Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආසියානු කුසලානයේ සත්කාරකත්වය ලංකාවට හිමිවන ලකුණු

දශක 3කට අධික කාලයක සිට ආසියානු කලාපයේ රටවල් අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා. මෙම වසරේ දී 15 වැනි වරටත් එම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව වසර 12කට පසුව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක රට ලෙසින් කටයුතු කිරීමේ වරම හිමිව තිබුණේ පාකිස්ථානයට යි. නමුත් වර්තමානය වන විට පාකිස්ථානය තුළ කොරෝනා වසංගතය දරුණු ලෙසින් පැතිර යන නිසා ආසියානු කුසලානය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමේ සූදානමක් තිබෙන බව පසුගිය දිනවල අසන්නට ලැබුණා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වුණු හැටි

ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රිකට් කවුන්සිලයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය මතු වුණේ 70 දශකයේ අග භාගයේ සිට යි. එම නිසාම ආසියානු කලාපයේ රටවල ක්‍රිකට් පරිපාලකයන් එවැනි කවුන්සිලයක් ආරම්භ කිරීම සඳහා වසර කිහිපයක් සැලසුම් සකස් කරනු ලැබුවා. එම සැලසුම්වල ප්‍රතිඵලයක් ලෙසින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය ආරම්භ වුණේ 1983 වසරේ දී යි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, සහ බංග්ලාදේශය එහි ආරම්භක සාමාජිකයින් වුණා. ආසියානු ක්‍රිකට් කවුන්සිලය පිහිටුවා මාස 7ක් පමණ ගතවීමෙන් පසුව ආසියානු කුසලානය නමින් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, සහ පාකිස්ථානය යන රටවල්වල සහභාගිත්වය ඇතිව යි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා පිටියේ පැවති එම තරගාවලියේ ශූරතාවය ඉන්දියාවට හිමිවන විට අනු ශූරයන් බවට පත් වුණේ ශ්‍රී ලංකාව යි.

1984 ආසියානු කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායම (gettyimages)

අර්බුද රැසකින් පිරී තිබුණු ආසියානු කුසලාන ඉතිහාසය

1984 වසරේ දී ආරම්භ වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 1995 වසර දක්වා පැවැත්වුණේ අර්බුද රැසක් මධ්‍යයේ යි. 1986 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වුණු දෙවන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, සහ බංග්ලාදේශය යන රටවල් සහභාගි වීමට නියමිතව සිටියා. නමුත් ඉන්දියාව අවසන් මොහොතේ දී තරගාවලිය වර්ජනය කළේ එවකට දෙරට අතර තිබුණු දේශපාලනික මත ගැටුම් නිසා යි. 1988 වසරේ ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වුණේ බංග්ලාදේශයේ දී යි. එම තරගාවලිය වසර මුල දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණත් රට පුරා ඇති වුණු ගංවතුර තත්ත්වය නිසා එය පැවැත්වීමට හැකිවුණේ නැහැ. එම අවස්ථාවේ රටවල් සියල්ලෙහි එකඟතාවය මත වසර අවසානයේ දී තරගාවලිය පවත්වනු ලැබුවා. 1990/91 තරගවාරයේ ඉන්දියාවේ පැවති සිව්වන ආසියානු කුසලාන තරගාවලිය පාකිස්ථානු කණ්ඩායම වර්ජනය කළේ දෙරට අතර තිබුණු දේශපාලනික අර්බුදය නිසා යි. 1993 ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ලැබී තිබුණේ පාකිස්ථානයට යි. නමුත් විවිධ අර්බුද නිසා ඔවුන්ට එවර තරගාවලිය සංවිධානය කිරීමට හැකිවුණේ නැහැ. එලෙස 1995 වසර වන තුරුම ගැටලුකාරී තත්ත්වයන් යටතේ පැවැත්වුණු ආසියානු කුසලාන තරගාවලිය ඉන් පසුව කිසිදු අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව ලැබුණා.

2020 ආසියානු කුසලානයට කොරෝනාව හරස් වෙයි 

මේ දිනවල ලෝකය පුරා පැතිරී යන කොරෝනා වසංගතයේ බලපෑම දකුණු ආසියානු කලාපයටත් තදින්ම දැනුනා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ඉන්දියාව, පාකිස්ථානය, සහ බංග්ලාදේශය යන රටවල්වල කොරෝනා වසංගතය තවමත් දරුණු ලෙස පැතිරයමින් පවතිනවා. එම නිසාම 2020 ආසියානු කුසලානයේ සත්කාරකත්වය හිමිව තිබෙන පාකිස්ථානයට තරගාවලිය සංවිධානය කිරීමට අපහසු වාතාවරණයක් උදා වී තිබෙනවා. එලෙස පාකිස්ථානයට ආසියානු කුසලානය සංවිධානය කිරීමට අසීරු වී තිබෙන මොහොතක  ඔවුන්ගේ පැරණි මිතුරෙකු වන ශ්‍රී ලංකාව සහාය ලබාදීමට ඉදිරිපත් වී සිටිනවා.

පාකිස්ථානයේ කොරෝනා රෝගියෙක් (gettyimages)

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරගාවලි හුවමාරුවක් 

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය ක්‍රිකට් මිතුදමක් පැවතුණේ අතීතයේ සිටම යි. 70 දශකයේ දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාදීම පිළිබඳව යෝජනාව පවා ඉදිරිපත් කළේ පාකිස්ථානය යි. ඉන් පසුව ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවට නිතරම තරගාවලි ලබාදුන් රටවල් අතර පෙරමුණේම සිටියේ පාකිස්ථානය යි. රටේ ආරක්ෂාව පිළිබඳව පැවතුණු ගැටලුවක් නිසා ශ්‍රී ලංකාවට 1996 විල්ස් ලෝක කුසලානයේ සත්කාරකත්වය අහිමි වීමට ගියා. එම අවස්ථාවේ ඉන්දියානුවන් සහ පාකිස්ථානුවන්ගෙන් සැදුම්ලත් විල්ස් ඒකාබද්ධ කණ්ඩායම අප රටට පැමිණ ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළා රටේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබාදෙමින්. එසේම 1996 ලෝක කුසලාන අවසන් තරගය ලාහෝර් නුවර ගඩාෆි පිටියේ පැවති අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීම සඳහා පාකිස්ථානුවන් එක්ව සිටි ආකාරය අමතක කරන්නට බැහැ. එලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දිගු කලක සිට පැවති ක්‍රිකට් මිතුදම නිසා මෙවර ආසියානු කුසලානය සංවිධානය කිරීමේ වගකීම භාරගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටිනවා. එසේම 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීම  සඳහා පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආසියානු කුසලාන තරගාවලි හුවමාරුවක් සිදු කිරීමට දෙපාර්ශවයම සූදානමින් සිටිනවා. 

1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට සහාය දුන් ප්‍රේක්ෂකයන් (gettyimages)

ශ්‍රී ලංකාව සිව් වරක් ආසියානු කුසලානයට සත්කාරකත්වය ලබාදුන්නා 

ශ්‍රී ලංකාව මුල්ම වරට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ 1986 වසරේ දී යි. ඉන් පසුව 1997, 2004, සහ 2010 වසරවල පැවැත්වුණු ආසියානු කුසලාන තරගාවලි සඳහා ද සත්කාරකත්වය ලබාදීමේ වරම හිමි වුණේ ශ්‍රී ලංකාවට යි. ඒ අනුව වසර 10කට පසුව නැවතත් ආසියානු කුසලාන තරගාවලියක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම මෙරට ක්‍රීඩා ලෝලීන්ට සතුටුදායී ආරංචියක් වනවාට සැකයක් නැහැ. එසේම මෙරට පැවති ආසියානු කුසලාන තරගාවලි හතරෙන් 3ක ශූරතාවය දිනාගත්තේ ශ්‍රී ලංකාව යි. ඒ අනුව මෙවරත් තම මව්බිම තුළ දී සිය ගෞරවය ආරක්ෂා කරගැනීමේ අභියෝගයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් විය යුතු යි. 

ශ්‍රී ලංකාව 2004 ආසියානු කුසලානය දිනාගත් අවස්ථාව (gettyimages)

තරගාවලිය පැවැත්වෙන කාල වකවානුව ඉදිරියේ දී තීරණය වනු ඇති 

15 වැනි ආසියානු ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමි වුණු බව පසුගිය දිනවල අසන්නට ලැබුණා. ඒ අනුව නිරෝධායන නීතිරීතිවලට අනුකූලව තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටිනවා. එළඹෙන ඔක්තෝබර් මාසයේ දී 20/20 ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ දී යි. නමුත් එම තරගාවලිය පැවැත්වීම සම්බන්ධව තවමත් ස්ථීර එකඟතාවයකට පැමිණ නැහැ. එම නිසාම ආසියානු ක්‍රිකට් කවුන්සිලයට ආසියානු ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාල වකවානුව තීරණය කිරීමට නොහැකිව සිටිනවා. ඒ අනුව ඉදිරියේ දී 20/20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම පිළිබඳව තීරණය කිරීමෙන් පසුව ආසියානු කුසලානයේ තරග කාලසටහන නිකුත් කරනු ඇති. 

කවරයේ ඡායාරූපය- 2004 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම (gettyimages)

Related Articles