෙද්දී එය ජය පැරදුමෙන් තොරව නිමා වීමට වැඩි ඉඩකඩක් තිබුණා.

එම අවස්ථාවේ ජයග්‍රහණයක් සොයමින් සිටි නවසීලන්ත නායකයා දිවා විරාමය අවසන් වී මද වේලාවකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 263ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන්නා. 

නවසීලන්ත නායක ජෙෆ් හොවාර්ත් – gettyimages.com

 

එම අවස්ථාවේ රිචඩ් හැඩ්ලි සහ ස්ටීවන් බොක් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 6 ලකුණු 18ක දී බිඳ දැමුවා. ඒ මොහොතේ යොවුන් පිතිකරු අර්ජුන රණතුංග සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 47කදී ලකුණු 51ක් ලබා ගෙන සිය කණ්ඩායමේ ගෞරවය බේරා ගැනීමට උත්සාහ කළා.

ඔහුගේ දැවී යාමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 27.3කදී ලකුණු 97කට සීමා වුණා. එහි දී අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු බොක් සහ හැඩ්ලි පිළිවෙළින් ලකුණු 28කට කඩුලු 5ක් සහ ලකුණු 8කට කඩුලු 4ක් දවා ගත්තා. 

රිචඩ් හැඩ්ලි – gettyimages.com

 

ශ්‍රී ලංකාව එසේ ලැබූ අනපේක්ෂිත පරාජය හමුවේ වියරු වැටුණු මෙරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ගල්මුල් ප්‍රහාර පවා එල්ල කිරීම කනගාටුදායක සිදුවීමක් වුණා. පසුව ආරක්ෂක අංශවල මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කළා. 

5). 2017 ශ්‍රී ලංකා-පාකිස්තාන ඩුබායි ටෙස්ට් තරගයේ දී- පන්දුවාර 26

2017 ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 482ක් ලබා ගත්තා.

එහි දී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වුණු දිමුත් කරුණාරත්න අගනා ලකුණු 196ක් වාර්තා කළා. ඉන් අනතුරු ව පන්දුවට පහර දුන් පාකිස්තානුවන්ට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 262ක් පමණ යි. 

 ලකුණු 196ක් ලබා ගත් දිමුත් කරුණාරත්න – gettyimages.com

 

පාකිස්තානයට වඩා ලකුණු 220ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුන්ට රිසි සේ ලකුණු ලබාගැනීමට හැකි වුණේ නැහැ. පාකිස්තාන පන්දු යවන්නන් එල්ල කළ ප්‍රබල පීඩනය හමුවේ ශ්‍රී ලංකා දෙවන ඉනිම පන්දුවාර 26ක දී ලකුණු 96කට සීමා වුණා.

එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු වහාබ් රියාස් ලකුණු 41කට කඩුලු 4ක් දවා ගනිද්දී, හැරිස් සොහෙල් ලකුණු 1කට කඩුලු 3ක් බිඳ දැමුවා. 

පන්දුවෙන් දස්කම් දැක්වූ වහාබ් රියාස් – gettyimages.com

 

ඉන් අනතුරුව ලකුණු 317ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 248ක් පමණ යි. එනිසා ශ්‍රී ලංකාවට ලකුණු 68ක ජයක් හිමි වුණා. 

4). 2006 ශ්‍රී ලංකා-පාකිස්තාන අස්ගිරිය ටෙස්ට් තරගයේ දී- පන්දුවාර 24.5

2006 ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අස්ගිරිය පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 279 වෙනුවට පාකිස්තානයට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 170ක් පමණ යි. එහි දී පාකිස්තාන ඉනිම සුණුවිසුණු කරමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මුත්තයියා මුරලිදරන් ලකුණු 39කට කඩුලු 5ක් දවා ගත්තා.

මුරලිදරන් කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරමින් – gettyimages.com

 

පාකිස්තාන කණ්ඩායමට වඩා ලකුණු 109ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට එරෙහි ව මොහොමඩ් අසීෆ් සහ අබ්දුල් රසාක් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වුණා. ඔවුන් දෙදෙනාගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකුට ලකුණු 20 සීමාව පසුකිරීමට හැකි වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 24.5ක දී ලකුණු 73කට ශ්‍රී ලංකා දෙවන ඉනිම සීමා වුණා. 

එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු මොහොමඩ් අසීෆ් සහ අබ්දුල් රසාක් පිළිවෙළින් ලකුණු 27කට කඩුලු 5ක් සහ ලකුණු 20කට කඩුලු 4ක් දවා ගත්තා. ඉන් පසු ව ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය කඩුලු 8ක පහසු ජයක් හිමි කර ගත්තා.

තරගය පුරාවට කඩුලු 11ක් දවාගත් මොහොමඩ් අසීෆ් – gettyimages.com

 

3). 2011 ශ්‍රී ලංකා-එංගලන්ත කාඩිෆ් ටෙස්ට් තරගයේ දී- පන්දුවාර 24.4

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දී ලද අනපේක්ෂිත පරාජය ගැන සිහිපත් කරන්නේ මුලින් ම මතකයට එන තරගයක් වන්නේ 2011 වසරේ කාඩිෆ් හි දී එංගලන්තයට එරෙහි ව ක්‍රීඩා කළ ටෙස්ට් තරගය යි.

එම ටෙස්ට් තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 400ක් රැස් කළා. එයට පිළිතුරු වශයෙන් එංගලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 496ක් ලබා ගත්තා. එහි දී එංගලන්ත ඉනිමේ නැංගුරම බවට පත්වුණු ජොනතන් ට්‍රොට් අගනා ලකුණු 203ක් වාර්තා කළා. 

ට්‍රොට් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළ මොහොත – gettyimages.com

අවසන් දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. එනිසා එදින තරගය ආරම්භ කිරීමට හැකි වුණේ දිවා  විවේකයෙන් පැයකට පමණ පසුව යි. එවැනි වටපිටාවක තරගය නිමාවීම සඳහා තවත් ඉතිරි ව තිබුණේ පන්දුවාර 51ක් පමණ යි. එනිසා ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් කරනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා.

එම අවස්ථාවේ සියලු දෙනා ම මවිතයට පත්කරමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ක්‍රිස් ට්‍රෙම්ලට් සහ ග්‍රැහැම් ස්වෝන් පන්දුවාර 24.4ක දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 82කට සීමා කළා. එහි දී ස්වෝන් සහ ට්‍රෙම්ලට් පිළිවෙළින් ලකුණු 16කට කඩුලු 4ක් සහ ලකුණු 40කට කඩුලු 4ක් බිඳ දමමින් ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 14ක අනපේක්ෂිත පරාජයක් උරුම කර දුන්නා. 

පන්දුවෙන් ප්‍රබල තර්ජනයක් එල්ල කළ ට්‍රෙම්ලට්  – gettyimages.com

 

2). 2012 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා මෙල්බර්න් ටෙස්ට් තරගයේ දී- පන්දුවාර 24.2

2012-13 ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය මෙල්බර්න් පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 156ක් රැස් කරද්දී එයට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 460ක් ලබා ගත්තා.

එහි දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් නායක මයිකල් ක්ලාක් අගනා ලකුණු 106ක් රැස් කළා.  

ලකුණු 106ක් රැස් කළ මයිකල් ක්ලාක් – gettyimages.com

 

ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 304ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් හමුවේ යළිත් වරක් අසාර්ථක වුණා. පන්දුවාර 24.2ක දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 103කට සීමා වුණා. එම ඉනිමේ දී කුමාර් සංගක්කාරමිචෙල් ජොන්සන් එවූ පන්දුවක් ඇඟිල්ලේ වැදීම නිසා ලකුණු 27ක් ලබා සිටිය දී  පිටියෙන් ඉවත් වුණා.

 ප්‍රසන්න ජයවර්ධන සහ චානක වෙලගෙදර ආබාධයන්ට ලක්වීම නිසා පන්දුවට පහර දීමට නොපැමිණියා. එසේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 103කට සීමා වුණු අවස්ථාවේ මිචෙල් ජොන්සන් සහ ජැක්සන් බර්ඩ් කඩුලු 2ක බැගින් දවා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වුණා.   

මිචෙල් ජොන්සන් දක්ෂ ලෙස පන්දු යවමින් – gettyimages.com

 

1). 2022 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ගාල්ල ටෙස්ට් තරගයේ දී- පන්දුවාර 22.5

2022 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 212ක් ලබා ගත්තා.

එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු නේදන් ලයන් ලකුණු 90කට කඩුලු 5ක් දවා ගත්තා. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානුවන් ලකුණු 321ක් ලබා ගෙන තරගයේ වැඩි වාසි ඔවුන් සතු කර ගත්තා.

පන්දුවෙන් දස්කම් දැක්වූ ලයන් – gettyimages.com

 

ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 109ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ඉනිම ආරම්භයේ සිට අනවශ්‍ය තරම් වේගයකින් ලකුණු රැස් කිරීමට උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ කඩුලු එක පිට එක බිඳ වැටුණා. එනිසා පන්දුවාර 22.5ක දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 113කට සීමා වුණා.

එහි දී දක්ෂ දඟපන්දු යැවීමක නිරත වුණු ට්‍රැවිස් හෙඩ් සහ නේදන් ලයන් පිළිවෙළින් ලකුණු 10කට කඩුලු 4ක් සහ ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත්තා. එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් අඩු ම පන්දුවාර ප්‍රමාණයක දී දැවී ගිය අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක් වුණා.  

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන ට්‍රැවිස් හෙඩ් – gettyimages.com

කවරයේ ඡායාරූපය- 2006 ශ්‍රී ලංකා-පාකිස්තානු අස්ගිරිය ටෙස්ට් තරගයේ අවස්ථාවක් (gettyimages.com)

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

wisden.com

Related Articles