Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රීලංකාව ලබා ගත් 20/20 ජයග්‍රහණ

පසුගිය දිනවල පැවැත්වුණු ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ  ශ්‍රී ලංකා කණ්ඩායම යි. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකානුවන් හමුවේ වසර 8කට පසුව ලබා ගත් එක්දින තරගාවලි ජයග්‍රහණයක් වීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ විදිහට ජයග්‍රාහී ව එක්දින තරගාවලිය අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ අද (10) ආරම්භ වන තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා 20/20 තරගාවලියේ ජයග්‍රහණය ලබාගැනීම යි. 

එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම – getty images

ඒ අයුරින් ආරම්භවීමට නියමිත ව තිබෙන 20/20 තරගාවලිය පිළිබඳ ව බොහෝ දෙනකු උනන්දු වෙද්දී Roar සිංහල අපේ කණ්ඩායම ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා 20/20 තරග පුරාණය පිළිබඳ ව යළි සිහිපත් කිරීමට කල්පනා කළා. 2005 වසරේ දී 20/20 තරග රටාව ආරම්භ වුණත් 2012 වසර වන තුරු ම ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව 20/20 තරගයක දී හමු ව තිබුණේ නැහැ. 2012 වසරේ සිට මේ දක්වා දෙරට අතර 20/20 තරග 13ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 8ක ජයග්‍රහණය දකුණු අප්‍රිකාවට හිමි වෙද්දී ශ්‍රී ලංකාවට හිමි වුණේ තරග 5ක ජයග්‍රහණය පමණ යි. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඒ ජයග්‍රහණ 5 පිළිබඳව යි.

1) දිල්ෂාන්ගේ සුපිරි ඉනිම නිසා ලැබුණු ජයග්‍රහණය

2013 දී ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා 20/20 තරගාවලියේ තෙවන තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පරාජය වී සිටි නිසා මව්බිමේ දී සිය ගෞරවය බේරා ගැනීමේ අරමුණෙන් මෙම තරගයට අවතීර්ණ වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නායකයා මුලින් ම පන්දුවට පහරදීමට තීරණය කළා.

දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු පන්දුවෙන් ම හෙන්රි ඩේවිස් දවා ගෙන නුවන් කුලසේකර ලබා දුන් සාර්ථක ආරම්භය නිසා පන්දුවාර 7.2ක් අවසන් වන විට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 45/2ක් ලෙසින් දිස්වුණා. ඒ අයුරින් දකුණු අප්‍රිකානුවන් අසීරු අඩියක වැටී සිටි අවස්ථාවක පිටියේ එක්වුණු නායක ෆැෆ් ඩූ ප්ලෙසිස් සහ පෝල් ඩුමිනි පන්දු 73කින් ලකුණු 112ක සබඳතාවක් ගොඩ නැගුවා. එනිසා නියමිත පන්දුවාර 20 අවසානයේ දී දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 163/3 ලෙසින් දිස්වුණා. එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ප්ලෙසිස් පන්දු 65කින් ලකුණු 85ක් ලබා ගන්නා විට ඩුමිනි පන්දු 34කින් නොදැවී ලකුණු 51ක් වාර්තා කරමින් ඉනිම ශක්තිමත් කළා.

ප්ලෙසිස්ගේ ඉනිමේ අවස්ථාවක් – getty images

 

ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න දිල්ෂාන් සහ මහේල ජයවර්ධන ඉනිම ආරම්භ කළා. එදා ඔවුන් දෙදෙනා ලබා ගත් වේගවත් ආරම්භය නිසා පන්දුවාර 5.4ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 67ක් එකතු වී තිබුණා. එම අවස්ථාවේ පන්දු 16කින් ලකුණු 33ක් ලබාගෙන සිටි මහේල දැවී ගියත් ඉන් නොසැලුණු දිල්ෂාන් එක් අන්තයක් රැක ගනිමින් පන්දුවට පහර දුන්නා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 15.3ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 123ක් ලබා ගෙන සිටියා. ඒ මොහොතේ දී දිල්ෂාන්ට එක් වුණු තිසර පෙරේරා පන්දු 16කින් වේගවත් ලකුණු 41ක නොබිඳුණු සබඳතාවක් ගොඩ නඟමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. එදා ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වුණු දිල්ෂාන් පන්දු 51කින් නොදැවී ලකුණු 74ක් ලබාගනිද්දී තිසර පන්දු 11කින් නොදැවී වේගවත් ලකුණු 25ක් වාර්තා කළා.  

දිල්ෂාන් ඩිල්ස්කූප් පහරක් එල්ල කරමින් – getty images

 

කෙටි ලකුණු පුවරුව 

දකුණු අප්‍රිකාව- 163/3 (20), (ප්ලෙසිස්- 85, ඩුමිනි- 51*, ලක්මාල්- 29/1, අජන්ත- 31/1)

ශ්‍රී ලංකාව- 164/4 (18.1), (දිල්ෂාන්- 74*, මහේල- 33, තිසර- 25*, වීසේ- 24/2, තාහීර්- 20/1) 

ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් 

තරගයේ වීරයා- තිලකරත්න දිල්ෂාන් 

2) ලෝක කුසලාන තරගයක දී හිමිවුණු තියුණු ජයග්‍රහණය

2014 20/20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය යටතේ පැවති ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තරගය චිතගොං හිදී ක්‍රියාත්මක වුණා. එදා කාසියේ වාසිය දිනාගෙන මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුණා. ඒ පළමු පන්දුවාර 5 ඇතුළත මහේල ජයවර්ධන සහ තිලකරත්න දිල්ෂාන් යන පළපුරුදු පිතිකරු යුගළය දැවීගිය නිසා යි. ඉන් නොසැලුණු කුසල් පෙරේරා පන්දු 40කින් ලකුණු 61ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කළා. ඉනිමේ අවසන් භාගයේ දී වටිනා ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 32කින් ලකුණු 43ක් ලබාගත්තා. එනිසා ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 165ක් ලබා ගැනීමට හැකි වුණා.

කුසල් පෙරේරා පන්දුවට පහරදෙමින් – getty images

 

ඉන් අනතුරු ව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිතිකරුවන් සීරුවෙන් පන්දුවට පහර දුන්නා. එනිසා පන්දුවාර 10.4ක් අවසන් වන විට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 82/1ක් ලෙසින් දිස්වුණා. එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දු 30ක් තුළ ලකුණු 37ක් පමණක් ලබා දී දවා ගත් කඩුලු 3 නිසා තරගය ශ්‍රී ලංකාව දෙසට නැඹුරු වුණා.

එම තීරණාත්මක මොහොතේ ඉක්මනින් ලකුණු රැස් කළ දකුණු අප්‍රිකානුවන් 18 වන පන්දුවාරය අවසන් වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 147ක් ලබාගෙන සිටියා. එදා තරගය දෙපිලට ම විවෘත ව පැවති අවස්ථාවක 19 වන පන්දු වාරය ක්‍රියාත්මක කළ කුලසේකර ලකුණු 4ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් බෙහාර්ඩීන්ගේ කඩුල්ල දවා ගත්තා. ඉන් පසුව ලසිත් මාලිංග ක්‍රියාත්මක කළ අවසන් පන්දු වාරයේ දී දකුණු අප්‍රිකානුවන්ට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 9ක් පමණ යි. එනිසා ශ්‍රී ලංකාවට ලකුණු 5ක තියුණු ජයක් හිමිවුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගයේ ජය සමරමින් – getty images

 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 165/7 (20), (කුසල්- 61, මැතිව්ස්- 43, තාහීර්- 26/3, මෝර්නි මෝකල්- 31/2)

දකුණු අප්‍රිකාව- 160/8 (20), ( ඩුමිනි- 39, සේනානායක- 22/2, මැතිව්ස්- 21/1)

ශ්‍රී ලංකාවට ලකුණු 5ක ජයක් 

තරගයේ වීරයා- කුසල් පෙරේරා 

3) මැතිව්ස්ගේ ඉවසිලිවන්ත ඉනිම නිසා තවත් 20/20 ජයග්‍රහණයක් 

2017 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරය කළා. එම සංචාරය යටතේ පැවැත්වුණු තරග 3කින් සමන්විත 20/20 තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායම යි. එනිසා ශ්‍රී ලංකා කණ්ඩායම ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් පිටියේ දී පැවති දෙවන 20/20 තරගය සඳහා හොඳින් අවතීර්ණ වුණා. පන්දු යවන්නන්ට වඩාත් උචිත අයුරින් සකසා තිබුණු තණතීරුවක මුලින් ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අන්ත අසරණ තත්ත්වයකට පත්වුණා.

එදා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ඉනිම පන්දුවාර 19.3ක් තුළ ලකුණු 113කට සීමා වුණා. එහි දී සිය මංගල 20/20 තරගයට සහභාගි වුණු ලක්ෂාන් සඳකැන් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගෙන දස්කම් දක්වද්දී ඉසුරු උදාන කඩුලු 3ක්ද, කුලසේකර කඩුලු 2ක්ද දවා ගත්තා. 

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන සඳකැන් – getty images

 

අසීරු තණතීරුවක ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලුන්ගි එන්ගිඩිගේ සුපිරි වේග පන්දු යැවීම ඉදිරියේ අසීරු අඩියකට වැටුණා. එනිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 35/3ක් ලෙසින් සටහන් වුණා. ඒ අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියක වැටී තිබුණු අවස්ථාවක පිටියේ එක්වුණු ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 51ක අගනා සබඳතාවක් ගොඩ නැගුවා.

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා පන්දු 34කින් ලකුණු 27ක් අවශ්‍ය වුණු මොහොතේ ක්‍රියාත්මක වුණු දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ලකුණු 19ක් ඇතුළත කඩුලු 4ක් දවා ගත්තා. ඉන් නොසැලුණු නායක මැතිව්ස් නොදැවී ලකුණු 54ක් ලබා ගනිමින් අවසන් පන්දු වාරයේ දී සිය කණ්ඩායම ජය කණුව වෙත රැගෙන ගියා. එහි දී මැතිව්ස් හයේ පහරකින් ජයග්‍රාහී ලකුණ වාර්තා කිරීම අමතක නොවන සිදුවීමක් වුණා. 

මැතිව්ස්ගේ සුපිරි ඉනිමේ එක් අවස්ථාවක් – getty images

 

කෙටි ලකුණු පුවරුව 

දකුණු අප්‍රිකාව- 113/10 (19.3), (කුන්- 29, සඳකැන්- 23/4,  උදාන- 13/3, කුලසේකර- 10/2)

ශ්‍රී ලංකාව- 119/7 (19.4), (මැතිව්ස්- 54*, එන්ගිඩී- 19/4, තාහීර්- 14/1) 

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් 

තරගයේ වීරයා- ඇන්ජලෝ මැතිව්ස් 

4) දික්වැල්ල සහ ප්‍රසන්න එක් ව දකුණු අප්‍රිකානුවන් දණගස්වයි 

2017 ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා 20/20 තරගාවලියේ තෙවන තරගය දෙපිලට ම තීරණාත්මක එකක් වුණා. ඒ එම තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණය හිමි වීමට නියමිත ව තිබුණු නිසා යි. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ මුලින් ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තා.

එහි දී තරගාවලියේ මුල් ම තරගයට සහභාගි වුණු සුපිරි පිතිකරු ඒ.බී ද විලියර්ස් පන්දු 44කින් ලකුණු 63ක් ලබා ගත්තා. ඊට අමතර ව ඉනිමේ අවසන් භාගයේ දී මැන්ගලිසෝ මෝෂෙලී පන්දු 15කින් වේගවත් ලකුණු 32ක් ලබා ගෙන අප්‍රිකානු ඉනිමට හොඳ අවසානයක් ලබා දුන්නා.

විලියර්ස් පන්දුවට පහරදෙමින් – getty images

ලකුණු 170ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සුපිරි ඉනිමක් ක්‍රීඩා කළා. එදා ඔහු ඉනිම ආරම්භ කරමින් පන්දු 51කින් ලබා ගත් ලකුණු 68 නිසා පන්දු වාර 15.1ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 116/2 ලෙසින් දිස්වුණා. එම තීරණාත්මක මොහොතේ ක්‍රියාත්මක වුණු ඉම්රාන් තාහීර් දික්වැල්ල දවා ගෙන ඉන් නොනැවතී ධනංජය ද සිල්වාගේ කඩුල්ල ද ලබා ගත්තා.

එනිසා 16 වන පන්දු වාරය නිමාව දකිද්දී ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 118ක් ලබා ගෙන සිටියා. ජයග්‍රහණය සඳහා පන්දු 24කින් ලකුණු 52ක් අවශ්‍ය වුණු ඒ මොහොතේ අමතක නොවන පිතිහරඹයක් දියත් කළ සීක්කුගේ ප්‍රසන්න පන්දු 16කින් නොදැවී ලකුණු 37ක් ලබාගෙන අවසන් පන්දුවාරයේ පස්වන පන්දුවේ දී සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. ඒ සමඟ ම තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට  හිමි වුණා.

ප්‍රසන්න පහරක් එල්ල කරමින් – getty images

කෙටි ලකුණු පුවරුව 

දකුණු අප්‍රිකාව- 169/5 (20), (විලියර්ස්- 63, හෙන්ඩ්‍රික්ස්- 41, මෝෂෙලී- 32* ප්‍රසන්න- 21/1)

ශ්‍රී ලංකාව- 170/5 (19.5), (දික්වැල්ල- 68, ප්‍රසන්න- 37*,  තාහීර්- 18/3) 

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- නිරෝෂන් දික්වැල්ල 

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – getty images

5) ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හිමි කර දුන් සුපිරි ජයග්‍රහණය

අවසන් වරට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ලක්බිමේ දී 20/20 තරගයක් ක්‍රීඩා කළේ 2018 වසරේ දී යි. කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී පැවති එම තරගයේ මුලින් ම පන්දුවට පහරදුන්නේ දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ තත්ත්වයකට පත්වුණා. එදා කිසිදු ජගතකුට දකුණු අප්‍රිකානු ඉනිම ගොඩ ගැනීමට හැකිවුණේ නැහැ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 16.4කදී ඔවුන්ට සියලු දෙනා ම දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 98ක් පමණ යි. එදා සුපිරි පන්දු යැවීමක නිරත වුණු ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් දවා ගනිද්දී අකිල ධනංජය සහ ධනංජය ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගය ජයග්‍රහණය කළ මොහොත (gettyimages)

 

ලකුණු 99ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගළය ලකුණු 6ක් තුළ ක්‍රීඩාගාරය වෙත යළි හරවා යැවීමට කගීසෝ රබාඩාට හැකි වුණා. නමුත් ඉන් පසුව පිටියේ එක් වුණු ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 53ක අගනා සබඳතාවක් ගොඩ නැගුවා. ලකුණු 31ක් ලබාගෙන සිටි ධනංජය දැවී යාමත් සමඟ ම කඩුලු බිඳ වැටීම යළි ආරම්භ වුණා. එනිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 88/7 දක්වා පල්ලම් බැස්සා. එම අසීරු මොහොතේ වගකීමෙන් ක්‍රීඩා කළ චන්දිමාල් නොදැවී ලකුණු 36ක් ලබා ගෙන පන්දුවාර 16ක් තුළ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

කෙටි ලකුණු පුවරුව 

දකුණු අප්‍රිකාව- 98/10 (16.4), (කොක්- 20, සඳකැන්- 19/3, අකිල- 15/2, ධනංජය- 22/2)

ශ්‍රී ලංකාව- 99/7 (16), (චන්දිමාල්- 36*, ධනංජය- 31, ඩලා- 22/2, රබාඩා- 24/2, ෂම්සි- 26/2) 

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් 

තරගයේ වීරයා- ධනංජය ද සිල්වා 

කවරයේ ඡායාරූපය - 2017 දී 20/20 තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අවස්ථාව- getty images

මූලාශ්‍ර:

crickinfo

Howstat

Related Articles