Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලාංකීය සලකුණු

මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්ව සිටි රටවල් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වෙනවා. මුල්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය 1930 දී කැනඩාවේ හැමිල්ටන් නුවර දී  පැවැත්වුණා. එදා සිට අද දක්වා ක්‍රියාත්මක වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 22 වැනි වරට යි.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය ජූලි 28 සිට අගෝස්තු 8 දක්වා එංගලන්තයේ බර්මිංග්හැම් හිදී පැවැත්වෙනවා. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක් සහභාගි වෙනවා. ඒ ක්‍රීඩා ඉසව් 13ක් සඳහා යි. එය මෙම තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩි ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගි වෙන අවස්ථාව යි.  ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 103ක් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා ඊට පෙර 2014 දී සහභාගි වුණා.

 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා එක් වුණු ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

ගෙවුණු වසර 84ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිවල දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ඔවුන් රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 8ක් ඇතුළුව සමස්ත පදක්කම් 20ක් දිනා ගෙන තිබෙනවා. මේ ඔබට කියන්න යන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව සම්බන්ධ සුවිශේෂී තොරතුරු යි. 

තරගාවලි ඉතිහාසයේ මුල් ම ශ්‍රී ලංකා නියෝජනය 

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය මුල් යුගයේ දී හැඳින්වුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා තරගාවලිය ලෙස යි. 1938 බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා තරගාවලිය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී යි. එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, British Ceylon යන නමින් සහභාගි වුණා. එහි දී මලල ක්‍රීඩා, බොක්සිං, සහ පිහිනුම් යන ක්‍රීඩා යටතේ ක්‍රීඩකයන් 7 දෙනෙක් තරග වැදුණා. 

1). ඩන්කන් වයිට්- යාර 220 සහ 440 ධාවන ඉසව් 

2). වෝල්ටර් තම්බිමුත්තු- දුර පැනීම සහ තුන් පිම්ම පැනීම 

3). ආතර් ඩෙප්- රිටි පැනීම  

4). හෙන්රි පෙරේරා- උස පැනීම 

5). බානි හෙන්රික්ස්- බොක්සිං කිලෝ ග්‍රෑම් 57 ෆෙදර්වේට් 

6). ෆ්රෑන්ක් ක්ලෙමන්ට්- බොක්සිං කිලෝ ග්‍රෑම් 60 ලයිට්වේට් 

7). ෆ්රෑන්ක් ඩිග්බි- යාර 110 නිදහස් ආර පිහිනුම් 

 ඩන්කන් වයිට්  – facebook.com

 

දිනා ගත් මුල් ම රන් පදක්කම 

1938 බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා  තරගාවලිය සඳහා බොක්සිං ක්‍රීඩාව යටතේ සහභාගි වුණු බානි හෙන්රික්ස් අප රටට මුල් ම පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි රන් පදක්කම දිනා දුන්නා. එහි දී ෆෙදර්වේට් බර පන්තිය යටතේ තරග කළ බානි ස්කොට්ලන්ත ක්‍රීඩක ජේම්ස් වොට්සන් පරාජයට පත්කරමින් එම රන් පදක්කම දිනා ගත්තා.

බානිගේ එම දස්කම නිසා ලංකාවට පදක්කම් සටහනේ හත්වන ස්ථානය හිමි වුණා. එපමණක් නොව එවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගත් එක ම ආසියානු රට බවට පත්වීමට ද ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. 

1938 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ පදක්කම් සටහන – wikipedia.org

 

තරගාවලියට සහභාගි වුණු මුල් ම ලංකා ක්‍රීඩිකාව 

1928 දී උපත ලැබූ ෂෙලා ඈන් ගඩ්ඩුම් මෙරට ඉතිහාසය තුළ බිහිවුණු සුවිශේෂී ක්‍රීඩිකාවක්. ඒ ඇය හොකී, ක්‍රිකට්, ටෙනිස්, ගොල්ෆ් සහ පිහිනුම් යන ක්‍රීඩාවලින් ජාත්‍යන්තර තලයේ දී අප රට නියෝජනය කළ නිසා යි.

1950 දී නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සහභාගි වුණු ගඩ්ඩුම් කාන්තා නිදහස් ආර යාර 110 සහ 440 පිහිනුම් තරගවලට සහභාගි වුණා. ඒ අනුව ඇය පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි ඉතිහාසයේ අප රට නියෝජනය කළ මුල් ම ක්‍රීඩිකාව ලෙසින් ඉතිහාසගත වුණා. 

1950 තරගාවලිය සඳහා ගිය ලංකා පිහිනුම් කණ්ඩායම – trove.nla.gov.au

 

පදක්කම් කිහිපයක් දිනා ගත් මුල් ම තරගාවලිය

1950 බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා තරගාවලිය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර දී පැවැත්වුණා. ඒ සඳහා ක්‍රීඩකයන් 12ක් සහ ක්‍රීඩිකාවක් ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණා. එහි දී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොක්සිං, මලල ක්‍රීඩා, පිහිනුම් සහ කිමිදුම් යන ක්‍රීඩා සඳහා ඉදිරිපත් වුණා. එවර තරගාවලියේ දී ලංකාව නියෝජනය කළ බොක්සිං කණ්ඩායම රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

එහි දී ඇල්බට් පෙරේරා කිලෝ ග්‍රෑම් 54 බැන්ටම්වේට් ඉසව්වෙන් රිදී පදක්කමක්, කේ. එඩ්වින් කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයිවේට් ඉසව්වෙන් රිදී පදක්කමක් සහ ඇලෙක්ස් ඔබේසේකර කිලෝ ග්‍රෑම් 67 වෙල්ටර්වේට් ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තා. 

 එඩ්වින් (දකුණේ) සහ ඔහුගේ ප්‍රතිවාදියා හියූ ෆ්ලයිවේට් අවසන් තරගයෙන් පසුව – gettyimages.com

 

එවර බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා තරගාවලියේ දී වඩාත් සාර්ථකත්වයට පත්වුණු ඩන්කන් වයිට් යාර 440 කඩුලු පැනීමේ තරග  ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. එය ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියක දී දිනා ගත් එකම මලල ක්‍රීඩා රන් පදක්කම ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.

1950 බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ලංකා කණ්ඩායම පදක්කමක් සටහනේ 9 වන ස්ථානය හිමි කර ගත්තා. 

ඩන්කන් වයිට් – gettyimages.com 

 

44 වසරක පදක්කම් ඉඩෝරය 

1950-1994 යුගය තුළ පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලි 7කට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වුණා. එහි දී මලල ක්‍රීඩා, බොක්සිං, මල්ලවපොර. පිහිනුම්, ඉලක්කයට වෙඩි තැබීම, බැඩ්මින්ටන්, සයිකල් තරග වැනි ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වුණා. නමුත් එම කිසිවකුට සිය රට වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පදක්කම් ඉඩෝරය නිමා වුණු 1994 තරගාවලිය

1994 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය කැනඩාවේ වික්ටෝරියා හි දී පැවැත්වුණා. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12ක් සහභාගි වුණේ ඉලක්කයට වෙඩි තැබීම, බැඩ්මින්ටන්, බොක්සිං සහ කිමිදුම් යන ක්‍රීඩා සඳහා යි.

එහි දී ඉලක්කයට වෙඩි තැබීමේ තරග සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 2ක් දිනා ගත්තා. ඒ අතුරින් රන් පදක්කම දිනා ගත් පුෂ්පමාලි රාමනායක සහ මාලිනි වික්‍රමසිංහ මීටර් 10 වායු රයිෆල් කණ්ඩායම් ඉසව්ව යටතේ තරග වැදුණා. 

පුෂ්පමාලි රාමනායක සහ මාලිනි වික්‍රමසිංහ – sundayobserver.lk

 

ශ්‍රී ලංකාව දිනා ගත් රිදී පදක්කම් දෙක අතුරින් එකක් දිනා ගත්තේ මාලිනි වික්‍රමසිංහ යි. ඒ මීටර් 10 කාන්තා වායු රයිෆල් ඉසව්ව යටතේ යි. පිරිමි මීටර් 50 බෝර රයිෆල් කණ්ඩායම් ඉසව්ව සඳහා සහභාගි වුණු ලක්ෂ්මන්  රාජසිංහ සහ දොඩංගොඩ චන්ද්‍රසිරි ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් දිනා දුන්නා.

ඉලක්කයට වෙඩි තැබීමේ තරග ඉසව් සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් එම පදක්කම් නිසා රටවල් 63ක් අතුරින් 16 වැනි ස්ථානය අප රටට උරුම වුණා. 

1994 තරගාවලිය සඳහා සහභාගි වුණු ඉලක්කයට වෙඩි තැබීමේ කණ්ඩායම – sundayobserver.lk

 

28 වසරක ස්වර්ණමය යුගය 

1994-2022 දක්වා පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිවල දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 1ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනා ගැනීමට සමත් වුණා. ඒ අනුව ගෙවුණු වසර 28ක කාලය තුළ ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් 12ක් දිනා ගෙන තිබෙනවා. එම පදක්කම් 12 අතුරින් 7ක්  බර ඉසිලීමේ ඉසව් යටතේ දිනාගෙන තිබීම සුවිශේෂී සිදුවීමක්.

එහි දී චින්තන විදානගේ 2006 මෙල්බර්න් තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 62 බර පන්තිය යටතේ බර ඉසිලීමේ තරගවලට සහභාගි වෙමින් රන් පදක්කමක් දිනා ගත්තා. ඊට වසර 4කට පසුව දිල්ලි හිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය යටතේ බර ඉසිලීමේ තරගවලට සහභාගි වුණු චින්තන රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

චින්තන 2006 මෙල්බර්න් තරගාවලියේ දී දස්කම් දක්වමින් – gettyimages.com

 

චින්තනට අමතර ව සුදේෂ් පීරීස් බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් දෙකක් දිනා ගත්තා. එහි දී කිලෝ ග්‍රෑම් 62 බර පන්තිය යටතේ තරග වැදුණු සුදේෂ් 2010 තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් ද 2014 තරගාවලියේ දී රිදී පදක්කමක් ද දිනා ගන්නට සමත් වුණා.

2018 තරගාවලියේ දී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ඉන්දික දිසානායක රිදී පදක්කමක් දිනා ගනිද්දී, චතුරංග ලක්මාල් සහ දිනූෂා ගෝමස් තවත් ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත්තා. 

සුදේෂ් පීරිස් 2014 තරගාවලියේ දී දස්කම් දක්වමින් – gettyimages.com

 

1998 ක්වාලාලම්පූර් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් මතු වුණු තරගාවලියක් බවට පත්වුණා. එම තරගාවලියේ දී ශ්‍රියානි කුලවංශ කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ තරග ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගනිද්දී සුගත් තිලකරත්න පිරිමි මීටර් 400 තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත්තා.

එහි දී ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් 48 වසරකට පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් හිමි වීම විශේෂ සිදුවීමක් වුණා.

සුගත් තිලකරත්න (මැද) 1998 තරගාවලියේ දී දස්කම් දක්වමින් – gettyimages.com

 

2018 ගෝල්ඩ් කෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී ඉෂාන් බණ්ඩාර, තිවංක රණසිංහ සහ අනූෂා කොඩිතුවක්කු බොක්සිං ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම් දිනා ගත්තා.

එය 68 වසරකට පසුව අප රට බොක්සිං ක්‍රීඩාවෙන් දිනා ගත් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් බවට පත්වුණා. 

ඉෂාන් බණ්ඩාර 2018 තරගාවලියේ දී තරග වදිමින් – gettyimages.com

 

මෙවර බලාපොරොත්තු

අවසන් වරට පැවැත්වුණු 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනා ගත්තා. එය පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි ඉතිහාසයේ තනි තරගාවලියක දී ශ්‍රී ලංකාව දිනා ගත් ඉහළ ම පදක්කම් ප්‍රමාණය යි.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලාංකා කණ්ඩායමට ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙක් එකතු වී සිටිනවා. ඒ අතුරින් යුපුන් අබේකෝන් ගැන බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබා සිටිනවා. 

යුපුන් අබේකෝන් – gettyimages.com

 

මේ වන විට දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා ලෙසින් වැජඹෙන යුපුන් ස්විට්සර්ලන්තයේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක දී මීටර් 100 තරග ඉසව්ව තත්පර 9.96ක කාලයකින් නිමා කළා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී මීටර් 100 ඉසව්ව සඳහා තරග වදින යුපුන්ට පදක්කමක් දිනා ගැනීම සඳහා ජැමයිකාව, කැනඩාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නයිජීරියාව, ඝානාව  වැනි රටවල්වල ප්‍රබල කෙටිදුර ධාවන ශූරයන් සමඟින් උරෙනුර ගැටීමට සිදුවනු ඇති. 

2018 දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් රිදී පදක්කමක් දිනා ගත් ඉන්දික දිසානායක සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් චතුරංග ලක්මාල් ද මෙවර තරගාවලිය සඳහා ද සහභාගි වෙනවා. ඊට අමතර ව පොදුරාජ්‍ය මණ්ඩලීය තරගවල දී රන් සහ රිදී පදක්කම් දිනා ගත් බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ ද මෙවර තරගාවලිය සඳහා සහභාගි වෙනවා. ඔවුන් තිදෙනාට ද පදක්කමක් දිනා ගැනීම සඳහා අවස්ථාවක් තිබෙනවා.

ඉන්දික දිසානායක 2018 තරගාවලියේ දී – gettyimages.com

 

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ බොක්සිං තරග සඳහා සහභාගි වන ඉෂාන් බණ්ඩාර ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලාපොරොත්තුවක්. ඒ අවසන් වරට පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී ඔහු ලෝකඩ පදක්කමක් දිනා ගත් නිසා යි. එසේ බලාපොරොත්තු තබාගෙන සිටින ක්‍රීඩකයන් සුපුරුදු දස්කම් අතරට පැමිණියහොත් ශ්‍රී ලංකාවට මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පදක්කම් ඉහළ ස්ථානයක් ලබාගැනීමට හැකිවනු ඇති බවට සැකයක් නැහැ. 

කවරයේ ඡායාරූපය- චින්තන විදානගේ 2006 මෙල්බර්න් තරගාවලියේ දී- gettyimages.com

මූලාශ්‍ර:

birmingham2022.com

thecgf.com

trove.nla.gov.au

sundayobserver.lk  

Related Articles