Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා දස්කම් ඉස්මතු වුණු T20 ලෝක කුසලානයේ පළමු වටය

2021 ICC T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පසුගිය ඔක්තෝබර් 17 වැනිදා ආරම්භ වුණා. දින 6ක් පුරාවට පැවති තරගාවලියේ පළමු වටයේ තරග ඊයේ (22) දිනයේ දී නිමාවට පත්වුණා. එම තරගවල දී ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, බංග්ලාදේශය සහ නැමීබියාව යන කණ්ඩායම් තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඒ අයුරින් නිමා වුණු  පළමු වටයේ තරගවල ඉරණම විසඳුණු ආකාරය සහ වාර්තා වුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

ශ්‍රී ලංකාව අභියෝගයකින් තොරව A කාණ්ඩයේ පළමු තැනට 

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ දී බොහෝ දෙනකුගේ අවධානය යොමු වුණේ A කාණ්ඩය දෙසට යි. ඒ ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නැමීබියාව සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් එම කාණ්ඩය යටතේ තරග බිමට පිවිසුණු නිසා යි. තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට අසීරු ඇති වනු බවට අනාවැකි පළ වුණා. එහි දී ඇතැම් උදවිය අනාවැකි පළ කළේ අයර්ලන්තය කණ්ඩායම මෙම කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනු ඇති බව යි. ශ්‍රී ලංකාව කිසිදු අපහසුවකින් තොර ව මූලික වටයේ තරග ත්‍රිත්වය ජයග්‍රහණය කරමින් A කාණ්ඩයේ පෙරමුණ ගත්තා. 

ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලානයේ පළමු වටයේ දී- gettyimages.com

එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනුණා. එසේ ම ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. ඒ අතර ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය කාගේත් අවධානයට ලක් වුණා. ඉදිරියේ දී පැවැත්වෙන දෙවන වටයේ තරගවල දී එම අඩුපාඩුව මග හරවා ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය තුළ විශාල ගමනක් යා හැකි බවට විචාරකයන් මත පළ කර තිබෙනවා. පහතින් දක්වා තිබෙන්නේ පළමු වටයේ තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම පෑ දස්කම් පිළිබඳව යි. 

ශ්‍රී ලංකා – නැමීබියා තරගය

පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම උරෙනුර ගැටුණේ නැමීබියා කණ්ඩායම සමඟ යි. කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 29ක් ඇතුළත බිඳ වැටුණා. ඒ මහීෂ් තීක්ෂණගේ දක්ෂ පන්දු යැවීම හමුවේ යි. ඉන් අනතුරුව පිටියේ එක්වුණු ක්‍රේග් විලියම්ස් සහ නායක ගෙහාඩ් එරාස්මස් ලකුණු 39ක සබඳතාවක් ගොඩ නඟමින් නැමීබියා ලකුණු පුවරුව 68/2ක් දක්වා ඉහළට ඔසවා තැබුවා.

එම අවස්ථාවේ දී ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ එරාස්මස් දැවී යාමත් සමඟ ම නැමීබියා පිතිකරුවන් එකා පිට එකා ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නට හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් නැමීබියා ඉනිම පන්දුවාර 19.3ක් තුළ ලකුණු 96කට සීමා වුණා. එහි දී මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවා ගනිද්දී වනිඳු සහ කුමාර අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

 මහීෂ් තීක්ෂණ කඩුල්ලක් දවාගනිමින් – gettyimages.com

ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ක් ම ලකුණු 26ක් තුළ බිඳ වැටුණා. තරගය දෙපිලට ම විවෘත වුණු එම අවස්ථාවේ පිටියේ එකතු වුණු අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ වගකීමෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 74ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගුවා.

එම වටිනා සබඳතාවට හේතුවෙන් පන්දුවාර 13.3ක් අවසානයේ දී කඩුලු 3ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. 

භානුක සහ අවිශ්ක පන්දුවට පහරදෙමින් – gettyimages.com

පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

නැමීබියාව- 96/10 (19.3), (විලියම්ස්- 29, තීක්ෂණ- 25/3, කුමාර- 9/2, හසරංග- 24/2)

ශ්‍රී ලංකාව- 100/3 (13.3), (භානුක- 42*, අවිශ්ක- 30*, ස්මිට්- 7/1) 

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා- මහීෂ් තීක්ෂණ

ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය

A කාණ්ඩය යටතේ පැවති තරග අතුරින් කාගේත් අවධානය දිනා ගත්තේ ශ්‍රී ලංකා-අයර්ලන්ත තරගය යි. එම තරගයේ දී කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 8ක් ඇතුළත බිඳ වැටුණා.

ඒ අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියක වැටී සිටි අවස්ථාවක පිටියේ එකතු වුණු පැතුම් නිස්සංක සහ වනිඳු හසරංග 4 වන කඩුල්ල සඳහා පන්දු 82කින් ලකුණු 123ක් එකතු කළා. එය 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ඉහළ ම සබඳතාව ලෙසින් වාර්තා අතරට එක් වුණා. 

වනිඳු සහ පැතුම් පන්දුවට පහරදෙමින් – gettyimages.com

ඊට පෙර එම වාර්තාවට හිමිකම් කියූ එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස් සහ ඔයින් මෝගන් 2012 T20 ලෝක කුසලානයේ දී කොදෙව්වන්ට එරෙහිව ලකුණු 107ක සබඳතාවක් ගොඩ නඟා තිබුණා.

එහි දී වනිඳු පන්දු 47කින් ලකුණු 71ක් ලබා ගනිද්දී, පැතුම් පන්දු 61කින් ලකුණු 47ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනාගේ එම සුපිරි පිතිහරඹ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම 171/7ක් ලෙසින් නිමාව දුටුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 3 ම ලකුණු 32ක් තුළ බිඳ වැටුණා. 

අයර්ලන්ත කණ්ඩායමේ කඩුල්ලක් දවාගත් වනිඳු – gettyimages.com

ඉන් නොසැලුණු බැල්බර්නි සහ කැම්පර් ලකුණු සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවක් ගොඩ නැඟුවා. ලකුණු 24ක් ලබා සිටි කැම්පර් දැවීයාමත් සමඟින් එම සබඳතාවය නිමාව දුටුවා. ඒ සමඟම අයර්ලන්ත කණ්ඩායමේ කඩුලු පෙරහර ආරම්භ වුණා. අවසානයේ දී පන්දුවාර 18.3ක දී අයර්ලන්ත ඉනිම ලකුණු 101කට සීමාවීමත් සමඟින් ශ්‍රී ලංකාවට ලකුණු 70ක පහසු ජයක් හිමි වුණා.

ශ්‍රී ලංකාව- 171/7 (20), (වනිඳු- 71, නිස්සංක- 61, ශානක- 21*, ලිට්ල්- 21/4, ඇඩේර්- 35/2)

අයර්ලන්තය- 101/10 (18.3), (බැල්බර්නි- 41, තීක්ෂණ- 17/3, කුමාර- 22/2, චාමික- 27/2)

ශ්‍රී ලංකාවට ලකුණු 70ක ජයක් 

තරගයේ වීරයා- වනිඳු හසරංග 

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා මුලින් ම පන්දුවට පහරදීම සඳහා ප්‍රතිවාදීන්ට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත පිතිකරුවන්ට ප්‍රබල ශ්‍රී ලංකා පන්දු බළ ඇණිය ඉදිරියේ හිස එසවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 10ක් ඇතුළත නෙදර්ලන්ත ඉනිම ලකුණු 44කට සීමා වුණා.

එය 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ යම් කණ්ඩායමක් දෙවනියට ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වුණා. 2014 T20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 39කට දැවී ගිය නෙදර්ලන්ත කණ්ඩායම ම එහි වාර්තාවට හිමිකම් කීම විශේෂත්වයක්. 

නෙදර්ලන්ත කඩුල්ලක් දවාගත් ළහිරු කුමාර – gettyimages.com

එහි දී නෙදර්ලන්ත ඉනිම ලකුණු 44කට සීමා කිරීම සඳහා සුපිරි පන්දු යැවීමක නිරත වුණු වනිඳු සහ කුමාර කඩුලු 3 බැගින් දවා ගනිද්දී තීක්ෂණ කඩුලු 2ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. පහතින් දැක්වෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

නෙදර්ලන්තය- 44/10 (10), (ඇකර්මන්- 11, කුමාර- 7/3, වනිඳු- 9/3, තීක්ෂණ- 3/2)

ශ්‍රී ලංකාව- 45/2 (7.1), (කුසල්- 33*, ග්ලෝවර්- 12/1)

ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා- ළහිරු කුමාර 

නැමීබියා ක්‍රීඩක ඩේවිඩ් වීසේ  – gettyimages.com

A කාණ්ඩයේ ඉතිරි තරගවල ප්‍රතිඵල 

A කාණ්ඩයෙන් අයර්ලන්තය දෙවන වටයට සුදුසුකම් ලබනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. නමුත් කිසිවකු නොසිතූ අයුරින් අයර්ලන්තය අභිබවා ගිය නැමීබියා කණ්ඩායම දෙවන තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එහි දී නැමීබියාව වෙනුවෙන් ඩේවිඩ් වීසේ දැක්වූ දස්කම් කැපී පෙනුණා. කලක් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළ ඩේවිඩ් වීසේ මෙම තරගාවලියේ දී සිය අත්දැකීම් මැනවින් උපයෝගී කර ගත්තා. 

පළමු තරග වටය යටතේ අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේ දී කර්ටිස් කැම්පර් නම් අයර්ලන්ත පන්දු යවන්නා පිට පිට ම පන්දු 4කින් කඩුලු 4ක් දවාගෙන සුපිරි දස්කමක් දැක්වීමට සමත් වුණා. ඔහුට පෙර 20/20 තරගවල දී එවැනි දස්කමක් දක්වා තිබුණේ ලසිත් මාලිංග සහ රෂීඩ් ඛාන් යන සුපිරි පන්දු යවන්නන් දෙදෙනා පමණ යි.  

කර්ටිස් කැම්පර් පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

පහතින් දක්වා තිබෙන්නේ A  කාණ්ඩය යටතේ පැවති ඉතිරි තරගවල ඉරණම විසදුණු ආකාරය යි.

නැමීබියාව සහ නෙදර්ලන්තය- නැමීබියාවට කඩුලු 6ක ජයක් 

නැමීබියාව සහ අයර්ලන්තය- නැමීබියාවට කඩුලු 8ක ජයක් 

අයර්ලන්තය සහ නෙදර්ලන්තය- අයර්ලන්තයට කඩුලු 7ක ජයක් 

නැමීබියා කණ්ඩායම – gettyimages.com

ස්කොට්ලන්තය B කාණ්ඩයේ පෙරමුණට 

බංග්ලාදේශ කණ්ඩායම B කාණ්ඩයේ පෙරමුණ ගනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. බංග්ලාදේශ කණ්ඩායම අභිබවා ගිය ස්කොට්ලන්ත කණ්ඩායම B කාණ්ඩයේ පෙරමුණ ගනිද්දී බංග්ලාදේශය දෙවන ස්ථානය දිනා ගත්තා. එහි දී බංග්ලාදේශ කණ්ඩායමේ ශකීබ් අල් හසන්ගේ තුන් ඉරියව් දස්කම් කැපී පෙනුණා. ස්කොට්ලන්ත පන්දු යවන්නන්ගේ දස්කම් ද ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණා. 

ශකීබ් අල් හසන් – gettyimages.com

පහත දක්වා තිබෙන්නේ B කාණ්ඩයේ තරගවල ඉරණම විසඳුණු ආකාරය යි.

ඕමානය සහ පැපුවා නිව් ගිනියාව- ඕමානයට කඩුලු 10ක ජයක් 

ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය- ස්කොට්ලන්තයට ලකුණු 6ක ජයක් 

ස්කොට්ලන්තය සහ පැපුවා නිව් ගිනියාව- ස්කොට්ලන්තයට ලකුණු 17ක ජයක් 

බංග්ලාදේශය සහ ඕමානය- බංග්ලාදේශයට ලකුණු 26ක ජයක් 

බංග්ලාදේශය සහ පැපුවා නිව් ගිනියාව- බංග්ලාදේශයට ලකුණු 84ක ජයක්

ස්කොට්ලන්තය සහ ඕමානය- ස්කොට්ලන්තයට කඩුලු 8ක ජයක් 

ස්කොට්ලන්ත කණ්ඩායම – gettyimages.com

පළමු වටයේ සුපිරි තරු 

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග වටයේ දී පිතිකරුවන්ගේ දස්කම් එතරම් කැපී පෙනුණේ නැහැ.  එනිසා කිසිදු පිතිකරුවෙකුට ලකුණු 75කට වඩා වැඩි ඉනිමක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණේ නැහැ. පහතින් දක්වා තිබෙන්නේ පිත්තෙන් ඉහළ ම දස්කම් දැක්වූ පිතිකරුවන් පස් දෙනා පිළිබඳ ව යි.

1) මැක්ස් ඕ ඩාවුඩ් (නෙදර්ලන්තය)- ලකුණු 123 

2) ජටින්දර් සිං (ඕමානය)- ලකුණු 113

3) ශකිබ් අල් හසන් (බංග්ලාදේශය)- ලකුණු 108

4) ගෙහාඩ් එරාස්මස් (නැමීබියාව)- ලකුණු 105 

5) රිචී බෙරිංටන් (ස්කොට්ලන්තය)- ලකුණු 103 

පළමු වටයේ තරගවල දී පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක තණ තීරු සකස් කර තිබුණා. ඉන් උපරිම ප්‍රතිඵල ලබාගත් ඇතැම් පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැව්වා. එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දස්කම් කැපී පෙනුණා. පහතින් දක්වා තිබෙන්නේ පළමු වටයේ දී වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නන් පිළිබඳ ව යි.

1) ශකිබ් අල් හසන් (බංග්ලාදේශය)- ලකුණු 54ට කඩුලු 9යි (පන්දුවාර 12)

2) මහීෂ් තීක්ෂණ (ශ්‍රී ලංකාව)- ලකුණු 45ට කඩුලු 8යි  (පන්දුවාර 9)

3) ජෝෂ් ඩේවි (ස්කොට්ලන්තය)- ලකුණු 67ට කඩුලු 8යි  (පන්දුවාර 11.3)

4) ළහිරු කුමාර (ශ්‍රී ලංකාව)- ලකුණු 38ට කඩුලු 7යි  (පන්දුවාර 10.3)

5) වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)- ලකුණු 45ට කඩුලු 6යි  (පන්දුවාර 11) 

දෙවනි වටයේ දී කණ්ඩායම් බෙදෙන ආකාරය 

තරගාවලියේ දෙවන වටයේ දී කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 12ක් තරග වදිනවා. එම එක් එක් කාණ්ඩයට අයත්ව තිබෙන රටවල් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

පළමු කාණ්ඩය 

1) ඕස්ට්‍රේලියාව

2) බංග්ලාදේශය 

3) එංගලන්තය

4) දකුණු අප්‍රිකාව 

5) ශ්‍රී ලංකාව 

6) බටහිර ඉන්දීය කොදෙව් 

දෙවන කාණ්ඩය 

1) ඇෆ්ගනිස්ථානය

2) ඉන්දියාව 

3) නැමීබියාව 

4) නවසීලන්තය

5) පාකිස්තානය 

6) ස්කොට්ලන්තය

දෙවන වටයේ ශ්‍රී ලංකා තරග කාල සටහන 

දෙවන තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5කට සහභාගි වීමට නියමිත යි. එම තරග පැවැත්වෙන දින සහ වේලා පහතින් දක්වා තිබෙනවා.

ඔක්තෝබර් 24 ඉරිදා (සවස 3.30)- ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය

ඔක්තෝබර් 28 බ්‍රහස්පතින්දා (රාත්‍රී 7.30)- ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව 

ඔක්තෝබර් 30 සෙනසුරාදා (සවස 3.30)- ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව 

නොවැම්බර් 1 සඳුදා (රාත්‍රී 7.30)- ශ්‍රී ලංකාව සහ එංගලන්තය

නොවැම්බර් 4 බ්‍රහස්පතින්දා (රාත්‍රී 7.30)- ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් 

කවරයේ ඡායාරූපය- පළමු වටයේ තරගවල දී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

icc-cricket.com 

Related Articles