Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිම්බාබ්වේ දේශයේ දී ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් විදෙස් පිතිකරුවෝ

1992 දී සිම්බාබ්වේ රාජ්‍යය ටෙස්ට් වරම් දිනාගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ රට තුළ ටෙස්ට් තරග 60ක් පවත්වා තිබෙනවා. එලෙස පැවති ටෙස්ට් තරගවල දී වාර්තා වී ඇත්තේ ද්විත්ව ශතක 9ක් පමණ යි. එහි දී සිම්බාබ්වේ පිතිකරුවන් ද්විත්ව ශතක 3ක් ලබාගන්නා විට ද්විත්ව ශතක 6ක් ම ලබාගත්තේ විදෙස් පිතිකරුවන් විසින්. එසේ නම් මේ ලිපිය ලියැවෙන්නේ සිම්බාබ්වේ බිමේ දී ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් විදෙස් පිතිකරුවන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

මාවන් අතපත්තු (ශ්‍රී ලංකාව)- 216* (1999 වසරේ දී)

1999 ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ බුලවායෝ නුවර ක්වීන්ස් පාක් ඕවල් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 286ක් පමණ යි. ඉන්පසුව, සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 428ක් ලබාගන්නා විට අගනා ඉනිමක් ක්‍රීඩා කළ මාවන් අතපත්තු නොදැවී ලකුණු 216ක් ලබාගත්තේ පන්දු 437කට මුහුණදෙමින්. එහි දී අතපත්තු ද්විත්ව ශතකය ලබාගන්නා විට කණ්ඩායමේ වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 50 ඉක්මවීමට අසමත් වීම සුවිශේෂී සිදුවීමක් වුණා. එසේම එදා අතපත්තු ලබාගත් ද්විත්ව ශතකය සිම්බාබ්වේ බිමේ දී විදෙස් පිතිකරුවෙකු ලැබූ මුල්ම ටෙස්ට් ද්විත්ව ශතකය ලෙසිනුත් වාර්තා අතරට එකතු වුණා.

මාවන් අතපත්තු (gettyimages)

ගැරී කර්ස්ටන් (දකුණු අප්‍රිකාව)- 220 (2001 වසරේ දී)

2001 දී හරාරේ පිටියේ පැවති සිම්බාබ්වේ-දකුණු අප්‍රිකා තරගය දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ දස්කම් ඉසමතු වුණු තරගයක් ලෙසින් ඉතිහාසයට එක් වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 600ක් ලබාගැනීමට සමත් වුණා. එහි දී මනරම් ඉනිමක් ක්‍රීඩා කළ ගැරී කර්ස්ටන්, පන්දු 286කින් වේගවත් ලකුණු 220ක් ලබාගත්තේ හතරේ පහර 33ක් සහ හයේ පහරක් එල්ල කරමින්. එලෙස කර්ස්ටන්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 220 හරාරේ පිටියේ දී යම් පිතිකරුවෙකු ලබාගත් ඉහළම ටෙස්ට් ලකුණු ප්‍රමාණය ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.

ගැරී කර්ස්ටන්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)- 270 (2004 වසරේ දී)

2004 ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ බුලවායෝ නුවර, ක්වීන්ස් පාක් ඕවල් පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 228ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 713ක් ලබාගත්තා. එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සංගක්කාර, හතරේ 36ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 270ක් ලබාගත්තේ යම් පිතිකරුවෙකු සිම්බාබ්වේ බිමේ දී වාර්තා කළ ඉහළම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින්. 

කුමාර් සංගක්කාර (gettyimages)

මාවන් අතපත්තු (ශ්‍රී ලංකාව)- 249 (2004 වසරේ දී)

2004 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝ නුවර, ක්වීන්ස් පාක් ඕවල් පිටියේ පැවති තරගයේ දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ මාවන් අතපත්තු ලකුණු 249ක් ලබාගත්තේ පන්දු 324කට පමණක් මුහුණදෙමින්. එදා හතරේ පහර 36ක් සහ හයේ පහරක් සමගින් අතපත්තු දියත් කළ ඉනිම ඔහුගේ ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ලෙසින් සටහන් වුණා. එසේම අතපත්තු එහි දී වාර්තා අතරට එක් වුණේ සිම්බාබ්වේ බිමේ දී ටෙස්ට් ද්විත්ව ශතක 2ක් ලබාගත් එකම පිතිකරුවා ලෙස යි. ඊට අමතරව එම තරගයේ දී අතපත්තු තවත් වාර්තාවක් පිහිටවනු ලැබුවේ සිම්බාබ්වේ දේශයේ දී ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගත් පළමු සහ එකම නායකයා බවට පත් වෙමින්.

අතපත්තුගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

යුනිස් ඛාන් (පාකිස්ථානය)- 200* (2013 වසරේ දී)

2013 වසරේ පැවති සිම්බාබ්වේ-පාකිස්ථාන් ටෙස්ට් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ හරාරේ ක්‍රිකට් පිටියේ දී යි. පාකිස්ථානු කණ්ඩායම එම තරගයේ දෙවන ඉනිම ආරම්භ කරන විට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණු 78ක් පිටුපසින් සිටියා. එවැනි වටපිටාවක ආරම්භ වුණු පාකිස්ථානු දෙවන ඉනිමේ මුල් කඩුලු 2ම ලකුණු 21කට දැවීගොස් තිබිය දී යුනිස් ඛාන් පිටියට පිවිසියා. එතැන් සිට මුළු පිටියම සිය අණසකට නතුකර ගත් යුනිස්, පන්දු 404කින් නොදැවී ලකුණු 200ක් ලබාගත්තේ හතරේ 15ක් සහ හයේ පහර 3ක් එල්ල කරමින්.

යුනිස් ඛාන් (gettyimages)

ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව)- 200* (2020 වසරේ දී)

2020 ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය යටතේ හරාරේ පිටියේ දී පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස්ට සුවිශේෂී තරගයක් වුණා. එහි දී මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල ලබාගත් ලකුණු 358ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 92කට දැවී ගියා. එම අවස්ථාවේ දී පිටියට පිවිසි මැතිව්ස්, පන්දු 468කට මුහුණදෙමින් ලකුණු 200ක් ලබාගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මුල්ම ද්විත්ව ශතකය වාර්තා කරමින්.

මැතිව්ස්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කවරයේ ඡායාරූපය- මැතිව්ස් ද්විත්ව ශතකය ලබාගත් මොහොත (gettyimages)

Related Articles