Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවසාන පන්දුවෙන් සියල්ල වෙනස් වූ නිදහස් කුසලානය

ශ්‍රී ලංකාව, ඉන්දියාව, හා බංගලාදේශය අතර පැවති තුන්කොන් නිදහස් කුසලාන ගැටුම ඊයේ රාත්‍රියේ නිමා වුණේ ශ්‍රී ලාංකිකයන් ද “ඉන්දියානුවන්” බවට පත් කරමිනුයි. පසුගිය තරඟ කිහිපය පුරාවට බංගලාදේශය පෙන්නුම් කරන ලද අශීලාචාර හැසිරීම නිසා බොහෝමයක් ශ්‍රී ලාංකිකයින් ඊයේ අවසාන තරඟයේ දී අසල්වාසී ඉන්දියානු පිළට තම සහය ලබා දුන්නා.

Image Credit: firstlivenews.com

ඉතිහාසයට අවුරුදු 20යි

ශ්‍රී ලංකාවේ සංවිධානය වූ පළමු නිදහස් කුසලාන තරඟාවලිය පැවැත්වෙන්නේ 1998 වසරේ දී යි. ඒ ශ්‍රී ලංකාව 50වන නිදහස් සංවත්සරය සැමරීමේ අරමුණින්. එම තරඟාවලියේ දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව, සමඟ නවසීලන්තය තරඟ වැදුනා. නමුත් බොහොමයක් තරඟ වැස්සට හේදී යන විට අවසාන තරඟයට තේරී පත්වුණේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව යි. එම තරඟයේ දී ශ්‍රී ලංකාව ලකුණු 6කින් පරාජය වූ අතර තෙන්ඩුකාර් හා ගංගුලි විසින් ලකුණු 252ක වාර්තාගත සම්බන්ධතාවක් ආරම්භක කඩුල්ලට පිහිටවනු ලැබුවා. 70 වෙනි නිදහස් සමරුවට 20-20 රඟාවලියක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ නිවේදනය කරනු ලැබුවා. නමුත් මෙවර තරඟාවලිය වෙනුවෙන් ඉන්දීය පිළ තමන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිපයක්ම විවේක ගන්වා තිබීම බොහෝ දෙනාගේ කතා බහට ලක් වුණා. ඔවුන් අතර විරාත් කෝලි, MS දෝනි, බුවනේශ්වර් කුමාර්, හා බුම්රා ද වුණා.

ශ්‍රී ලංකාවෙන් හොඳ ආරම්භයක් හා බලාපොරොත්තු විරහිත අවසානයක්

ශ්‍රී ලංකාව මෙම තරඟාවලියට අවතීර්ණ වුණේ ජයග්‍රාහී මානසිකත්වයකිනුයි. ඔවුන් පළමු තරඟයේදීම ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 5කින් පාරාජයට පත්කළේ නැවත වරක් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට නැවුම් බලාපොරොත්තු එක් කරමිනුයි. ඒම තරඟයේ දී ඉන්දීය පිළ පන්දුවාර 20ක දී රැස් කළ ලකුණු 174 ට පිළිතුරු ලෙස පන්දුවාර 18 පන්දු 3ක දී ශ්‍රී ලංකාව ලකුණු 175ක් වාර්තා කළා.

නමුත් තෙවන තරඟයේ දී ලංකාවට නොසිතූ පරාජයකට මුහුණ දෙන්නට සිදු වුණේ බංගලාදේශය ඉදිරියේ යි. එහි දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 214ක් වාර්තා කළා. ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණියේ දුර්වලතාවය මනාව පෙන්නුම් කරමින් එතරම් විශාල ඉලක්කයක් හමුවේ පවා බංගලාදේශය පන්දුවාර 19 පන්දු 4ක දී ලකුණු 215 ලබාගෙන තරඟය ජයග්‍රාහණය කිරීම කාගේත් විමතියට පත් වුණා.

Image Credit: townnews.com

එමෙන්ම අඩු පන්දුවාර වේගයක් පවත්වා ගෙන ක්‍රීඩා කිරීම නිසා ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට තරඟ 2ක තහනමක් ICC විසින් ලබාදුන්, අතර ඉන්පසුව තිසර පෙරේරා නායකත්වයේ වගකීම අතට ගනු ලැබුවා.

නැවත වරක් තෙවැනි තරඟයේ දී ඉන්දියාවට කඩුලු 6 කින් හා හතරවන තරඟයේ දී බංගලාදේශයට කඩුලු 2කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවුණා. නමුත් පිතිකරන අංශයෙන් ශ්‍රී ලංකාව නැවත වරක් ස්ථාවර වෙමින් පැවතීම, හා පන්දු යැවීමේ අංශයේ තිබූ දුර්වලතා බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.

බංගලාදේශයේ නයි නැටුම හා ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම

පසුගිය දා නිමාවුණු ශ්‍රී ලංකා පිලේ බංගලාදේශ තරඟ සංචාරයේ දී නස්මුල් ඉස්ලාම් විසින් උපුල් තරංගගේ කඩුල්ල ලබා ගැනීමත් සමඟම මෙම නයි නැටුමේ කතාව ආරම්භ වුණා. ඒ ශරේ බංගලා ජාතික ක්‍රීඩාංගනයේ දී යි. එයට මුෂ්ෆිකර් රහීම් ද එදා සහය වුණා.

නමුත් මෙම නිදහස් කුසලාන තරඟාවලියේ දී ඒම නැටුම උපහාසය ඉක්මවා ගිය අපහාසාත්මක අංගයක් බවට පත් වුණා. එය කෙතරම් දුරදිග ගියේ ද යත් එක පිලක ක්‍රීඩකයන් නයා නටන විට තවත් පිලක ක්‍රීඩකයන් එයට නලා ගසන අයුරු ද දැකගත හැකි වුණා.

Image Credit: munsifdaily.in

එමෙන්ම අවසාන බංගලාදේශ, ශ්‍රී ලංකා තරඟයේ දී තිසර පෙරේරා හා කුසල් ජනිත් වැනි ක්‍රීඩකයන් සමඟ බංගලාදේශ ක්‍රීඩකයන් කිහිප වතාවක්ම බහින්බස් වීම් වලට පවා පැටලුනා.

මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස සලකන ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය නැති කරන තවත් සිදුවීමක් වාර්තා වුණා. ඒ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ, බංගලාදේශ ක්‍රීඩකාගාරයෙන්. ඔවුන් විසින් ශ්‍රී ලංකාව හා පැවති තරඟය ජයග්‍රාහණය කිරීමත් සමඟ එහි වීදුරු කඩා දමා තිබුණා. ඉන්පසුව බංගලාදේශ ක්‍රිකට් ආයතනය එහි පාඩුව ගෙවා තිබුණා.

Image Credit: dnaindia.com

නයින් එලවා දැමූ අවසාන තරඟය

Image Credit: newindianexpress.com

අවසාන තරඟයේ දී මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 08කට ලබාගත් ලකුණු 166ට පිළිතුරු ලෙස, 20 වැනි ඕවරයේ අවසාන පන්දුවේ දී ඉන්දියාවේ දිනේෂ් කාතික් එල්ල කරන ලද දැවැන්ත 6 පහරක් සමඟින් කඩුලු හයකට ලකුණු 168ක් ලබා තියුණු ජයග්‍රහණයක් අත්කර ගත්තා. අවසාන පන්දු 12 දී ලකුණු 34ක් සොයාගිය ඉන්දීය පිළ දිනේෂ් කාර්තික් ගේ පිත්තෙන් අවසානයේ ජයග්‍රාහණය සොයා යන විට විසිදහසක පමණ ශ්‍රී ලාංකීය නරඹන්නන් අමන්දානන්දයට පත්වුණා. දිනේෂ් කාතික් මෙම තරඟයේ දී පන්දු අටකදී හයේ පහර 03ක් හා හතරේ පහර 02ක් සමඟ නොදැවී ලකුණු 29ක් ලබා ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා වුණා. මෙතෙක් බංග්ලාදේශය එකම ක්‍රිකට් තරඟාවලියකින් හෝ ඉන්දියාව පරාජය කර නොමැති අතර තරඟයෙන් පසුව ඉන්දීය පිල පිටිය වටා යමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට තම කෘතඥතාව පළකිරීම මෙහිදී කැපී පෙනුනා. සියල්ල අවසානයේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ බංගලාදේශ තරඟ පරාජය සමහරක් ප්‍රදේශ වල මහත් උත්සවශ්‍රීයෙන් ද සමරා තිබුණා.

බංග්ලාදේශය – 166/8 (ඕවර 20) සබීර් රහ්මාන් 77, මහ්මුදුල්ලා 21(යුස්වෙන්දර් චාහල් 18/3, ජාදේව් උනද්කාට් 33/2)

ඉන්දියාව – 168/6 (ඕවර 20) රෝහිත් ෂර්මා 56, දිනේෂ් කාර්තික් නොදැවී 29, මනීෂ් පාන්ඩ්‍යා 28 (රුබෙල් හොසෙන් 35/2)

කවරය – (newindianexpress.com)

www.espncricinfo.com

www.srilankacricket.lk

ndtv.com

www.dnaindia.com

Related Articles