Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාකිස්ථානු බිමේ දී ශ්‍රී ලංකාව ලබා ගත් ටෙස්ට් ජයග්‍රහණ

2019 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිත යි. අවසන් වරට 2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, පාකිස්ථානයේ දී ටෙස්ට් තරගාවලියකට සහභාගි වෙමින් සිටිය දී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ගොදුරු වීම අමතක නොවන සිදුවීමක්. එසේම එම අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්ථානය බලා සංචාරය කරන මුල්ම කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය 1982 වසර දක්වා දිව යනවා. එම ඉතිහාසය තුළ පාකිස්ථානයේ දී ටෙස්ට් තරග 21කට සහභාගි වුණු ශ්‍රී ලංකාව ඉන් තරග 6ක් ජයග්‍රහණය කරන විට, තරග 8ක් පරාජයට පත් වුණා. එසේ නම් මෙම ලිපිය වෙන් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානු බිමේ දී ජයග්‍රහණය කළ ටෙස්ට් තරග 6 පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

ෆයිසලාබාද් ටෙස්ට් තරගය- 1995 වසරේ දී 

1995 වසරේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් පිටියේ දී යි. ඒ වන විට තරගාවලියේ 1-0 ලෙසින් පිටුපසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා අවතීර්ණ වුණේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. නමුත්, තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 117ක් තුළ දැවීගියා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු හෂාන් තිලකරත්න ලබා ගත් ලකුණු 115 නිසා ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 223ක් ලබා ගැනීමට සමත් වුණා. 

හෂාන් තිලකරත්න (gettyimages)

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායම ලකුණු 333ක් ලබා ගත්තේ රමිස්, අන්වර්, සහ ඉන්සාමාම් ලබා ගත් අර්ධ ශතක නිසා යි. එහි දී පාකිස්ථානු පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කළ මුරලිදරන් ලකුණු 68කට කඩුලු 5ක් දවාගත්තා. ලකුණු 110ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් අරවින්ද  සහ හතුරුසිංහ පිළිවෙලින් ලකුණු 105ක් සහ ලකුණු 83ක් ලබාගැනීමට සමත් වුණා. ඔවුන් දෙදෙනාගේ එම සුපිරි ඉනිම් 2ක නිසා ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 361කට සීමා වුණේ පාකිස්ථානයට ලකුණු 252ක ඉලක්කයක් ලබා දෙමින්.

අරවින්ද ද සිල්වා (gettyimages)

ලකුණු 252ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානු කණ්ඩායම වාස්, ධර්මසේන, සහ මුරලිදරන් විසින් සිදුකළ දක්ෂ පන්දු යැවීම ඉදිරියේ අසරණ වුණා. එම නිසාම පාකිස්ථානු දෙවන ඉනිම ලකුණු 209කට සීමා වුණේ ශ්‍රී ලංකාවට ලකුණු 42ක තියුණු ජයක් උරුමකර දෙමින්.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 223/10 (70), (හෂාන්- 115, හතුරුසිංහ- 47, අකීබ්- 34/3, සක්ලේන්- 74/3)

පාකිස්ථානු පළමු ඉනිම- 333/10 (118), (රමීස්- 75, අන්වර්- 54, ඉන්සාමාම්- 50, මුරලිදරන්- 68/5)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 361/10 (146.3), (අරවින්ද- 105, හතුරුසිංහ- 83, ධර්මසේන- 49, ජාවෙඩ්- 84/5)

පාකිස්ථානු දෙවන ඉනිම- 209/10 (72.1), (අන්වර්- 50, මොයින්- 50, වාස්- 45/4, ධර්මසේන- 43/3)

ශ්‍රී ලංකාවට ලකුණු 42ක ජයක්. 

තරගයේ වීරයා- මුත්තයියා මුරලිදරන්

සියල්කොට් ටෙස්ට් තරගය- 1995 වසරේ දී 

1995 ශ්‍රී ලංකා-පාකිස්ථානු ටෙස්ට් තරගාවලියේ තෙවන තරගය පැවැත්වුණේ සියල්කොට් නුවර, ජින්නා ක්‍රීඩා පිටියේ දී යි. මෙම තරගය ආරම්භ වන විට දෙපිලම තරගය බැගින් ජයග්‍රහණය කර තිබුණු නිසා තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 232ක් ලබා ගත්තේ ධර්මසේන ලබා ගත් අර්ධ ශතකය නිසා යි. ඉන් අනතුරුව, සිය පළමු ඉනිම ආරම්භ කළ පාකිස්ථානුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් කිසිදු බුරුලක් ලැබුණේ නැහැ. එම නිසාම පාකිස්ථානු පළමු ඉනිම ලකුණු 214කට සීමා වුණා. පළමු ඉනිම අවසානයේ දී ලකුණු 18ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ජුණ, හතුරුසිංහ, සහ හෂාන් ලබා ගත් අර්ධ ශතක නිසා ඔවුන්ගේ දෙවන ඉනිම 338/9 ලෙස නිමාවට පත් කළේ පාකිස්ථානු කණ්ඩායමට ලකුණු 357ක ඉලක්කයක් ලබා දෙමින්.

අර්ජුණ රණතුංග (gettyimages)

ඉන්පසුව, ලකුණු 357ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානු කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 15ක් තුළ දැවීගියේ වාස් සහ ප්‍රමෝද්‍ය විසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි. නමුත් එම අවස්ථාවේ දී මොයින් ඛාන්, අගනා ලකුණු 117ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළත්, ඔවුන්ගේ ඉනිම ලකුණු 112කට සීමා වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 144ක ජයක් හිමිකර දෙමිනුයි.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 232/10 (92.3), (ධර්මසේන- 62*, ගුරුසිංහ- 45, අකීබ්- 47/3, නසීර්- 46/2)

පාකිස්ථානු පළමු ඉනිම- 214/10 (118), (සොහේල්- 48, මුරලිදරන්- 72/4, ප්‍රමෝද්‍ය- 29/2, අරවින්ද- 29/2)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 338/9 (120.3), (අර්ජුණ- 87, හතුරුසිංහ- 73, හෂාන්- 50, මොහොමඩ් අක්‍රම්- 39/3)

පාකිස්ථානු දෙවන ඉනිම- 212/10 (76), (මොයින්- 117*, බාසිට්- 27, වාස්- 37/4, ප්‍රමෝද්‍ය- 55/4)

ශ්‍රී ලංකාවට ලකුණු 144ක ජයක්. 

තරගයේ වීරයා- අර්ජුණ රණතුංග

රාවල්පිණ්ඩි ටෙස්ට් තරගය- 2000 වසරේ දී 

2000 වසරේ පැවැත්වුණු ශ්‍රී ලංකා-පාකිස්ථානු ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ රාවල්පිණ්ඩි ක්‍රීඩා පිටියේ දී යි. තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 182කට සීමා වුණේ මුරලිදරන් සහ ප්‍රමෝද්‍ය විසින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා යි. පාකිස්ථානු පළමු ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමෙන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අරවින්ද ලබාගත් අගනා ලකුණු 112 නිසා ඔවුන්ගේ පළමු ඉනිම නිමාවට පත් වුණේ ලකුණු 353ක් ලබා ගැනීමෙන් පසුව යි.

අරවින්දගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 171ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ඇරඹූ  පාකිස්ථානු කණ්ඩායමේ මුල් කඩුලු 8ම ලකුණු 236ක් තුළ දැවීගියා. නමුත්, එම අවස්ථාවේ පිටියේ එක්වූ යුනිස් ඛාන් සහ වසීම් අක්‍රම් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 145ක සබඳතාවය නිසා පාකිස්ථානු ඉනිම ලකුණු 390 දී නිමාව දුටුවේ ශ්‍රී ලංකාවට ලකුණු 220ක ඉලක්කයක් ලබා දෙමින්. එහි දී පාකිස්ථානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ යුනිස් ඛාන්, ලකුණු 107ක් ලබා ගත්තේ සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වෙමින්.

යුනිස් ඛාන් (gettyimages)

ලකුණු 220ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 146ක් ලබා සිටිය දී අර්ජුණගේ ඇඟිල්ලක පන්දුවක් වැදී පිටියෙන් ඉවත් වීමට සිදුවුණා. එම අවස්ථාවේ දී ඉක්මනින්ම ක්‍රියාත්මක වුණු පාකිස්ථානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 177/8 බවට පත් කරනු ලැබුවා. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට වැටුණු අවස්ථාවේ යළි පිටියට පිවිසි අර්ජුණ, තනි අතින් පන්දුවට පහරදෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ රොමේෂ් කළුවිතාරණ සමග එකතු වෙමින්.

කෙටි ලකුණු පුවරුව 

පාකිස්ථානු පළමු ඉනිම- 182/10 (73.5), (ඉන්සාමාම්- 44, යොහානා- 32, ප්‍රමෝද්‍ය- 37/4, මුරලි- 45/4)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 353/10 (123.2), (අරවින්ද- 112, වාස්- 53, වකාර්- 103/4, සක්ලේන්- 78/2,)

පාකිස්ථානු දෙවන ඉනිම- 390/10 (152.1), (යුනිස්- 107, අන්වර්- 84, අක්‍රම්- 79, මුරලිදරන්- 127/4)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 220/8 (83.5), (ජයසූරිය- 56, කළුවිතාරණ-36*, රසාක්- 56/4)

ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්. 

තරගයේ වීරයා- අරවින්ද ද සිල්වා 

පේෂාවර් ටෙස්ට් තරගය- 2000 වසරේ දී 

2000 වසරේ පැවැත්වුණු ශ්‍රී ලංකා-පාකිස්ථානු ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ක්‍රියාත්මක වුණේ පේෂාවර් නුවර, අර්බාබ් නියාස් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 268ක් ලබා ගත්තේ ආරම්භක පිතිකරු මාවන් අතපත්තු ලබා ගත් ලකුණු 75 නිසා යි. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායම ලකුණු 199කට දැවීගියා. පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම, දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 224ක් ලබාගත්තා. එහි දී අවාසනාවන්ත අයුරින් ලකුණු 99කට දැවීගිය රසල් ආනල්ඩ්, එවැනි ඉරණමකට හසු වූ මුල්ම ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසින් ඉතිහාසගත වුණා. 

රසල් ආනල්ඩ් (gettyimages)

ලකුණු 294ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 208ක් ලබා සිටියේ යූසුෆ් යොහානා දියත් කළ අගනා ඉනිම නිසා යි. නමුත්, එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු මුරලිදරන් සහ වාස් පාකිස්ථානු අවසන් කඩුලු 5ම ලකුණු 28ක් තුළ දවාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 57ක ජයක් උරුමකර දෙමින්. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණයත් සමගින් ඔවුන් ටෙස්ට් තරගාවලිය 2-0 ලෙසින් ජයග්‍රහණය කිරීමටත් සමත් වුණා.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 268/10 (109.3), (මාවන්- 75, මහේල- 36, අක්තාර්- 75/5, සොහේල්- 24/2)

පාකිස්ථානු පළමු ඉනිම- 199/10 (88.5), (අන්වර්- 74, ඉන්සාමාම්- 58*, මුරලිදරන්- 77/4, ප්‍රමෝද්‍ය- 25/2)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 224/10 (73.2), (ආනල්ඩ්- 99, අරවින්ද- 31, වකාර්- 38/3, අර්ෂාඩ්- 81/3)

පාකිස්ථානු දෙවන ඉනිම- 236/10 (70.1), (යොහානා- 88, අන්වර්- 36, මුරලිදරන්- 71/6, වාස්- 69/3)

ශ්‍රී ලංකාවට ලකුණු 57ක ජයක් 

තරගයේ වීරයා- මුත්තයියා මුරලිදරන්

ලාහෝර් ටෙස්ට් තරගය- 2002 වසරේ දී 

2001/2002 ආසියානු ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ලාහෝර් නුවර, ගඩාෆි ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 234ක් පමණයි. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 528ක් ලබා ගත්තේ පාකිස්ථානු කණ්ඩායමට වඩා ලකුණු 294ක් ඉදිරියෙන් සිටිමින්. එහි දී ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ සංගක්කාර අගනා ලකුණු 230ක් ලබා ගන්නා විට, ජයසූරිය සහ මහේල අර්ධ ශතක වාර්තා කළා. එසේම පාකිස්ථානු වේග පන්දු යවන්නෙකු වුණු මොහොමඩ් සාමි, මෙම ඉනිමේ දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමත් සුවිශේෂී සිදුවීමක් වුණා.

සංගක්කාරගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉන්පසුව, සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් ඉන්සාමාම් සහ අෆ්රිඩි ලබා ගත් අර්ධ ශතක නිසා ඔවුන්ගේ ඉනිම ලකුණු 325කට සීමා වුණා. ඒ අනුව ලකුණු 32ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

කෙටි ලකුණු පුවරුව 

පාකිස්ථානු පළමු ඉනිම- 234/10 (67), (යුනිස්- 46, මුරලිදරන්- 55/4, බුද්ධික- 843, වාස්- 62/2)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 528/10 (139.5), (සංගක්කාර- 230, ජයසූරිය- 88, මහේල- 68, සාමි- 120/4,)

පාකිස්ථානු දෙවන ඉනිම- 325/10 (101.5), (ඉන්සාමාම්- 99, අෆ්රිඩි- 70, මුරලිදරන්- 72/4, වාස්- 85/4)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 33/2 (6.2), (සංගක්කාර- 14*, සාමි- 15/1)

ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. 

තරගයේ වීරයා- කුමාර් සංගක්කාර

ෆයිසලාබාද් ටෙස්ට් තරගය- 2004 වසරේ දී 

2004 වසරේ පැවැත්වුණු ශ්‍රී ලංකා-පාකිස්ථාන් ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ ෆයිසලාබාද් නුවර, ඉක්බාල් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 243ක් ලබාගත්තේ තිලාන් සමරවීරගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ලකුණු 100 නිසා යි. ඉන්පසුව, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායම ලකුණු 264 ලබා ගත්තේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 21ක් ඉදිරියෙන් සිටිමින්. ලකුණු 21ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 8ම ලකුණු 337ක් තුළ දැවීගියා. නමුත්, එම අවස්ථාවේ දී අග පෙළ පිතිකරුවන් රැකගෙන ජයසූරිය ලබා ගත් ලකුණු 253 නිසා ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 438 දී නිමාව දුටුවේ පාකිස්ථානයට ලකුණු 418ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමින්. ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් ලැබුණු එම දැවැන්ත ඉලක්කය හඹා ගිය පාකිස්ථානු පිතිකරුවන් සියලුදෙනාම දැවී ලබා ගත්තේ ලකුණු 216ක් පමණ යි. ඒ අනුව ශ්‍රී ලංකාවට එම තරගයෙන් ලකුණු 201ක දැවැන්ත ජයක් හිමි වුණා.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 243/10 (81.4), (සමරවීර- 100, ජයසූරිය- 38 අක්තාර්- 60/5, සාමි- 71/4)

පාකිස්ථානු පළමු ඉනිම- 26410 (84.1), (හමීඩ්- 58, මලික්- 48, හේරත්- 68/3, දිල්හාර- 65/2) 

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 438/10 (109.2), (ජයසූරිය- 253, සංගක්කාර- 59, මහේල- 57, කනේරියා- 117/4)

පාකිස්ථානු දෙවන ඉනිම- 216/10 (79.2), (මලික්- 59, ෆර්හාට්- 53, හේරත්- 64/4, දිල්හාර- 77/4)

ශ්‍රී ලංකාවට ලකුණු 201ක ජයක්. 

තරගයේ වීරයා- සනත් ජයසූරිය 

කවරයේ ඡායාරූපය- ජයසූරිය ලකුණු 253ක් ලබා ගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

Related Articles