Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවට උරුම දකුණු ආසියානු මලල ක්‍රීඩා වාර්තා

2019 දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය මේ දිනවල නේපාලයේ දී පැවැත්වෙනවා. 1984 වසරේ දී ආරම්භ වුණු මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 13 වැනි වරට යි. එම කාල සමය තුළ පැවති දකුණු ආසියානු ක්‍රීඩා තරගවල දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් රැසක් දක්වා තිබෙනවා. එම නිසාම මලල ක්‍රීඩා ඉසව් රැසක වාර්තා තවමත් පවතින්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නමින්. මෙම ලිපිය ලියවෙන්නේ ශ්‍රී ලංකාවට උරුම දකුණු ආසියානු මලල ක්‍රීඩා වාර්තා පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

මීටර් 100 පිරිමි ඉසව්ව- හිමාෂ ඒෂාන් 

2016 වසරේ දී දකුණු ආසියාතික තරගාවලිය පැවැත්වුණේ ඉන්දියාවේ ගුවහාටි නුවර යි. එම තරගාවලියේ පිරිමි මීටර් 100 අවසන් තරගයේ දී තත්පර 10.28ක කාලයකින් තරගය නිමා කළ හිමාෂ ඒෂාන් රන් පදක්කම දිනාගනු ලැබුවා. එහි දී ඔහු බිඳ දැමුවේ ඉන්දීය ක්‍රීඩක අනිල් කුමාර් තත්පර 10.37ක කාලයක් වාර්තා කරමින් 1999 වසරේ දී පිහිටුවා තිබුණු වාර්තාව යි. ඒ අනුව මේ වන විට දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන් නම් තරුණ ක්‍රීඩකයා යි.

හිමාෂ ඒෂාන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමෙන් පසුව (Daily News)

මීටර් 200 පිරිමි ඉසව්ව- රොහාන් ප්‍රදීප් කුමාර 

රොහාන් ප්‍රදීප් කුමාර ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂ කෙටි දුර ධාවකයෙක්. එම නිසාම දකුණු ආසියාතික තරග වාර්තා කිහිපයක්ම ඔහුගේ නම ඉදිරියේ ලියවී තිබෙනවා. 2004 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය  පැවැත්වුණේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර දී යි. එම තරගාවලියේ දී පිරිමි මීටර් 200 ඉසව්ව තත්පර 20.99කින් නිම කළ රොහාන් ප්‍රදීප් කුමාර රන් පදක්කම දිනාගනු ලැබුවේ නව දකුණු ආසියාතික වාර්තාවක් ද සමගින්. එසේම එම කාලය රොහාන් ප්‍රදීප් කුමාර සිය මලල ක්‍රීඩා දිවිය තුළ මීටර් 200 ඉසව්වෙන් වාර්තා කළ හොඳම කාලයත් වුණා.

රොහාන් ප්‍රදීප් කුමාර මීටර් 200 ඉසව්ව සඳහා තරග වදිමින් (gettyimages)

මීටර් 400 පිරිමි ඉසව්ව- රොහාන් ප්‍රදීප් කුමාර 

රොහාන් ප්‍රදීප් කුමාර මීටර් 400 ඉසව්වෙන් ඔලිම්පික් තරගාවලිය පවා නියෝජනය කළ ක්‍රීඩකයෙක්. එසේම ඔහු මීටර් 200 ඉසව්වට වඩා මීටර් 400 ඉසව්වෙන් දස්කම් පෙන්වා තිබෙනවා. 1999 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වුණා. එම තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව තත්පර 45.77කින් නිමාවට පත්කළ රොහාන් ප්‍රදීප් කුමාර රන් පදක්කම දිනාගත්තේ නව තරගාවලි වාර්තාවක් බිහිකරමින්.

මීටර් 800 පිරිමි ඉසව්ව- රංජිත් සුභසිංහ 

1993 වසරේ දී දකුණු ආසියාතික ක්‍රීඩා තරගාවලිය පැවැත්වුණේ බංගලිදේශයේ ඩකා නුවර දී යි. එහි දී මීටර් 800 ඉසව්ව සඳහා සහභාගි වුණු රංජිත් සුභසිංහ විනාඩි 1:47:56ක කාලයකින් තරගය නිමාකරමින් රන් පදක්කම දිනාගත්තේ නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවමින්. එලෙස රංජිත් සුභසිංහ නම් ක්‍රීඩකයා බිහිකළ වාර්තාව වසර 26ක් තුළ කිසිදු ක්‍රීඩකයෙකුට බිඳ දැමීමට නොහැකි වීම සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකිය හැකියි. 

පිරිමි උස පැනීමේ ඉසව්ව- මංජුල කුමාර විජේසේකර

මංජුල කුමාර උස පැනීම ඉසව්වෙන් ඔලිම්පික් තරගාවලිය පවා නියෝජනය කළ ක්‍රීඩකයෙක්. එසේම ඔහු 2006 සහ 2009 ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිවල දී උස පැනීමේ රන් පදක්කම දිනාගෙන තිබෙනවා. එලෙස උස පැනීමේ ඉසව්වෙන් දස්කම් දැක්වූ මංජුල කුමාර මුල්ම වරට දකුණු ආසියාතික ක්‍රීඩා තරගාවලියක් සඳහා සහභාගි වුණේ 2004 වසරේ දී යි. එම තරගාවලියේ දී මීටර් 2.20ක උසක් තරණය කළ මංජුල කුමාර රන් පදක්කම දිනාගනු ලැබුවේ දකුණු ආසියාතික වාර්තාවක් ද සමගින්.

මංජුල කුමාර 2016 දකුණු ආසියානු තරගාවලියේ උස පැනීමේ රන් පදක්කම දිනාගනිමින් (olympic.lk)  

පිරිමි රිටි පැනීමේ ඉසව්ව- ඉෂාර සඳරුවන් 

2016 වසරේ දී දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය පැවැත්වුණේ ඉන්දියාවේ ගුවහාටි නුවර යි. එම තරගාවලියේ දී රිටි පැනීමේ ඉසව්ව සඳහා තරග කළ ඉෂාර සඳරුවන් මීටර් 4.90ක උසක් තරණය කළා. එහි දී ඔහු තරණය කළ උස ප්‍රමාණයට අනුව රන් පදක්කම හිමිකර ගත්තේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවමින්.

පිරිමි මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම

1999 වසරේ දකුණු ආසියාතික ක්‍රීඩා තරගාවලිය පැවැත්වුණේ නේපාලයේ කත්මණ්ඩු නුවර දී යි. එම තරගාවලියේ පිරිමි මීටර් 400 සහාය දිවීමේ ඉසව්ව විනාඩි 3:05:28ක කාලයකින් නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නව තරගාවලි වාර්තාවක් පිහිටුවනු ලැබුවා. මීටර් 400 ඉසව්වේ ශූරයන් දෙදෙනෙකු වුණු  සුගත් තිලකරත්න සහ රොහාන් ප්‍රදීප් කුමාර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතු යි.

මීටර් 100 කාන්තා ඉසව්ව- සුසන්තිකා ජයසිංහ

සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ මලල ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ලබාදුන් ක්‍රීඩිකාවක්. ජයසිංහ බොහෝ දස්කම් දක්වා තිබෙන්නේ මීටර් 200 ඉසව්වෙන්. නමුත් ඇය දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවනු ලැබුවේ මීටර් 100 ඉසව්ව යටතේ තරග වදිමින්. 1995 වසරේ මදුරාසියේ පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 100 කාන්තා ඉසව්ව තත්පර 11.34ක කාලයකින් අවසන් කළ සුසන්තිකා ජයසිංහ ඉහත වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.  

සුසන්තිකා ජයසිංහ (gettyimages)

මීටර් 200 කාන්තා ඉසව්ව- දමයන්ති දර්ශා 

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු කෙටි දුර ධාවන ශූරියන් අතුරින් දමයන්ති දර්ශාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. විශේෂයෙන්ම ආසියානු සහ දකුණු ආසියානු තරගාවලිවල දී කැපී පෙනෙන දස්කම් පෙන්වා ඇති දර්ශා 1999 වසරේ පැවැත්වුණු දකුණු ආසියාතික ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 200 කාන්තා ඉසව්ව නව තරගාවලි වාර්තාවක් බිහිකරමින් ජයග්‍රහණය කළා. එහි දී දර්ශා වාර්තා කළ කාලය සටහන් වුණේ තත්පර 22.68 ලෙසින්.

දර්ශා මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කර මොහොත (NDTV)

මීටර් 400 කාන්තා ඉසව්ව- දමයන්ති දර්ශා 

1999 කත්මණ්ඩු දකුණු ආසියානු තරගාවලිය දමයන්ති දර්ශාට අමතක නොවන තරගාවලියක් වුණා. එම තරගාවලියේ දී ඇය මීටර් 200 ඉසව්වට අමතරව මීටර් 400 ඉසව්වත් ජයග්‍රහණය කළේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවමින්. එහි දී දර්ශා වාර්තා කළ කාලය සටහන් වුණේ තත්පර 52.11ක් ලෙසින්.

මීටර් 100 කාන්තා කඩුලු පැනීමේ ඉසව්ව – ශ්‍රියානි කුලවංශ 

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂතම කඩුලු පැනීමේ ශූරිය වන්නේ ශ්‍රියානි කුලවංශ යි. 1998 වසරේ පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී මීටර් 100 ඉසව්වෙන් ලබාගත් රිදී පදක්කම ශ්‍රියානිගේ මලල ක්‍රීඩා දිවියේ අමතක නොවන ජයග්‍රහණය යි. එලෙස මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වෙන් දස්කම් දක්වා ඇති ශ්‍රියානි 1999 කත්මණ්ඩු දකුණු ආසියාතික තරගාවලියේ දී තත්පර 13.12කින් එම ඉසව්ව නිමා කළේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවමින්.

ශ්‍රියානි කුලවංශ (gettyimages)

කාන්තා උස පැනීමේ ඉසව්ව- ප්‍රියංගිකා මදුමන්ති 

2010 දකුණු ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වුණේ බංගලිදේශයේ ඩකා නුවර දී යි. එම තරගාවලියේ දී කාන්තා උස පැනීමේ ඉසව්ව සඳහා තරග කළ ප්‍රියංගිකා මදුමන්ති මීටර් 1.81ක උසක් තරණය කරමින් රන් පදක්කම දිනාගනු ලැබුවා. එහි දී මදුමන්ති තරණය කළ උස ප්‍රමාණය අනුව ඇය එම ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සම කරනු ලැබුවා. ඇය එහි දී සම කළේ 2004 වසරේ දී ඉන්දීය ක්‍රීඩිකා සංගීතා මෝහන් විසින් තබා තිබුණු වාර්තාව යි.

කාන්තා මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායම

2006 වසරේ දී කොළඹ පැවැත්වුණු දකුණු ආසියානු තරගාවලියේ කාන්තා මීටර් 100 සහාය ඉසව්වේ රන් පදක්කම දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එහි දී තත්පර 44.63ක කාලයක් තුළ ඉසව්ව නිමා කරමින් නව තරගාවලි වාර්තාවක් තැබූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ සුසන්තිකා ජයසිංහ, සුජානි බුද්ධිකා, ප්‍රෙමිලා ප්‍රියදර්ශනී, සහ ජානි චතුරංගි යන ක්‍රීඩිකාවන් සිව්දෙනා යි. 

කවරයේ ඡායාරූපය- දමයන්ති දර්ශා (gettyimages)

Related Articles