Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියානු “රිචී” රසිකයින්

අළු පැහැති බොරු කොණ්ඩයක් සහිත, බේජ්, ක්‍රීම්, අයිවරි, සුදු හෝ අළු පැහැති කබායක් පැළඳගත් එක් අතක ව්‍යාජව නිර්මාණය කරන ලද මයික්‍රෆෝනයක් ද අනෙක් අතේ බියර් වීදුරුවක් ද දරන ප්‍රේක්ෂකයින් රැසක් එක් තෝරාගත් ස්ථානයක සිට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සහයෝගය දෙමින් සිටින අයුරු ඔබ දැක ඇති. ඔවුන් වඩාත්ම ප්‍රසිද්ධ “රිචීස් (the Richies)” කියන නමින්. සුප්‍රකට ඕස්ට්‍රේලියානු විස්තර විචාරකයෙකු වූ රිචී බෙනෝ අනුකරණය කරමින් ඔවුන් ‘රිචී’ නම් සන්නාමය ට විශාල ප්‍රසිද්ධියක් ලබා දීමට මේ “රීචි” යන කණ්ඩායම කටයුතු කරති.

(“රිචී” කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රීඩා නාලිකාවක් වන චැනල් 9 හි “Wide World of Sports” පසුබිම් සංගීතයට ප්‍රතිචාරය දක්වන අයුරු.) – Credit – Youtube/Jake Hutchenson

ඉතිහාසය

මොවුන්ගේ ආගමනය සිදුවෙන්නේ වසර 8 කට පමණ පෙර යි. එවකට “රිචී” නම් කණ්ඩායමේ සාමාජිකයින් ගණන 10 ක් පමණ වුවත් වර්තමානයේ දී එය දහසකට ආසන්න යි. මයිකල් හෙනේසි මෙහි මුලිකත්වය ගෙන කටයුතු කල අයෙක්. ඔහු පවසන පරිදි මෙය ඔවුන් රිචී බෙනෝ නම් අසාහය ක්‍රිකට් ක්‍රීඩකයා සහ විස්තර විචාරකවරයා 2009 වසරේ දී විස්තර විචාරයෙන් සමුගන්නා බවට පුවතක් ඔවුන් දැනගැනීම හේතුවෙන් ඔහුට  ගෞරවයක් ලෙස ආරම්භ කල බව යි. ඔවුන් මේ අයුරින් පැමිණි ප්‍රථම වසරේ දී එය ප්‍රේක්ෂකයින් අතර දැඩි කතාබහට ලක්වූ අතර ඔවුන් ද මේ “රිචී” නම් කණ්ඩායම හා එක්වීමට ඉල්ලීමක් කල බව ඔහු පවසයි.

( “We had a lot of fun the first year and a lot of people said to us can we join you next year, and we thought next year, ok, why not,” ) – මයිකල් හෙනේසි (“රිචී” කණ්ඩායමේ ආරම්භ සාමාජික)

රිචී බෙනෝ , “රිචී” කණ්ඩායමේ සාමජිකයින් කිහිපදෙනෙක් සමඟ – Credit – Twitter/The Richies

2016 වසරේ මුල් භාගයේ දී “රිචී” කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් කලහ. ඒ, ඉදිරි වසර තුල සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හි පැවැත්වෙන සෑම ටෙස්ට් තරඟයක ම දෙවන දිනය රිචී බෙනෝ දිනය ලෙස නම් කරන ලෙස යි. දෙවන දිනය තෝරාගැනීමට විශේෂ හේතුවක් ඇත. රිචී බෙනෝ විසින් “Two” සහ “Marvellous” යන්න ආමන්ත්‍රණය කරන සුවිශේෂී අයුරු නිසාවෙනි .  2015 වසරේ දී රිචී බෙනෝ මෙලොවින් සමුගැනීම නිසා ඔවුන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් ද ඉල්ලා සිටියේ ඔහුට ගෞරවයක් වශයෙන් ඉහත දිනය නම් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස යි.

(ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් රිචී බෙනෝ “Two” යන්න ආමන්ත්‍රණය කරන අයුරු අනුකරණය කිරීම.) – Credit – Youtube/CricketDudeGuy

2016 වසරේ දී ම මැද භාගයේ දී පැවති ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ටෙස්ට් තරඟාවලියේ දී “රිචී” කණ්ඩායමේ සාමාජිකයින් ගණන 501 ක් විය. එය ඔවුන් විස්තර කලේ රිචී බෙනෝගේ ටෙස්ට් අංකය (190), ක්‍රීඩා කල ටෙස්ට් තරඟ ගණන (63) සහ ලබාගත් කඩුලු ගණනේ (248) එකතුව ලෙස යි.

සිඩ්නි හි පැවැත්වෙන ටෙස්ට් තරඟය නව වසරේ තරඟය ලෙස හඳුන්වයි. ඊට හේතුව ජනවාරි මස මුල් භාගයේ දී මෙම ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් තරඟයක් බොහෝ අවස්ථාවල දී පැවැත්වීමයි. මෙහි පැවැත්වෙන ටෙස්ට් තරඟය ඕස්ට්‍රේලියානුවන්ට සහ ක්‍රිකට් රසිකයින්ට ද විශේෂ යි. ප්‍රථම දිනය ඕනෑම කණ්ඩායමකට තීරණාත්මක දිනයක් වන අතර දෙවැනි දිනය “රිචී” රසිකයින්ගේ දිනය යි. තෙවැන දිනය වෙන්කර ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ අග්‍රගණයේ වේග පන්දු යවන්නෙකු වූ ග්ලෙන් මැක්ග්‍රාත්ගේ මියගිය බිරිඳ (ජේන් මැක්ග්‍රාත්) වෙනුවෙන්. ඇය පිළිකා රෝගයකින් මිය ගිය අතර ඇය මිය යාමට පෙර ග්ලෙන් මැක්ග්‍රාත් පිළිකා රෝගීන් ට උපකාර පිණිස අරමුදලක් ආරම්භ කලේ ය. ඒ අනුව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තෙවැන දිනය අතරතුර ප්‍රේක්ෂකයින් රෝස පැහැයෙන් යුත් ඇඳුම් පැළඳ තරඟය නැරඹීමට පැමිණෙති. තෙවන දිනයේ තරඟයට පෙර දෙපිලේම ක්‍රීඩකයින් රෝස පැහැති හිස්වැසුම් මත අත්සන් කර එය මැක්ග්‍රාත් හට ලබාදෙන්නේ වෙන්දේසි කර මුදල් රැස්කිරීම සඳහා යි. මේ “රිචී” කණ්ඩායම ද මේ වටිනා කර්තව්‍යය සඳහා මුදල් රැස්කර දීමට උපකාර කරති.

ඕස්ට්‍රේලියානු පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් රෝස පැහැති හිස්වැසුම් පැළඳ – Credit – Twitter/Test Match Special

2015 වසරේ දී රිචී බෙනෝ මිය යාම හේතුවෙන් “රිචී” කණ්ඩායමේ සංවිධායකයින් මෙය ඉදිරි ටෙස්ට් තරඟ තුලත් බෙනෝ හට ගෞරවයක් වශයෙන් පවත්වා ගත යුතු ද යන්න සහ එය ආචාර ධර්මයට අනුකූල ද යන්න රිචී බෙනෝගේ බිරිඳ වූ ඩැෆ්නි බෙනෝ ගෙන් විමසු අවස්ථාවේ දී ඇය මේ “රිචී” කණ්ඩායම පැසසුමට ලක්කර මෙය ඉදිරියටත් කල යුතු බවට අදහස් දැක්වූ වා ය.

“රිචී” කණ්ඩායමට එක්වෙන අයුරු

ප්‍රථමයෙන් රිචී කණ්ඩායමට එක්වීමට පෙර කුඩා සමුහයක් එක්කර තරඟයට අදාළ ටිකට් පත් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා මිලදී ගත යුතු යි. එමෙන්ම අළු, අයිවරි, බේජ් හෝ රිචී බෙනෝ නිතරම හැඳ සිටි සමාන වර්ණැති කබායක් සමඟ ටෙස්ට් තරඟය පැවැත්වෙන දිනයේ දී ක්‍රීඩාංගනයට පැමිණිය යුතු යි. එහිදී “රිචී” කණ්ඩායමේ සංවිධායකයින් හරහා ඔවුනට බොරු කොණ්ඩයක්, ව්‍යාජ මයික්‍රෆෝනයක්, “රිචී” කණ්ඩායමට ආවේනික ගීත ඇතුලත් පත්‍රිකාවක් ඇතුළු විවිධ දෑ හිමි වේ. කාන්තාවන් හට ද මෙම කණ්ඩායමට එක්වීය හැකි යි.

Credit – Getty Images

මේ “රිචී” කණ්ඩායමේ ඔවුන්ට ආවේනික නීති රීති පද්ධතියක් ද ඇත.

  1. ලබා දී ඇති ව්‍යාජ මයික්‍රෆෝනය භාවිතා කරමින් එහි කතාකළ යුතුයි. .
  2. කබාය, බොරු කොණ්ඩය සහ ටයි පටිය පැළඳ සිටිය යුතුම යි.
  3. උණුසුම් කාලගුණයක් පැවතිය ද ඒ පිළිබඳව චෝදනා කිරීමෙන් වැළකිය සිටිය යුතු යි.
  4. දෙපිලේම ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ දක්ෂතා ඇගයිය යුතු යි.
  5. වාද විවාද කිරීම්, අන් අයට හිංසා කිරීම් සහ විශේෂයෙන් ම බියර් කෝප්ප එක්කරමින් නිර්මාණය කරන “Cup Snakes” සඳහා අවසර නැත. එවැන්නක් කිරීමෙන් “රිචීස්” කණ්ඩායමෙන් ඉවත්කිරීමට ද හේතුවෙක් වෙයි.
  6. බියර් පානය කිරීම අන් අයට බාධාවක් නොවිය යුතු යි. “රිචීස්” කණ්ඩායමට ආවේනික ගීත සමුහ වශයෙන් ගායනා කල යුතු යි.
  7. තම කණ්ඩායම හෝ පේලිය ට අදාළ නායකයා ගේ මඟපෙන්වීම් පිළිපැදිය යුතු යි.

මුලාශ්‍ර :

  1. “The Richies want Benaud to receive official SCG Test recognition”. Retrieved from, http://www.smh.com.au/sport/cricket/the-richies-want-benaud-to-receive-official-scg-test-recognition-20160102-gly671.html
  2. “Ashes Confidential: From 10 strong to an army; rise of the Richies”. Retrieved from,  https://www.foxsports.com.au/cricket/the-ashes/ashes-confidential-from-10-strong-to-an-army-rise-of-the-richies/news-story/5ba2434bf3bf471fdf66b4fdf3df82ed
  3. Retrieved from, http://www.therichies.com.au/history-of-the-richies.html

COVER – Getty Images

Related Articles