ජයග්‍රහණ සහ බලාපොරොත්තු කඩවීම් සමඟ නිම වූ නේෂන්ස් ලීග්

යුරෝපීය පාපන්දු ෆෙඩරේෂණය (UEFA) සංවිධානය කරන UEFA Nations League තරගාවලියේ මූලික වටයේ තරග පසුගිය සතියෙන් අවසන් වුණා. එම තරග අවසන් වෙද්දී කණ්ඩායම් 4ක් අවසන් පූර්ව වටයේ ස්ථාන වෙන් කර ගත්තා. තවත් කණ්ඩායම් 4කට ලබන වසරේ සිට දෙවන අදියර දක්වා පසු බැසීමට ද සිදු වුණා. මෙම ලිපිය මෙවර නේෂන්ස් ලීග් තරගාවලියේ මූලික වටය ක්‍රියාත්මක වුණ ආකාරය පිළිබඳ ව යි.

A කාණ්ඩය

මූලික වටයේ පළමු අදියරේ A කාණ්ඩය යටතේ ක්‍රොඒෂියාව, ඩෙන්මාර්කය, ප්‍රංශය සහ ඔස්ට්‍රියාව තරග බිමට පිවිසුණා. එම කාණ්ඩයට 2018 ලෝක කුසලාන අවසන් මහා තරගය නියෝජනය කළ ප්‍රංශය සහ ක්‍රොඒෂියාව යන කණ්ඩායම් ද්විත්වය ම ඇතුළත් වීම ද සුවිශේෂී කාරණයක්. එම නිසා අවසන් පූර්ව වටය සඳහා හොඳ තරගකාරිත්වයක් නිර්මාණය වනු ඇතැයි මුල සිට ම අනාවැකි පළ වුණා.

A කාණ්ඩයෙන් පසුගියවර ලෝක කුසලානය ක්‍රීඩා කළ ප්‍රංශය හා ක්‍රොඒෂියාව යන රටවල් ද්විත්වයම තරඟ කළා
A කාණ්ඩයෙන් පසුගියවර ලෝක කුසලානය ක්‍රීඩා කළ ප්‍රංශය හා ක්‍රොඒෂියාව යන රටවල් ද්විත්වය ම තරග කළා – www.fifa.com

එහිදී කණ්ඩායමක් තවත් කණ්ඩායමක් සමඟ තරග 2 බැගින් සමස්ත තරග 6ක් ක්‍රීඩා කිරීමට නියමිත වනවා. අවසානයේ දී කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට හැකි යි. කෙසේ හෝ මුල් ම වටයේ තරගවලින් අනපේක්ෂිත ලෙසින් ප්‍රංශය ගෝල 2-1 ක් ලෙස ඩෙන්මාර්කය හමුවේ පරාජයට පත් වෙද්දී ක්‍රොඒෂියාව ඔස්ට්‍රියාව හමුවේ ගෝල 3-0 කින් පරාජයට පත් වුණා.

ක්‍රොඒෂියාවේ පිබිදීම සහ ලෝක ශූරයන්ගේ පසුබෑම

ක්‍රොඒෂියාව තම පළමු තරගය පරාජයට පත් වෙද්දී දෙවන තරගය ප්‍රංශය හමුවේ ජය පරාජයෙන් තොර ව නිමා කළා. ඉන් පසුව  ප්‍රංශය ගෝල 1-0 ක් සහ ඩෙන්මාර්කය ගෝල 1-0 ක් සහ 2-1 ක් වශයෙන් අවස්ථා දෙකක දී පරාජයට පත් කිරීමට ඔවුන් සමත් වුණා. පසුගිය වතාවේ නේෂන්ස් ලීග් ශූරයන් මෙන් ම වත්මන් ලෝක ශූරයන් ද වන ප්‍රංශයට අත් වූයේ බලාපොරොත්තු නොවූ ඉරණමක්.

ඔවුන්ට තම මූලික වටයේ පළමු තරග 4දී ම ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නෑ. ක්‍රොඒෂියාව සහ ඔස්ට්‍රියාව හමුවේ 1-1 ලෙසින් තරග දෙකක් සම වෙද්දී ඩෙන්මාර්කය සහ ක්‍රොඒෂියාව නැවත හමු වූ තරග ද්විත්වය ම ඔවුන් පරාජයට පත් වුණා. ඉන් පසුව පැවති ඩෙන්මාර්ක තරගය ද ගෝල 2-0 ක් ලෙසින් ප්‍රංශය පරාජයට පත් වුණේ ඩෙන්මාර්කය හමුවේ පිට පිට ම ලැබූ දෙවන පරාජයත් තහවුරු කර ගනිමින්.

ඩෙන්මාර්ක තරඟයේ ලබාගත් ගෝලයක් සමරන ක්‍රොඒෂියා ක්‍රීඩකයෝ
ඩෙන්මාර්කය තරගයේ ලබා ගත් ගෝලයක් සමරන ක්‍රොඒෂියා ක්‍රීඩකයෝ – www.eurosports.com

ඒ අනුව අවසන් තරග දිනය වෙද්දී ක්‍රොඒෂියාව සහ ඩෙන්මාර්කය අවසන් පූර්ව වටය සඳහා එක් වීමට දරුණු සටනක නිරත වී සිටියා. තමන්ගේ අවසන් කාණ්ඩ තරගය ගෝල 3-1 ක ජයග්‍රහණයක් තහවුරු කර ගත් ක්‍රොඒෂියාව A කාණ්ඩයේ අවසන් පූර්ව වට ස්ථානය වෙන් කර ගත්තා. ඩෙන්මාර්කය A කාණ්ඩයේ දෙවන තැනටත් ප්‍රංශය තෙවන තැනටත් පත් වුණා. තමන් සහභාහී වූ තරග 6න් 1ක් ජයග්‍රහණය කොට 1ක් ජය පරාජයෙන් තොර ව අවසන් කර ගෙන 4ක් පරාජයට පත් වූ ඔස්ට්‍රියාවට හිමි වුණේ අවසන් ස්ථානය යි. ඒ අනුව ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රියාව දෙවන පෙළ දක්වා ඇද වැටුණා.

B කාණ්ඩය

පළමු අදියරේ B කාණ්ඩය යටතේ ස්පාඤ්ඤය, පෘතුගාලය, ස්විට්සර්ලන්තය සහ චෙක් ජනරජය අවසන් පූර්ව වටය වෙනුවෙන් තරග වැදුණා. මෙම කාණ්ඩයෙන් ස්පාඤ්ඤය සහ පෘතුගාලය බලාපොරොත්තු වූ ආකාරයෙන් ම දස්කම් අතරට පිවිසියා. දෙරට අතරේ මුලින් ම පැවති තරගය ද ගෝල 1-1 ක් ලෙසින් සම වී අවසන් වුණා.

ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර පැවති මූලික වටයේ පළමු තරඟය
ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර පැවති මූලික වටයේ පළමු තරගය – www.marca.com

පළමු තරඟය එලෙස අවසන් වීමෙන් පසු ව පෘතුගාලය ස්විට්සර්ලන්තයට එරෙහි ව 4-0 ක්, චෙක් ජනරජයට 2-0 ක් සහ 4-0 ක් ලෙසින් ජයග්‍රහණ තහවුරු කර ගත්තා. ඔවුන් එලෙසින් ජයග්‍රහණ සටහන් කරද්දී අනෙක් පසින් ස්පාඤ්ඤය ද චෙක් ජනරජය 2-0 ක් සහ ස්විට්සර්ලන්තය 1-0 ක් ලෙසින් පරාජයට පත් කළා. නමුත් ඔවුන් චෙක් ජනරජය සමඟ පැවති තරගයක් 1-1 ලෙසින් අවසන් කිරීම නිසා තත්ත්වය තීරණාත්මක වුණා.

ස්විට්සර්ලන්තයෙන් අනපේක්ෂිත ප්‍රහාර දෙකක්!

ස්පාඤ්ඤය සහ පෘතුගාලය එලෙස ජයග්‍රහණයන් සනිටුහන් කරද්දී කාණ්ඩයේ වඩාත් තීරණාත්මක සාධකය බවට පත් කළ ස්විට්සර්ලන්තය, එක් තරගයක දී ස්පාඤ්ඤය 1-0 ක් සහ පෘතුගාලය 1-0 ක් ලෙසින් පරාජයට පත් කළා. මේ තරග ද්විත්වයේ ප්‍රතිඵල නිසා කාණ්ඩ වටයේ අවසන් තරගයට එළඹෙන විට පෘතුගාලය සහ ස්පාඤ්ඤය කරට කර සටනක නිරත ව සිටියා.

පෘතුගාලය පරාජය කරමින් ස්විට්සර්ලන්තය ජයග්‍රහණය කළා
පෘතුගාලය පරාජය කරමින් ස්විට්සර්ලන්තය ජයග්‍රහණය කළා – www.eurosports.com

අවසන් තරගයට පෙර පෘතුගාලය තරග 5 කින් ජයග්‍රහණයන් 3ක් ජය පරාජයෙන් තොර 1ක් සහ පරාජයක් සමඟ ප්‍රසාද ලකුණු 10ක් ලබා ගෙන සිටියා. අනෙක් පසෙන් ජයග්‍රහණ 2ක්, ජය පරාජයෙන් තොර තරග 2ක් සහ පරාජයක් ද සමඟ ස්පාඤ්ඤය ලබා ගෙන සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8ක්. මේ නිසා අවසන් කාණ්ඩ වටයේ තරගය ජයග්‍රහණය ස්පාඤ්ඤයට අනිවාර්ය වූ අතර ම පෘතුගාලයට ජයග්‍රහණයක් හෝ ජය පරාජයෙන් තොර ව තරගය නිම කර ගැනීම ප්‍රමාණවත් වුණා.

අවසන් සටන!

B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තෝරා ගැනීමට තිබෙන තීරණාත්මක ම තරගය පෘතුගාලයේ දී ක්‍රියාත්මක වුණා. මෙම තරගයේ දී පෘතුගාලය දිගින් දිගට ම ආරක්ෂකාරී ක්‍රීඩා රටාවක් සහ ස්පාඤ්ඤය ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළා.

ඇල්වරෝ මොරාටා ජයග්‍රාහී ගෝලය වාර්තා කළ අවස්ථාව
ඇල්වරෝ මොරාටා ජයග්‍රාහී ගෝලය වාර්තා කළ අවස්ථාව – www.ndtvsports.com

 තරගය නිමා වීමට මිනිත්තු දෙකක් තිබිය දී ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤයේ ඇල්වරෝ මොරාටා ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත් වුණා. ඒ පෘතුගාලයේ බලාපොරොත්තු සුන් කර දමමින්. එලෙස B කාණ්ඩයෙන් ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට එක් වෙද්දී කාණ්ඩයේ අවසන් තැනට පත් වූ චෙක් ජනරජය දෙවන පෙළ දක්වා පසුබැස ගියා.

C කාණ්ඩය

මෙවර නේෂන්ස් ලීග් තරගාවලියේ වඩාත් තරගකාරී ම කාණ්ඩය මෙය බව පැවසීම වරදක් නොවේ. ඒ ඉතාලිය, ජර්මනිය සහ එංගලන්ත යන ප්‍රබල රටවල් තුන ම එක කාණ්ඩයක ක්‍රීඩා කිරීම නිසා යි. C කාණ්ඩය යටතේ සිටි අවසන් කණ්ඩායම වූයේ හංගේරියාව යි. නමුත් කිසිවකුත් අපේක්ෂා නොකළ සිදුවීමක් C කාණ්ඩයේ සිදු වුණා.

හංගේරියානුවන් සමස්ත කාණ්ඩය ම පුදුම කරවයි

C කාණ්ඩයේ සිටි දුර්වලයා ලෙසින් හැඳින්වුණ හංගේරියාව එම කාණ්ඩයේ ප්‍රබලයන් සියල්ලට ම දැඩි අභියෝගයක් එල්ල කළා. ඔවුන් ගෝල 1-0 ක් ලෙසින් එංගලන්ත පරාජයට පත් කරමින් තරගාවලියට අවතීර්ණ වුණා. ඉන් පසුව ඉතාලිය සමඟ 2-1 ක් ලෙස පරාජයට පත් වුවත් ජර්මනිය සමඟ වූ තරගය 1-1 ලෙසට අවසන් කර ගැනීමට ඔවුන් සමත් වුණා.

සමස්ථ පාපන්දු ලෝකයේම අවධානයට පාත්‍ර වූ හංගේරියානුවන්
සමස්ත පාපන්දු ලෝකයේ ම අවධානයට පාත්‍ර වූ හංගේරියානුවෝ – www.football365.com

ඉන් අනතුරුව එංගලන්තය නැවත හමුවන හංගේරියාව එම තරගයෙන් ගෝල 4-0 ක දැවැන්ත ජයග්‍රහණයක් සටහන් කළා. ඉන් අනතුරු ව ජර්මනිය ද ගෝල 1-0 කින් පරාජයට පත් කරමින් හංගේරියාව අවසන් තරගයට පිවිසෙන විට දී C කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට පත් ව සිටියේ සියලු ම දෙනා මවිතයට පත් කරමින්.

 හංගේරියා ආක්‍රමණය නිසා එංගලන්තය අතිශය අසාර්ථක නේෂන්ස් ලීග් තරගාවලියක් නිමා කළා. ඔවුන් එකදු තරගයක් හෝ ජයග්‍රහණය නොකළ අතර ම තරග 3ක් පමණක් ජය පරාජයෙන් තොර ව නිමා කර ගත්තා. මේ ප්‍රතිඵලයන් කිසිසේත්ම එංගලන්තයට ප්‍රමාණවත් නොවුණේ ඔවුන් දෙවන පෙළ දක්වා පහතට ඇද දමමින්. එය මෑත ඉතිහාසයේ එංගලන්ත පාපන්දු කණ්ඩායමක් දැක්වූ අසාර්ථක ම තරගාවලි නිම කිරීම ලෙසින් ද හැඳින්විය හැකි යි.

මෑත ඉතිහාසයේ එංගලන්තය සහභාගී වූ අසාර්ථකම තරඟාවලිය බවට මෙය පත් වුණා
මෑත ඉතිහාසයේ එංගලන්තය සහභාගී වූ අසාර්ථකම තරඟාවලිය බවට මෙය පත් වුණා – www.sportingnews.com

අනෙක් පසින් සාර්ථක වූ ඉතාලිය තමන් සහභාගී වූ තරග 5 න් 2ක් ජයග්‍රහණය කර, 2ක් සම වී, එක් තරගයක් පරාජයට පත්ව සිටියා. මේ නිසා C කාණ්ඩයේ ද අවසන් තරගය වූ හංගේරියා ඉතාලි තරගය වඩාත් තීරණාත්මක වුණා. ඉතාලියට මෙම තරගය ජයග්‍රහණය අනිවාර්යය වූ අතර ම හංගේරියාවට ජයග්‍රහණය හෝ තරගය සම වීම ප්‍රමාණවත් වුණා.

ඉතාලිය ද? හංගේරියාව ද?

ඉතිහාසයේ මුල් ම වතාවට නේෂන්ස් ලීග් අවසන් වටයට පිවිසීමේ අරමුණින් හංගේරියාව සටන් වදින විට පිට පිට ම දෙවන වතාවටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අරමුණින් යුතු ව ඉතාලිය තරගයට පිවිසියා. හංගේරියාවට එම තරගයේ බලාපොරොත්තු වූ ප්‍රතිඵලයට ළඟා වීමට හැකියාවක් ලැබුණේ නෑ.

ගෝලය සමරන දිමාර්කෝ
ගෝලය සමරන දිමාර්කෝ – www.reuters.com

ජියාකොමෝ රස්පදෝරි සහ ෆෙදරීකෝ දිමාර්කෝ වාර්තා කළ ගෝල ද්විත්වය ඉතාලියට ගෝල 2-0 ක ජයග්‍රහණයක් ලබා දුන්නා. එම ජයග්‍රහණය නිසාවෙන් C කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට ඉතාලිය සුදුසුකම් ලබා ගත්තා. කෙසේ වෙතත් හංගේරියා දස්කම්වලට ලොව පුරා පාපන්දු ලෝලීන්ගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්.

D කාණ්ඩය

පළමු අදියරේ අවසන් කාණ්ඩය වූ මෙම කාණ්ඩයෙන් නෙදර්ලන්තය, පෝලන්තය, බෙල්ජියම හා වේල්සය තරග වැදුණා. මුල සිට ම අපේක්ෂා කළ පරිදි අවසන් පූර්ව වටයේ ස්ථානය වෙනුවෙන් බෙල්ජියම සහ නෙදර්ලන්තය වඩා තරගකාරී ලෙසින් සටන් කළා.

නෙදර්ලන්තයෙන් සාර්ථක ගමනක්

පළමු නේෂන්ස් ලීග් තරගාවලියේ අනුශූරයන් වූ නෙදර්ලන්තය තම විශාලත ම ප්‍රතිවාදියා වූ බෙල්ජියම ගෝල 4-1 කින් පරාජයට පත් කරමින් තරගාවලියට ප්‍රවිෂ්ට වුණා. ඉන් පසුව වේල්සය 2-1 ක් සහ 3-2 ක් වශයෙනුත්, පෝලන්තය එක් තරගයක් 2-0 ක් වශයෙනුත් නෙදර්ලන්තය හමුවේ පරාජයට පත් වුණා.

එම ජයග්‍රහණ සමඟ ඉදිරියට පැමිණි නෙදර්ලන්තය අවසන් කාණ්ඩ වටයේ දී බෙල්ජියම 1-0 ක් ලෙසින් පරාජයට පත් කළා. ඔවුන් සහභාගී වූ තරග 6න් 5ක් ජයග්‍රහණය කොට එක් තරගයක් ජය පරාජයෙන් තොර ව නිමා කරමින් පහසුවෙන් ම අවසන් පූර්ව වටයේ තමන්ට හිමි ස්ථානය තහවුරු කර ගත්තා.

D කාණ්ඩය පුරාවට තම ආධිපත්‍ය පැතිරවූ නෙදර්ලන්තය
D කාණ්ඩය පුරාවට තම ආධිපත්‍ය පැතිරවූ නෙදර්ලන්තය – www,outlookindia.com

C කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් වූ බෙල්ජියම සහ පෝලන්තය ලබන වසරේත් පළමු අදියරට එක් වෙද්දී තමන් සහභාහී වූ තරල 6න් 5ක් ම පරාජයට පත් වී 1ක් පමණක් සම වී අවසන් කළ වේල්සයට දෙවන අදියර තෙක් පහත බැසීමට සිදු වුණා.

ඉහළට පැමිණි කණ්ඩායම් සහ සාර්ථක වූ ක්‍රීඩකයෝ

මේ වසරේ දෙවන අදියර යටතේ ක්‍රීඩා කළ කණ්ඩායම්වලින් යුක්රේනය, ඊශ්‍රායලය, බොස්නියා සහ හර්සගොවීනා සමගින් සර්බියාව ලබන වසරේ පළමු අදියරට උසස් වීම් ලබද්දී ආර්මේනියාව, රුමේනියාව, ඇල්බේනියාව සහ ස්වීඩනය තෙවන කාණ්ඩය දක්වා පහතට ඇද වැටුණා.

මීට අමතරව තුර්කිය, ග්‍රීසිය, කසකස්තානය, ජෝර්ජියාව, ලැට්වියාව සහ එස්තෝනියාවට තමන්ගේ අදියරවලින් ඉහළට ගමන් කිරීමට ද සමත් වුණා. නේෂන්ස් ලීග් තරගාවලිය අදියර 4 කින් සමන්විත යි.

ඇලෙක්සැන්ඩර් මිට්රොවිච්
ඇලෙක්සැන්ඩර් මිට්රොවිච් – www.eurosports.com

සමස්ත තරගාවලියේ මූලික වටයේ වැඩි ම ගෝල ලාභියා වූ සර්බියාවේ ඇලෙක්සැන්ඩර් මිට්‍රොවිච් සහ නොර්වේ රාජ්‍යයේ එර්ලින් හාලන්ඩ් ගෝල 6 බැගින් වාර්තා කළා. පළමු අදියරේ කණ්ඩායම්වලින් නෙදර්ලන්තයේ මෙම්පිස් ඩිපායි සහ බෙල්ජියමේ මිචි බැස්ටුවායි යන දෙපළ ගෝල 3 බැගින් වාර්තා කර ගෙන තිබෙනවා.

 මෙවර තරගාවලියේ අවසන් වටයට එක් වන ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ ක්‍රොඒෂියාව අවසන් පූර්ව වටයේ දී එකිනෙකා හමුවීමට නියමිත යි. අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරගය ලබන වසරේ දී පැවැත්වීමට නියමිත යි.

කවරයේ ඡායාරූපය - www.besoccer.com

මූලාශ්‍ර:

www.uefa.com

www.allfootball.com

www.eurosports.com

www.skysports.com

Related Articles