1996 ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස සිටි සැඟවුණු වීරයා

1996 එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන ජයග්‍රහණයකි. එම නිසා ම ඒ ජයග්‍රහණය පිළිබඳව ඔවුන් අදටත් කතා කරන්නේ මහත් අභිමානයෙනි. එම තරගාවලිය තුළ අරවින්ද ද සිල්වා දියත් කළ සුපිරි පිතිහරඹය සහ සනත් ජයසූරිය දැක්වූ තුන් ඉරියව් දක්ෂතා පිළිබඳව ඔවුන් උදම් ඇනුව ද, ශ්‍රී ලංකා ජයග්‍රහණයට නිහඬවම පිත්තෙන් දායකත්වය දැක්වූ විරුවෙකු ඔවුන්ට අමතක වී ගොසිනි. එම අවධියේ ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරු යුගලය වූ සනා-කලූ යුගලයෙන් කෙනෙකු ඉක්මනින්ම දැවී ගිය විට අංක 3 පිතිකරුවා ලෙස පිටියට පැමිණි මේ විරුවා ඉතාමත් ඉවසිලිවන්ත ඉනිම් කිහිපයක්ම දියත් කරමින් තරගාවලිය තුළ 50කට වඩා වැඩි පිතිකරණ සාමාන්‍යයක් සහිතව ලකුණු 300 ඉක්මවා ලබා ගත්තේ, අරවින්දට පසුව තරගාවලිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවා ලෙසිනි. එදා තීරණාත්මක අවස්ථා කිහිපයක දී ම තැනේ හැටියට ඇණේ ගැසූ ඔහු අන් කවරෙකුත් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ගුරා යන සුරතල් නාමයෙන් හැඳින්වූ අසංක ගුරුසිංහ ය. එසේ නම් අපි  ගුරුසිංහ 1996 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් කළ නිහඬ සේවය පිළිබඳව මතකය ආවර්ජනය කර ගනිමු.

මූලික වටයේ තරගවල දී ගුරුසිංහගෙන් සුපිරි දස්කම්

තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග කළ ශ්‍රී ලංකා පිලට ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, සිම්බාබ්වේ, සහ කෙන්යාව යන රටවල් සමග තරග කිරීමට සිදු ව තිබුණ ද ශ්‍රී ලංකාවේ පැවති අනාරක්ෂිත තත්ත්වය නිසා ඕස්ට්‍රේලියානුවන් සහ කොදෙව්වන් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ නිසා එම තරගවල ප්‍රසාද ලකුණු ශ්‍රී ලංකාවට ලැබුණි. එම නිසා ශ්‍රී ලංකා පිලට මූලික වටයේ දී තරග වැදීමට සිදුවූයේ සිම්බාබ්වේ, ඉන්දියාව සහ කෙන්යාව යන කණ්ඩායම් සමග පමණි.

සිම්බාබ්වේ පිලට එරෙහිව

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල ඇලිස්ටෙයාර් කැම්බල්, පන්දු 102ක දී හතරේ පහර 8ක් සමගින් ලබා ගත් ලකුණු 75 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 228ක් ලබාගත්තේ ය. ඉන්පසුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු යුගලය වූ සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු 23 සටහන් වන විට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වීමත් සමග ම ශ්‍රී ලංකා පිල තරමක් අසීරු අඩියකට වැටුණේ ය. නමුත් මෙම අවස්ථාවේ පිටියේ එක්වූ අරවින්ද සහ ගුරුසිංහ ඉතාමත්ම වගකීමෙන් පන්දුවට පහරදෙමින් සිම්බාබ්වේ පන්දු යවන්නන්හට දැඩි තර්ජනයක් එල්ල කළේ ය. එදා අසංක ගුරුසිංහ සිය සුපුරුදු පහරවල් එල්ල කරමින් ලෝක කුසලාන ක්‍රිකට් දිවියේ ඔහු ලබා ගත් මුල්ම අර්ධ ශතකය ලබාගත්තේ සිම්බාබ්වේ පිල දෙසට නැඹුරු වෙමින් තිබූ තරගයක් ශ්‍රී ලංකා පිල දෙසට හරවා ගනිමිනි. ගුරුසිංහ මෙන්ම අරවින්ද ද ඉතාමත් ප්‍රචණ්ඩ අයුරින් සිම්බාබ්වේ පන්දු යවන්නන්හට පහරදීමේ ප්‍රතිඵලයක් ලෙස එදා තුන්වන කඩුල්ල වෙනුවෙන් අරා සහ ගුරා අතරේ ලකුණු 172ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගුණි. මොවුන් දෙදෙනා එලෙස ගොඩනැගූ වටිනා සබඳතාවය ශ්‍රී ලංකා ලකුණු පුවරුව 23/2 සිට 195/2 වැනි ප්‍රබල තත්ත්වයකට පත් කළේ ගුරුසිංහට ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ලෝක කුසලාන ශතකය ද ලබා ගැනීමට මඟ විවර කරමිනි. නමුත්, එදා කිසිවෙකු නොසිතූ අයුරින් පන්දු 100කින් හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් සමගින් ලකුණු 87ක් ලබා සිටි ගුරුසිංහ දුවද්දී දැවී ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ නෙතට කඳුළක්  එක් කරමින් වුව ද, එදා ඔහුගේ ඉනිමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට දැනුණේ විශාල සැනසීමකි.

ඉන්දියාවට එරෙහිව

දිල්ලි නුවර ෆෙරෝසා කොට්ලා පිටියේ පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිල ටෙන්ඩුල්කාර් ලබා ගත් ලකුණු 137 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී 271/3 වැනි විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ ය. ඉන්පසුව, එය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල 53/1 ලෙස ලකුණු ලබා ගනිමින් සිටිය දී පිටියට පිවිසි ගුරුසිංහ හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් පන්දු 27කින් ලකුණු 25ක් ලබා සිටිය දී නැවතත් දුවද්දී දැවී ගියේ ජයසූරිය සමග එක්ව ලකුණු 76ක අගනා සබඳතාවයක් ගොඩනැගීමෙන් අනතුරුව ය. එදා ගුරුසිංහ සහ ජයසූරිය ලබා දුන් අත්තිවාරම ඔස්සේ සටන ඉදිරියට ගෙන ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 48.4ක දී කඩුලු 4ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේ ය.

කෙන්යාවට එරෙහිව

කෙන්යානු පිලට එරෙහිව අස්ගිරිය පිටියේ දී පැවති තරගයේ දී නැවතත් අරවින්ද සමග  පිටියේ එක්වූ ගුරුසිංහ තෙවන කඩුල්ල වෙනුවෙන් දැවන්ත ලකුණු 183ක සබඳතාවයක් ගොඩනැගීමට දායක විය. එහි දී ගුරුසිංහ පන්දු 103කින් හතරේ පහර 7ක් සහ හයේ පහරවල් 3ක් සමගින් අගනා ලකුණු 84ක් ලබා ගත්තේ ය. නමුත්, ගුරුසිංහ එසේ දැවී ගිය ද කෙන්යානු පන්දු යවන්නන් හට අරවින්දව නැවැත්වීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස අරවින්ද එදා හතරේ පහර 14ක් සහ හයේ පහර 5ක් සමගින් පන්දු 115ක් තුළ ලකුණු 145ක් ලබා ගත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම ලෝක කුසලාන ඉනිම මෙන්ම, හොඳම එක්දින ඉනිමද ක්‍රීඩා කළ ක්‍රීඩකයා වෙමිනි. අරවින්ද එලෙස දියත් කළ සුපිරි ඉනිම නිසා එදා ශ්‍රී ලංකා පිල 398/5 ලෙස ලකුණු ලබා ගනිමින් එංගලන්ත පිල 1992 වසරේ පකිස්තානයට එරෙහිව 363/7 ලෙස තබා තිබූ එක්දින තරගයක කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව බිඳ දැමීය. මීට අමතරව ලෝක කුසලාන තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය 1987 ලෝක කුසලාන තරගාවලියේ දී කොදෙව්වන් ශ්‍රී ලංකාව හමුවේ ලබා ගත් 360/4 ලෙස සටහන්ව තිබුණි. එදා ශ්‍රී ලංකා පිලේ සිටි අරවින්ද, අර්ජුණ සහ ගුරුසිංහ මෙදා එම අපකිර්තියෙන් ශ්‍රී ලංකාව මුදවා ගනිමින් එම වාර්තාව ශ්‍රී ලංකාවට උරුම කර දුන්නේ ය. මීට අමතරව පන්දු 29කින් සිය අර්ධ ශතකය ලබා ගත් අර්ජුණ එහි දී ලෝක කුසලාන තරගයක වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව ඔහු සතු කර ගත් බව ද මෙහිදී සිහිපත් කළ යුතු ය.

අර්ධ අවසන් පූර්ව තරගයේ දී ගුරුසිංහගෙන් ඉවසිලිවන්ත ඉනිමක්

එංගලන්තයට එරෙහිව ෆයිසලාබාද් නුවර ඉක්බාල් පිටියේ දී පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ අසරණ වූ එංගලන්ත පිතිකරුවන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 235ක් පමණි. ඉන්පසුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු කලුවිතාරණ ඉක්මනින්ම දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 12/1 ලෙස තිබූ අවස්ථාවේ පිටියට පිවිසි ගුරුසිංහ, ජයසූරිය සමග එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක සබඳතාවයක් ගොඩනැගීය. නමුත්, ජයසූරිය පන්දු 44කින් ලකුණු 82ක් ලබා සිටිය දී දැවී ගිය ද ගුරුසිංහ එක් අන්තයක් රැකගෙන ක්‍රීඩා කළේ අරවින්ද සහ අර්ජුණට සිත් සේ පන්දුවට පහරදීමට නිදහස ලබාදෙමිනි. එදා හතරේ පහර 5ක් සමගින් පන්දු 63කින් අගනා ලකුණු 45ක් ලබා සිටි ගුරුසිංහ නැවත වරක් දුවද්දී දැවී ගියේ වටිනා අර්ධ ශතකයක් අහිමි කර ගනිමිනි.

ගුරුසිංහ එංගලන්තයට එරෙහිව තරගයේ දී පන්දුවට පහරදෙමින් (Sportstar 1996 march 23 magazine)

අවසන් පූර්ව තරගයේ දී ගුරුසිංහ අසාර්ථක වෙයි

ඉන්දියාවට එරෙහිව කල්කටා නුවර ඊඩ්න් පිටියේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු යුගලය වූ ජයසූරිය සහ කලුවිතාරණ පළමු පන්දුවාරය තුළ දී ම දැවී යාම නිසා ලකුණු 1කට කඩුලු 2ක් දැවී තිබූ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට අරවින්දට සහාය දෙමින් සිටිය දී ගුරුසිංහට දැවී යාමට සිදුවූයේ පන්දු 16කින් ලකුණු 1ක් ලබා සිටිය දී ය.

අවසන් තරගයේ දී අරා සහ ගුරා නැවත එක්වෙයි

ලෝක කුසලාන ඉතිහාසයේ මුල්ම වරට ලාහෝර් නුවර ගඩාෆි පිටියේ දී ඕස්ට්‍රේලියානුවන් සමග අවසන් තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියානුවන්ව නියමිත පන්දුවාර 50 අවසානයේ දී 241/7කට සීමා කළේ ය. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු යුගලය වූ ජයසූරිය සහ කලුවිතාරණ ලකුණු 23ක් වන විට දැවී ගිය නිසා ශ්‍රී ලංකා පිල නැවතත් අසීරු අඩියකට වැටුණි. නමුත්, තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිලේ ගැලවුම්කරුවන් දෙදෙනා වූ අරා සහ ගුරා නැවතත් පිටියේ එක්වෙමින් ගොඩනැගූ අගනා ලකුණු 125ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා පිල තරගයේ පාලනය ඔවුන් අතට ගත්තේ ය. එදා හතරේ පහර 6ක් සහ හයේ පහර 1ක් සමගින් පන්දු 99ක් තුල ගුරුසිංහ ලබාගත් ලකුණු 65 ශ්‍රී ලංකා පිලට අවශ්‍යම මොහොතේ ක්‍රීඩා කළ ඉවසිලිවන්ත ඉනිමක් විය. එලෙසම ගුරුසිංහ එදා වෝන්ට එල්ල කළ දැවැන්ත හයේ පහර ද තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මනසේ රැඳී ඇති සොඳුරු මතකයකි.

අවසන් තරගයේ දී අරා සහ ගුරා සටනේ (gettyimages)

තරගාවලිය තුළ ගුරුසිංහගේ පිතිකරණ වාර්තාව

සහභාගි වූ තරග ප්‍රමාණය- 6

ලබා ගත් ලකුණු ප්‍රමාණය- 307

පිතිකරණ සාමාන්‍ය- 51.17

ප්‍රහාරාත්මක වේගය- 75.25

අර්ධ ශතක- 3

හොඳම ඉනිම- 87 සිම්බාබ්වේ පිලට එරෙහිව

කවරයේ ඡායාරූපය: ගුරුසිංහ අවසන් තරගයේ දී පන්දුවට පහරදෙමින් (gettyimages)

මූලාශ්‍රයයන්:

ESPNcricinfo

Related Articles