Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2003 ලෝක කුසලාන තරගාවලියේ අමතක නොවන ශ්‍රී ලංකා- කොදෙව් තරගය

දකුණු අප්‍රිකාවේ දී පැවති 2003 ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් සහභාගි වුණු මුල් තරග 3ම ජයගෙන ජයග්‍රාහී මානසිකත්වයකින් සිටි අවස්ථාවක නොසිතූ ලෙස කෙන්යානු කණ්ඩායම හමුවේ පරාජය වීම නිසා යම් අවදානම් අඩියකට වැටුණේ ඔවුන්ට ඉතිරිව තිබුණු තරග දෙක බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම්වලට එරෙහිව ක්‍රීඩා කිරීමට තිබුණු නිසා යි. එවැනි වටපිටාවක 2003 වසරේ කේප්ටවුන් නුවර නිව්ලන්ඩ්ස් පිටියේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා- කොදෙව් තරගය සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලැබීම සඳහා දෙපිලටම තීරණාත්මක තරගයක් වුණා. එදා ඉතාමත් තියුණු මුහුණුවරකින් පැවති මෙම තරගය ලෝක කුසලාන ඉතිහාසයේ තියුණු අවසානයක් දක්නට ලැබුණු තරගයක් වීම නිසාම මෙම ලිපිය මඟින් එම තරගයේ තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

තීරණාත්මක තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පාලනය ඔවුන් අතට ගනී  

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළත් ශ්‍රී ලංකා ආරම්භක සබඳතාවය ලකුණු 11කට සිමා වුණේ, මාවන් අතපත්තු ලකුණු 3ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට හසුවුණු නිසා යි.

අතපත්තු දුවද්දී දැවී යාමට හසුවුණු අවස්ථාව (gettyimages)

අතපත්තුගේ නික්මයාමෙන් අනතුරුව පිටියේ එක්වුණු සනත් ජයසූරිය සහ හෂාන් තිලකරත්න ඉතාමත් වගකීමෙන් පන්දුවට පහරදෙමින් පන්දුවාර 23.5ක් අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්වය 96 දක්වා ඉහළ නැංවූයේ කොදෙව් පිලේ පන්දු යවන්නන් දැඩි පීඩනයක පත් කරමින්.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ජයසූරිය (gettyimages)

කොදෙව් පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි තර්ජනයක් එල්ල කරයි

හෂාන් දැවී ගිය අවස්ථාව (gettyimages)

පන්දුවාර 23.5ක් අවසානයේ දී කඩුලු 1ක් දැවී ලකුණු 96ක් ලබා ගනිමින් ඉතාමත් ස්ථාවර තත්ත්වයකට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳ වැටීම ආරම්භ වුණේ ලකුණු 36ක් ලබා සිටි හෂාන් තිලකරත්න ලකුණු 36කට වේවල් හයින්ඩ්ස් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යාමත් සමග යි.

හයින්ඩ්ස් එම කඩුල්ල දවා ගැනීම සැමරූ ආකාරය (gettyimages)

තම වගකීම මනාව ඉටු කිරීමෙන් අනතුරුව හෂාන් දැවීයාමත් සමග ම පිටියට පිවිසියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අත්දැකීම් බහුලම පිතිකරුවා වුණු අරවින්ද ද සිල්වා යි. එම අවස්ථාවේ දී අරවින්ද සහ සනත්ට පැවරුණු වගකීම වුණේ හොඳ සබඳතාවයක් ගොඩනගමින් කොදෙව් පන්දු යවන්නන් හට පීඩනයක් එල්ල කරමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට හරවා ගැනීමට යි. නමුත්, එම අවස්ථාවේ ජයසූරිය සහ අරවින්ද කඩුලු අතර දිවීමේ දී සිදුකළ අත්වැරැද්දක් නිසා පන්දු 13කින් ලකුණු 13ක් ලබා සිටි අරවින්දගේ දැවීයාමත් සමග ම 113/3ක් බවට පත්වුණු ශ්‍රී ලංකා ලකුණු පුවරුව, පන්දුවාර 35.1ක් අවසානයේ දී 139/5 බවට පත්වුණේ තරගාවලිය පුරාම අසාර්ථක වුණු මහේල ලකුණු 9කට සහ අගනා ලකුණු 66ක් ලබා සිටි ජයසූරිය ලකුණු 66කට දැවී යාමත් සමග යි.

අරවින්ද දුවද්දී දැවී යාමෙන් අනතුරුව (gettyimages)

ආනල්ඩ් සහ වාස් එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 228ක් කරා රැගෙන යයි

ලකුණු 139කට කඩුලු 5ක් දැවී ගොස් අසීරු අඩියකට වැටී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 වන කඩුල්ල ලෙසින් සංගක්කාර ලකුණු 24කට දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වුණු රසල් ආනල්ඩ් සහ චමින්ද වාස් පන්දු 42කින් ගොඩනැගූ ලකුණු 50ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා ඉනිම 228/6ක් ලෙසින් නිමා වුණේ කොදෙව්වන්ට අභියෝගයක් එල්ල කළ හැකි ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින්.

චමින්ද වාස් කොදෙව් ඉනිම ආරම්භයේ දී ම බිඳ දමයි

ලකුණු 229ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 27ක් තුළ දවා ගැනීමට චමින්ද වාස් සමත් වුණා. එහි දී වාස්ගේ පන්දු හමුවේ හයින්ඩ්ස් ලකුණු 2කට දැවී යන විට ලාරා, ලකුණු 1කට දැවී ගියේ පන්දු 22කට මුහුණ දීමෙන් අනතුරුව යි.

බ්‍රයන් ලාරා දැවී ගිය අවස්ථාව (gettyimages)

දිල්හාරගේ පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් සර්වාන් පිටියෙන් ඉවතට  

දිල්හාරගේ පන්දුව සර්වාන්ගේ හිස් ආවරණයේ  වැදුණු අවස්ථාව (gettyimages)

මුල් කඩුලු 2ම ඉක්මනින්ම දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වුණු ගේල් සහ සර්වාන්, පන්දු 34කින් ලකුණු 35ක් ලබාගෙන කොදෙව් ඉනිම ගොඩනගමින් සිටි අවස්ථාවේ දිල්හාර ප්‍රනාන්දු එවූ කෙටි පන්දුවක් රාම්නරේෂ් සර්වාන්ගේ හිස් ආවරණයේ  වැදීම නිසා ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදුවීම කොදෙව්වන්ට එල්ල වුණු මරු පහරක් බඳු වුණා.

සර්වාන් පන්දුව හිස් ආවරණයේ  වැදීමෙන් අනතුරුව (gettyimages)

හූපර්ගේ දැවී යාමෙන් අනතුරුව ගේල් සහ චන්ද්‍රපෝල් එක්ව  කොදෙව් ඉනිම ගොඩනගයි

 හූපර් දැවීගිය අවස්ථාව (gettyimages)

සර්වාන්ගේ නික්ම යාමෙන් අනතුරුව පිටියට පිවිසි කොදෙව් නායක කාල් හූපර්, ඔහු මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වුණු ගේල් සහ චන්ද්‍රපෝල් පන්දු 83කින් ලකුණු 59ක් කණ්ඩායමට එක් කරන අතරතුර, ක්‍රිස් ගේල් තම එක්දින දිවියේ 15 වන අර්ධ ශතකය ලබා ගත්තේ පන්දුවාර 28.1ක් අවසානයේ දී කොදෙව් ලකුණු පුවරුව 121/3 බවට පත් කරමින්.

ගේල් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් පසු (gettyimages)

වාස් සහ මුරලි එක්ව කොදෙව්වන්ව අමාරුවේ දමයි

වාස් ගේල්ව දවා ගැනීමේ සතුට සමරමින් (gettyimages)

පන්දුවාර 28.1ක් අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 121ක් ලබා සිටි කොදෙව්වන්ට එම අවස්ථාව වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 108ක් ලබා ගැනීමට අවශ්‍ය වුණේ පන්දු 131කින් නිසා තරගයේ වැඩි වාසිය කොදෙව්වන් සතුව තිබුණා. නමුත් තිබුණු එම වාසිය ඉක්මනින්ම ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට හරවාගත් වාස් සහ මුරලි, පන්දු 6ක් තුළ කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල්, රිඩ්ලි ජේක්බ්ස්, සහ රිකාඩෝ පවෙල් යන පිතිකරුවන් තිදෙනාව දවා ගත්තේ පන්දුවාර 29.2ක් අවසානයේ දී කොදෙව් ඉනිම 122/6 බවට පත් කරමිනුයි.

මුරලි පවෙල්ව දවා ගැනීමෙන් උද්දාමයට පත්වී (gettyimages)

චන්ද්‍රපෝල්ගේ දැවී යාමෙන් පසුව නැවතත් සර්වාන් පිටියට

ලකුණු 122කට කඩුලු 6ක් දැවී ගොස් කොදෙව්වන් අන්ත අසරණ වුණු අවස්ථාවේ ඉතාමත් ඉවසීමෙන් ක්‍රීඩා කළ චන්ද්‍රපෝල් නව පිතිකරු ඩ්‍රේක්ස් සමග එක්ව පන්දු 76කින් ලකුණු 47ක් කොදෙව් ඉනිමට එකතු කළ නිසා කොදෙව් ලකුණු පුවරුව 169/7ක් බවට පත්වුණේ පන්දුවාර 42ක් අවසානයේ දී යි. එම අවස්ථාව වන විට කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා පන්දු 48කින් ලකුණු 60ක් අවශ්‍ය වුණු අතර, ඒ වන විට නොදැවී ලකුණු 65ක් ලබා සිටි චන්ද්‍රපෝල් කොදෙව් කණ්ඩායමේ බලාපොරොත්තුව වුණා. නමුත්, කොදෙව් පිලේ එම බලාපොරොත්තු බිඳ දැමූ අරවින්ද තම 100වන එක්දින කඩුල්ල ලෙසින්  චන්ද්‍රපෝල්ව ලකුණු 65කට දවා ගැනීමෙන් අනතුරුව සර්වාන් පිටියට පිවිසුණේ කිසිවෙකු බලාපොරොත්තු නොවුණු අයුරින්.

අරවින්ද විසින් චන්ද්‍රපෝල්ව දවා ගැනීමෙන් අනතුරුව ප්‍රීතියට පත් වී (gettyimages)

මුරලිදරන්ගේ සුපිරි පන්දුවාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගෙනෙයි

අවසන් පන්දුවාරයේ දී මර්වින් ඩිලන් දුවද්දී දැවී ගිය අවස්ථාව  (gettyimages)

කොදෙව් ලකුණු පුවරුව 169/7ක් ලෙසින් සටහන් වුණු අවස්ථාවේ නැවතත් පිටියට පිවිසි සර්වාන්, වේගයෙන් පන්දුවට පහරදෙමින් පන්දුවාර 48ක් අවසානයේ දී කොදෙව් ලකුණු පුවරුව 213/8 බවට පත් කළේ අවසන් පන්දු 12 තුළ ජයග්‍රාහී ඉලක්කය සඳහා අවශ්‍ය  ලකුණු ප්‍රමාණය 16ක් දක්වා අඩු කරමින්. එලෙස කොදෙව් පිල දෙසට නැඹුරු වෙමින් පැවති තරගය 49 වන පන්දුවාරය තුළ නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට හැරවූ මුරලිදරන්, එම පන්දුවාරය තුළ ලකුණු 2ක් පමණක් ලබා දීම නිසා අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 6ක තියුණු ජයක් උරුම වුණා.

තරගය අවසන් වීමෙන් අනතුරුව සර්වාන්ට සුභ පතන මුරලිදරන් (gettyimages)

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව- 228/6 (50), (ජයසූරිය-66, හෂාන්-36, ආනල්ඩ්-34*)

බටහිර ඉන්දීය කොදෙව්- 222/9(50), (චන්ද්‍රපෝල්-65 ,ගේල්-55, සර්වාන්-47*, වාස්-22/4)

තරගයේ වීරයා- චමින්ද වාස්

කවරයේ ඡායාරූපය: තරගයේ වීරයා වුණු චමින්ද වාස් (cricketcountry.com)

Related Articles