Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන්ව ඇති සුපිරි ක්‍රිකට් වාර්තා 10ක්

ශ්‍රී ලංකාව එක් යුගයක ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායමක් බවට පත්ව සිටියා. ලංකා කණ්ඩායම එනිසා තවමත් ක්‍රිකට් වාර්තා රැසකට උරුමකම් කියනවා. ඒ වාර්තා අතරින් ඇතැම් ඒවා ලෙහෙසියෙන් බිඳීයාමට ඉඩ තිබුණත්, තවත් සමහර වාර්තා පහසුවෙන් බිඳ දමන්නට හෝ සම කරන්නට අමාරු යි. 

මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තැබූ බිඳීමට හෝ සම කිරීමට අපහසු එවැනි සුපිරි ක්‍රිකට් වාර්තා 10ක්. 

10) නුවන් සොයිසා – විරල ගණයේ ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම 

නුවන් සොයිසා (gettyimages)

1999 වසරේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය හරාරේ ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා. එදා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වන තරගයට සහභාගි වුණු නුවන් සොයිසා සුවිශේෂී දස්කමක් දැක්වීමට සමත් වුණා. ඒ, එම තරගයේ ද ඔහු යැවූ පළමු පන්දුවාරයේ පළමු පන්දු තුනෙන්ම කඩුලු ලබාගෙන කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කිරීම යි. සොයිසාගේ පන්දු හමුවේ ට්‍රෙවෝ ග්‍රිපර්, මරේ ගුඩ්වින්, සහ නීල් ජොන්සන් යන පිතිකරුවන් තිදෙනා දැවීගියා. එය ලාංකීය පන්දු යවන්නෙකු ලබාගත් පළමු ටෙස්ට් කඩුලු ත්‍රිත්වය ලෙසින් ද සටහන් වුණා. 

සාමාන්‍යයෙන් ටෙස්ට් තරගයක යම් පන්දු යවන්නෙකුට, ඔහු යවන පළමු පන්දු තුනෙන්ම කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම ලෙහෙසියෙන් කරන්නට බැරි දෙයක්. එනිසා මෙවැනි සිදුවීමක් ආයෙ ටෙස්ට් තරගයක වෙයි කියල හිතන්න ටිකක් අමාරු යි. 

9) අර්ජුණ රණතුංග – සිය රට ක්‍රීඩාකළ පළමු සහ සියවන ටෙස්ට් තරගවලට සහභාගි වීම 

ශ්‍රී ලංකාව සහභාගී වුණු 100 වැනි ටෙස්ට් තරගයේ දී අර්ජුණට ලැබුණු උපහාරය (Lake House)

යම් ක්‍රීඩකයෙකුට සිය රට ක්‍රීඩා කළ පළමු සහ සියවන ටෙස්ට් තරග සඳහා සහභාගීවීමට ලැබීම ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. වසර 144ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ එම භාග්‍යය ලැබුණේ එකම එක ක්‍රීඩකයෙකුට පමණ යි. ඒ අන් කවරෙකුත් නොව ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් අර්ධ ශතකය පවා ලබාගත් අර්ජුණ රණතුංග නම් සුපිරි ක්‍රීඩකයාට යි. 

1982 වසරේ එංගලන්තයට එරෙහිව කොළඹ පී සරා ඕවල් පිටියේ දී පැවති මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අර්ජුණට ඉන් වසර 18කට පසුව පාකිස්ථානයට එරෙහිව කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති 100 වැනි ටෙස්ට් තරගයට ද  ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවුණා. ඉදිරි අනාගතයේ දී යම් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එවැනි අවස්ථාවක් හිමිවීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අඩු යි. 

8) චමින්ද වාස් – විරල ගණයේ එක්දින කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම  

චමින්ද වාස් කඩුලු ත්‍රිත්වය ලබාගත් අවස්ථාව (gettyimages)

2003 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගය පීටර්මැරිස්බර්ග් නුවර සිටි ඕවල් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන්නේ බංග්ලාදේශ කණ්ඩායම යි. බංග්ලාදේශ ඉනිමේ පළමු පන්දුවාරය ක්‍රීඩා කළ චමින්ද වාස්, මුල්ම පන්දු තුනෙන් හනාන් සර්කාර්, මොහොමඩ් අෂ්රපුල්, සහ එෂනුල් හක් යන පිතිකරුවන් තිදෙනාව දවාගෙන විරල ගණයේ කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කළා.  වර්තමානය වන විට එක්දින තරගවල දී පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු වැඩිපුර සකස් වන නිසා, යළි එක්දින පිටිය තුළ දී 

මෙවැනි දස්කමක් දකින්නට ලැබෙන එකක් නැහැ. 

7) මුත්තයියා මුරලිදරන් – ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ඉනිමක කඩුලු 5 බැගින් සහ තරගයක කඩුලු 10 බැගින් වැඩිම අවස්ථා ගණනක දී ලබාගැනීම 

මුරලි 1998 වසරේ දී එංගලන්තයට එරෙහිව කඩුලු 16ක් දවාගත් තරගයේ අවස්ථාවක් (gettyimages)

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු සුපිරිම පන්දු යවන්නා ලෙසින් සලකනු ලබන මුරලිදරන්ගේ නම ඉදිරියේ වාර්තා රැසක් ලියැවී තිබෙනවා. ඒ අතරින් ප්‍රධානතම වාර්තාවක් වන්නේ අවස්ථාවන් 67කදී ඉනිමක කඩුලු 5 බැගින් දවාගැනීම යි. මුරලි 67 වාරයක් එම දස්කම් දක්වද්දී ලැයිස්තුවේ ඔහුට පිටුපසින් සිටින පන්දු යවන්නන් ඉනිමක කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා ප්‍රමාණය මෙලෙස සටහන් කරන්නට පුළුවන්. 

1) ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව)- අවස්ථා 37  

2) රිචඩ් හැඩ්ලි ( නවසීලන්තය)- අවස්ථා 36  

3) අනිල් කුම්බ්ලේ (ඉන්දියාවේ)- අවස්ථා 35

4)  රංගන හේරත් (ශ්‍රී ලංකාව)- අවස්ථා 34 

එසේම මුරලිදරන් 22 වතාවක් ටෙස්ට් තරගයක කඩුලු 10 බැගින් ලබාගනිද්දී එම ලැයිස්තුවේ ඔහුට පිටුපසින් සිටින පන්දු යවන්නන් තරගයක කඩුලු 10 බැගින් දවාගත් අවස්ථා ප්‍රමාණය මේ අයුරින් සටහන් කරන්නට පුළුවන්. 

1) ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව)- අවස්ථා 10  

2) රිචඩ් හැඩ්ලි ( නවසීලන්තය)- අවස්ථා 9  

3)  රංගන හේරත් (ශ්‍රී ලංකාව)- අවස්ථා 9

4) අනිල් කුම්බ්ලේ (ඉන්දියාවේ)- අවස්ථා 8

ඉහත දත්තයන් දෙස බැලූවිට පැහැදිලිවම පෙනී යන්නේ තව වසර 100ක් ගතවුණත් මුරලිගේ මෙම වාර්තා ද්විත්වය බිඳ දැමීමට අපහසු බව යි.

6) චමින්ද වාස් – එක්දින තරගයක දී ලකුණු 19කට කඩුලු 8ක් දවාගැනීම 

 වාස් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු යවමින් (gettyimages)

2001 දෙසැම්බර් 8 වැනිදා LG තුන්කොන් එක්දින තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී තරග වැදුණා.  එදා කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවන්ට පන්දුවාර 15.4ක් තුළ සියලුදෙනාම දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 38ක් පමණ යි. සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු 38 එම අවධිය වන විට එක්දින තරගයක දී යම් කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. 

සිම්බාබ්වේ ඉනිම සුණුවිසුණු කළ චමින්ද වාස් කඩුලු ත්‍රිත්වයක් ද සමගින් ලකුණු 19කට කඩුලු 8ක් දවාගත්තා. එදා වාස් කඩුලු 8ක් ලබාගැනීමෙන් පසුව කිසිදු පන්දු යවන්නෙකුට එක්දින තරගයක දී යළි කඩුලු 8ක් ලබාගැනීමට හැකිවුණේ නැහැ. ඒ අනුව දැනට දශක 2කට ආසන්න කාලයක් සුරැකිව පවතින එම වාර්තාව තවත් දශක කිහිපයක් ආරක්ෂා වී තිබීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

5) කුමාර් සංගක්කාර – එක්දින තරග ඉතිහාසයේ දී පිට පිටම ශතක 4ක් ලබාගැනීම 

සංගක්කාර ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දුවටපහරදෙමින් (gettyimages)

2015 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට සැලකිය යුතු තරම් දස්කම් දක්වන්නට හැකිවුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සුපිරිම පිතිකරුවෙකු වුණු කුමාර් සංගක්කාරට 2015 ලෝක කුසලානය අමතක නොවන තරගාවලියක් බවට පත්වුණා.  

සංගක්කාර බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලකුණු 105ක්, එංගලන්තයට එරෙහිව නොදැවී ලකුණු 117ක්, ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 104ක් සහ ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 124ක් වශයෙන් ශතක වාර්තා කළා. ඒ අනුව කුමාර් සංගක්කාර එක්දින තරග ඉතිහාසයේ දී පිට පිටම ශතක 4ක් ලබාගත් එකම පිතිකරුවා බවට පත්ව සිටිනවා. 

එසේම පිට පිටම එක්දින ශතක 3ක් ලබාගත් පිතිකරුවන් 10 දෙනෙකු එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුළ දී හමුවනවා. නමුත් සංගක්කාරගේ මෙම සුපිරි වාර්තාව අභිබවා යාම පහසුවෙන් කළ නොහැකි බව පැහැදිලිවම පෙනී යනවා.

4) මුත්තයියා මුරලිදරන් – ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කඩුලු 1347ක් දවාගැනීම 

මුත්තයියා මුරලිදරන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (gettyimages)

එදාමෙදා තුර ලෝක ක්‍රිකට් පිටියේ බිහිවුණු සුපිරිතම පන්දු යවන්නා ලෙසින් හඳුන්වනු ලබන්නේ මුත්තයියා මුරලිදරන් නම් ලාංකීය පන්දු යවන්නා යි.ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී  කඩුලු 1347ක් දවාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ටෙස්ට් කඩුලු 800ක්, එක්දින කඩුලු 534ක්, සහ 20/20 කඩුලු 13ක් දඩයම් කිරීමට මුරලිදරන්ට හැකියාව ලැබුණා. මුරලිට පසුව වැඩිම ජාත්‍යන්තර කඩුලු ප්‍රමාණයක් ලබාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුව පහත ආකාරයට දක්වන්නට පුළුවන්. 

1) ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව)- කඩුලු 1001

2) අනිල් කුම්බ්ලේ (ඉන්දියාව)- කඩුලු 956

3) ග්ලේන් මැග්‍රාත්(ඕස්ට්‍රේලියාව)- කඩුලු 949

4) වසීම් අක්‍රම් (පාකිස්ථානය)- කඩුලු 916

5) ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය)- කඩුලු 901

3) මහේල සහ සංගක්කාර ගොඩනැගූ ලකුණු 624ක දැවැන්ත සබඳතාවය

මහේලගේ සහ සංගක්කාරගේ සබඳතාවයේ අවස්ථාවක් (gettyimages)

2006 ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේපළමු තරගය ජූලි 27 වැනිදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ආරම්භ වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානුවන් සියලුම පිතිකරුවන් දැවී ලකුණු 269ක් ලබාගත්තා. ඉන්පසු සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 14ක් තුළ දවාගැනීමට ඩේල් ස්ටේන් සමත් වුණා.  

එම අවස්ථාවේ දී පිටියේ එක්වුණු මහේල සහ සංගක්කාර දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට එරෙහිව මැනවින් පන්දුවට පහර දුන්නා. එදා කිසිදු දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙකුට මහේලව සහ සංගක්කාරව පාලනය කිරීමට හැකිවුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් යුගලය තෙවන කඩුල්ල සඳහා ලකුණු 624ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගුවා. එහි දී මහේල ලකුණු 374ක් ලබාගනිමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දකුණත් පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගන්නා විට සංගක්කාරගේ පිත්තෙන් ලකුණු 287ක් වාර්තා වුණා.  

එලෙස මහේල සහ සංගක්කාර ගොඩනැගූ ලකුණු 624ක සබඳතාවය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ  ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු ඉහළම සබඳතාවය ලෙසින් සටහන් වනවා. එදා ඔවුන් දෙදෙනා අතින් බිඳ වැටුණේ  1997 වසරේ දී සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම ඉන්දියාවට එරෙහිව දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබුණු ලකුණු 576ක වාර්තාව යි. 

2) ශ්‍රී ලංකාව – ඉන්දියාවට එරෙහිව ටෙස්ට් ඉනිමක දී ලකුණු 952ක් ලබාගැනීම 

ශ්‍රී ලංකාව ලකුණු 952ක් ලබාගත් අවස්ථාවේ ලකුණු පුවරුව සටහන් වුණු ආකාරය (Cricket Country)

අද වන විට බොහෝ කණ්ඩායම් ටෙස්ට් තරගවල දී දිගු ඉනිම් කරා යන්නේ නැහැ. ගෙවුණු දශකය තුළ යම් කණ්ඩායමක් ලකුණු 750 සීමාව එක් අවස්ථාවක දී පමණක් ඉක්මවා ගොස් තිබීමෙන් ඒ බව මනාව පැහැදිලි වනවා. නමුත් 20 වන සියවසේ පැවති ටෙස්ට් තරගවල දී මෙම තත්ත්වය දක්නට ලැබුණේ නැහැ. එදා සෑම කණ්ඩායමක්ම රිසි සේ ලකුණු ලබාගැනීමට උත්සාහ කළා. 

1997 වසරේ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති ඉන්දු-ලංකා ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 952ක් ලබාගත්තා. එහි දී ජයසූරිය සහ මහානාම පිළිවෙලින් ලකුණු 340ක් සහ 225ක් ලෙස ලකුණු ලබාගෙන ලකුණු 576ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගුවා. එය එම අවධියේ දී ටෙස්ට් පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු හොඳම සබඳතාවය ලෙස සටහන් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඒ ලකුණු 952ක වාර්තාව බිඳ දැමීම ඕනෑම කණ්ඩායමකට එල්ල වන දැවැන්ත අභියෝගයක් බව කිව යුතුම යි. 

1) ලසිත් මාලිංග – එක්දින සහ 20/20 තරගවල දී පිට පිටම පන්දු 4කින් කඩුලු 4ක් දවාගැනීම 

මාලිංග දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පන්දු 4කින් කඩුලු 4ක් දවාගත් අවස්ථාව (gettyimages)

සීමිත ඕවර තරගවල දී සුපිරි දස්කම් පෙන්වීමට සමත්වුණු ලසිත් මාලිංග, ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු භයානකම වේග පන්දු යවන්නන් කිහිප දෙනා අතරට අයත් වෙනවා. ඔහු පිළිබඳව අදටත් බොහෝදෙනා කතා කරන්නේ එක්දින සහ 20/20 යන තරග රටා දෙකේ දීම පිට පිටම පන්දු 4කින් කඩුලු 4ක් ලබාගැනීමට සමත් වුණු නිසා යි. 

මාලිංග එක්දින තරගයක දී පිට පිටම කඩුලු 4ක් දවාගත්තේ 2007 ලෝක කුසලාන තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාව හමුවේ යි. ෂෝන් පොලොක්, ඇන්ඩෘ හෝල්, ජැක් කලිස්, මකායා එන්ටිනි යන පිතිකරුවන් මාලිංගගේ පන්දු හමුවේ දැවීගියා. එසේම මාලිංග 20/20 තරගයක දී පිට පිටම කඩුලු 4ක් දවාගත්තේ 2019 වසරේ දී නවසීලන්තයට එරෙහිව පැවති තරගයක දී යි. එහි දී කොලින් මුන්රෝ, හැමිෂ් රදර්ෆඩ්, කොලින් ග්‍රෑන්ඩ්හෝම්, රොස් ටේලර් යන පිතිකරුවන්ව දවාගැනීමට මාලිංග සමත් වුණා. මාලිංගගේ නම ඉදිරියේ ලියැවී ඇති මේ අද්විතීය වාර්තාව තව සියවසක් ගතවනතුරුත් අමරණීයව පවතිනු ඇති බවට සැකයක් නැහැ.

කවරයේ ඡායාරූපය- ජයසූරිය ලකුණු 340කට දැවීගිය අවස්ථාව (gettyimages)

මූලාශ්‍රයයන්- cricinfo 

Related Articles