Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ කාන්පූර් හි ග්‍රීන්පාක් පිටියේ දී ඉන්දියානුවන්ට තරු පෙන්නූ සිංහයින්

ඉන්දීය පිල අතීතයේ සිට ම ඔවුන්ගේ මව්බිමේ පැවති එක්දින තරගවල දී විශිෂ්ට දස්කම් දැක්වීය. ශ්‍රී ලංකා පිල ඉන්දු බිමේ දී මේ දක්වා ඉන්දීය පිල සමග එක්දින තරග 51ක් ක්‍රීඩා කර ඇති අතර, ශ්‍රී ලංකා පිල එයින් එක්දින තරග 12ක් පමණක් ජයගැනීමෙන් ම ඉන්දු බිමේ එක්දින තරගයක් ජයග්‍රහණය කිරීමට ඇති අපහසුකම ඔබට වැටහෙනු ඇත. එසේ නම් එලෙස ජයග්‍රහණය කළ එක්දින තරගවලින් සුවිශේෂී එක්දින තරග කිහිපයක් පිළිබඳ ව අපි මෙම ලිපි පෙළෙන් කතා කරමු.

ලෝක ශූර ඉන්දීය පිල ලකුණු 78කට දැවී යයි

1986 වසරේ අගභාගයේ දී ශ්‍රී ලංකා පිල හා ඉන්දීය පිල අතර පැවති තරග 5කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය කාන්පූර් හි ග්‍රීන්පාක් පිටියේ දී ආරම්භ විය. පන්දුවාර 46කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක කපිල් දේව් ශ්‍රී ලංකා පිලට මුලින්ම පන්දුවට පහරදීමට ආරාධනා කළේ ය. දිවා තරගයක් ලෙස පැවති මෙම තරගයේ දී උදෑසන තණ තීරුවේ තිබූ ජීවය උකහාගත් ඉන්දීය ආරම්භක වේගපන්දු යවන්නා වූ කපිල් දේව්, ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු 33 සටහන් වන විට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ මහානාම හා රවී රත්නායක ක්‍රීඩාගාරය වෙත හරවා යැවී ය. නමුත් ඉන් සෑහීමකට පත් නොවූ ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක චේතන් ෂර්මා, අරවින්ද ව ලකුණු 3කට දවා ගැනීමත් සමග ශ්‍රී ලංකා පිල 43/3 ලෙස අසීරු අඩියකට වැටිණි. එලෙස මුල් කඩුලු කිහිපය ඉක්මනින් දැවී ගියත්, ඉන් අනතුරුව අර්ජුන හා ගුරුසිංහ පිටියට එක් වූ අතර ඔවුන් දෙදෙනා ඉතා වගකීමෙන් පිත්ත හසුරවමින් වටිනා ලකුණු 52ක සබඳතාවයක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 95/3 දක්වා ඉහළ නැංවී ය. නමුත් මෙම අවස්ථාවේ සිය මංගල එක්දින තරගය සඳහා සහභාගි වූ භාරතී අරුන් ක්‍රියාත්මක වෙමින් අර්ජුන ව ලකුණු 31කට දවාගන්නා අතරතුර මනින්දර් සිං, ගුරුසිංහ ව ලකුණු 35කට හා රෝයි ඩයස් ව ලකුණු 11කට දවා ගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 117/6ක් බවට පත් කරමිනි. බලාපොරොත්තු නොවූ හදිසි කඩාවැටීමෙන් අන්දමන්ද වූ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මේ අවස්ථාවේ තීරණාත්මක සබඳතාවයක් ගොඩනැඟූ නායක දුලිප් මෙන්ඩිස් හා ගයි ද අල්විස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 150/6 දක්වා ඉක්මනින් ගෙන ගිය ද, නැවතත් ඉන්දීය පන්දු යවන්නන් ක්‍රියාත්මක වෙමින් ඉක්මනින් ම මෙම පිතිකරුවන් දෙපළ ම ක්‍රීඩාගාරය වෙත යැවීම නිසා 155/8 ලෙස ශ්‍රී ලංකා පිල අවදානම් අඩියකට වැටුණි. නමුත් මේ අවස්ථාවේ කිසිවෙකු නොසිතූ අයුරින් අසන්තා ද මෙල් හා රුමේෂ් රත්නායක ක්‍රියාත්මක වූ අතර, ඔවුන් දෙදෙනා ඉන්දීය පන්දු යවන්නන්ට එලව එලවා පහර එල්ල කළේ ය. එහි දී අසන්තා පන්දු 13 කින් ලකුණු 23ක් හා රුමේෂ් පන්දු 10කින් ලකුණු 19ක් ලබා ගනිමින් ගොඩනැඟූ නොබිදුණු වේගවත් ලකුණු 40ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 46 තුළ කඩුලු 8කට ලකුණු 195ක් ලබාගත්තේ ය. 195 යනු එම අවදියේ ඉතාමත් අභියෝගාත්මක ලකුණු ප්‍රමාණයක් වුව ද, ප්‍රබල ඉන්දීය පිලට එරෙහිව මෙම තරගයේ ජයග්‍රහණය පිළිබඳ ව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට පැහැදිලි සැකයක් තිබිණි.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 24කට දවාගත් මනින්දර් සිං (gettyimages)

පන්දුවාර 46ක් තුළ ලකුණු 196ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දිය පිලේ බලාපොරොත්තු ආරම්භයේ දී ම සුන්කර දැමූ රුමේෂ් රත්නායක ගවස්කාර් හා රාමන් ලම්බාව ඉක්මනින් ම දවා ගනිමින් ඉන්දීය ලකුණු පුවරුව 18/2 බවට පත් කළේ ය. එදා රුමේෂ් ලබාදුන් පීඩනය නිසා ප්‍රවේගකාරී ඉන්දීය ආරම්භක පිතිකරු ශ්‍රීකාන්ත් පවා ඉතා අසරණ වූ අතර, ඔහු අර්ජුනගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 42ක් තුළ ලබා තිබුණේ ලකුණු 17ක් පමණි. ශ්‍රීකාන්ත්ගේ කඩුල්ල දවා ගැනීමෙන් පසු අර්ජුන හා රවී රත්නායක සුසංයෝගය ක්‍රියාත්මක වූ අතර, ඔවුන් දෙපළගේ මනරම් පන්දු යැවීම ඉදිරියේ අන්දමන්ද වූ ඉන්දීය ලකුණු පුවරුව එක්වර ම 37/3 සිට 59/7 දක්වා පත් විය. එදා ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ගේ අධිෂ්ඨානශීලී පන්දු යැවීම ඉදිරියේ කිසිදු ඉන්දීය පිතිකරුවෙකුට හිස එසවීමට නොහැකි වූ බැවින් අවසානයේ දී එම අවදියේ ලෝක ශුරයන් වූ ඉන්දීය පිල, පන්දු වාර 24.1 තුළ ලකුණු 78කට සීමා විය. ඉන්දීය ඉනිම එලෙස සුනුවිසුණු කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන්  පන්දු යැවූ අර්ජුන 14/4ක්, රවී 12/3ක්, හා රුමේෂ් 16/2 ලෙස කඩුලු ලබාගත්තේ ය. එදා පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද සුපිරි දස්කම් දැක්වූ අර්ජුන තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ අතර, මෙය ඉන්දීය බිමේ ශ්‍රී ලංකා පිල ලැබූ මංගල එක්දින තරග ජයග්‍රහණය විය.

අර්ජුන රණතුංග පන්දු යවමින් (gettyimages)
රවී රත්නායක පන්දු යවන අවස්ථාවක් (gettyimages)

අරවින්දගෙන් සුපිරි ඉනිමක්

1990 වසරේ ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරයේ තෙවන එක්දින තරගය ගෝවේ හි නේරු පිටියේ දී පැවත්විණි. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක අසාරුඩීන් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ ද එම තීරණය අභියෝගයට ලක් කළ ශ්‍රී ලංකා ආරම්භක වේගපන්දු යවන ක්‍රීඩක චම්පක රාමනායක සිධූ, ශාස්ත්‍රි, හා මංජේකාර් යන මුල් ඉන්දීය කඩුලු 3 ම ලකුණු 39ක් තුළ ක්‍රීඩාගාරය වෙත හරවා යැවී ය. නමුත් ඉන් අනතුරුව පිටියට එක්වූ නායක අසාරුඩීන්, 17 හැවිරිදි යොවුන් පිතිකරු ටෙන්ඩුල්කාර් සමග එක්ව ඉන්දීය ලකුණු සංඛ්‍යාව 69/3 දක්වා ඉහළ නැංවීය. ශ්‍රී ලංකා නායක අර්ජුන මෙම අවස්ථාවේ ඔහු සතු ව සිටි දඟපන්දු යවන්නන් යුගලය වූ අනුරසිරි හා වර්ණවීර යොදා ගනිමින් ඉන්දීය පිතිකරුවන් ව පීඩනයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 69/3ක් ව පැවති ඉන්දීය ලකුණු පුවරුව 118/7 දක්වා දැවැන්ත පසුබෑමකට පත් විය. එහි දී පිළිවෙළින් ලකුණු 20ක් හා 30ක් ලබා සිටි අසාරුඩීන් හා ටෙන්ඩුල්කාර් අනුරසිරිගේ ගොදුරු බවට පත් වූ අතර, කපිල් දේව් හා කිරාන් මෝරේ වර්ණවීරට බිලි විය. එදා ශ්‍රී ලංකා පන්දු යවන්නන් මනා පාලනයකින් යුතු ව පන්දු යැවූ අතර, ඉන්දිය පිතිකරුවන්ට ස්ථාවර වීමට කිසිදු අවස්ථාවක් ලබා නොදීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය ඉනිම පන්දුවාර 40.3ක දී ලකුණු 136කට සීමා විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් එහි දී පන්දුවෙන් දස්කම් දැක්වූ චම්පක රාමනායක කඩුලු 3ක් දවා ගන්නා අතරතුර අනුරසිරි, වර්ණවීර, හා රුමේෂ් කඩුලු 2 බැඟින් ලබා ගත්තේ ය.

ඉන්දීය ඉනිම ආරම්භයේ දී ම අසරණ කළ චම්පක රාමනායක (gettyimages)

ලකුණු 137ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ද මුල් කඩුලු 3 ම ලකුණු 55ක් තුළ බිඳ වැටුණේ තරමක් අසීරු අඩියකට වැටෙමිනි. නමුත් අනතුරුව පිටියට එක් වූ අර්ජුන හා අරවින්ද සුසංයෝගය, ඉන්දීය පන්දු යවන්නන්ට කිසිදු ගරු සරුවකින් තොර ව පහර දෙන්නට විය. අවසානයේ දී අරවින්ද පන්දු 70කින් වේගවත් ලකුණු 63ක් හා අර්ජුන පන්දු 42කින් ලකුණු 30ක් ලබා ගනිමින් නොබිදුණු ලකුණු 82ක සබඳතාවය පවත්වමින්  පන්දුවාර 32.5ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් ශ්‍රී ලංකා පිලට කඩුලු 7ක ජයක් උරුම කර දුන්නේ ය. මෙය ඉන්දීය බිමේ දී ශ්‍රී ලංකා පිල ලැබූ තවත් විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයට එක් විය.

අරවින්ද ඉන්දීය පන්දු යවන්නන්ට බැට දෙයි (gettyimages)

 

කවරයේ ඡායාරූපය: අර්ජුන පන්දු යවන අවස්ථාවක් (gettyimages)

මූලාශ්‍රය:

Espncricinfo

1996 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දු බිමේ ශ්‍රී ලංකා පිල ලබා ගත් විශිෂ්ටතම එක්දින ජයග්‍රහණයන් පිළිබඳ ව ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

Related Articles