Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් IPL පිටියේ දැක්වූ සුවිශේෂී දස්කම්

2022 IPL ක්‍රිකට් තරගාවලිය මුම්බායි නුවර වන්කඩේ පිටියේ දී එළඹෙන 26 වැනිදා ආරම්භ වීමට නියමිත යි. එම තරගාවලිය සඳහා වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න සහ භානුක රාජපක්ෂ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

එය 2014 වසරෙන් පසු වැඩිම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රමාණයකට IPL තරග වරම් ලැබුණු අවස්ථාව බවට පත් වුණා. එනිසා මෙවර IPL තරගාවලිය නැරඹීමට මෙරට ක්‍රිකට් ලෝලීන් දැඩි උනන්දුවකින් පසුවෙනවා.

IPL වෙන්දේසියේ දී ඉහළ මිලකට අලෙවි වුණු වනිඳු හසරංග- gettyimages.com

 

2008 දී ආරම්භ වුණු IPL තරගාවලිය සඳහා මුල් යුගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් සහභාගි වුණා. ඒ අතරට සනත් ජයසූරිය, ලසිත් මාලිංග, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, චමින්ද වාස්, තිලකරත්න දිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස්, ෆර්වීස් මහරුෆ්, තිසර පෙරේරා, සුරාජ් රන්දිව්, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, සචිත්‍ර සේනානායක, ඉසුරු උදාන, දිල්හාර ප්‍රනාන්දු,  වැනි ක්‍රීඩකයන් ඇතුළත් වුණා.

එදා ඔවුන් IPL තරග බිමේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ අතුරින් අමතක නොවන දස්කම් 7ක් පිළිබඳ මතකය මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

මාලිංග 2012 IPL තරගාවලියේ දී – gettyimages.com

7). ලසිත් මාලිංග (මුම්බායි)- 16/4 (3.4) ඩෙකෑන්ට එරෙහි ව 2012 දී 

IPL තරගාවලි ඉතිහාසයේ වැඩි ම කඩුලු ලාභියා වශයෙන් වැජඹෙන්නේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග යි. ඔහු 2012 IPL තරගාවලියේ දී මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 22ක් බිඳ දැමුවා. ඒ අනුව ඔහු තරගාවලියේ තෙවන කඩුලු ලාභියා බවට පත්වුණා. එවර තරගාවලියේ දී ඔහු සිය හොඳ ම පන්දු යැවීම වාර්තා කළේ ඩෙකෑන් කණ්ඩායමට එරෙහි ව යි. 

එදා දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මාලිංග පන්දුවාර 3.4ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 16කට කඩුලු 4ක් බිඳ දැමුවා. එහි දී කැමරන් වයිට්, අමිත් මිශ්‍රා, ඩේල් ස්ටේන්, සහ ප්‍රතාප් සිං යන පිතිකරුවන් මාලිංග යොමු කළ පන්දු හමුවේ දැවී ගියා. මාලිංගගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඩෙකෑන් ඉනිම එදා ලකුණු 100කට සීමා වුණා. ඒ වාගේ ම මුම්බායි කණ්ඩායමට කඩුලු 5ක පහසු ජයක් හිමි වුණා. 

කැමරන් වයිට්ගේ කඩුල්ල දවාගැනීමේ සතුට සමරන මාලිංග – gettyimages.com

 

6). මහේල ජයවර්ධන (පන්ජාබ්)- 93* (62) ඩෙකෑන්ට එරෙහිව 2010 දී 

මහේල ජයවර්ධන 2010 IPL තරගාවලියේ දී පන්ජාබ් කණ්ඩායම නියෝජනය කළා. එවර තරග වාරයේ දී ඔහු ඉනිම් 13ක දී පන්දුවට පහර දෙමින් ලකුණු 439ක් ලබා ගැනීමට සමත් වුණා. එය මහේලගේ පිත්තෙන් IPL තරග වාරයක දී වාර්තා වුණු වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. එවර තරග වාරයේ මහේල ලබා ගත් ලකුණු 439ට ශතකයක් සහ අර්ධ ශතකයක් ද ඇතුළත් වුණා.

මහේල 2010 IPL තරගාවලියේ දී – gettyimages.com

 

ඒ අතුරින් ඔහු අර්ධ ශතකය වාර්තා කළේ ඩෙකෑන් කණ්ඩායමට එරෙහි ව යි. එදා පන්ජාබ් ඉනිම ආරම්භ කළ මහේල පන්දුවාර 20 පුරා නොදැවී පන්දුවට පහර දෙමින් පන්දු 62කින් ලකුණු 93ක් වාර්තා කළා. එම අගනා ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වුණා.

මහේල එසේ ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිම නිසා පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 174ක් ලබා ගැනීමට හැකි වුණා. ඉන් පසුව එම ඉලක්කය හඹා ගිය ප්‍රතිවාදී කණ්ඩායම අවසන් පන්දු වාරයේ දී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය බව මෙහි දී සිහිපත් කළ යුතුයි.

මහේල ලකුණු 93ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් – adigannys.wordpress.com

 

5). කුමාර් සංගක්කාර (පන්ජාබ් කිංග්ස් XI )- 94 (56) මුම්බායිට එරෙහි ව 2008 දී 

2008 IPL තරගාවලියේ දී පන්ජාබ් කිංග්ස් XI කණ්ඩායමේ වැඩි ම ලකුණු ලාභියා බවට දෙවැනියට පත් වුණු කුමාර් සංගක්කාර ඉනිම් 9ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 320ක් ලබා ගත්තා. 

එහි දී ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණේ මුම්බායි කණ්ඩායමට එරෙහි ව පන්දු 56කින් ලබා ගත් වේගවත් ලකුණු 94යි.  ඒ වාගේම එය සංගක්කාරගේ IPL තරග දිවියේ වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙස ද වාර්තා වුණා. 

Kumar Sangakkara
සංගක්කාර 2008 IPL තරගාවලියේ දී – cricketaddictor.com 

 

ෂෝන් පොලොක්, ඩ්වේන් බ්‍රාවෝ හර්බජාන් සිං, අශීෂ් නෙහෙරා වැනි ප්‍රබල පන්දු යවන්නන් හමුවේ සංගක්කාරගේ පිත්තෙන් එදා වාර්තා වුණු සුපිරි ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහරක් අන්තර්ගත වුණා. එලෙස සංගක්කාරගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ඉනිම නිසා පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 182ක් ලබා ගැනීමට හැකි වුණා.

ඉන් අනතුරු ව පන්ජාබ් කිංග්ස් XI පන්දු යවන්නන් සිය වගකීම මනාව ඉටු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්ජාබ් කණ්ඩායමට ලකුණු 66ක පහසු ජයක් උරුම වුණා. එම තරගයේ වීරයා සම්මානය සංගක්කාරට හිමි වුණා.

සංගක්කාරගේ ඉනිමේ අවස්ථාවක්  – sports.ndtv.com

 

4). 2019 IPL අවසන් තරගයේ දී මාලිංග යැවූ සුපිරි අවසන් පන්දු වාරය 

2019 IPL තරගාවලියේ අවසන් තරගය  මුම්බායි සහ චෙන්නායි කණ්ඩායම් අතර ක්‍රියාත්මක වුණා. එම තරගයේ දී කාසියේ වාසිය දිනා ගෙන පන්දුවට මුලින් ම පහරදුන් මුම්බායි කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 149ක් පමණ යි.   ඉන් පසුව ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි කණ්ඩායම 19 වන පන්දු වාරය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 141ක් ලබා ගෙන සිටියා.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ලකුණු 41ක් ලබාගත් පොලාර්ඩ් (gettyimages.com)

 

එහිදී ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් නොදැවී ලකුණු 76ක් ලබා ගෙන කඩුල්ලේ රැඳී සිටි නිසා  තරගයේ ජයග්‍රහණය චෙන්නායි කණ්ඩායමට හිමි වනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා.

එවැනි  තීරණාත්මක මොහොතක මුම්බායි නායකයා අවසන් පන්දු වාරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවූවා.  එම අවස්ථාව වන විට මාලිංග පන්දුවාර 3ක් යවමින් ලකුණු 42ක් ප්‍රතිවාදීන්ට ලබා දී තිබියදීත් ඔහුට අවසන් පන්දුවාරය ලබා දීම පිළිබඳ බොහෝ දෙනෙක් මවිතයට පත්වුණා. 

ෂේන් වොට්සන්ගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

මාලිංග එදා ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයේ මුල් පන්දු 3ට චෙන්නායි පිතිකරුවන්ට ලබා ගත හැකි වුණේ  ලකුණු 4ක් පමණ යි.  ඉන් පසු මාලිංලගෙන් එල්ල වුණු යෝකර් පන්දුවට ලකුණු 2ක් ලබා ගැනීමට යාමේ දී ලකුණු 80ක් ලබා සිටි වොට්සන් දුවද්දී දැවී ගියා.

ඒ මොහොතේ නව පිතිකරු ලෙසින් පිටියට පිවිසි ෂාඩූල් ටාකූර් මාලිංග යැවූ පස්වන පන්දුවට ලකුණු දෙකක් ලබා ගැනීමත් සමඟින් ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 2ක් අවශ්‍ය වුණා.

මාලිංග අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරමින්  – gettyimages.com

 

සියලු දෙනාගේ ම දෑස් ක්‍රීඩා පිටිය වෙත යොමු ව තිබුණු මොහොතක ලසිත් මාලිංග නම් සුපිරි පන්දු යවන්නා ටාකූර්ට යොමු කළ යෝකර් පන්දුව හමුවේ ඔහු අන්දමන්ද වුණා. එම පන්දුව හරි හැටි තේරුම් ගැනීමට නොහැකි වීම නිසා ටාකූර් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්  මුම්බායි කණ්ඩායමට ලකුණු 1ක තියුණු ජයක් හිමි වුණා.  එලෙස මුම්බායි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය මාලිංග IPL ඉතිහාසයේ වීරයෙක් බවට පත් වුණා.

මාලිංග අවසන් පන්දුවේ දී කඩුල්ල දවාගත් මොහොත – gettyimages.com

 

3). මහේල ජයවර්ධන (පන්ජාබ් කිංග්ස් XI ) – 110* (59) කොල්කටාට එරෙහිව 2010 දී 

2010 IPL තරගාවලියේ 34 වන තරගය පන්ජාබ් සහ කොල්කටා කණ්ඩායම් අතර පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පන්දුවට මුලින් ම පහර දුන් ප්‍රබල කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 200ක් ලබා ගත්තා.

එහි දී කොල්කටා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රිස් ගේල් දැවැන්ත හයේ පහර 8ක් සමඟින් පන්දු 42කින් ලකුණු 88ක් ලබා ගත්තා.

ගේල්ගේ ඉනිමේ අවස්ථාවක් – espncricinfo.com

 

ඉන් අනතුරුව ලකුණු 201ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කිංග්ස් XI කණ්ඩායම වෙනුවෙන් මහේල ඉනිම ආරම්භ කළා. කොල්කටා පන්දු යවන්නන්ට එරෙහිව එදා අමතක නොවන ප්‍රහාරයක් සිදු   කළ මහේල පිටිය පුරාම පහරවල් එල්ල කරමින් පහසුවෙන් ලකුණු ලබා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 18.2ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

එහි දී කිසිදා අමතක නොවන  ඉනිමක් ක්‍රීඩා කළ මහේල හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් පන්දු 59කදී නොදැවී ලකුණු 110ක් ලබා ගත්තා. එය මහේලගේ IPL තරග දිවියේ වාර්තා වුණු එක ම ශතකය බවට පත් වුණා.  

මහේල සිය ශතකය සම්පූර්ණ කළ මොහොත – gulfnews.com

 

2). ලසිත් මාලිංග (මුම්බායි ඉන්දියන්ස්)- 13/5 (3.4) දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්ට එරෙහි ව 2011 දී 

2011 IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වුණු ලසිත් මාලිංග තරග 16ක දී කඩුලු 28ක් දවා ගැනීමට සමත් වුණා. එය එම අවධිය වන විට යම් පන්දු යවන්නකු තනි IPL තරගාවලියක දී දවාගත් වැඩි ම කඩුලු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා.

එහි දී ඔහු අතින් බිඳ වැටුණේ රුද්‍රා ප්‍රතාප් සිං 2009 IPL තරගාවලියේ දී කඩුලු 23ක් දවා ගෙන තබා තිබුණු වාර්තාව යි. 

මාලිංග 2011 IPL තරගාවලියේ දී දස්කම් දක්වමින් – gettyimages.com

 

2011 IPL තරගාවලියේ සිව්වන තරගය මුම්බායි සහ දිල්ලි යන කණ්ඩායම් අතර පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පන්දුවාර 17.4ක් තුළ සියලු දෙනාම දැවී ලබාගත්තේ ලකුණු 95ක් පමණ යි. එහි දී දිල්ලි ඉනිම සුණුවිසුණු කළ ලසිත් මාලිංග ලකුණු 13කට කඩුලු 5ක් දවා ගත්තා.

එය මාලිංගගේ IPL තරග දිවියේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. මාලිංග පන්දුවෙන් පෑ එම සුපිරි දස්කම් නිසා මුම්බායි කණ්ඩායමට කඩුලු 8ක පහසු ජයක් හිමි වුණා. ඒ වාගේ ම මාලිංග තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා.

මාලිංග දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් ඉනිම සුණුවිසුණු කරමින් – gettyimages.com

 

1). සනත් ජයසූරිය (මුම්බායි ඉන්දියන්ස්) – 114* (48) චෙන්නායිට එරෙහිව 2008 දී 

2008 වසරේ පැවති මංගල IPL  තරගාවලියේ දී ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කළා. එම තරගාවලිය යටතේ පැවති 36 වන තරගයේ දී චෙන්නායි සහ මුම්බායි යන කණ්ඩායම් උරෙනුර ගැටුණා. 

මුම්බායි නුවර වන්කඩේ පිටියේ දී ක්‍රියාත්මක වුණු එම තරගයේ දී  පන්දුවට මුලින් ම පහර දුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා. 

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ලකුණු 53ක් ලබාගත් බද්‍රිනාත් – crictracker.com

 

එදා ලකුණු 157ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ  සචින් ටෙන්ඩුල්කාර් සහ සනත් ජයසූරිය යන සුපිරි පිතිකරු යුගළය යි. එහි දී අන්තයේ සිටි ටෙන්ඩුල්කාර් තරග නරඹන්නකු බවට පත් කළ ජයසූරිය චෙන්නායි පන්දු යවන්නන් හමුවේ කිසිදා අමතක නොවන  සුපිරි පිති ප්‍රහාරයක් ක්‍රියාත්මක කළා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්  පන්දුවාර 13.5ක දී කඩුල්ලක්  දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට මුම්බායි කණ්ඩායමට හැකිවුණා.  

ජයසූරිය සහ ටෙන්ඩුල්කාර් පන්දුවට පහරදෙමින්- hindustantimes.com

 

එදා අති විශිෂ්ට පිති හරඹයක නියැළුණු ජයසූරිය පන්දු 48ක දී හතරේ පහර 9ක් සහ හයේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 114ක් ලබා ගත්තා. එහි දී ඔහු මන්ප්‍රීට් ගෝනිගේ පන්දු වාරයකට ලකුණු 19ක් සහ මෝර්නි මෝකල්ගේ පන්දු වාරයකට ලකුණු 20ක් ලබා ගෙන, ඉන් නොනැවතී චාමර කපුගෙදර හමුවේ පන්දු 5ක දී ලකුණු 26ක් ලබා ගෙන තරගය අවසන් කිරීම කිසිදා අමතක නොවන සිදුවීමක් බවට පත්වුණා.

එම ඉනිම IPL ඉතිහාසය තුළ ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා. 

සනත් ජයසූරිය IPL තරග බිමේ දී – gettyimages.com

කවරයේ ඡායාරූපය- ජයසූරිය ශතකය ලබාගත් මොහොත - Twitter.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

iplt20.com

Related Articles