Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කළු ජාතික ඔලිම්පික් අරගලය: Black Power Salute

ලොව පුරා කලින් කලට විවිධාකාරයේ අරගල නිර්මාණය වනවා. එයට බොහෝ විට හේතු වන්නේ යම්කිසි ජන කොට්ටාසයක් දරුණු අසාධාරණයකට ලක් වීම යි. ඇතැම් අවස්ථාවලදී එම ජන කොට්ටාසය වෙතින් ම අරගලය බිහි වන අතර ඇතැම් අවස්ථාවලදී ඔවුන් වෙනුවෙන් වෙනත් ජන කොට්ටාස පවා සටන් කළ ආකාරය අපට ඉතිහාසයේ දැක ගැනීමට හැකි වනවා.

මේ ආකාරයෙන් සිදු වූ ඇතැම් අරගල ලොව පුරා අදටත් නොමියෙන මතක ලෙසින් සටහන් ව තිබෙනවා. අවස්ථාව කුඩා වුවත් ඔවුන් හිමි කර දුන් ඒ මතක යුගයක් ප්‍රබෝධමත් කිරීමට පවා සමත් වුණා. මෙලෙස මෙක්සිකෝ සිටි හි 1968 වර්ෂයේ දී පැවති ඔලිම්පික් තරගාවලියේ දී කළු ජාතිකයන් වෙනුවෙන් ටොමී ස්මිත් සහ ජෝන් කාර්ලෝස් දෙදෙනා පෙන්වූ නිර්භීත හැසිරීම ලෝකයේ ම අවධානයට පාත්‍ර වුණා. එය ක්‍රීඩා පිටිය තුළ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක් ලෙසින්  අදටත් හැඳින්වෙනවා.  

ටොමී ස්මිත් 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් මීටර් 200 ජයග්‍රහණය කළ අවස්ථාව
ටොමී ස්මිත් 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් මීටර් 200 ජයග්‍රහණය කළ අවස්ථාව – www.newyorktimes.com

60 දශකයේ දී අමෙරිකාවේ පැවති තත්ත්වය 

1960 දශකය අමෙරිකාවට එතරම් සුබ දශකයක් වුණේ නෑ. මෙයට හේතුව වූයේ ඔවුන් අර්බුද ගණනාවක සිර ව සිටීම යි. මේ  අතර ඔවුන්ගේ කළු සුදු වර්ණභේදවාදී අර්බුදය වසර ගණනාවක් පුරා ඔඩු දුවමින් තිබූ අතර ම එය තීව්‍ර මට්ටමකට පැමිණ තිබුණා. 60 දශකය ආරම්භයේ දී කියුබාව සමඟින් පැටළුණු අමෙරිකාව ඌරු බොක්කේ සටන පරාජයට පත් වුණා. අනතුරු ව කියුබානු මිසයිල අර්බුදයේ දී සෝවියට් රුසියාව සමඟින් න්‍යෂ්ටික යුද්ධයකට ගමන් කිරීමට ආසන්න වූවා. දශකයේ මැද භාගය වන විට අමෙරිකාව සහ වියට්නාමය යුද්ධයක පැටළී සිටියා.

තත්ත්වය මෙලෙස පවතින විටත් කළු ජාතිකයන්ට වෙනස් කොට සැලකීමේ සම්ප්‍රදායය අමෙරිකාවේ නැවතී තිබුණේ නෑ. එකල සුදු ජාතිකයන් අධ්‍යාපනය ලැබූ පාසල් කළු ජාතිකයන්ට තහනම් වුණා. බස් රථවල දී කළු ජාතිකයන්, සුදු ජාතිකයන්ට තම ආසන ලබා දිය යුතු වුණා. වරක් සුදු ජාතිකයන්ට පමණක් ස්නානය කළ හැකි පිහිනුම් තටාකයක කළු ජාතිකයන් සිටීමේ වරදට පිහිනුම් තටාකයට ඇසිඩ් හැළීමට තරම් කුරිරු බව ඔවුන් විදහා දැක්වූවා. 

සුදු ජාතිකයන්ට පමණක් වෙන්වූ පිහිනුම් තටාකයකට කළු ජාතිකයන් පැමිණීම නිසා ඇසිඩ් හැලීම
සුදු ජාතිකයන්ට පමණක් වෙන්වූ පිහිනුම් තටාකයකට කළු ජාතිකයන් පැමිණීම නිසා කළ ඇසිඩ් හැලීම – www.npr.org

ක්‍රීඩාව වෙතින් ද කළු ජාතිකයන් එලෙස ම කොන් කර තිබුණා. ඔලිම්පික් රන් පදක්කම් දිනූ බොක්සිං ශූර කැෂියස් ක්ලේ හෙවත් මොහොමඩ් අලී රන් පදක්කම දිනා ගැනීමෙන් පසුව තමන්ට කළ නොසැලකීම, අසාධාරණකම් නිසා කලකිරීමට පත් ව දිනා ගත් පදක්කම ඔහියෝ ගඟට විසි කළ බවද සඳහන්. මෙලෙසින් ක්‍රීඩාවට පවා වර්ණභේදවාදය ඇතුළත් වී මේ ප්‍රශ්නය අමෙරිකාව තුළ තවත් ඔඩුදුවමින් පැවතියා.

මීටර් 200 අවසන් තරඟය

1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 අවසන් තරගය 1968 ඔක්තෝබර් මස 16 වනදා උදෑසන ආරම්භ වීමට නියමිත ව තිබුණා. අවසන් මහා තරගය සඳහා ක්‍රීඩකයන් 8 දෙනෙක් සුදුසුකම් ලබා සිටියා. ඒ අතරට අමෙරිකානු ක්‍රීඩකයන් 3ක්, ජැමෙයිකානු, ප්‍රංශ, ඕස්ට්‍රේලියා, ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබෑගෝ සහ බටහිර ජර්මානු ක්‍රීඩකයෙක් ද අයත් වුණා.

ටොමී ස්මිත් ජයග්‍රහණය කරමින් තරඟය අවසන් වූ අවස්ථාව
ටොමී ස්මිත් ජයග්‍රහණය කරමින් තරඟය අවසන් කළ අවස්ථාව – www.worldathletics.com

තරගය ආරම්භයේ සිට ම වේගවත් ධාවනයක් සටහන් කළ අමෙරිකාවේ ටොමී ස්මිත් තත්පර 19.83 ක කාලයක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කළා. එම කාලය එවකට නව ලෝක වාර්තාවක් ලෙසින් ද සටහන්. පිළිවෙළින් තත්පර 20.06 කින් තරගය අවසන් කළ ඕස්ට්‍රේලියාවේ පීටර් නෝර්මාන්ට දෙවන ස්ථානය ද, තත්පර 20.10 ක කාලයක් සටහන් කළ අමෙරිකාවේ ම ජෝන් කාර්ලෝස්ට තෙවන ස්ථානය ද හිමි වුණා. ජයග්‍රහණ වාර්තා කළ අමෙරිකානුවන් දෙදෙනා ම කළු ජාතිකයන් වීම ද විශේෂත්වයක්.

පදක්කම් පැළඳවීමේ දී විරෝධතා 

තරගයෙන් අනතුරු ව පැවති පදක්කම් පැළඳවීමේ දී ටොමී ස්මිත් සහ ජෝන් කාර්ලෝස් තමන්ගේ විරෝධතාව පෙන්වීමට කටයුතු කළා. එහි දී ඔවුන් දෙදෙනා ම සපත්තු පැළඳීම ප්‍රතික්ෂේප කොට තිබුණා. ඔවුන් සිටියේ කළු පැහැති මේස් වලින් තම දෙපා ආවරණය කර ගෙන යි. එයින් කළු ජාතිකයන්ගේ දුප්පත්කම නිරූපණය වුණා. ස්මිත් කළු ලේන්සුවක් තමන්ගේ ගෙල වටා බැඳ ගෙන කළු ජාතිකයන්ගේ අභිමානය නිරූපණය කළා.

ජෝන් කාර්ලෝස් පබළු මාලයක් පැළඳ සිටීමට කටයුතු කළා. එයින් අසාධාරණ ලෙසින් කිසිඳු යාඥාවකින් හෝ තොරව එල්ලා දමන, මරා දමන කළු ජාතිකයන් ඔහු  අනුස්මරණය කළා. පදක්කම් පැළඳවීමෙන් අනතුරු ව ස්මිත් තමන්ගේ වම් අතට ද, කාර්ලෝස් තමන්ගේ දකුණු අතට ද කළු පැහැති අත් ආවරණ පැළඳ සාම්ප්‍රදායික “Black Power Salute” ආචාරය පළ කරමින් විරෝධතාව සටහන් කළා. ඔවුන් දෙදෙනා ම අමෙරිකානු ජාතික ධජය දෙසට මුහුණපාමින් මෙම විරෝධය පළ කිරීම ද විශේෂත්වයක්. 

Black Power Salute
Black Power Salute” සමගින් තම විරෝධය පළ කරන ටොමී ස්මිත් සහ ජෝන් කාර්ලෝස් – www.artphotolimited.com

විරෝධයෙන් පසු

මෙම විරෝධයෙන් අනතුරු ව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙසින් එවක කටයුතු කළ ඇවෙරි බ්‍රන්ඩේජ් එම ක්‍රියාව ඔලිම්පික් ක්‍රීඩාව තුළින් ජාත්‍යන්තරයට නුසුදුසු පණිවිඩයක් එක් කිරීමක් බවට ප්‍රකාශ කරමින් ස්මිත් සහ කාර්ලෝස් අමෙරිකා කණ්ඩායමෙන් ඉවත් කොට ඔලිම්පික් ගම්මානයෙන් වහා ම පිටමං කළ යුතු බව සඳහන් කළා.  අමෙරිකා කණ්ඩායම එයට එකඟ වුයේ නෑ.

ඒ අවස්ථාවේ දී තමන්ගේ නියෝගය ඉටු කරන්නේ නැතිනම් සමස්ත අමෙරිකා මළල ක්‍රීඩා කණ්ඩායම ම තහනම් කරන බවට ඔහු තර්ජනය කළා. ඒ අනුව ඔලිම්පික් කමිටුවේ නියෝගය පිළිපැදීමට අමෙරිකා කණ්ඩායමට සිදු වුණා. මෙම නියෝග ලබාදුන් ඇවෙරි බ්‍රන්ඩේජ් ද අමෙරිකා ජාතිකයෙක් වීම ද විශේෂත්වයක්. කෙසේ වුවත් ස්මිත්ට සහ කාර්ලෝස්ට ඔවුන් දිනාගත් පදක්කම් නැවත ලබා දෙන ලෙසට බලකිරීමක් සිදු වුණේ නෑ.

පසු කලෙක මෙය සිහි කිරීමට ඇමරිකාවේ ඉදි කළ සමරු ප්‍රතිනිර්මාණයක්
පසු කලෙක මේ සිදුවීම සිහි කිරීමට අමෙරිකාවේ ඉදි කළ සමරුවක් – www.newyorktimes.com

කෙසේ වුවත් මෙම සිදුවීමෙන් අනතුරු ව ලොව පුරා රූපවාහිනී නාලිකාවල, පුවත්පත්වල ස්මිත් ගේ සහ කාර්ලෝස් ගේ ක්‍රියාව ඉහළින් ම සටහන් වුණා. මෙය අමෙරිකාව තුළ කළු ජාතිකයන්ට කෙරෙන අසාධාරණකම් නැවැත්වීම සඳහා වන නවුමු කතිකාවතක් නිර්මාණය කළා. ඔවුන් දෙදෙනාගේ ම පවුල්වලට මරණ තර්ජන පවා එල්ල වුණත් අවසානයේ දී තමන්ට අවශ්‍ය ඉලක්කය වෙතට ගමන් කිරීමට එය බාධාවක් වුණේ නෑ.

අදටත් මෙම ක්‍රියාව ඉතිහාසයේ සටහන් වන්නේ ස්මිත් සහ කාර්ලෝස්, කළු ජාතික අයිතීන් වෙනුවෙන් කළ සුවිශේෂී සටනක් ලෙසින්. තමන්ට බොහෝ දෑ අහිමි වීමට නියමිත බව දැනගෙන ම දිනා ගත් පදක්කම් පවා අනතුරේ හෙළා අසාධාරණය වෙනුවෙන් සටන් කළ මේ මොහොතට ක්‍රීඩා ඉතිහාසයේ මෙන් ම අරගල ඉතිහාසයේත් සුවිශේෂී ඉඩක් වෙන් ව පවතිනවා. 

කවරයේ ඡායාරූපය - gettyimages.com
මූලාශ්‍ර:

www.history.com

www.civilrightsteaching.org

www.ustoday.com

www.hollywoodreporter.com 

Related Articles