Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බංගලියන් හමුවේ රැකගත් සිංහ අභිමානය

2009 වසරේ ජනවාරි 16 දිනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන දිනයක්. ඊට හේතුව, එදා ශ්‍රී ලංකා පිල පත් වීමට ගිය විශාල අපහසුතාවයක් මඟහරවා ගැනීමට හැකි වීම යි. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම, බංගලාදේශය හමුවේ නැති වෙන්නට ගිය  ඔවුන්ගේ අභිමානය රැක ගත්තේ 2009 දී ශ්‍රී ලංකාව, බංගලාදේශය, හා සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වූ තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේ දී යි. එම නිසා ම මෙම ලිපිය වෙන් වන්නේ, එදා බංගලාදේශ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඳුරෙන් එළියට ගිය ගමන පිළිබඳ ව ඔබට කීමට යි.

මූලික වටයේ තරගවල දී තියුණු සටනකින් අනතුරුව ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අවසන් සටනට

2009 වසර ආරම්භයේ බංගලාදේශයේ දී ඇරඹි තුන්කොන් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා, බංගලිදේශය, සහ සිම්බාබ්වේ යන රටවල් සහභාගී වුණා. එහි දී එම රටවල් 3 ම මූලික වටයේ තරගවල දී තියුණු සටනක නිරත වුණු නිසා ම, එම මූලික වටයේ තරගවල ප්‍රතිඵල පහත ආකාරයට විසඳුණා.

පළමු තරගය- බංගලාදේශය හා සිම්බාබ්වේ
සිම්බාබ්වේ පිලට ලකුණු 38ක ජයක්

දෙවන තරගය- ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ
ශ්‍රී ලංකා පිලට ලකුණු 130ක ජයක්

තෙවන තරගය- ශ්‍රී ලංකාව හා බංගලාදේශය
බංගලාදේශයට කඩුලු 5ක ජයක්

මූලික වටයේ දී සෑම කණ්ඩායමක් ම තරගය බැඟින් ජයගත් අතර, දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව හා බංගලාදේශයට අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට හැකි වුණා.

තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අවසන් තරගය

මීර්පූර් හි ශෙරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ දී දිවා තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා නායක මහේල මුලින්ම පන්දුවට පහරදීමට බංගලාදේශ පිලට ආරාධනය කිරීමට හේතුව වුණේ, මූලික වටය යටතේ පැවති ශ්‍රී ලංකා- බංගලාදේශ තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා පිල, ලකුණු 147කට දැවී ගොස් බංගලාදේශය කඩුලු 5කින් එම තරගය ජය ගැනීම යි.

නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටුකරමින් කුලසේකර, බංගලාදේශ මුල්පෙළ පිතිකරුවන් අසරණ කරයි

මෙම අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ නුවන් කුලසේකර, ඉක්මනින් ම කඩුලු 3ක් ලබාගෙන ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක් ලබා දුන්නා. ඒ නිසා ම බංගලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 4 ම ලකුණු 42ක් තුළ දැවී ගියේ ටමීම්, මුෂ්ෆිකර්, සහ අෂ්රපුල් යන ප්‍රබලම පිතිකරුවන් තිදෙනා ද ඔවුන්ට අහිමි කරමිනුයි. එලෙස මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් අනතුරුව බංගලාදේශ ලකුණු පුවරුවට තවත් ලකුණු 12ක් එකතු වුණු පසුව ඔවුන්ට දැරිය නොහැකි පාඩුවක් සිදුවුණේ, ශ්‍රී ලංකාවට එරෙහිව පැවති මූලික වටයේ තරගයේ දී නොදැවී ලකුණු 92ක් ලබා ගනිමින් බංගලාදේශ ජය තහවුරු කළ ශකීබ් අල් හසන්, බංගලාදේශ ලකුණු පුවරුව 54/5 බවට පත් කරමින් තිලාන් තුෂාරගේ පන්දුවකට සංගා අතට උඩ පන්දුවක් ලබා දී දැවී යාම යි.

කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරන කුලසේකර (gettyimages)

බංගලාදේශ පිතිකරුවන් කඩා වැටුණු ඉනිම ගොඩගැනීමේ උත්සාහයක

ලකුණු 54කට කඩුලු 5ක් වැටී තිබුණු අවස්ථාවේ දී පිටියේ එක් වූ රකිබුල් හා මහමදුල්ලා,   බංගලාදේශ ලකුණු පුවරුව 98 දක්වා ඉහළ දැමුවා. නමුත් ඒ අවස්ථාවේ ලකුණු 26ක් ලබා සිටි මහමදුල්ලා, මුරලිගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත් වුණා. අනතුරුව රකිබුල්ට එකතු වුණු නයීම් ඉස්ලාම් ලකුණු  53ක වටිනා සබඳතාවක් ගොඩනැඟුවේ බංගලාදේශ ලකුණු පුවරුව 151/6ක් ලෙස ස්ථාවර තත්ත්වයකට පත් කරමිනුයි.

බංගලාදේශ ඉනිම ගොඩනැඟූ රකිබුල් (gettyimages)

මෙන්ඩිස් සහ මුරලි බංගලාදේශ ඉනිම ලකුණු 152කට සීමා කරයි

එලෙස 151/6ක් ලෙස ස්ථාවර තත්ත්වයක තිබුණු බංගලාදේශ ඉනිම, අජන්ත මෙන්ඩිස්ගේ සහ මුරලිගේ දක්ෂ පන්දු යැවීම ඉදිරියේ කිසිවෙකු නොසිතූ ආකාරයට ලකුණු 152කට සීමාවුණේ නොදැවී ලකුණු 43ක් ලබා සිටි රකිබුල්ව එක් අන්තයක තනි කරමිනුයි. එහි දී රකිබුල් එලෙස හුදෙකලා සටනක නියැලුණත්, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ නුවන් කුලසේකර සහ අජන්ත මෙන්ඩිස් පිළිවෙලින් 18/3 සහ 24/3 ලෙස කඩුලු ලබා ගත්තේ සෙසු බංගලාදේශ පිතිකරුවන් අන්දමන්ද කරමින්.

මුරලිදරන් නයිම් ව දවා ගැනීමට උත්සාහ කරමින් (gettyimages)

ශ්‍රී ලංකා පිලේ ආරම්භය නොසිතූ අයුරින් කඩා වැටෙයි.

එම අවධියේ සිටි ශ්‍රී ලංකා පිලේ පිතිකරු ලැයිස්තුව අනුව එදා එම ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ඉලක්කයකැ යි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් සිතා සිටියත්, අවසානය වන තෙක් සටන අත්හැරීමට සූදානම් නොවූ බංගලියන් ශ්‍රී ලංකා පිලට කිසිදු ලකුණක් එකතු විමට පෙර ම ශ්‍රී ලංකා පිලේ වමත් කසකරුවා වුණු සනත්ව දුවද්දී දවා ගැනීමකට හසුකර ගත්තේ බංගලාදේශ නරඹන්නන්ගේ ඔල්වරසන් හඬ මැද යි. බලාපොරොත්තු නොවූ ආකාරයට සනත් දැවී යාම නිසා දිරිමත් වුණු බංගලිදේශ පන්දු යවන්නෙකු වූ නස්මුල් හුසේන්, ඉන් අනතුරුව මැනවින් පන්දු යවමින් එකම පන්දු වාරයක දී තරංග ව ලකුණු 2කටත් නායක මහේල ව ලකුණු 0කටත් ක්‍රීඩාගාරය වෙත හරවා යැව්වේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 4/3ක් ලෙස අන්ත අසරණ තත්ත්වයකට පත් කරමිනුයි. එම දැවී යාමත් සමගින් බංගලාදේශ ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි ඝෝෂාව මධ්‍යයේ පිටියට පිවිසි කපුගෙදර මොර්ටාසා එවූ පන්දුවක් හමුවේ 1 ලකුණකට දැවී යාමෙන් අනතුරුව  පිතිකරු ලැයිස්තුවේ උසස් වීමක් ලබා පිටියට පිවිසි මිරැන්ඩෝත්, නස්මුල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවී 1 ලකුණකට දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 6/5ක් ලෙස අසීරු තත්ත්වයකට පත් කරමිනුයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 6ක් තුළ දැවී ගිය අවස්ථාව (gettyimages)

සංගක්කාර සහ මුබාරක්ගෙන් තීරණාත්මක සබඳතාවයක්

මුල් පන්දුවාර කිහිපය තුළ සිදුවුණු එම සෑම  සිදුවීමක් ම අනිත් අන්තයේ සිටි සංගක්කාර විශ්මයෙන් බලා සිටියේ බලා සිටිනවා හැරෙන්නට වෙන කිසිවක් ඔහුට කිරීමට නොහැකි බැවින් වුවත්, මෙම තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා පිලේ 7 වන පිතිකරු ලෙස පිටියට පිවිසි ජෙහාන් මුබාරක්‍ සමග සංගා කඩා වැටුණු ඉනිම ගොඩනැඟීමට උත්සාහ දරන ආකාරය දක්නට ලැබුණා. ඔවුන් දෙදෙනා එම අවස්ථාවේ ඉවසීමෙන් ඉනිම ගොඩනැඟීමට සූදානම් වුණත්, බංගලිදේශ ක්‍රීඩකයන් ඔවුන්ට නියත ජයක් ලැබෙන බව පෙන්වමින් හැසිරුණේ තරගයක් වෙනස් කළ හැකි විරුවෙක් තවමත් පිටියේ සිටින බව අමතක කරමිනුයි. එලෙස තීරණාත්මක මොහොතක ඇරඹුණු සංගක්කාර සහ මුබාරක් අතර ගොඩනැඟුණු ලකුණු 45ක අගනා සබදතාවය නිමාවට පත් වුණේ, ලකුණු 16ක් ලබා සිටි මුබාරක් අනවශ්‍ය ආකාරයකට දුවද්දී දැවී යාමකට ලක්වෙමිනුයි.

සංගා සහ මහරුෆ් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ සිහිනය අසලට ම රැගෙන යයි

මුබාරක්ගේ දැවී යාමත් සමගින් 51/6ක් බවට පත් වුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීම සඳහා අනතුරුව පිටියට පිවිසි මහරුෆ්‍, සාමාන්‍යයෙන් ප්‍රවේගකාරී පිතිකරුවෙක් ලෙස ප්‍රසිද්ධ ව සිටියත් එදා ඔහු වගකීම යන වචනයේ නියම අරුත වටහා ගෙන සංගක්කාරට උපරිම සහායයක් ලබාදෙමින් පිත්ත හැසිරවූවා. එහෙයින් ඔවුන් දෙදෙනාට, වැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිම නැවතත් ගොඩනැඟීමට හැකියාවක් ලැබුණේ ශ්‍රි ලංකා ක්‍රීඩා ලෝලීන්ව නැවතත්  තරගයේ ජීවත් කරවමිනුයි. එලෙස සංගා-මහරුෆ් සුසංයෝගය එක්ව ගොඩනැඟූ අගනා ලකුණු 63ක සබඳතාවය නිසා ම 51/6 ලෙස අසීරු තත්ත්වයක පැවති ශ්‍රී ලංකා ඉනිම 114/6 දක්වා ස්ථාවර තත්ත්වයකට පත් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්‍ට ජයග්‍රහණයේ සුළඟ දැනෙන්නට සලස්වමින්.

ශකීබ් නැවතත් බංගලාදේශ කණ්ඩායම තරගයට අවතීර්ණ කරයි

එලෙස ක්‍රමයෙන් තරගය බංගලාදේශ පිලෙන් ගිලිහෙමින් තිබුණු අවස්ථාවේ දී පරාජය ලෙහෙසියෙන් භාර ගැනීමට අකමැති වුණු ශකීබ්, එතෙක් වෙලා ශ්‍රී ලංකා ඉනිම කඩා වැටෙන්නට නොදී රැකගෙන සිටි විරුවා වුණු සංගක්කාර ව ලකුණු 59කට දවා ගත්තා. ඉන් නොනැවතී කුලසේකරවත් ලකුණු ලබා ගැනීමට පෙර ම ක්‍රීඩාගාරය වෙත යැව්වේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 114/8ක් බවට පත් කරමිනුයි. එලෙස ජයග්‍රහණයේ සිහිනය අසලට ම ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන ගිය විරුවා වුණු සංගක්කාරගේ නික්ම යාම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සිහින සුන්කර දැමූ නිසා ම ඒ වන විට ශ්‍රි ලංකා ක්‍රිකට් ලෝලීන් තරග ජයග්‍රහණය පිළිබඳ ව තබා තිබුණු බලාපොරොත්තු බිඳවැටෙන්නට වුණා.

මියයමින් තිබුණු සුන්දර සිහිනයට පණ දුන් වීරයා

එලෙස ජයග්‍රහණය අසලට ම පැමිණ සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ එම බලාපොරොත්තුව ශකීබ් විසින් සුන්කර දැමුවත්, මියයන්නට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සුන්දර සිහිනයට නැවතත් පණදුන් වීරයා පිටියට පිවිසුණේ ඉන්පසුව යි. ඒ අන් කවරෙකුවත් නොව, පන්දුවෙන් පිතිකරුවන් දණගැස්සූ මුත්තයියා මුරලිදරන් නම් පිතිකරුවා යි. එදා මුරලි ඔහුට පැවරුණු වගකීම මනාව තේරුම් ගත් නිසා ආරම්භයේ සිට ම දැවැන්ත පහරවල් එල්ල කරමින්  පිටිය පුරා ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වූයේ බංගලි ක්‍රීඩකයන් හා ක්‍රීඩා ලෝලීන් අන්දමන්ද කරමිනුයි. එලෙස මුරලි හයේ පහරවල් 2ක් හා හතරේ පහරවල් 4ක් සමග පන්දු 16ක දී ලබා ගත් වේගවත් ලකුණු 33ක් නිසා ශ්‍රි ලංකා කණ්ඩායමට බංගලාදේශය පරදවා කඩුලු 2ක තියුණු ජයක් ලබන විට අගනා ඉනිමක් ක්‍රීඩා කළ මහරුෆ් ද, ලකුණු 38ක් ලබා නොදැවී සිටියේ මෙම අපූරු ජයග්‍රහණයේ කොටස්කරුවෙකු ලෙසිනුයි.

මුරලි දැවැන්ත පහරක් එල්ල කරමින් (gettyimages)
තරගය අවසන් වීමෙන් පසු මුරලි සමග එක්ව සතුට සමරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් (gettyimages)

කවරයේ කතාව: තරගයේ වීරයා සම්මානය දිනා ගත් සංගක්කාර (pinterest)

Related Articles