Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක වීරයා වූ එකම ශ්‍රී ලාංකිකයා

2007 වර්ෂයේදී ආරම්භ වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 8 වන අදියර ඕස්ට්‍රේලියාවේ දී  තවත් නොබෝ දිනකින්ආරම්භ වීමට නියමිත යි. මීට ප්‍රථම අවස්ථා 7 කදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගවල දී ශ්‍රී ලංකාව 2014 වසරේ ශූරයන් වශයෙන් ද, 2009 සහ 2012 වසරවල අනුශූරයන් වශයෙන් ද දස්කම් දැක්වූවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වීරයා බවට ශ්‍රී ලාංකිකයෙක් පත් වී තිබෙන්නේ එකම එක අවස්ථාවකදී පමණ යි. ඒ 2009 වර්ෂයේ එංගලන්තයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වීරයා බවට පත් වූ තිලකරත්න ඩිල්ශාන්. ඔහු එම තරගාවලිය පුරාවට ම පිත්තෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගය තෙක් රැගෙන ඒමට විශාල කාර්යභාරයක් ඉටු කළා.

පළමු තරඟයේදීම ඩිල්ශාන් ඕස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි ඉනිමක් දියත් කළා
පළමු තරගයේදී ම ඩිල්ශාන් ඕස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි ඉනිමක් ක්‍රීඩා කළා – www.espncricinfo.com

මූලික වටයේදී ම දස්කම් අතරට!

එහි මූලික වටයේ වඩාත් තීරණාත්මක ම කාණ්ඩයක් නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් පත් ව සිටියා. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු තරගයේ දී ම ඕස්ට්‍රේලියාව හමු වුණා. තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව ලකුණු 159 ක් ලකුණු පුවරුවට එක් කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 160 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන්නා.

එහිදී සනත් ජයසූරිය පළමු කඩුල්ලට ලකුණු 2 ක් ලබා සිටිය දී දැවී ගියත්, ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අනෙක් පිතිකරු වූ තිලකරත්න ඩිල්ශාන් අන්තයක් ආරක්ෂා කර ගෙන සුපිරි ඉනිමක් ක්‍රීඩා කළා. ප්‍රබල ඕස්ට්‍රේලියා පන්දු යැවීමේ බළ ඇණිය හමුවේ පන්දු 32ක දී හතරේ පහර 10ක් ද සමඟ ඩිල්ශාන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 53ක්. ඔහුගේ ඉනිම සහ නායක කුමාර් සංගක්කාර ගේ ඉනිම ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන යාමට ප්‍රමාණවත් වුණා. මෙම තරගය පරාජයට පත් වීමෙන් පසුව ඕස්ට්‍රේලියාව මූලික වටයෙන් ම ලෝක කුසලානයෙන් ඉවත් ව යාමද සුවිශේෂී සිදුවීමක්.

මූලික වටයේ දෙවන තරගයට ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහභාගී වුණා. මෙම තරගයේ දී මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න ඩිල්ශාන් පන්දු 47 කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ද සමඟ ලකුණු 74ක් රැස් කළා. ඔහු සහ සනත් ජයසූරිය අතරේ පළමු කඩුල්ලට ගොඩනැඟුණු සබඳතාව ලකුණු 124ක්.

මූලික වටයේ පැවති තරඟ දෙකේදීම ඩිල්ශාන් අර්ධ ශතක වාර්තා කළා.
මූලික වටයේ පැවති තරඟ දෙකේදීම ඩිල්ශාන් අර්ධ ශතක වාර්තා කළා – www.espncricinfo.com

අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග සහ මුරලිදරන් ගේ පන්දු යැවීම් හමුවේ තරඟය ලකුණු 15 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. මූලික වටයේ තරඟ දෙකම ජයග්‍රහණය කොට සුපිරි 8 වටයට ශ්‍රී ලංකාව පිවිසෙද්දී ඒ වෙනුවෙන් තිලකරත්න ඩිල්ශාන් වටිනා අර්ධ ශතක දෙකකින් සම්මාදම් වී තිබුණා.

සුපිරි 8 වටයේ දී තීරණාත්මක දස්කම්

සුපිරි 8 දෙනාගේ වටයේ දෙවන කාණ්ඩය හෙවත් F කාණ්ඩයට ශ්‍රී ලංකාව ඇතුළත් වුණා. ඒ යටතේ මුලින් ම හමු වූ ප්‍රතිවාදියා වූයේ පාකිස්තානය යි. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 150ක් වාර්තා කළා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඩිල්ශාන් පන්දු 39 කදී හතරේ පහර 8ක් ද සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 46ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 20ක දී කඩුලු 9ක් දැවී වාර්තා කළේ ලකුණු 131ක් පමණ යි. පාකිස්තානයයේ වඩාත් තීරණාත්මක කඩුල්ලක් වූ ශහීඩ් අෆ්රිඩි ගේ උඩපන්දුව රැක ගැනීමට ද ඩිල්ශාන් සමත් වුණා. පිත්තෙන් මෙන් ම පන්දු රැකීමෙන් ද දැක්වූ දක්ෂතා නිසා තිලකරත්න ඩිල්ශාන් එම තරගයේ වීරයා ලෙසින් නම් කළා.

පාකිස්තානයට එරෙහිව සුපිරි 8 වටයේ මුල්ම තරඟය ක්‍රීඩා කරමින්
පාකිස්තානයට එරෙහිව සුපිරි 8 වටයේ මුල්ම තරගය ක්‍රීඩා කරමින් – www.espncricinfo.com

සුපිරි 8 වටයේ දී ශ්‍රී ලංකාව හමුවූ දෙවන ප්‍රතිවාදියා වූයේ අයර්ලන්තය යි. වඩාත් පහසු තරගයක් බවට පෙනුණ ද තරගය ආරම්භය ශ්‍රී ලංකාවට සුබදායක වුයේ නෑ. තරගාවලිය පුරාවට ම දක්ෂතා දක්වමින් සිටි තිලකරත්න ඩිල්ශාන් මෙම තරගයේ ඔහු මුහුණ දුන් දෙවන පන්දුවෙන් ම ලකුණු නොලබා දැවී ගියා. මහේල ජයවර්ධන හුදෙකලා සටනක නිරත වී රැස්කළ ලකුණු 78 නිසා ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේදී ලකුණු 144ක් දක්වා ගමන් කළා.

ශ්‍රී ලංකාවට තියුණු ජයක්!

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් ක්‍රියාත්මක වූ අජන්ත මෙන්ඩිස්, මුත්තයියා මුරලිදරන් සහ ලසිත් මාලිංග පන්දුවෙන් දස්කම් දැක්වූවා. අයර්ලන්තයේ වඩාත් තීරණාත්මක කඩුල්ලක් වූ කෙවින් ඕ බ්‍රයන් ගේ කඩුල්ල ලබා ගැනීමට අවශ්‍ය උඩ පන්දුව තිලකරත්න ඩිල්ශාන් රැක ගත්තා. අවසානයේ දී අයර්ලන්තය ලකුණු 135 කට සීමා වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 9 ක තියුණු ජයග්‍රහණයක් අත්කර දෙමින්.

සුපිරි 8 වටයේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය එකිනෙක ගැටුණා. මෙම තරගයේ දී නැවත වතාවක් තම සුපුරුදු රිද්මයට අවතීර්ණ වන ආරම්භක පිතිකරු ඩිල්ශාන්, ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු 37 ක දී හතරේ පහර 5 ක් ද සමඟ ලකුණු 48ක් වාර්තා කළා. එය එම ඉනිමේ පිතිකරුවෙක් වාර්තා කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව වූවා.  ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5 කට ලකුණු 158ක් වාර්තා කළා.

නවසීලන්ත තරඟයේදී නැවතත් තම රිද්මයට අවතීර්ණ වුණා
නවසීලන්ත තරගයේදී ඔහු නැවතත් තම රිද්මයට අවතීර්ණ වුණා – www.espncricinfo.com

නැවත වතාවක් සාර්ථක වූ අජන්ත මෙන්ඩිස් ගේ පන්දු යැවීමේ භීතිකාවට ගොදුරු වන නවසීලන්ත පිතිකරුවන් එකා පිට එකා දැවී ගියා. නවසීලන්ත ඉනිම ලකුණු 110 කට සීමා වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 48 ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්. එම තරගයේ අවසන් කඩුල්ල වූ කයිල් මිල්ස් දුවද්දී දවා ගැනීමට ද ඩිල්ශාන් සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව අපරාජිත ව 2009 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තමන්ගේ ස්ථානය වෙන් කර ගත්තා.

අවසන් පූර්ව වටයේ දී ඩිල්ශාන් ගෙන් සුපිරි ඉනිමක්!

පළමු අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සුදුසුකම් ලබා සිටියා. ඒ වන විටත් තරගාවලියේම අවධානයට පාත්‍ර වී සිටි ක්‍රිස් ගේල් ගේ සහ තිලකරත්න ඩිල්ශාන් ගේ ද්වන්ධ සටනක් ලෙසින් මෙම තරගය ආරම්භ වීමට පෙර සිට ම ක්‍රිකට් ලොව පුරා ජනප්‍රිය වී තිබුණා. තරගයේ පන්දුවට මුලින් ම පහර දුන්නේ ශ්‍රී ලංකාව යි.

ප්‍රේක්ෂක බලාපොරොත්තුවලට එලෙස ම පණ දුන් තිලකරත්න ඩිල්ශාන් අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වුණා. ඔහු පන්දු 57ක් පුරා පිටියේ රැඳෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් ද සමඟ නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 96ක්. ඉනිම පුරාවට ම නොදැවී රැස් කර ගත් මෙම ඉනිම එකල ශ්‍රී ලාංකික පිතිකරුවෙක් විස්සයි විස්ස පිටියේ වාර්තා කළ හොඳ ම ඉනිම වශයෙන් ද සටහන් වුණා.

කොදෙව්වන්ට එරෙහිව දියත් කළ ඉනිම අතරතුර
කොදෙව්වන්ට එරෙහි ව ක්‍රීඩා කළ ඉනිම අතරතුර – www.thepapare.com

ඩිල්ශාන් ගේ මෙම ඉනිම නිසා ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ දී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 158ක්. ඩිල්ශාන් සහ ගේල් ගේ ගැටුම සත්‍යක් බව පෙන්වූ ක්‍රිස් ගේල් ද කොදෙව් ඉනිම පුරාවට ම නොදැවී සිටිමින් ලකුණු 63ක් වාර්තා කළා. නමුත් ගේල් හැරෙන්නට වෙනත් කිසිදු කොදෙව් පිතිකරුවෙක් ලකුණු 10 සීමාවටවත් ළඟා නොවුණේ ඔවුන්ගේ ඉනිම ලකුණු 101 කට සීමා කරමින්. ලකුණු 57 ක විශිෂ්ට ජයග්‍රහණයක් සමඟ ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයක ඉඩ වෙන් කර ගනිද්දී තිලකරත්න ඩිල්ශාන් අවසන් පූර්ව වට තරගයේ වීරයා ද වුණා.

අවාසනාවන්ත අවසානයක්

සුපිරි 8 වටයේ පළමු තරඟයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වූ පාකිස්තානය අවසන් මහා තරගයට අනෙක් අන්තයෙන් සුදුසුකම් ලබා සිටියා. සුපිරි 8 වටයේ මෙන් ම මෙවර ද පන්දුවට මුලින් ම පහර දුන්නේ ශ්‍රී ලංකාව යි. සුවහසක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුන් කරමින් මොහොමඩ් අමීර් යැවූ පළමු පන්දු වාරයේදී ම තිලකරත්න ඩිල්ශාන් ලකුණු නොලබා දැවී ගියා.

සනත් ජයසූරිය, මහේල ජයවර්ධන වැනි නම් දැරූ පිතිකරුවන් ද අසාර්ථක වෙද්දී කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 64ක් සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 35ක් රැස් කළේ ශ්‍රී ලංකාව ගෞරවාන්විත අවසානයක් කරා රැගෙන එමින්. නමුත් එදින අවසානයේ වාර්තා වූ ලකුණු 138 ප්‍රමාණවත් වුයේ නෑ.

අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දැමූ ශහීඩ් අෆ්රිඩි
අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දැමූ ශහීඩ් අෆ්රිඩි – www.espncricinfo.com

ශහීඩ් අෆ්රිඩි ගේ පිත්තෙන් නොදැවී වාර්තා වුණ ලකුණු 54 ක ඉනිම පාකිස්තාන ජයග්‍රහණය තහවුරු කළා. එම ජයග්‍රහණයත් සමඟ එතෙක් අපරාජිත ව ලෝක කුසලාන අවසන් මහා තරගයට පැමිණි ශ්‍රී ලංකාවට අනුශූරතාවෙන් සෑහීමකට පත් වන්නට සිදු වුණා. තරගාවලිය පරාජයට පත් වුවත් පිත්තෙන් මෙන් ම පන්දු රැකීමෙන් ද විශිෂ්ට දස්කම් දැක්වූ තිලකරත්න ඩිල්ශාන් තරගාවලියේ වීරයා ලෙසින් නම් කළා.

ඩිල්ශාන් ගේ දස්කම්වල සාරාංශය

තරගාවලියේ තරග 7 ක ඉනිම 7 ක් ක්‍රීඩා කළ තිලකරත්න ඩිල්ශාන් රැස් කළ සමස්ත ලකුණු සංඛ්‍යාව 317ක්. එම ලකුණු 317 ට අර්ධ ශතක 3ක් ඇතුළත් වූ අතර ම වැඩි ම ලකුණු සංඛ්‍යාව වූයේ කොදෙව්වන්ට එරෙහිව අවසන් පූර්ව වටයේදී රැස්කරගත් නොදැවුණු 96 ඉනිම යි. තරගාවලිය පුරාවට ඉනිමකට ලකුණු 52.83 ක ඉහළ සාමාන්‍ය අගයක් රඳවා ගැනීමට ද ඔහුට හැකියාව ලැබුණා. 

 පිත්තෙන් දැක්වූ දක්ෂතා නිසා ඩිල්ශාන් තරඟාවලියේ වීරයා බවට පත් වුණා
පිත්තෙන් දැක්වූ දක්ෂතා නිසා ඩිල්ශාන් තරගාවලියේ වීරයා බවට පත් වුණා – www.espncricinfo.com

මීට අමතර ව තරග 2 කදී තරගයේ වීරයා සම්මානයෙන් ද ඩිල්ශාන් පිදුම් ලැබුවා. පන්දු රැකීමෙන් ද, උඩපන්දු 3ක් සහ එක් දුවද්දී දවා ගැනීමක් ඔහු සම්පූර්ණ කළා. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ ද ඔහු යි. මෙම දස්කම් නිසා තිලකරත්න ඩිල්ශාන්ට 2009 දෙවන විස්සයි විස්ස ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා වීමට හැකියාව ලැබුණා.

 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක වීරයෙක් බවට ශ්‍රී ලාංකිකයෙක් පත් වූයේ 1996 ලෝක කුසලානයේ සනත් ජයසූරිය තරගාවලියේ වීරයා වීමෙන් අනතුරු ව වීම ද විශේෂත්වයක්. තවමත් මෙම වාර්තාවට ශ්‍රී ලාංකිකයන් වශයෙන් නම සටහන් කිරීමට සමත් ව ඇත්තේ ද ඩිල්ශාන් සහ ජයසූරිය පමණ යි. 2009 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ යුගළය ද ඩිල්ශාන් සහ ජයසූරිය යන දෙපළ ම වීම මෙම සිදුවීම වඩාත් සුන්දර කිරීමට සමත් වනවා.

කවරයේ ඡායාරූපය -තිලකරත්න ඩිල්ශාන් - www.espncricinfo.com
 මූලාශ්‍ර :

www.espncricinfo.com

www.cricbuzz.com

www.icccricket.com

Related Articles