Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මව්බිමේ දී එංගලන්තය හමුවේ ටෙස්ට් ශතක ලැබූ ලංකා පිතිකරුවෝ

1982 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහ එංගලන්තය ලක්බිමේ දී ටෙස්ට් තරග 16ක් ක්‍රීඩා කර තිබෙනවා. එම ටෙස්ට් තරගවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවන් හත් දෙනෙකු ශතක ලබාගැනීමට සමත් වුණා. එහි දී වැඩිම ටෙස්ට් ශතක ප්‍රමාණයක් වාර්තා වුණේ මහේල ජයවර්ධනගේ පිත්තෙන්. එසේ නම්, මෙම ලිපිය තුළින් ඔබට මව්බිමේ දී එංගලන්තය හමුවේ ටෙස්ට් ශතක ලබාගත් පිතිකරුවන් පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකි වනවා.

මහේල ජයවර්ධන- ශතක 6 (101, 134, 195, 213*, 180, 105)

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කළ ටෙස්ට් තරගවල දී මහේල ජයවර්ධන නම් පිතිකරුවාගෙන් වැඩිපුර බැට කෑවා. එහි දී මහේල ද්විත්ව ශතකයක් සමගින් ශතක 6ක් ලබාගත්තේ මව්බිමේ දී එංගලන්තය හමුවේ වැඩිම ශතක ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වෙමින්. 

අස්ගිරිය පිටියේ දී ලකුණු 101ක් ලබාගත්තේ 2001 වසරේ දී යි 

2001 වසරේ දී අස්ගිරිය පිටියේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 79ක් තුළ දැවීගියා. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු මහේල, පන්දු 165ක් තුළ ලකුණු 101ක් ලබාගත්තේ හතරේ පහර 12ක් සහ හයේ පහරක් එල්ල කරමින්.

මහේලගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ලකුණු 134ක් ලබාගත්තේ 2003 වසරේ දී යි 

2003 වසරේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී වටිනා ඉනිමක් ක්‍රීඩා කළ මහේල, හතරේ පහර 14ක් සහ හයේ පහරක් එල්ල කරමින් ලකුණු 134ක් ලබාගත්තේ පන්දු 246කට මුහුණදෙමින්. 

මහේල පහරක් එල්ල කරමින් (gettyimages)

සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ලකුණු 195ක් ලබාගත්තේ 2007 වසරේ දී යි 

2007 වසරේ දී සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 351ක් ලබාගත්තා. ඉන්පසුව, සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 22ක් තුළ දැවීගිය අවස්ථාවේ දී මහේල පිටියට පිවිසියා. එතැන් සිට එංගලන්ත පන්දු යවන්නන්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළ මහේල, හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 195ක් ලබාගත්තේ පන්දු 422කට මුහුණදෙමින්. එහි දී මහේලට ද්විත්ව ශතකයක් ලබාගැනීමට නොහැකි වුණත් ඔහුගේ ඉනිම ඉතාමත් විශිෂ්ට ගණයේ එකක් වුණා. 

මහේල ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

ගාලු ක්‍රිකට් පිටියේ දී නොදැවී ලකුණු 213ක් ලබාගත්තේ 2007 වසරේ දී යි 

2007 වසරේ දී ගාලු පිටියේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගය වර්ණවත් කළේ මහේලගේ පිති හරඹය යි. එහි දී පන්දු 411ක් තුළ නොදැවී ලකුණු 213ක් ලබාගත් මහේල, අලංකාර හතරේ පහර 25ක් පිටිය පුරා එල්ල කරනු ලැබුවා. එලෙස මහේල නොදැවී ලබාගත් ලකුණු 213, මව්බිමේ දී එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා වුණා. 

මහේලගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ගාලු ක්‍රිකට් පිටියේ දී ලකුණු 180ක් ලබාගත්තේ 2012 වසරේ දී යි 

2012 වසරේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාලු පිටියේ පැවති පළමු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 318ක් පමණ යි. එහි දී සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නායක මහේල ජයවර්ධන, පන්දු 315කට මුහුණදෙමින් ලකුණු 180ක් ලබාගත්තේ හතරේ පහර 22ක් සහ හයේ පහර 3ක් එල්ල කරමින්. එදා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 191ක් ලබා සිටිය දී මහේල, දියත් කළ සටන්කාමී ඉනිම අදටත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳී ඇතිවාට සැකයක් නැහැ.

මහේලගේ සටන්කාමී ඉනිමේ අවස්ථාවක් (gettyimages)

පී සරා ඕවල් පිටියේ දී ලකුණු 105ක් ලබාගත්තේ 2012 වසරේ දී යි 

2012 ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය පැවැත්වුණේ කොළඹ පී සරා ඕවල් පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 30කට දැවීගොස් තිබුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු මහේල, ලකුණු 105ක් ලබාගත්තේ හතරේ පහර 11ක් සහ හයේ පහරක් එල්ල කරමින්.

මාවන් අතපත්තු- ශතක 1 (201*)

මව්බිමේ දී එංගලන්තය හමුවේ මුල්ම ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගැනීමට අවස්ථාව උදා කරගත්තේ මාවන් අතපත්තු නම් සුපිරි පිතිකරුවා යි. 2001 වසරේ දී ගාලු පිටියේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 470ක් ලබාගත්තා. එහි දී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වුණු මාවන් අතපත්තු හතරේ පහර 18ක් සමගින් නොදැවී ලකුණු 201ක් ලබාගත්තේ පන්දු 536කට මුහුණදෙමින්.

මාවන්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

අරවින්ද ද සිල්වා- ශතක 1 (106)

2001 වසරේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාලු පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී අරවින්ද ද සිල්වා, හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගින් අගනා ලකුණු 106ක් ලබාගත්තේ මාවන් සමග තෙවන කඩුල්ල සඳහා අගනා ලකුණු 230ක සබඳතාවයක් ගොඩනගමින්.

 අරවින්දගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

තිලකරත්න දිල්ෂාන්- ශතක 1 (100)

2003 ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම 53/3 ලෙස සටහන්ව පැවති අවස්ථාවේ පිටියට පිවිසි දිල්ෂාන්, පන්දු 129කින් ලකුණු 100ක් ලබාගත්තේ සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ස්ථාවර කරමින්.

දිල්ෂාන් පහරක් එල්ල කරමින් (gettyimages)

තිලාන් සමරවීර- ශතක 1 (142)

2003 වසරේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී අගනා  ඉනිමක් ක්‍රීඩා කළ තිලාන්, හතරේ පහර 13ක් එල්ල කරමින් ලකුණු 142ක් ලබාගත්තේ පන්දු 408කට මුහුණදෙමින්. එදා තිලාන් ක්‍රීඩා කළ ඉනිම ශ්‍රී ලංකා පිතිකරුවෙකු වැඩිම පන්දු ගණනක් වැය කරමින් ලබාගත් ටෙස්ට් ශතකය ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.  

 තිලාන්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කුමාර් සංගක්කාර- 1 (152)

2007 වසරේ දී අස්ගීරිය පිටියේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගයේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත් වුණේ කුමාර් සංගක්කාර යි. එදා පළමු ඉනිමේ දී ලකුණු 92ක් ලබාගත් සංගක්කාර, දෙවන ඉනිමේ දී ලකුණු 152ක් ලබාගත්තේ හතරේ පහර 19ක් පිටිය පුරාවටම එල්ල කරමින්.

සංගක්කාරගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

මයිකල් වැන්ඩෝට්- 1 (138)

2007 වසරේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී වැන්ඩෝට්, හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමගින් අගනා ලකුණු 138ක් ලබාගත්තේ මහේල සමග තෙවන කඩුල්ල සඳහා අගනා ලකුණු 227ක සබඳතාවයක් ගොඩනගමින්.

වැන්ඩෝට්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කවරයේ ඡායාරූපය- මහේල ජයවර්ධන (gettyimages)

Related Articles