Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රග්බි සහ පාපන්දු තහනමෙන් මිය යන ශ්‍රී ලංකා ක්‍රීඩාව

ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රය කළඹවන මාතෘකා කිහිපයක් ම පසුගිය සමයේ සමාජ ලත වන අයුරු දකින්නට ලැබුණා. මේවා ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයන් සම්බන්ධව කතා වූ කාරණානම් නොවීම අවාසනාවක්. දිගින් දිගට ම නිර්මාණය වූ මෙම කතාබස්වල තීරණාත්මක අවසානය වූයේ ශ්‍රී ලංකාව සතු ප්‍රධානත ම ක්‍රීඩා ද්විත්වයක් ජාත්‍යන්තරයේ තහනමට ලක් වීමෙන් අනතුරුව යි.

වර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩා මෙන් ම ලොව පවතින ජනප්‍රියත ම ක්‍රීඩා ද්විත්වයක් වන පාපන්දු සහ රග්බි ක්‍රීඩාවලින් තවදුරටත් ජාත්‍යන්තරය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙන්නේ නෑ. එයට මෙම තහනම හේතු වී තිබෙනවා. පාපන්දු ක්‍රීඩාවෙන් මෑතකාලීන ව දැඩි පසුබෑමකට ලක් ව සිටින ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් හි 207 වන ස්ථානය දක්වා පසුබැස තිබුණා. එය ඉතිහාසයේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමක් ලැබූ පහළ ම ස්ථානය යි.

ශ්‍රී ලංකා රග්බි ද ජාත්‍යන්තරයේ තහනමට ලක් වුණා – www.srilankarugby.com

රග්බි ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව එයට හාත්පසින් ම වෙනස් තත්ත්වයක් හිමිකර ගෙන සිටිනවා. වත්මන් ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට 46 වන ස්ථානය හිමි යි. ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම වසර පුරාවට ලෝකයේ විවිධ සත් සාමාජික තරගාවලිවල දී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුණා. මේ වන විට ඒ සියල්ල ම අහිමි වී ගොස් තිබෙනවා.

පාපන්දු තහනම් වීම

මේ වසරේ ජනවාරි මස 23 වැනි දා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) වෙබ් අඩවිය වාර්තා කොට තිබෙන ලිපියකට අනුව ජනවාරි මස 14 වනදා ජාත්‍යන්තර පාපන්දු කාර්යංශය ගත් තීරණයක් අනුව ශ්‍රී ලංකා පාපන්දු තහනම් කිරීමට කටයුතු යෙදූ බව සඳහන් කොට තිබෙනවා. ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය නියමිත දිනට පවත්වා නව කමිටුවක් පත්කර නොගැනීම සහ දේශපාලන මැදිහත්වීම් එයට ප්‍රධාන හේතූන් බව සඳහන් කළ හැකි යි.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම – www.srilankasports.com

ශ්‍රී ලංකා පාපන්දුවේ වාර්ෂික නිලවරණය පසුගිය ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිත ව තිබුණා. නියමිත කාලයට නිලවරණයක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කළේ නෑ. මේ නිසා ශ්‍රී ලංකා ක්‍රීඩා අධ්‍යක්ෂවරයා අගෝස්තු මාසයට ප්‍රථමයෙන් නිලවරණයක් පවත්වන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. එය ද සිදු වූයේ නෑ. මේ කාලයේ දී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ද නිලවරණය පවත්වන මෙන් ශ්‍රී ලංකා පාපන්දුවට අනතුරු අඟවමින් සිටීම විශේෂත්වයක්.

ඉන් පසුව ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ විශේෂ ගැසට් නිවේදනයක් කරමින් නිලවරණය පැවැත්වීමට දිනයක් ලබා දුන්නා. ඔහුගේ ව්‍යාජ අත්සනක් භාවිතා කොට වෙනත් ගැසට් පත්‍රයක් නිර්මාණය කිරීම පාර්ලිමේන්තුව තුළ විවාද ඇති කිරීමට පවා සමත් වුණා. මේ නිසා පෙර ගැසට් පත්‍රය අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළා. මෙම සිද්ධීන් නිසා තවදුරටත් නිලවරණය කල් යද්දී පාපන්දු සම්මේලනයේ බලතල ක්‍රීඩා අමාත්‍යංශය සතු වුණා.

ශ්‍රී ලංකාව සහ උස්බකිස්තානය අතර පසුගියදා පැවති ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගය අතරතුර – www.afc.com

2023 ජනවාරි 03 වනවිට නිලවරණය පවත්වන මෙන් FIFA ප්‍රකාශ කළත් නිලවරණය ක්‍රියාත්මක වූයේ ජනවාරි 13 වනදා යි. එදින පැවති නිලවරණයෙන් ජේ ශ්‍රී රංගා නව පාපන්දු සභාපති වශයෙන් තේරී පත් වුණා. ඒ වන විටත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ලබාදුන් දින ඉක්මවා තිබීමත් තුන්වන පාර්ශවවල අනවශ්‍ය මැදිහත් වීමත් හේතු කර ගෙන ශ්‍රී ලංකා පාපන්දු තහනම් කළ බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය යොමු කළ ලිපියක ඇතුළත්.

රග්බි තහනම

පාපන්දු තහනමෙන් මාස 4 ක් පමණ ගත වෙද්දී ශ්‍රී ලංකා රග්බි ද එම ඉරණමට ම ගොදුරු වුණා. රග්බි තහනම් වීමට ද ප්‍රධාන හේතුව වී තිබුණේ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම් තිබීම බව සඳහන්. ජාත්‍යන්තර රග්බි සම්මේලනය යොමු කළ ලිපියට අනුව සඳහන් වන්නේ ශ්‍රී ලංකා රග්බි ස්වාධීන වනතුරු මෙම තහනම ක්‍රියාත්මක වන බව යි.

එම තහනමට ප්‍රථමයෙන් ආසියානු රග්බි සම්මේලනය ද ශ්‍රී ලංකා රග්බි තහනම් කිරීමට කටයුතු යොදා තිබුණා. පසුගිය අප්‍රේල් මාසයේ ලැබුණු පුවත්වලට අනුව ආසියාව තුළ ශ්‍රී ලංකා රග්බි තහනම ඉවත් වූ බවට කියැවුණා. පසුගියදා ජාත්‍යන්තර රග්බි සම්මේලනය ශ්‍රී ලංකා රග්බි තහනම් කරද්දී එයට ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහයෝගය ද හිමි වී තිබෙනවා.

පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරමින් – www.gettyimages.com

තුන්වන පාර්ශව සහ දේශපාලන මැදිහත් වීම් නිසා ක්‍රීඩාව ස්වාධීන නොවීම යන කාරණාව මත ශ්‍රී ලංකා රග්බි සහ ශ්‍රී ලංකා පාපන්දු යන ක්‍රීඩා තහනම් වීමට ලක් වුණා. එම තහනම ඉවත් වන දිනයක් පිළිබඳ ව තවමත් අනාවරණය වන්නේ නෑ. එයින් ඉහත ක්‍රීඩා ක්ෂේත්‍රයන් ද්විත්වය ම දැඩි ආගාධයකට ගමන් කරමින් තිබෙනවා.

තහනමෙන් එල්ල වන බලපෑම්

මෙම තහනම නිසා වැඩි ම බලපෑමක් එල්ල වන්නේ ක්‍රීඩකයන්ට බව ප්‍රකාශ කිරීම නිවැරදි යි. ඔවුන්ට තහනම ඉවත් වනතුරු ජාත්‍යන්තර මට්ටමේ කිසිදු තරගාවලියකට සහභාගී වීමේ අවස්ථාව ලැබෙන්නේ නෑ. ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ද අවස්ථාවක් ලැබෙන්නේ නෑ. මේ හේතු මත ශ්‍රී ලංකා රග්බි සහ පාපන්දු යන ක්‍රීඩකයන් සියල්ලන් ම ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් වෙන් වී අවසන්.

එහි බලපෑම මත ඔවුන්ට ජාතික කණ්ඩායම පමණක් නොව ක්‍රීඩා සමාජ මට්ටමෙන් ද ජාත්‍යන්තර තරග බිමේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී යනවා. විශේෂයෙන්ම විදෙස් පාපන්දු ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරන පාපන්දු ක්‍රීඩකයන් සහ රග්බි ක්‍රීඩකයන්ට තම ක්‍රීඩා සමාජ අත් හැරීමට සිදු වීම කණගාටුවට හේතුවක්. ජාත්‍යන්තර සම්මේලනවලින් ලැබෙන මුදල් නොලැබීම නිසා දේශීය පාපන්දු හෝ රග්බි ලීගයක් සාර්ථක අන්දමින් පැවැත්වීමේ හැකියාව ලැබෙන්නේත් නෑ.

ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා ඇතුළු කිහිප දෙනෙක්ම විදෙස් පාපන්දු ක්‍රීඩා සමාජ වල ක්‍රීඩා කළා – www.thepapare.com

ක්‍රීඩකයන්ට අමතරව පුහුණුකරුවන්ට, විනිසුරුවරුන්ට, දත්ත විශ්ලේෂකයන්ට වැනි එම ක්‍රීඩාවේ කිරත ව සිටින පාර්ශව ගණනාවකට ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගැනෙන බලපත්‍රය ලබා ගැනීමට නොහැකි වනවා. එය ඔවුන්ගේ වෘත්තීයමය දිවියට විශාල බලපෑමක් එල්ල කරනවා. මෙරට තිබෙන ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩා සමාජවල, ආයතනවල සේවය කළ සිය ගණනක් අයගේ රැකියා කප්පාදු වීමේ අවදානමක් මතු වීම ද කනගාටුවට කරුණක්.

තහනම් ඉවත් කරගන්නේ කොහොමද?

පාපන්දු ක්‍රීඩාවට පනවා ඇති මෙම තහනම ඉවත් කර ගැනීමට නම් වහාම ක්‍රියාත්මක වන පරිදි නිලවරණයක් පැවැත්විය යුතු වනවා. ගැසට් පත්‍රවල තිබූ ගැටලු සහ නිලවරණයට ඉදිරිපත් වීමේ ගැටලු මුල් කරගෙන මේ වන විට එම ප්‍රශ්නය අධිකරණය දක්වා ගමන් කොට අවසන්. එහි නඩු තීන්දුව අවසන් වනතෙක් නිලවරණයකට යාමට හෝ පාපන්දු සම්මේලනය ස්වාධීන කිරීමට ඇත්තේ ඉතාම අඩු අවස්ථාවක්.

ශ්‍රී ලංකා රග්බි වෙතට ජාත්‍යන්තර රග්බි සම්මේලනය යොමු කරන ලිපියේ සඳහන් වන්නේ ද එම තහනම පැනවීමට ප්‍රධාන හේතුව රග්බි ක්‍රීඩාවට දේශපාලන පාර්ශවයන් කරන අතපෙවීම් බව යි. එම දේශපාලන මැදිහත් වීම් නවත්වා ශ්‍රී ලංකා රග්බි ස්වාධීන කිරීම මත තහනම ඉවත් කර ගැනීමට හැකි වනු ඇති.

රග්බි සහ පාපන්දු කාන්තා කණ්ඩායම් ද මෙම තහනමට අයත් වනවා – www.worldrugby.com

මෙම ක්‍රීඩා ද්විත්වයේ ම තහනමට හේතු හඳුනාගෙන ඒවාට පිළිතුරු ලබා දීම මත ඉක්මන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා. එය තවදුරටත් ප්‍රමාද වීම මත සිදු වන්නේ සමස්ත ක්‍රීඩාව ම ක්‍රම ක්‍රමයෙන් වළපල්ලට ගමන් කිරීම යි. එසේ නොවන්නට වගකිවයුතු ආකාරයෙන් කටයුතු කිරීමේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා පාපන්දු සහ රග්බි සම්මේලන සතු වනවා.

කවරයේ ඡායාරූපය - ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2022 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ ලෙබනන් තරගය ක්‍රීඩා කිරීමට පෙර - www.fifa.com
මූලාශ්‍ර :
www.fifa.com
www.worldrugby.com
www.thehindu.com
www.dhakatribune.com
www.themorning.lk

Related Articles