Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රට වටා ඉදි කළ ධාවන පථයක රේස් පදින කෝටිපතියන්ගේ දේශය

රටක් වට කොට ධාවන පථයක් සකසා වසරකට වරක් ෆෝමියුලා වන් තරගයක් පවත්වන දේශයක් පිළිබඳ ව ඔබ මීට ප්‍රථම ව දැන සිටියා ද? එසේ නැතිනම් මේ ලිපිය ඒ සම්බන්ධයෙනුයි.

කලක් ප්‍රංශයට අයත්ව සිට ඉන් අනතුරු ව වෙන ම රාජ්‍යක් ලෙසින් වෙන්ව සිටින මොනාකෝ හැඳින්වෙන්නේ ලොව ඇති කුඩා ම මෙන් ම ධනවත් ම රාජ්‍යවලින් එකක් ලෙසට යි.

සුන්දර මොනාකෝ රාජ්‍යය
සුන්දර මොනාකෝ රාජ්‍යය – www.agoda.com

වර්ග කිලෝමීටර් 2.02 ක තරම් කුඩා වපසරියක් හිමි එරටේ ජනගහනය 2019 වර්ෂයට අනුව 39 800ක්. ලොව ධනවතුන් බහුල ව සිටිනා රටක් ලෙසින් සැලකෙන මොනාකෝ හි ඒක පුද්ගල ආදායම ඩොලර් 176 000 ක පමණ ඉහළ අගයක් ගන්නවා. World Population Review වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට 2022 වර්ෂයේ එරට දළ දේශීය නිෂ්පාදනය එක් පුද්ගලයකු සමඟ සසඳනවිට ලොව ධනවත් ම රාජ්‍යය ලෙසින් ද මොනාකෝ හැඳින්වෙනවා.

ධනපතියන්ගේ ක්‍රීඩාවක්!

ෆෝමියුලා වන් යනු ලොව වඩාත් ප්‍රසිද්ධ ම මෝටර් රථ ධාවන තරග ආකාරය බව ප්‍රකාශ කිරීම නිවැරදි යි. වර්තමානයේ දී වසරකට ෆෝමියුලා වන් අදියර 22ක් ක්‍රියාත්මක වනවා. මෙම අදියර සියල්ල ම ලොව වටා විවිධ රටවල් කේන්ද්‍ර කොට ගෙන පැවැත්වෙනවා. මේ ධාවන තරග හැඳින්වෙන්නේ ධනපතියන්ගේ ක්‍රීඩාවක් ලෙසට යි.

 මෙම එක් තරගයක් සංවිධානය කිරීම සඳහා අධික මුදලක් වියදම් කිරීමට සිදු වනවා. එහි ධාවකයෙක් වීමට නම් කුඩා කාලයේ සිට ම පියවරෙන් පියවර ඉදිරියට පැමිණිය යුතු යි. එලෙස පැමිණීමට නම් ධාවකයාට අදාළ මෝටර් රථ මිලට ගැනීමටත්, ධාවන පථවලට පිවිසීමට මුදල් තිබීමත් අත්‍යාවශ්‍ය අංගයක් බව සැලකෙනවා. මේ නිසා මුදල් හදල් යහමින් ගැවසෙන අයෙක් හැර වෙනත් අයෙක් ෆෝමියුලා වන් ධාවකයෙක් බවට පත්වීම ලෙහෙසියෙන් දකින්නට ලැබෙන්නේ නෑ.

ෆෝමියුලා වන් රථයක් මොනාකෝ ධාවන පථය තුළ
ෆෝමියුලා වන් රථයක් මොනාකෝ ධාවන පථය තුළ – www.formula1.com

 ෆෝමියුලා වන් තරග සඳහා ආයෝජනය කරන සමගාම් එම මෝටර් රථ නිර්මාණය කිරීමට, නඩත්තුවට, ධාවකයන්ට සහ කණ්ඩායමට වැටුප් ගෙවීම් ආදී කටයුතු සඳහා වසරකට ඩොලර් මිලියන ගණනින් මුදල් පොම්ප කරනවා. ඇරැම්කෝ, රොලෙක්ස්, ජොනී වෝකර් වැනි ධනවත් සමාගම් ෆෝමියුලා වන් සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දීමට ද කටයුතු කර තිබෙනවා. මේ නිසා මෙය ධනපතියන්ගේ ක්‍රීඩාවක් බව පැවසීම වඩාත් නිවැරදියි.

ධාවන පථයක් නිර්මාණයට ඉඩ පහසුකම් නෑ

සාමාන්‍යයෙන් වසර තුළ පැවැත්වෙන බොහොමයක් ෆෝමියුලා වන් විවිධ අදියර ඒ සඳහා ම නිර්මාණය කළ ධාවන පථයන් හී දි ක්‍රියාත්මක වනවා. මොනාකෝ රාජ්‍යය අතිශය කුඩා වීම නිසා ඔවුන්ට ධාවන පථයක් නිර්මාණය කිරීමට තරම් ඉඩ පහසුකම් නොමැති වීම ප්‍රශ්නයක් වුණා. එවැනි ධාවන පථයක් නිර්මාණය කිරීමට නම් තමන්ගේ රටේ භූමියෙන් භාගයක්වත් වෙන් කිරීමට ඔවුන්ට සිදු වනවා.

එයට විසඳුමක් ලෙසින් මොනාකෝ රාජ්‍යය අපූරු සැලැස්මක් ගෙන ඒමට කටයුතු කළා. ඒ තමන්ගේ රට වටා ඉදිකොට තිබෙනා මහා මාර්ග පද්ධතිය ඔස්සේ ෆෝමියුලා වන් අදියරක් පැවැත්වීමට කටයුතු කිරීම යි. ඒ අදහසට අනුව ඔවුන් අදාළ තරගය මහා මාර්ගයේ පැවැත්වීමට කටයුතු කරනවා.

මොනාකෝ මහා මාර්ගයේ සකසන ධාවන පථයේ සැලැස්ම
මොනාකෝ මහා මාර්ගයේ සකසන ධාවන පථයේ සැලැස්ම – www.formula1.com

කිලෝමීටර් 3.337 ක දිගින් යුක්ත ව වර්තමානයේ දී ඉදි කරන මෙම ධාවන පථයේ ගමන් කරන රියදුරන්ට රට තුළ සැලකියයුතු වපසරියක් ආවරණය කිරීමට හැකි වීම ද විශේෂත්වයක්. මේ නිසා මෙය රටක් වටා ධාවනයේ නිරත වීමක් ලෙසින් ද හඳුන්වනවා. තරගයට ප්‍රථම ව අදාළ ධාවන පථය සැකසීම සඳහා සති 6ක් ද, ඉන් පසු ව එය ඉවත් කිරීමට තවත් සති 3ක් ද ගත වන බව සඳහන්. මොනාකෝ තරගය යනු මෝටර් රථ ධාවන තරගවල ගමන් කිරීමට ඉතාම අපහසු මාර්ගයක් සහ විශාල ඉතිහාසයක් හිමි අදියරක් ලෙස හැඳින්වීම ද නිවැරදි යි.

මොනාකෝ ධාවන පථයේ ඉතිහාසය

මොනාකෝ ධාවන පථයේ තරග ඉතිහාසය 1929 වර්ෂය දක්වා ඈතට දිව යනවා. මෙහි පළමු මෝටර් රථ ධාවන තරගය 1929 අප්‍රේල් මස 14 වනදා ක්‍රියාත්මක වුණා. එතැන් පටන් 1938 සිට දෙවන ලෝක යුද්ධය නිසා 1947 දක්වාත්, 1949 දී, 1953 සහ 1954 යන වර්ෂවලදීත් මොනාකෝ අදියරක් ක්‍රියාත්මක වුණේ නෑ.

 1954 න් පසුව එක දිගට 2019 වසර දක්වා ම මොනාකෝ අදියර ක්‍රියාත්මක වුණා. වසර 65 ක ඇවෑමෙන් මුල් වතාවට 2020 මොනාකෝ ධාවන තරගය පැවැත්වීමට නොහැකි වූයේ ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා යි. ඉන් පසුව නැවත වතාවක් සුපුරුදු පරිදි වසරකට වරක් මෙම ජනප්‍රිය ධාවන අදියර ක්‍රියාත්මක වනවා.

1966 වර්ෂයේ පැවති මොනාකෝ අදියරේ අවස්ථාවක්
1966 වර්ෂයේ පැවති මොනාකෝ අදියරේ අවස්ථාවක් – www.newstore66.com

මෝටර් රථ ධාවන තරග ඉතිහාසයේ ධාවන පථයකට ඇති ආවේණික ලක්ෂණ මෙන් ම සුවිශේෂී ඉතිහාසයක් ද සහිත නිසා මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රික්ස් අදියර ලොව ජනප්‍රියත ම අදියරවලින් එකක් ලෙස පහසුවෙන් ම හඳුන්වන්නට පුළුවන්.

ධාවකයන්ගේ වාර්තා

හා හා පුරා කියා 1929 වර්ෂයේ දී ආරම්භ වූ අදියරේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වුණේ බුගාටි කණ්ඩායම නියෝජනය කළ ධාවකයෙක් වූ විලියම් ග්‍රෝවර්-විලියම්ස්. ඔහු මහා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මෙම අදියර ජයග්‍රහණය කළ මුල් ම මොනාකෝ ජාතිකයා වූයේ 1931 දී ජයග්‍රහණය වාර්තා කර ගත් ලුයිස් චිරෝන්. ඔහු ද බුගාටි කණ්ඩායම නියෝජනය කළා.

1955 වර්ෂයේදී ෆෙරාරි කණ්ඩායම නියෝජනය කරමින් සහ 1958 වර්ෂයේ දී කූපර් ක්ලිමැක්ස් කණ්ඩායම නියෝජනය කරමින් මොනාකෝ අදියර ජයග්‍රහණය කළ ප්‍රංශ ජාතික මවුරීස් ට්‍රින්ටිග්නන්ට් දෙවතාවක් මෙම ධාවන පථය තුළ දී ජයග්‍රහණ වාර්තා කළ මුල් ම ධාවකයා ලෙසින් ඉතිහාසගත වුණා. මොනාකෝ ධාවන පථයේ රජු හෙවත් (King Of Monaco) ලෙසින් හැඳින්වෙන බ්‍රසීලයේ අයර්ටන් සෙනා 6 වතාවක් මෙම අදියර ජයග්‍රහණය කොට තිබෙනවා. අදටත් ඔහු වැඩි ම මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රික්ස් ජයග්‍රහණ ලැබූ ධාවකයා යන වාර්තාව උසුලනවා.

6 වතාවක් මොනාකෝ අදියර ජයග්‍රහණය කළ අයර්ටන් සෙනා එහි තරඟ වදින අවස්ථාවක්. ඔහු අවාසනාවන්ත අනතුරකින් 1994 සැන් මැරීනෝ අදියරේදී මරණයට පත් වුණා.
6 වතාවක් මොනාකෝ අදියර ජයග්‍රහණය කළ අයර්ටන් සෙනා එහි තරග වැදි අවස්ථාවක්. ඔහු අවාසනාවන්ත අනතුරකින් 1994 සැන් මැරීනෝ අදියරේ දී මරණයට පත් වුණා – www.motorsportmagazine.com

මැක්ලරන් කණ්ඩායම නියෝජනය කරමින් සෙනා 1989 සිට 1993 දක්වා පිට පිට 5 වතාවක් මොනාකෝ අදියර ජයග්‍රහණය කළා. ඉන් අනතුරු ව 1994 දී සැන් මැරීනෝ හී දි සිදුවූ අනතුරකින් ඔහු අවාසනාවන්ත ලෙසින් ජීවිතයෙන් සමු ගත්තා. මීට අමතර ව ජර්මනියේ මයිකල් ෂූමාකර් සහ බ්‍රිතාන්‍යයේ ග්‍රැහැම් ගිල් 5 වතාව බැගිනුත්, ප්‍රංශයේ ඇලන් ප්‍රොස්ට් 4 වතාවක් ද ජයග්‍රහණයන් හිමි කර ගෙන තිබෙනවා.

වර්තමානයේ දී ධාවනයේ නිරත වන අය අතුරින් බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් 2008, 2016 සහ 2019 වශයෙන් තුන් වතාවක් මොනාකෝ අදියර ජයග්‍රහණය කොට තිබෙනවා. 2022 වර්ෂයේ සඳහා පැවති අවසන් තරගය රෙඩ්බුල් ක්‍රීඩක, මෙක්සිකෝ ජාතික සර්ජියෝ පෙරෙස් ජයග්‍රහණය කළා. කණ්ඩායම් වශයෙන් ගත් කල මැක්ලරන් කණ්ඩායම 15 වතාවක්, ෆෙරාරි කණ්ඩායම 10 වතාවක් සහ මර්සිඩීස් කණ්ඩායම 8 වතාවක් වශයෙන් මොනාකෝ අදියරේ ශූරයන් බිහි කොට තිබෙනවා.

2022 මොනාකෝ අදියර ජයග්‍රහණය කළ සර්ජියෝ පෙරෙස්
2022 මොනාකෝ අදියර ජයග්‍රහණය කළ සර්ජියෝ පෙරෙස් – www.planetf1.com

1952 වර්ෂයේ දී පුහුණුවීම් අතරතුර සිදු වූ අනතුරකින් ඉතාලි ජාතික ධාවකයෙක් වූ ලුයිජි ෆැගියෝලි මරණයට පත් වුණා. තවත් ඉතාලි ජාතිකයෙක් වූ ලොරෙන්සෝ බැන්දිනි 1967 දී සිදුවූ අනතුරකින් මරණයට පත් වුණා. මොනාකෝ ධාවන පථය හා සම්බන්ධ ඛේදජනක ම මතක ලෙසින් ඒවා හැඳින්විය හැකි යි. මීට අමතරව ඉතිහාසයේ තවත් දරුණු අනතුරු සිදු ව ඇතත් ඒවාගෙන් රියදුරන් දිවි ගලවා ගත්තා.

නිවසේ සිට ම නරඹන තරගය

මොනාකෝ අදියරේ අවසන් වශයෙන් ඇති විශේෂත්වය වන්නේ එරට ජනතාවට තම නිවසේ ම සිටිමින් ධාවන තරගය නැරඹීමට හැකි වීම යි. මහා මාර්ගය ඔස්සේ දිවෙන තරගය තම නිවසට වී නරඹන ප්‍රේක්ෂකයන් මෙම අදියරේ දී සුලබ දසුනක් වනවා.

‍යොට් යාත්‍රා වල සිට තරඟය නරඹන ප්‍රේක්ෂකයෝ
‍යොට් යාත්‍රාවල සිට තරගය නරඹන ප්‍රේක්ෂකයෝ – www.thesouthafrican.com

 මෙම අදියර පැවැත්වෙන සෑම වසරක දී ම මොනාකෝ වෙත මිල අධික යොට් යාත්‍රා පැමිණීම මෙන් ම අසීමිත හෝටල් වෙන්කරවා ගැනීම් ද දක්නට ලැබෙනවා. රටක සැලකියයුතු භූමි භාගයක මහා මාර්ගය ධාවන පථයක් කොට පවත්වන මෙම ෆෝමියුලා වන් අදියර සමස්ථ ක්‍රීඩාවේ ම තවත් එක් චමත්කාරජනක අවස්ථාවක් ලෙසින් හැඳින්විය හැකි යි.

කවරයේ ඡායාරූපය - www.autosports.com
 මූලාශ්‍ර :

www.formula1.com

www.montecarlosbm.com

 www.autosports.com

www.thegoodlifefrance.com 

Related Articles