Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සූර්යග්‍රහණයකින් බාධා එල්ල වූ අපූරු ටෙස්ට් තරගය

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් රන් ජුබිලි ටෙස්ට් තරගය නමින් ඉන්දු-එංගලන්ත ටෙස්ට් තරගයක්, 1980 වසරේ පෙබරවාරි මස 15 වන දා මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩා පිටියේ දී ආරම්භ වුණා. මෙම ටෙස්ට් තරගය අපූරු ක්‍රිකට් වාර්තා මෙන්ම අපූරු සිදුවීම් ද සිදු වූ ටෙස්ට් තරගයක්. එම සිදුවීම් අතුරින් අතිවිශේෂ ම සිදුවීම වූයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සූර්යග්‍රහණයකින් බාධා එල්ල වූ එකම ටෙස්ට් තරගය මෙය වීම යි. එසේනම් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අපූරු සිදුවීම් කිහිපයක් සිදු වූ එම ටෙස්ට් තරගය පිළිබඳ ව අපි කතා කරමු.

පළමු දිනයේ දී බොතම්ගෙන් සුපිරි පන්දු යැවීමක්

මෙම තරගයේ කාසියේ දිනූ ඉන්දීය නායක ගුන්දප්පා විශ්වනාත් මුලින්ම පන්දුවට පහරදීමට ගත් තීරණයට සාධාරණයක් ඉටුකළ ඉන්දීය පිතිකරුවන් ඉන්දීය ලකුණු පුවරුව 102/1 ලෙස ප්‍රබල තත්ත්වයකට ගෙන ආවා. මෙම අවස්ථාව වන විට සුනිල් ගවස්කාර් හා දිලිප් වෙන්සාකර් ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියේ එංගලන්ත පන්දු යවන්නන් ව දැඩි පීඩනයකට ලක් කරමින්. නමුත් මේ තීරණාත්මක අවස්ථාවේ එංගලන්තය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ඉයන් බොතම් ගවස්කාර් ව ලකුණු 49කට දවා ගැනීමත් සමග ම එංගලන්ත පිල නැවතත් තරගයට අවතීර්ණ වෙමින් ඉක්මනින් ම වෙන්සාකර්ගේ කඩුල්ලත් දවාගනිමින් ඉන්දීය ලකුණු පුවරුව 108/3ක් බවට පත් කළා. ඉන් අනතුරුව ඉන්දීය ඉනිම ගොඩනැඟීමට නායක විශ්වනාත් හා ප්‍රවේගකාරී පිතිකරු සන්දීප් පටෙල් පිටියට එක්වුව ද, ඔවුන් දෙදෙනාගේ සබඳතාවය ද ලකුණු 27කට සීමා කරමින් ජෝන් ලීවර් විසින් නායක විශ්වනාත්ව ලකුණු 11කට දවාගත්තා. ඒ වන විට 135/4 ලෙස ලකුණු ලබා සිටි ඉන්දීය පිල වෙනුවෙන් සන්දීප් පටෙල් වේගයෙන් ලකුණු ලබා ගැනීමට උත්සහ කළ ද, ඔහුට වැඩි වේලාවක් එසේ ලකුණු ලබාගැනීමට අවසර ලබා නොදුන් බොතම්, ඔහුගේ කඩුල්ල දවා ගත්තේ පන්දු 34කින් ලකුණු 30ක් ලබා සිටිය දී යි. පටෙල්ගේ දැවී යාමත් සමග 160/5 ලෙස පසුබෑමකට ලක්වූ ඉන්දීය පිලට දරා ගැනීමට නොහැකි පාඩුවක් සිදුවූයේ එම පන්දුවාරය තුළ ම කපිල් දේව් ලකුණු නොලබා දැවී යාම නිසා යි. කපිල්ගේ දැවී යාමත් සමගින් පිටියට එක්වූ යෂ්පාල් ෂර්මා හා කිර්මානි ඉන්දීය ඉනිම ගොඩනඟනු ඇති බවට එදා ඉන්දීය ක්‍රිකට් ලෝලීන් විශ්වාස කළ ද, ෂර්මා බොතම්ගේ පන්දුවක් හමුවේ ලකුණු 21කට දැවී යාමත් සමගින් එම බලාපොරොත්තු ද බිඳ වැටුණි. එම අවස්ථාව වන විට ඉන්දීය පිල 181/7 ලෙස අසීරු අඩියක පසු වූ අතර, නම් දැරූ සියලුම පිතිකරුවන් ද දැවී ගොස් තිබුණා. නමුත් ඒ වන විට පිටියේ ඉතිරි ව සිටි කඩුලු රකින ක්‍රීඩක කිර්මානි නොදැවී ලකුණු 40ක් ලබා ගනිමින් ඉන්දීය පිල ලකුණු 242ක් කරා රැගෙන ගියේ ඉන්දීය පිලට තරගය පිළිබඳ ව යම් බලාපොරොත්තුවක් ලබාදෙමිනි. ඉන්දීය ඉනිම එක් අවස්ථාවක 102/1 ලෙස ප්‍රබල තත්ත්වයක තිබුණ ද, අවසානයේ දී එය 242කට සීමා වූයේ ඉයන් බොතම් 58/6ක් ලෙස පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා යි.

බොබ් ටේලර් ලෝක වාර්තාවක් සම කරයි

මෙම ඉන්දීය පළමු ඉනිමේ දී උඩපන්දු 7ක් රැකගත් එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක බොබ් ටේලර් විසින් පකිස්තානු කඩුලු රකින්නෙකු වූ වසීම් බාරි 1979 වසරේ නවසීලන්ත පිලට එරෙහිව ඊඩ්න් පාක් පිටියේ දී තබා තිබූ වාර්තාවක් සම කරනවා. මෙම ඉනිමේ දී ටේලර් විසින් රැකගත් උඩපන්දු 7න් 5ක් ම, බොතම් එවූ පන්දු හමුවේ රැකගත් උඩපන්දු වීම සුවිශේෂී කරුණක් වුණා.

බොතම්ගේ පන්දුවක් හමුවේ බොබ් ටේලර්ට උඩපන්දුවක් ලබා දී ගවස්කාර් දැවී ගිය අවස්ථාව (gettyimages)

සූර්යග්‍රහණයක් නිසා දෙවන දිනය විවේක දිනයක් වෙයි

1980 වසරේ පෙබරවාරි 16 දින ඉන්දියාවට හොඳින් ම දිස්වූ සූර්යග්‍රහණයක් නිසා තරගයේ දෙවන දිනය විවේක දිනයක් කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කළේ තරගය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ලෝලීන් පියවි ඇසින් හිරු දෙස බැලීම නිසා ඔවුන්ට සිදුවන අනතුර අවම කිරීමට යි. මෙම සිදුවීම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වූ අතර, එය රන් ජුබිලි ටෙස්ට් තරගය වැනි විශේෂ ටෙස්ට් තරගයක දී සිදුවීම ද අපූරු දෙයක් වුණා.

1980 වසරේ පෙබරවාරි 16 වන දා සිදු වූ එම සූර්යග්‍රහණය (researchgate.net)

ඉන්දීය නායක විශ්වනාත්ගේ මහත්මා ගුණය

සූර්යග්‍රහණයෙන් පසු දිනයේ සිය පළමු ඉනිම ඇරඹූ එංගලන්ත පිලේ මුල් කඩුලු 5 ම ලකුණු 58ක් තුළ දැවී ගිය පසු ව, ඉන්දීය පිල තරගයේ පාලනය ඔවුන්ගේ අතට ගන්නවා. මෙම අසීරු අවස්ථාවේ එංගලන්ත පිල වෙනුවෙන් පිටියට එක්වූ බොතම් හා බොබ් ටේලර් ඉතා ප්‍රවේශමෙන් පන්දුවට පහරදෙමින් සිටි අවස්ථාවේ කපිල් දේව් එවූ පන්දුවක් එංගලන්ත පිතිකරු බොබ් ටේලර්ගේ පිත්ත පරයමින් කඩුලු රකින ක්‍රීඩක කිර්මානි වෙත ඇඳී ගිය අවස්ථාවේ, කපිල් දේව් හා කඩුලු රකින්නා කළ ප්‍රබල ඉල්ලීම සලකා බැලූ විනිසුරු හනුමන්තා, රාවෝ ටේලර් දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කළා. මෙම තීරණය ලැබුණු විගස ටේලර් අන්දමන්ද වී විනිසුරු දෙස බලමින් පිටියෙන් ඉවත්වීමට ගිය අවස්ථාවේ පළමු ස්ලිප්හි පන්දු රැකීමෙහි යෙදුණු නායක විශ්වනාත් විනිසුරු වෙත ගොස් එම අවස්ථාවේ පන්දුව පිත්තේ නොවැදුණු බව පවසා ටේලර්ව නැවත පිතිකරණයට කැඳවූයේ ඔහු නියම මහත්මයෙකු බව ඔප්පු කරමින්.

බොබ් ටේලර්ට එරෙහිව වැරදි තීන්දුව දුන් අවස්ථාව (gettyimages)

බොතම්ගේ වේගවත් ශතකය ඉන්දීය පිල අසරණ කළ අයුරු

බොබ් ටේලර්ගේ නැවත කැඳවීමෙන් පසු බොතම් හා ටේලර් එක්ව අගනා ලකුණු 171ක සබඳතාවයක් ගොඩනැඟූ අතරතුර ඉයන් බොතම් හතරේ පහර 17ක් සමග පන්දු 144කින් ලබාගත් ලකුණු 114 නිසා, එංගලන්ත පිල 229/5 ලෙස ප්‍රබල ස්ථානයක පසුවුව ද, දිනය නිමාවීමට පන්දුවාර කිහිපයක් තිබිය දී බොතම් ලකුණු 114කට දැවීයාම නිසා දිනය අවසන් වන විට එංගලන්ත පිල 232/6 ලෙස ස්ථාවර තත්ත්වයක පසුවුණා.

බොතම්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

බොතම්ගෙන් විරල දස්කමක්

2 වන දිනය අවසන් වන විට 232/6 ලෙස ලකුණු ලබාගෙන සිටි එංගලන්ත ඉනිම 296කට සීමා කරමින් කර්සාන් ගෞරි ලකුණු 52කට කඩුලු 5ක් ලබාගත්තේ කණ්ඩායම් දෙක අතර පළමු ඉනිමේ පරතරය ලකුණු 54කට සීමා කරමින්. පළමු ඉනිම අවසානයේ දී ලකුණු 54ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ඇරඹූ ඉන්දීය පිල, නැවතත් ඉයන් බොතම්ගේ සුපිරි පන්දු යැවීම ඉදිරියේ අන්ත අසරණ වෙමින් 58/6 ක් ලෙස ඉතාමත් අසීරු අඩියකට වැටුණා. මෙම අවස්ථාවේ කපිල් දේව් පමණක් හුදෙකලා සටනක නියැලෙමින් නොදැවී ලකුණු 45ක් ලබාගත්ත ද බොතම් ලකුණු 48කට කඩුලු 7ක් දවාගනිමින් ඉන්දීය ඉනිම ලකුණු 149කට සීමා කළා. මෙම ටෙස්ට් තරගය පුරාවට කඩුලු 13ක් හා ශතකයක් ලබාගත් බොතම් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එවැනි දස්කමක් කළ මුල්ම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය. බොතම්ට පසු ව ඉම්රාන් ඛාන් හා ශකිබ් අල් හසන් ද මෙම දස්කම දැක්වීමට සමත් වුණා.

බොතම් ඉන්දීය දෙවනි ඉනිමේ කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරමින් (gettyimages)

එංගලන්තයට පහසු ජයක්

ඉන්දීය පිල වෙතින් එංගලන්ත පිලට ලැබුණු ලකුණු 96ක ඉලක්කය එංගලන්ත පිල ඉතාමත් පහසුවෙන් හඹාගොස් අවසානයේ දී කඩුලු 10ක පහසු ජයක් ලබාගත්තා. එංගලන්ත දෙවන ඉනිමේ දී ආරම්භක පිතිකරුවන් වූ ගුච් හා බොයිකොට් පිළිවෙළින් ලකුණු 49ක් හා ලකුණු 43ක් ලබාගනිමින් එංගලන්ත ජයග්‍රහණය තහවුරු කළා.

 

කවරයේ ඡායාරූපය: renovacaoeli.com

මූලාශ්‍රය: ESPNCricinfo

Related Articles