Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රීලාංකික හොඳ ම ඉනිම්

2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මාසයේ දී ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් දෙකේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත යි. වසර 5ක නිහැඬියාවකින් පසුව පැවැත්වෙන මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ද දැඩි උනන්දුවකින් පසුවනවා. අද ඔබ වෙත ඉදිරිපත් කරන්නේ 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ ලාංකීය පිතිකරුවන් ඉහළ ම ලකුණු ලබාගත් අවස්ථා 10 පිළිබඳව යි.

10) තිලකරත්න දිල්ෂාන්- 76 (53)- නවසීලන්තයට එරෙහිව 2012 දී 

2012 T20 ලෝක කුසලාන තරගාවලියේ 13 වන තරගය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් එම තරගය ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන තරගයක් බවට පත්වුණා. ඒ ශ්‍රී ලංකාව 20/20 තරගයක දී මුල්ම වරට සුපිරි පන්දුවාරයකට මුහුණදුන් නිසා යි.

දිල්ෂාන්ගේ ඉනිමේ අවස්ථාවක් – getty images

එදා සුපිරි පන්දුවාරයෙන් ලකුණු 6ක ජයක් හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. ඒ අයුරින් ශ්‍රී ලංකාවට තියුණු ජයක් හිමිවුණු තරගයේ දී පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ තිලකරත්න දිල්ෂාන් පන්දු 53ක් පමණක් වැය කරමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 76ක් ලබා ගත්තා. එය 2012 T20 ලෝක කුසලාන තරගාවලියේ දී ලාංකීය පිතිකරුවකුගේ පිත්තෙන් වාර්තා වුණු ඉහළ ම ඉනිම ලෙසින් සටහන් වුණා. 

9) මහේල ජයවර්ධන- 78 (53)- අයර්ලන්තයට එරෙහිව 2009 දී 

20/20 ලෝක කුසලාන ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ ම දස්කම් දැක්වූ පිතිකරුවන් අතරට මහේල ජයවර්ධන ද අයත්. 2009 T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටය යටතේ පැවති තරගයක දී මහේලගේ පිත්තෙන් විශිෂ්ට ඉනිමක් වාර්තා වුණා.

මහේල අර්ධ ශතකය සම්පූර්ණ කළ අවස්ථාව (gettyimages)

එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අයර්ලන්ත පන්දු යවන්නන් හමුවේ අසරණ වී සිටි අවස්ථාවක ක්‍රියාත්මක වුණු මහේල හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් පන්දු 53කින් ලකුණු 78ක් ලබාගත්තා. ඒ අයුරින් මහේලගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ලකුණු 78 නිසා ශ්‍රී ලංකා ඉනිම 144/9 ලෙසින් නිමාව දුටුවා. අවශ්‍ය ම මොහොතක මහේලගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ලකුණු 78ට පින්සිදු වන්නට ශ්‍රී ලංකාවට ලකුණු 9ක තියුණු ජයක් හිමි වුණා. 

8) සනත් ජයසූරිය- 81 (47)- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2009 දී 

ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු ප්‍රහාරාත්මක පිතිකරුවකු වුණු සනත් ජයසූරිය 2009 T20 ලෝක කුසලානයට සහභාගි වන විට 39 හැවිරිදි වියේ පසු වුණා. එම තරගාවලියේ පළමු වටය යටතේ පැවති තරගය කදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් උරෙනුර ගැටුණා. එදා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ජයසූරිය සහ දිල්ෂාන් කොදෙව් පන්දු යවන්නන්ට උන්හිටි තැන් අමතක වන ආකාරයේ පිතිහරඹයක් ඇරඹුවා.

ජයසූරිය පහරක් එල්ල කරමින් – getty images

එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 12.2ක් අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 124/0 ලෙසින් දිස්වුණා. අන්න ඒ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ස්ථානයකට පත්ව සිටි මොහොතක ලෙන්ඩල් සිමන්ස් එවූ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ජයසූරිය දැවී ගියා. ඒ වන විට පන්දු 47කට මුහුණ දී සිටි ජයසූරිය හතරේ පහර 10ක් සහ දැවැන්ත හයේ පහර 3ක් සමඟින් ලකුණු 81ක් ලබාගෙන තිබුණා. 

7) මහේල ජයවර්ධන- 81 (51)- නවසීලන්තයට එරෙහිව 2010 දී 

2010 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ප්‍රොවිඩන්ස් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලබා ගත්තේ ලකුණු 135ක් පමණ යි. පන්දුවට පහරදීමට අසීරු තණතීරුවක පැවති එම තරගයේ දී නම් දැරූ ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ත අසරණ තත්ත්වයකට පත්වෙද්දී මහේල ජයවර්ධන හුදෙකලා සටනක නිරත වුණා.

මහේල වේගවත් පහරක් එල්ල කරමින් – getty images

එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කළ මහේල පන්දු 51කින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් අගනා ලකුණු 81ක් ලබා ගත්තා. ඒ අයුරින් මහේල සිය කණ්ඩායම සටනක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය ද අවසානයේ දී තරගය කඩුලු 2කින් ජයග්‍රහණය කළේ  නවසීලන්ත කණ්ඩායම යි.

6) තිලකරත්න දිල්ෂාන්- 83* (56)- ඇෆ්ගනිස්ථානයට එරෙහිව 2016 දී 

අවසන් වරට 2016 වසරේ දී පැවැත්වුණු 20/20 ලෝක කුසලාන තරගාවලියේ 16 වන තරගයේ දී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය උරෙනුර ගැටුණා. කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් පිටියේ පැවති එම තරගයේ දී මුලින් ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 153ක් ලබාගත්තා. ඉන් අනතුරු ව ලකුණු 154ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඇෆ්ගනිස්ථානු දඟපන්දු බළ ඇණිය ප්‍රබල අභියෝගයක් එල්ල කළා.

දිල්ෂාන් අර්ධ ශතකය සම්පූර්ණ කළ අවස්ථාව (gettyimages)

එම අභියෝගය තඹ දොයිතුවකටවත් මායිම් නොකළ දිල්ෂාන් නොදැවී ලකුණු 83ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවා ගෙන ගියා. එදා පන්දු 56කින් ගොඩනැගුණු දිල්ෂාන්ගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 3කින් වර්ණවත් වුණා. එය දිල්ෂාන්ගේ 20/20 ලෝක කුසලාන දිවියේ 6 වන අර්ධ ශතකය ලෙසින් සටහන් වුණු බවත් මෙහි දී සිහිපත් කළ යුතුයි. 

5) සනත් ජයසූරිය- 88 (44)- කෙන්යාවට එරෙහි ව 2007 දී 

2007 T20 ලෝක කුසලාන තරගාවලියේ 8 වන තරගය ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් පිටියේ දී ක්‍රියාත්මක වුණා. එදා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් කෙන්යානු පන්දු යවන්නන්ට එළව එළවා පහර දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ඉනිම 260/6 ලෙසින් නිමාව දුටුවා.

ජයසූරිය පහරක් එල්ල කරමින් (gettyimages)

එය එවකට 20/20 තරගයක දී වාර්තා වුණු ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. එදා සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සනත් ජයසූරිය පන්දු 44කින් වේගවත් ලකුණු 88ක් වාර්තා කළා. අලංකාර හතරේ පහර 11කින් දැවැන්ත හයේ පහර 4කින් හැඩවුණු එම ඉනිම ජයසූරියගේ 20/20 තරග දිවියේ වාර්තා වුණු හොඳ ම ඉනිම ලෙසින් සටහන් වුණා.

4) මහේල ජයවර්ධන- 89 (51)- එංගලන්තයට එරෙහිව 2014 දී 

2014 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එවර තරගාවලියේ දී පිත්තෙන් සාර්ථක වුණු මහේල ජයවර්ධන තරගාවලිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවා බවට පත්වුණා. එහි දී මහේල එංගලන්ත කණ්ඩායමට එරෙහිව අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 51කින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 89ක් ලබාගත්තා.

මහේල පහරක් එල්ල කරමින් (gettyimages)

එදා මහේලගේ පිත්තෙන් වාර්තා වුණු එම ඉනිම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 189/4 ලෙසින් දිස්වුණා. ඒ අයුරින් මහේල සිය කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවක් වෙත රැගෙන ගියත් එංගලන්ත පිතිකරු ඇලෙක්ස් හේල්ස්ගේ පිත්තෙන් වාර්තා වුණු වේගවත් ශතකය නිසා ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක් උරුම වුණා.

3) තිලකරත්න දිල්ෂාන්- 96* (57)- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2009 දී 

2009 T20 ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර කෙනිංටන් ඕවල් පිටියේ දී පැවැත්වුණා. පන්දු යවන්නන්ට වඩාත් උචිත අයුරින් සකසා තිබුණු තණතීරුවක මුලින් ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් තණතීරුව හැසිරෙන ආකාරය පිළිබඳ ව මනාව අවබෝධ කරගත් තිලකරත්න දිල්ෂාන් එක් අන්තයක් රැකගෙන ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තුරුම පන්දුවට පහර දුන්නා.

දිල්ෂාන්ගේ ඉනිමේ අවස්ථාවක් – getty images

එදා කොදෙව් පන්දු යවන්නන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ දිල්ෂාන් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 57කට පමණක් මුහුණ දී නොදැවී ලකුණු 96ක් ලබා ගත්තා. ඒ අයුරින් දිල්ෂාන් සිදු කළ සුපිරි පිතිහරඹය නිසා ශ්‍රී ලංකා ඉනිම 158/5 ලෙසින් නිමාව දුටුවා. ඉන් අනතුරුව ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් කොදෙව් ඉනිම ලකුණු 101කට සීමා කිරීමත් සමඟින් ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. 

2) මහේල ජයවර්ධන- 98* (56)- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2010 දී 

20/20 ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 1000 කඩඉම සම්පූර්ණ කළ එක ම පිතිකරුවා ලෙසින් වාර්තා අතර රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන යි. 2010 වසරේ කොදෙව් දේශයේ පැවැත්වුණු 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී සත්කාරක කොදෙව් කණ්ඩායමට එරෙහිව මහේලගේ පිත්තෙන් ප්‍රවේගකාරි ඉනිමක් වාර්තා වුණා. එම තරගයේ දී මුලින් ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා.

මහේල පහරක් එල්ල කරමින් (gettyimages)

එදා  ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වුණු මහේල ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසෙමින් ඉනිම අවසන් වන තුරු ම නොදැවී පන්දුවට පහරදෙමින් අගනා ලකුණු 98ක් ලබා ගත්තා. පන්දු 56ක් තුළ ගොඩ නැගුණු එම ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත වුණා. එම තරගයේ දී සිදුවුණු අනිකුත් විශේෂ සිදුවීම වුණේ මහේල සහ සංගක්කාර අතර දෙවනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 166ක සබඳතාව යි. එය අදටත් 20/20 ලෝක කුසලාන තරගයක දී වාර්තා වුණු ඉහළ ම සබඳතාව ලෙසින් වාර්තා අතර රැඳී පවතිනවා.

මහේලගේ ඉනිමේ අවස්ථාවක් – getty images

1) මහේල ජයවර්ධන- 100 (64)- සිම්බාබ්වේට එරෙහිව 2010 දී

20/20 ලෝක කුසලාන ඉතිහාසයේ දී ශතකයක් ලබාගත් එකම ශ්‍රී ලාංකීය පිතිකරුවා ලෙසින් වැජඹෙන්නේ මහේල ජයවර්ධන යි. මහේල එම දස්කම දැක්වීමට සමත් වුණේ 2010 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර යි. එදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ගයානා හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී මහේල පන්දු 64කින් ලකුණු 100ක් ලබාගත්තා. එහි දී මහේලගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත වුණා. ඒ අයුරින් මහේල ලබාගත් විශිෂ්ට ශතකය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 14ක ජයක් හිමිවුණා. 

කවරයේ ඡායාරූපය- මහේල සිය මුල්ම සහ එකම 20/20 ශතකය ලබාගත් අවස්ථාව - getty images

මූලාශ්‍ර-

cricinfo 

Howstat

Related Articles