Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2021 පැරාලිම්පික් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට රන් හා ලෝකඩ පදක්කම්

මෙවර ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ගිම්හාන පැරාලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂ ක්‍රීඩකයන් රැසක් සහභාගී වූ අතර, එහි හෙල්ල විසි කිරීමේ ඉසව් දෙකක දී රන් හා ලෝකඩ පදක්කම් දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් F46 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කමත්, දුලාන් කොඩිතුවක්කු F44 කාණ්ඩයේ ලෝකඩ පදක්කමටත් හිමිකම් කීවේ ශ්‍රී ලංකා ධජය ඉහළට ම ඔසවා තබමිනි.

පැරාලිම්පික් තරගාවලිය අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව සෑම වසර 4කටම වරක් සංවිධානය කරන අතර,එය ශීත හා ගිම්හාන ලෙස උළෙල දෙකකින් සමන්විත වේ. මෙයට සහභාගී වන්නේ ආබාධ සහිත ක්‍රීඩකයන් එනම්, පෝලියෝ වැනි රෝග හේතුවෙන් පේශිවල ශක්තිය අහිමි වූවන්, හදිසි අනතුරු ආදියෙන් අංග ඡේදනයට භාජනය වූවන්,ගාත්‍රාවල උස වෙනස්කම්, කුරු බව, පෙනීම හෝ බුද්ධිමය ඌණතා ඇති අය යි. 

දේශීය පැරාලිම්පික් කණ්ඩායමේ අත්දැකීම් බහුල ම ක්‍රීඩකයා වශයෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයා ශ්‍රී ලාංකේය පැරාලිම්පික් කණ්ඩායමෙහි නායකත්වය දරයි. පැරාලිම්පික් සමාරම්භක උත්සවයේ දී ශ්‍රී ලංකේය ධජය රැගෙන යාමේ වගකීම ද ඔහුට පැවරී තිබිණි.ණි. ඔහු 2016 රියෝ පැරාලිම්පික් තරගාවලියේ දී ලෝකඩ පදක්කමක්, 2017 ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේ දී ලෝකඩ පදක්කමක්, 2018 ජකර්තා පැරාලිම්පික් තරගාවලියේ දී රන් පදක්කමක්, සහ 2019 ඩුබායි පැරාලිම්පික් තරගාවලියේ දී රිදී පදක්කමක් ද දිනා ගැනීමට ද සමත් වූ දක්ෂ ක්‍රීඩකයෙකි. 

2008 වර්ෂයේ කිලිනොච්චිය අක්කරායනකුලම් ප්‍රදේශයේ මානුෂීය මෙහෙයුම් ක්‍රියාන්විතයේ යෙදී සිටියදී දිනේෂ්ගේ වම් අතට එල්ලවූ වෙඩි ප්‍රහාර ත්‍රිත්වයක් හේතුවෙන් ඔහුආබාධිත තත්වයට පත් වූ අතර වසර හතරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා 2012 වසරේ දී ක්‍රීඩාවට අවතීර්ණ විය. ඔහුගේ බිරිය තිසංකා ද ක්‍රීඩිකාවක් වන අතර, ඇගෙන් දිනේෂ්ට ලැබෙන්නේ නොමඳ සහයෝගයකි.

මෙවර හෙල්ල විසි කිරීමේ තරගයේ දී දිනේෂ් තම පළමු උත්සාහයේ දී මීටර් 62.58ක දුරක් වාර්තා කරමින් සිය පෞද්ගලික හොඳ ම දුර වාර්තා කළේය. දෙවැනි උත්සාහයේ දී මීටර් 62.19ක දුරකුත්, තෙවැනි උත්සහයේ දී සිය ඉහළ ම රිද්මයට පැමිණෙමින් මීටර් 67.79ක දුරකුත් වාර්තා කරමින් එම කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ලෝක වාර්තාව බිඳ හෙළීමට දිනේෂ් සමත් විය. එම ඉසව්වේ මීට පෙර ලෝක වාර්තාව වශයෙන් පැවතියේ මීටර් 63.97කි. සිය සිවු වැනි උත්සාහයේ දී මීටර් 62.06ක් වාර්තා කළ ඔහුට පස්වැනි උත්සාහය අහිමි වී ගියේ එය නීති විරෝධී විසි කිරීමක් වූ බැවිනි. දිනේෂ් හයවැනි අවස්ථාවක් ලබා නොගත්ත ද ඒ වන විටත් 67.79ක දුරක් සමඟ තරගයේ වැඩි ආධිපත්‍යක් තමන් වෙත රඳවා ගත්තේ ය.

දුලාන් F44 කාණ්ඩයේ අවසාන තරගයට සහභාගී වුව ද ඔහු අයත් වූයේ F64 හෙවත් එක් පාදයක් දණහිසට පහළින් අහිමි හෝ ඒ සමාන ආබාධයක් සහිත කාණ්ඩයටයි. F44 යනු, දෑත්වල ආබාධ සහිත කාණ්ඩයයි. පාසල් කාලයේ සිට මලල ක්‍රීඩාවේ යෙදුණු ඔහු ආබාධිත කාණ්ඩයට අයත් ව තිබෙන්නේ පසු කලෙක සිදු වූ රිය අනතුරක් හේතුවෙනි.

දුලාන් කොඩිතුවක්කු සිය පළමු උත්සාහයේ දී මීටර් 62.11ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූයේ තම පෞද්ගලික හොඳ ම දක්ෂතාව සනිටුහන් කරමිනි. දෙවැනි අවස්ථාවේ දී මීටර් 59.81කුත්, තෙවැනි අවස්ථාවේ දී මීටර් 63.49ක දස්කමකුත් දැක්වූ ඔහු සිවු වැනි අවස්ථාවේ දී මීටර් 65.61ක දුරක් වාර්තා කරමින් සිය පෞද්ගලික හොඳ ම දක්ෂතාව නැවත වරක් අලුත් කිරීම සුවිශේෂී අවස්ථාවක් විය.

ඒ සමඟ අගෝස්තු 30 වැනි සඳුදා ශ්‍රී ලංකාවට පැරාලිම්පික් පදක්කම් දෙකක් ම හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලබා ගැනීමට හැකි විය. දශකයක පමණ සිට ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට අනුග්‍රහය සපයන ඩයලොග් සමාගම මෙවර ද නොමසුරු සවිබලය ඒ සඳහා සැපයී ය.

Related Articles