Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයේ දී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණ

2020 වසරේ දී ශ්‍රී ලංකාව සහභාගි වන මුල්ම ටෙස්ට් තරගාවලිය ජනවාරි 19 වැනි දා සිම්බාබ්වේ දේශයේ දී ආරම්භ වීමට නියමිත යි. ශ්‍රී ලංකාවට නුපුරුදු බිමක් නොවන සිම්බාබ්වේ දේශය බලා ඔවුන් මුල්මවරට   සංචාරය කළේ 1994 වසරේ දී යි. එදා සිට අද දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයේ දී ටෙස්ට් තරග 10ක් ක්‍රීඩා කර තිබෙනවා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 5ක් ජයග්‍රහණය කරන විට ඉතිරි තරග ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට සමත් වුණා. එසේ නම් මෙම ලිපිය ලියැවෙන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයේ දී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණ පිළිබඳව යළි සිහිපත් කිරීමට යි.

සොයිසාගේ ලෝක වාර්තාව සමගින් ලබාගත් ටෙස්ට් ජයග්‍රහණය

1999 වසරේ දී පැවති ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ කාසියේ වාසිය පරාජය වීමෙන් පසුව මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු පුවරුවට කිසිදු ලකුණක් එක්වීමට පෙර දැවීගියේ නුවන් සොයිසා ලබාගත් කඩුලු ත්‍රිත්වය නිසා යි. එහි දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම කඩුලු ත්‍රිත්වය වාර්තා කළ සොයිසා ඔහු යැවූ පළමු පන්දුවාරයේ මුල්ම පන්දු තුනෙන් මෙම කඩුලු ත්‍රිත්වය ලබාගැනීම විරල ගණයේ සිදුවීමක් වුණා. 

නුවන් සොයිසා (gettyimages)

එලෙස සිම්බාබ්වේ පිතිකරුවන් අසාර්ථක ආරම්භයක් ලබාගත් අවස්ථාවේ නායක ඇන්ඩි ෆ්ලවර් සටන්කාමී ඉනිමක් දියත් කරමින් ලකුණු 74ක් ලබාගත්ත ද, එය ඉනිම ගොඩනැගීමට ප්‍රමාණවත් වුණේ නැහැ. එම නිසාම සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 174කට සීමා වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත් කරමින්.

ඇන්ඩි ෆ්ලවර් (gettyimages)

සිම්බාබ්වේ කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමෙන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 432ක් ලබාගත්තා. එහි දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ දිල්ෂාන්, නොදැවී ලකුණු 163ක් ලබාගත්තේ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින්.

තිලකරත්න දිල්ෂාන් (gettyimages)

ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 258ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් නායක ඇන්ඩි ලබාගත් ලකුණු 129 නිසා ඔවුන්ගේ ලකුණු පුවරුව 284/6 ලෙසින් දිස් වුණා. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ජයසූරිය, සිම්බාබ්වේ කණ්ඩායමේ අවසන් කඩුලු 4ම ලකුණු 8කට දවාගත්තේ සිම්බාබ්වේ දෙවන ඉනිම ලකුණු 292කට සීමා කරමින්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණු ලකුණු 35 ඔවුන් කඩුලු 4ක් දැවී තිබිය දී ලබාගෙන සිම්බාබ්වේ දේශයේ දී මුල්මවරට ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා.

කෙටි ලකුණු පුවරුව 

සිම්බාබ්වේ පළමු ඉනිම- 174/10, (ඇන්ඩි ෆ්ලවර්- 74, සොයිසා- 22/3, මුරලිදරන්- 44/3, වාස්- 50/3)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 432/10, (දිල්ෂාන්- 163*, මහේල- 91, ආනල්ඩ්- 49, බ්‍රයන් ස්ට්‍රෑන්ග්- 70/2)

සිම්බාබ්වේ දෙවන ඉනිම- 292/10, (ඇන්ඩි ෆ්ලවර්- 129, ගයි විටෝල්- 53*, ජයසූරිය- 40/4)  

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 38/4, (කළුවිතාරණ- 14*, බ්‍රෙන්ට්- 21/3)

ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්. 

තරගයේ වීරයා- තිලකරත්න දිල්ෂාන් 

වොල්ෂ්ගේ ලෝක වාර්තාව මුරලි සතු කරගත් ටෙස්ට් තරගය 

2004 ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය යටතේ හරාරේ පිටියේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 199ක් පමණ යි. එහි දී ලකුණු 45ක් ලබාගත් උට්සෙයා සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගන්නා විට ඔවුන්ගේ ඉනිම සුණුවිසුණු කළ මුරලිදරන් කඩුලු 6ක් දවාගත්තේ ලකුණු 45ක් පමණක් ලබාදෙමින්. 

 මුරලිදරන් කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

සිම්බාබ්වේ ඉනිම ඉක්මනින්ම නිමාවට පත් වීමෙන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් සනත් සහ මාවන් සාර්ථක ආරම්භයක් ලබාදුන්නේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 181ක සබඳතාවයක් ගොඩනගමින්. එහි දී පන්දු 147කින් ලකුණු 157ක් ලබා සිටි ජයසූරිය දැවීයාමත් සමගම එම සබඳතාවය නිමා වුණත්, මාවන් ලබාගත් ලකුණු 170 නිසා ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 541කට සීමා වුණේ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 342ක් ඉදිරියෙන් සිටිමින්.

ජයසූරිය පන්දුවට පහරදෙමින් (gettyimages)

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 342ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 18ක් තුළ දැවීගියේ වාස් සහ සොයිසා විසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි. එලෙස ආරම්භයේ දී ම බිඳවැටුණු සිම්බාබ්වේ ඉනිම යළි ගොඩගැනීමට කිසිදු පිතිකරුවෙකුට හැකි වුණේ නැහැ. එම නිසාම සිම්බාබ්වේ කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 102කට දැවීගියේ ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 240ක දැවැන්ත ජයක් හිමිකර දෙමින්. එහි දී මුරලිදරන් විසින් සිම්බාබ්වේ පිතිකරු  එන්කාලා ව දවාගැනීමත් සමගම කොදෙව් පන්දු යවන්නෙකු වුණු කට්නි වොල්ෂ්, ටෙස්ට් කඩුලු 519ක් දවාගනිමින් තබා තිබුණු ලෝක වාර්තාව බිඳ වැටුණා.

මුරලිදරන් ලෝක වාර්තාව බිඳ දැමූ අවස්ථාව (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

සිම්බාබ්වේ පළමු ඉනිම- 199/10, (උට්සෙයා- 45, මුරලිදරන්- 45/6, සොයිසා- 53/3,)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 541/10, (මාවන්- 170, සනත්- 157, මහවියර්- 97/3, පනයන්ගාරා- 101/3)

සිම්බාබ්වේ දෙවන ඉනිම- 102/10, (එන්කාලා- 24, සොයිසා- 20/5, මුරලිදරන්- 37/2)  

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 240ක ජයක්. 

තරගයේ වීරයා- මුත්තයියා මුරලිදරන්

මාවන් සහ සංගක්කාර ලබාගත් ද්විත්ව ශතක නිසා තවත් පහසු ජයක් 

2004 ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය පැවැත්වුණේ බුලවායෝ නුවර ක්වීන්ස් පාක් ඕවල් පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 228ක් ලබාගත්තේ ඊබ්‍රාහිම් ලබාගත් ලකුණු 70 නිසා යි. ඉන්පසුව, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංගක්කාර සහ මාවන් ලබාගත් ද්විත්ව ශතක නිසා ඔවුන්ගේ ඉනිම නිමාව දුටුවේ 713/3 ලෙස යි. එහි දී සංගක්කාර ලකුණු 270ක් ලබාගන්නා විට මාවන් ලකුණු 249ක් ලබාගත්තේ ලකුණු 438ක දැවැන්ත සබඳතාවයක් ගොඩනගමින්. එලෙස මාවන් සහ සංගක්කාර ලබාගත් ද්විත්ව ශතක ඔවුන් දෙපල එම අවදියේ ටෙස්ට් පිටියේ දී ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණයන් ලෙසින් සටහන් වුණා. 

මාවන්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉන්පසුව, ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 485ක් අවශ්‍ය වටපිටාවක සිය දෙවන ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ පිතිකරුවන් එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 125ක් ලබා සිටියේ ටේලර් ලබාගත් අර්ධ ශතකය නිසා යි. නමුත්, එම අවස්ථාවේ දී ටේලර් ලකුණු 61කට දැවීයාමත් සමගම කඩාවැටුණු සිම්බාබ්වේ ඉනිම ලකුණු 231 දී නිමාව දුටුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 254ක විශිෂ්ට ජයග්‍රහණයක් උරුමකර දෙමින්.

කෙටි ලකුණු පුවරුව 

සිම්බාබ්වේ පළමු ඉනිම- 228/10, (ඊබ්‍රාහිම්- 70, වාස්- 41/3, මුරලිදරන්- 58/2)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 713/3, (සංගක්කාර- 270, මාවන්- 249, මහේල- 100, චිගුම්බුරා- 108/1)

සිම්බාබ්වේ දෙවන ඉනිම- 231/10, (ටේලර්- 61, මුරලිදරන්- 79/4, සොයිසා- 27/2)  

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 254ක ජයක්. 

තරගයේ වීරයා- කුමාර් සංගක්කාර 

කුසල් පෙරේරාගේ මංගල ටෙස්ට් ශතකය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි 

2016 ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය රංගන හේරත් සිය කණ්ඩායමට නායකත්වය ලබාදුන් මුල්ම තරගාවලිය ලෙසින් ඉතිහාසගත වුණා. එම තරගාවලිය යටතේ හරාරේ පිටියේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 537ක් වාර්තා කළා. එහි දී කුසල් පෙරේරා පන්දු 121කින් ලකුණු 110ක් ලබාගෙන සිය මංගල ටෙස්ට් ශතකය ලබාගන්නා විට ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ තරංග නොදැවී ලකුණු 110ක් ලබාගත්තේ පන්දු 208කට මුහුණදෙමින්.

කුසල් පෙරේරාගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 139කට දැවීගියා. නමුත්, එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු සිම්බාබ්වේ නායක ක්‍රීමර්, නොදැවී ලකුණු 102ක් ලබාගනිමින් වාර්තා කළ ශතකය නිසා සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 373කට සීමා වුණා.

ක්‍රීමර්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණු 164ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 247ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළේ සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 412ක ඉලක්කයක් ලබාදෙමින්. තරගයේ අවසන් දිනයේ දී ලකුණු 412ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිතිකරුවන් දිනය නිමා වීමට සුළු මොහොතකට පෙර ලකුණු 186කට දැවීගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 225ක ජයක් හිමිකර දෙමින්.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 537/10, (කුසල් පෙරේරා- 110, තරංග- 110*, කෞෂාල්- 94, ක්‍රීමර්- 142/4)

සිම්බාබ්වේ පළමු ඉනිම- 373/10, (ක්‍රීමර්- 102*, මුවර්- 79, ලක්මාල්- 69/3, හේරත්- 97/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 247/6, (දිමුත්- 110, ධනංජය- 64, මුම්බා- 50/4)

සිම්බාබ්වේ දෙවන ඉනිම- 186/10, (ක්‍රීමර්- 43, විලියම්ස්- 40, දිල්රුවන්- 34/3, හේරත්- 38/3)  

ශ්‍රී ලංකාවට ලකුණු 225ක ජයක්. 

තරගයේ වීරයා- ග්‍රැහැම් ක්‍රීමර් 

හේරත් හමුවේ සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ වුණු ටෙස්ට් තරගය 

2016 ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 504ක් ලබාගත්තේ ධනංජය සහ අසේල ලබාගත් ශතක නිසා යි. එහි දී ධනංජය ද සිල්වා ලකුණු 127ක් ලබාගන්නා විට අසේල ලකුණු 116ක් ලබාගත්තේ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින්.

අසේලගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාව දැකීමෙන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනාම දැවී ලකුණු 272ක් ලබාගත්තේ හේරත් ලකුණු 89කට කඩුලු 5ක් ලබාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි. සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණු 232ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 9ක් දැවී ලකුණු 258ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 491ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමින්. තරගයේ සිව්වන දිනයේ දී ජයග්‍රාහී ඉලක්කය හඹායාම ආරම්භ කළ සිම්බාබ්වේ පිතිකරුවන්, රංගන හේරත් විසින් සිදුකළ මනරම් පන්දු යැවීම ඉදිරියේ අසරණ වුණු නිසාම ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 2233කට සීමා වුණා. 

රංගන හේරත් පන්දු යවමින් (gettyimages)

එහි දී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 257ක ජයග්‍රහණයෙහි නියමුවා වුණු රංගන, ලකුණු 63කට කඩුලු 8ක් දවාගැනීමට සමත් වුණා. එලෙස රංගන වාර්තා කළ පන්දු යැවීම ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු සිම්බාබ්වේ දේශයේ දී ඉනිමක වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. එසේම එය ශ්‍රී ලංකා නායකයෙකු ටෙස්ට් තරගයක වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 504/10, (ධනංජය- 127, අසේල- 116*, තිරිපානෝ- 91/3, ක්‍රීමර්- 136/3)

සිම්බාබ්වේ පළමු ඉනිම- 272/10, (චාරි- 80, අර්වින්- 64, හේරත්- 89/5, දිල්රුවන්- 51/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 258/9/, (දිමුත්- 88, කුසල් පෙරේරා- 62, ක්‍රීමර්- 91/4, මුම්බා- 67/3)

සිම්බාබ්වේ දෙවන ඉනිම- 233/10, (අර්වින්- 72, හේරත්- 63/8)  

ශ්‍රී ලංකාවට ලකුණු 257ක ජයක්. 

තරගයේ වීරයා- රංගන හේරත් 

කවරයේ ඡායාරූපය- 2004 ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ දී ලෝක වාර්තාව බිඳ දැමූ මුරලිට සුභ පතන කණ්ඩායමේ ක්‍රීඩකයන් (gettyimages)

Related Articles