Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත බිමේ සිංහයන් ලැබූ මංගල එක්දින තරගාවලි ජයග්‍රහණය

1991 වසරේ ක්‍රිකට් තරගවාරයේ, එංගලන්ත බිමේ දී ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිල එක්දින තරගාවලියකින් 3-0ක් ලෙස පරාජය කිරීමෙන් අනතුරුව, 1998 වසර වන තුරු ම එංගලන්ත පිල සිය මව්බිමේ දී එක්දින තරගාවලියකින් පරාජය වූයේ 1993 වසරේ ඕස්ට්‍රේලියාව හමුවේ ලද 3-0ක තරගාවලි පරාජය පමණයි. එම කාලසීමාව තුළ එවකට ලෝක ශූර පකිස්තානය 4-1, නවසීලන්තය 1-0, දකුණු අප්‍රිකාව 1-0, නැවතත් බටහිර ඉන්දීය කොදෙව්වන් 2-1, ඉන්දියාව 2-0, නැවතත් පකිස්තානය 2-1, හා ඕස්ට්‍රේලියාව 3-0ක් ලෙසින් එංගලන්ත බිමේ දී එක්දින තරගාවලීන් පරාජය වුණා. සිය මව්බිම තුළ එංගලන්ත පිලේ එම වසන්ත සමය නිමා කරමින් 1998 දී එංගලන්තය ඔවුන්ගේ බිමේ දී එක්දින තරගාවලියකින් 2-1ක් ලෙස පරාජය කිරීමට සමත් වූ හැන්සි ක්‍රොන්යේ ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පිල, එම කාල වකවානුවේ එක්දින ක්‍රිකට් පිටියේ සිටි නිල නොවන එක්දින ලෝක ශූරයන් වුණා.

එවැනි වටපිටාවක 1998 වසරේ අගෝස්තු මස එංගලන්තය හා දකුණු අප්‍රිකාව සමග එංගලන්ත බිමේ දී එමිරේට්ස් කුසලාන තුන්කොන් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රීලංකා පිලට ලැබුණු අතර, එය ශ්‍රී ලංකාවට සැබැවින් ම අභියෝගාත්මක තරගාවලියක් වුණා.

1993 වසරේ එංගලන්තයේ පැවති එක්දින තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු පිතිකරු මාක්වෝ (Getty Images)

1998 වසරේ මෙම තරගාවලියට පිවිසීමට පෙර මව්බිමේ දී සිම්බාබ්වේ සමග එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පිල, දකුණු අප්‍රිකානු බිමේ දී  පකිස්තානය හා දකුණු අප්‍රිකාව සමග පැවති තුන්කොන් තරගාවලිය පරාජය වූ අතර, අනතුරුව ශ්‍රී ලංකාවේ දී පැවති නිදහස් කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී ඉන්දියාව වෙතින් අනපේක්ෂිත පරාජයක් ලැබුවා. සත්කාරක එංගලන්ත පිල මෙම එක්දින තරගාවලියට අවතීර්ණ වූයේ කොදෙව් දේශයේ දී කොදෙව්වන් වෙතින් 4-1ක පරාජයක් හා මව්බිමේ දී දකුණු අප්‍රිකාව වෙතින් 2-1ක පරාජයක් ලැබීමෙන් අනතුරුව යි. වසරේ මුල භාගයේ පැවති වාර්ෂික ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලියේ අවසන් වටයේ දී කිසිවෙකු නොසිතූ අයුරින් ඕස්ට්‍රේලියානු පිල හමුවේ පරාජය වූ අප්‍රිකානුවන්, සිය රටේ දී පැවති තුන්කොන් තරගාවලිය හා එංගලන්තය සමග එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමින් සිය ජයග්‍රාහී ගමන අඛණ්ඩ ව පවත්වාගෙන යෑමේ අරමුණ ඇති ව මෙම තරගාවලිය සඳහා එක්වුණා.

1997 වසරේ ඕස්ට්‍රේලියානු පිල එක්දින තරගාවලියේ දී 3-0 කින් පරාජය කළ එංගලන්ත පිල.  (Getty Images)

නිල ලෝක ශූරයන් විසින් නිල නොවන ලෝක ශූරයන් පරාජය කරයි

එම අවධිය තුළ නිල එක්දින ලෝක ශූරයන් බවට ශ්‍රී ලංකා පිල පත් ව සිටිය ද, එක්දින ක්‍රිකට් පිටියේ වඩාත් ම අභියෝගාත්මක කණ්ඩායම බවට දකුණු අප්‍රිකානු පිල පත් ව තිබූ හෙයින් ඔවුන්ව, නිල නොවන ලෝක ශූරයන් ලෙස හැඳින්වීමට  විචාරකයින් පුරුදු ව සිටියා. එවැනි පසුබිමක් තුළ තරගාවලියේ ආරම්භක තරගය ලෙසින් පැවති මෙම තරගය, ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ බලවත් අවධානයට ලක් වූ තරගයක් වුණා. නොටිංහැම් හි ට්‍රෙන්ට්බ්‍රිජ් පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ අප්‍රිකානු නායක ක්‍රොන්යේ, ශ්‍රීලංකා පිලට මුලින්ම පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර, ඒ අනුව පිටියට පිවිසි සනා – කලූ යුගලය පොලොක්, ඩොනල්ඩ්, එල්වර්ති, හා කලිස් යන ප්‍රබල අප්‍රිකානු වේගපන්දු බලඇණිය හමුවේ මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 85ක් එක් කළ ද කලිස් විසින් කලුවිතාරණ ව ලකුණු 33කට දවාගැනීමෙන් පසු ක්‍රියාත්මක වූ ඩොනල්ඩ් ශ්‍රී ලංකා පිලේ ප්‍රබල ම පිතිකරුවන් දෙදෙනෙකු වූ සනත් ව ලකුණු 36කට හා අරවින්ද ලකුණු 12කට දවාගන්නා ලද්දේ 85/0ක් ලෙසින් පැවති ශ්‍රී ලංකා ලකුණු පුවරුව 102/3ක් බවට පත් කරමින්. නමුත් මෙම හදිසි බිදවැටීමෙන් නොසැලුණු නායක රණතුංග හා අතපත්තු සිව්වන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 80ක සබඳතාවයක් ගොඩනැඟූ අතර, අතපත්තු සිම්කොක්ස්ගේ පන්දුවක් හමුවේ ලකුණු 40කට දැවීයාමෙන් අනතුරුව නායක අර්ජුන අනිත් අන්තයෙන් කඩුලු බිදවැටුණු අවස්ථාවේ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් අගනා ලකුණු 58ක් රැස්කළ අතර, අවසානයේ දී අර්ජුන දුවද්දී දැවී යාම නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 47.5ක් තුළ ලකුණු 258කට සීමා වුණා. අප්‍රිකානු පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ පොලොක් කඩුලු 3ක් ද, ඩොනල්ඩ් හා ක්‍රොන්යේ කඩුලු 2 බැගින් ද ලබාගත්තා.

අර්ජුන විසින් ලබාගත් ලකුණු 58ක ඉනිමේ එක් අවස්ථාවක්. (Getty Images)

ශ්‍රී ලංකා පිලේ එම අවධියේ සිටි සුපිරි ම වේගපන්දු යවන ක්‍රීඩක වාස්, මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ අතර, ඔහුගේ අඩුව දැනෙන්නට නොදුන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හා සුරේෂ් පෙරේරා අප්‍රිකානු මුල් කඩුලු 4ම ලකුණු 32ක් තුළ ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමෙන් අනතුරුව මුරලි විසින් නායක ක්‍රොන්යේ ව ලකුණු 21කට දවා ගැනීමත් සමග ම 66/5ක් දැවී අප්‍රිකානු පිල අසීරු අඩියකට වැටුණා. නමුත් මෙම අවස්ථාවේ පිටියේ එක්වූ ජොන්ටි රෝඩ්ස් හා පැට් සිම්කොක්ස් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තර්ජනයක් එල්ල කරමින් ලකුණු 100ක අගනා සබඳතාවයක් ගොඩනැඟු ව ද, ධර්මසේන ක්‍රියාත්මක වෙමින් රෝඩ්ස් ව ලකුණු 54කටත් සිම්කොක්ස් ව ලකුණු 58කටත් දවාගනිමින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 175/7ක් බවට පත් කළා. අවසානයේ දී ප්‍රමෝද්‍ය හා ධර්මසේන කඩුලු 3 බැගින් දවාගනිමින් අප්‍රිකානු ඉනිම පන්දුවාර 49ක් තුළ 201කට සීමාකරන ලද්දේ ශ්‍රීලංකා පිලට ලකුණු 57ක ජයක් උරුමකර දෙමිනුයි. අප්‍රිකානු මුල් කඩුලු 3ක් බිඳ දමමින් පන්දුවාර 7ක් තුළ 20/3ක් ලෙසින් කඩුලු ලබාගත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, මෙම තරගයේ වීරයා බවට පත් වුණා.

ප්‍රමෝද්‍ය විසින් අප්‍රිකානු ආරම්භක පිතිකරු ගැරී කර්ස්ටන්ව දවාගත් අවස්ථාව. (Getty Images)

ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ දණ නමයි.

ලංඩන් නුවර ලෝඩ්ස් පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන, එංගලන්ත පිලට මුලින්ම පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර, ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත පිලේ මුල්පෙළ පිතිකරුවන් වූ ග්‍රැහැම් හික් ලබාගත් ලකුණු 86ත්, නායක ස්ටුවර්ට් ලබාගත් ලකුණු 51ත් නිසා එංගලන්ත පිල 223/3ක් ලෙස ස්ථාවර තත්ත්වයකට පත්වුව ද ඔවුන්ගේ අවසන් කඩුලු 7ම ලකුණු 24ක් තුළ බිදවැටීම නිසා එංගලන්ත ඉනිම පන්දුවාර 49.3ක දී ලකුණු 247කට සීමා වුණා. එහි දී පන්දුවෙන් දස්කම් දැක්වූ ජයසූරිය සිය පන්දුවාර 10 තුළ ලකුණු 36කට කඩුලු 3ක් දවාගත්තා.

8)ස්ටුවර්ට්ව දවාගැනීමේ සතුට සමරන ජයසූරිය. (Getty Images)

ලකුණු 248ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් එංගලන්ත වේගපන්දු යවන්නන් හමුවේ අසරණ වූ ඔවුන්ගේ මුල් කඩුලු 6 ම ලකුණු 97ක් තුළ බිදවැටුණා. මෙම අවස්ථාවේ ධර්මසේන ඇතුළු පසුපෙළ පිතිකරුවෙන් සීරුවෙන් ලකුණු රැස්කිරීම නිසා පන්දුවාර 49.3ක දී ශ්‍රී ලංකා පිලේ සියලුම පිතිකරුවන් දැවී යන අවස්ථාවේ ශ්‍රීලංකා ලකුණු පුවරුවේ ලකුණු 211ක් සටහන් ව තිබුණේ ශ්‍රී ලංකා පිලේ දළ ලකුණු ලබාගැනීමේ වේගයට වන හානිය අවම කරමින්.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අවසන් සටනට

මූලික වටයේ අවසන් තරගය බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටියේ දී දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර පැවතුණා. අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් අප්‍රිකානුවන්ට විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට අනිවාර්ය වූ නිසා අප්‍රිකානු පිල දෙසට විශාල පීඩනයක් තල්ලු වෙමින් තිබුණේ. එවැනි තීරණාත්මක අවස්ථාවක කාසියේ වාසිය දිනූ අප්‍රිකානු නායක ක්‍රොන්යේ, මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔහුගේ තීරණයට සාධාරණයක් ඉටුකරමින් කලිනන් පන්දු 73කින් ලැබූ ලකුණු 70 හා සිම්කොක්ස් පන්දු 39කින් ලැබූ වේගවත් ලකුණු 51 නිසා නියමිත පන්දුවාර 50 තුළ අප්‍රිකානු පිල කඩුලු 7ක් දැවී ලකුණු 244ක් ලබාගත්තා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත පිල ආරම්භක පිතිකරු නික් නයිට් ලකුණු 74ක් හා ග්‍රැහැම් හික් ලකුණු 64ක් ලබා ගනිමින් ගොඩනැඟූ ලකුණු 113ක සබඳතාවය නිසා 161/2ක් ලෙසින් ස්ථාවර තත්ත්වයක පසුවුව ද, අප්‍රිකානු පන්දු යවන්නන් විසින් එංගලන්ත අවසන් කඩුලු 8 ම ලකුණු 69ක් තුළ දවාගැනීමත් සමගින් එංගලන්ත පිල පන්දුවාර 48.5ක දී ලකුණු 230කට දැවී යමින් අප්‍රිකානු පිලට ලකුණු 14ක ජයක් උරුම කළ ද, එය ඔවුන්ට අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් වුණේ නැහැ.

ජොන්ටි රෝඩ්ස් විසින් රොබට් ක්‍රොෆ්ට් දවාගැනීමට රැකගත් සුපිරි උඩපන්දුව. (Getty Images)

ලෝඩ්ස් පිටියේ දී සිංහයන් ජයපැන් බොයි.

අවසන් තරගයේ දී කාසියේ වාසිය දිනා, මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරු දෙපළ වූ නික් නයිට් හා මයිකල් අතර්ටන් ලබාදුන් ලකුණු 132ක සාර්ථක ආරම්භය ඔස්සේ ඉනිම ගොඩනැඟූ එංගලන්ත පිල, එක් අවස්ථාවක කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 191ක් ලබාගනිමින් ඉතාමත් ප්‍රබල තත්ත්වයක පසුවුණා. නමුත් මෙම අවස්ථාවේ ක්‍රියත්මක වූ මුරලිදරන් සිය එක්දින දිවියේ ඉනිමක කඩුලු 5ක් දවාගත් 2 වන අවස්ථාව සනිටුහන් කරමින් ලකුණු 34කට කඩුලු 5ක් දවාගැනීමත් සමග ම එංගලන්ත ඉනිම නියමිත පන්දුවාර 50 තුළ 256/9කට සීමා වුණා. එංගලන්ත ඉනිමේ නැංගුරම බවට පත්වූ ආරම්භක පිතිකරු නික් නයිට් ලකුණු 94ක් ද, මයිකල් ඇතර්ටන් ලකුණු 64ක් ද ලබාගත්තා.

අවසන් තරගයේ දී ලකුණු 94ක් ලබාගත් නික් නයිට් පන්දුවට පහරදෙමින්. (Getty Images)

ලකුණු 257ක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ වමත් කසකරු සනත් ජයසූරිය, ගෆ්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගිය ද, ඉන් නොසැලුණු අතපත්තු හා කලුවිතාරණ දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ ලකුණු 138ක සබඳතාවය ශ්‍රී ලංකා පිල ස්ථාවර තත්ත්වයකට පත්කළා. ලකුණු 68ක් ලැබූ කලුවිතාරණගේ නික්ම යෑමෙන් පසු පිටියට එක්වූ අතපත්තු හා අරවින්ද, ලකුණු 70ක් ශ්‍රී ලංකා පිලට එක් කරමින් ශ්‍රී ලංකා පිල ජය මාවත කරා ගෙන ගියා. අවසානයේ දී සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් මාවන් අතපත්තු නොදැවී ලකුණු 132ක් ලබාගනිමින් එංගලන්ත බිමේ ශ්‍රී ලංකා පිල ලබාගත් මුල්ම එක්දින තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවට උරුම කර දීමට පුරෝගාමියෙකු වුණා. ලකුණු 34කට කඩුලු 5ක් දවාගනිමින් ලෝඩ්ස් පිටියේ එක්දින තරගයක කඩුලු 5ක් දවාගත් මුල්ම ශ්‍රී ලංකා පන්දු යවන්නා වූ මුරලිදරන්, තරගයේ වීරයා වූ අතර ලෝඩ්ස් පිටියේ එක්දින ශතකයක් රැස්කළ මුල්ම ලාංකික පිතිකරුවා වූ මාවන් අතපත්තු තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබුවා.

අවසන් තරගයේ දී ලකුණු 68ක් රැස්කළ කලුවිතාරණ. (Getty Images)
අවසන් තරගයේ දී 34/5 ලෙස කඩුලු දවාගත් මුරලි. (Getty Images)

මාවන්ට පසු උපුල් තරංග 2006 වසරේ දී ලකුණු 120ක්, චන්දිමාල් 2011 වසරේ නොදැවී ලකුණු 105ක්, හා සංගක්කාර 2014 වසරේ 112ක් ලෙසින් පසු ව ලෝඩ්ස් පිටියේ දී එක්දින ශතක ලබාගත්ත ද, මුරලිගෙන් පසු ව කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට ලෝඩ්ස් පිටියේ දී එක්දින කඩුලු 5ක් ලබාගැනීමට හැකිවූයේ නැහැ.

ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අතපත්තුව ලුහුබඳින ශ්‍රීලංකා ප්‍රේක්ෂකයන්. (Getty Images)
ශ්‍රී ලංකා නායක අර්ජුන ජයග්‍රාහී කුසලානය සමග. (Getty Images)

 

කවරයේ පින්තූරය: Getty Images

මූලාශ්‍රය:

Espncricinfo

Related Articles