Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පේලේ ගේ දැවැන්ත සෙවණැල්ලට වැසුණු නිහඬ බ්‍රසීල පාපන්දු තාරකාව

2023 නව වසර එළඹීමට මත්තෙන් ලොව පුරා සිටි පාපන්දු ලෝලීන්ට ඉතා ශෝකජනක පුවතක් අසන්නට ලැබුණා. ඒ යුගයක් වර්ණවත් කළ බ්‍රසීල පාපන්දු තරුව වූ පේලේ ගේ නික්ම යාමේ පුවත යි. ඔහුගේ මරණය වෙනුවෙන් බ්‍රසීලය සහ සමස්ත ලෝකයේ ම පාපන්දු රසිකයන් තම ශෝකය ප්‍රකාශයට පත් කළා.

ගරීන්චා – www.goal.com

පේලේ මෙන්ම එකල බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කළ තවත් දක්ෂ ක්‍රීඩකයන් රාශියක් සිටිනවා. ඒ අතරින් සමහර ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අදටත් කතා වන්නේ ඉතාම අඩුවෙන්. එයට හේතු වී තිබෙන්නේ පේලේ වැනි දැවැන්තයෙක් ගේ සෙවණැල්ලට වැසී තිබීම නිසා එම ක්‍රීඩකයන්ට ලැබෙන අවධානයේ අඩු වීම යි. 1962 පාපන්දු ලෝක කුසලානයේ දී බ්‍රසීල බර තම කර මතට ගත් ගරීන්චා යනු එවැනි ක්‍රීඩකයෙක්.

1962 පාපන්දු ලෝක කුසලානය

චිලී රාජ්‍යයේ සත්කාරකත්වයෙන් ආරම්භ වූ 1962 ලෝක කුසලානයට බ්‍රසීලය පැමිණියේ වත්මන් ලෝක ශූරයන් වශයෙන්. 1958 ලෝක කුසලානයේ දී විශිෂ්ට දස්කම් දැක්වූ පේලේ, වාවා ඇතුළු බ්‍රසීලය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු දල්වාගෙන සිටියා. තරගාවලිය ආරම්භයේදී ම බ්‍රසීලය ට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදු වුණා.

පළමු තරගයේදී ම මෙක්සිකෝව සමඟින් බ්‍රසීලය තරග වැදුණා. දෙවන අර්ධයේ දී සගොල්ලෝ සහ පේලේ ලබාගත් ගෝලවලින් බ්‍රසීල ජයග්‍රහණය තහවුරු වුණා. එහිදී පේලේ මෙක්සිකෝ ආරක්ෂක ක්‍රීඩකයන් සිව් දෙනෙක් මඟ හැර ගොස් ලබා ගත් අලංකාර ගෝලය ඔහුගේ 1958 ලෝක කුසලාන දස්කම් නැවත වතාවක් ප්‍රේක්ෂකයන්ට මතක් කිරීමට සමත් වුණා.

1962 පාපන්දු ලෝක කුසලානයේ ක්‍රීඩා කරමින් – www.sportsnet.com

දෙවන තරගයට බ්‍රසීලය සහ චෙකොස්ලෝවැකියාව සටන් කළා. නමුත් තරගයේ පළමු අර්ධයේ මැද භාගයේදී පේලේ පාදයේ මස්පිඬු පෙරළීමේ ආබාධයකට ගොදුරු වුණා. එම ආබාධය නිසා ඔහුට නැවත ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ නෑ. පේලේට ඉදිරි ලෝක කුසලාන තරග සඳහා ද සහභාගී වීමේ හැකියාව නොමැති බවට වාර්තා වුණා. මේ හේතුවෙන් බ්‍රසීලය දැඩි අර්බුදයක සිරවෙමින් සිටියා.

ගරීන්චා ගලවා ගැනීමේ මෙහෙයුමක

අඩි 5 අඟල් 7 ක උසකින් යුක්ත 29 හැවිරිදි මැනුවෙල් ෆ්‍රැන්සෙස්කෝ ඩොස් සැන්ටොස් හෙවත් ගරීන්චා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ක්‍රීඩකයෙක් එතැන් පටන් බ්‍රසීල බර තම කර මතට ගත්තා. රයිට් වින්ගර් ක්‍රීඩකයෙක් වශයෙන් 1958 ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ ද සාමාජිකයෙක් වූ ගරීන්චා 1962 දී කණ්ඩායමේ වටිනා ම ක්‍රීඩකයා බවට පත් වුණා.

කාණ්ඩ වටයේ තෙවන සහ අවසන් තරගයට බ්‍රසීලය සහ ස්පාඤ්ඤය තරග කළා. මතභේදාත්මක විනිසුරු තීරණ කිහිපයක් කණ්ඩායම් ද්විත්වය ම පීඩාවට පත් කළත් දෙවන අර්ධයේ දී බ්‍රසීල ක්‍රීඩක ආමරිල්ඩෝ වාර්තා කරගත් ගෝල ද්විත්වය නිසා බ්‍රසීලය ගෝල 2-1 කින් තරගය ජයග්‍රහණය කළා. බ්‍රසීලය ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය ඒ සමඟ වෙන්කර ගත්තා.

අර්ධ අවසන් පූර්ව වටයේ දී බ්‍රසීල ප්‍රතිවාදියා වූයේ එංගලන්තය යි. කවදත් ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත එංගලන්තය බ්‍රසීලයට විශාල අභියෝගයක් වුණා. තරගය ආරම්භ වී ගතවන 31 වන විනාඩියේදී ම කෝනර් පහරකට හිසින් ගෝලයක් වාර්තා කර ගැනීමට ගරින්චා සමත් වුණා. තරගයේ පළමු අර්ධය අවසන් වූයේ එංගලන්තය ලබා ගත් ගෝලයක් නිසා 1-1 ලෙස සම තත්ත්වයෙනු යි.

1962 පාපන්දු ලෝක කුසලානයේ බ්‍රසීල – එංගලන්ත තරගය ක්‍රීඩා කරමින් – www.historyofsoccer.com

දෙවන අර්ධයේදී බ්‍රසීලය වෙතට ලැබුණ නිදහස් පහරක් ගරීන්චා සාර්ථක ව වාවා වෙතට යොමු කළා. වාවා ගෝලයක් ලබා ගැනීමෙන් තරගයේ වාසිය නැවතත් බ්‍රසීලය සතු වුණා. එම වාසිය දෙගුණ කළ ගරීන්චා ම තවත් ගෝලයක් ලබාගෙන තරගයේ ජය 3-1 ක් ලෙස බ්‍රසීලය සතු කළා. ඒ සමඟින් බ්‍රසීලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

බ්‍රසීල්! බ්‍රසීල්!! බ්‍රසීල්!!!

බ්‍රසීලය සහ සත්කාර චිලී රාජ්‍යය දෙවන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබුණා. නැවත වතාවක් බ්‍රසීලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ගරීන්චා තරගයේ 9 වන සහ 32 වන විනාඩිවලදී ගෝල දෙකක් වාර්තා කළා. ඔහු ලබා ගත් එම ගෝල ද්විත්වය සහ වාවා ලබා ගත් ගෝල ද්විත්වය නිසා චිලී රාජ්‍යය ගෝල 4-2 කින් පරාජයට පත් කළ බ්‍රසීලය පිට පිට ම දෙවන වතාවට ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

චිලී සමඟ පැවති තරගයේ දී ගරීන්චාට රතු කාඩ්පතක් ලබා දීමට විනිසුරු කටයුතු කළා. මේ නිසා ඔහුට අවසන් මහා තරගය ක්‍රීඩා කිරීම තහනම් වුණා. ඔහුගේ වටිනාකම සැලකූ චිලී ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් පෙත්සමක් පවා අත්සන් කිරීමට කටයුතු යෙදුණා. එය සලකා බලා ගරීන්චාට අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට හැකි බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කළා.

1962 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීලය – www.pesmitidelcalcio.com

චෙකොස්ලෝවැකියාව සමඟින් බ්‍රසීලය 1962 ලෝක ශූරතාව වෙනුවෙන් සටන් වැදුණා. ආමරිල්ඩෝ, සිටෝ සහ වාවා ලබා ගත් ගෝල ත්‍රිත්වය නිසා ගෝල 3-1 ක පහසු ජයක් ලබා බ්‍රසීලය පිට පිට ම දෙවන වතාවටත් ලෝක කුසලානය ජයග්‍රහණය කළා. අවසන් මහා තරගයේ දී ගෝල ලබා නොගත්ත ද ප්‍රතිවාදී පසුපෙළ ක්‍රීඩකයන් මඟ හැර යමින් බ්‍රසීල ඉදිරි පෙළට වඩා පහසු අවස්ථා නිර්මාණය කර දීමට ගරීන්චා සමත් වුණා.

1962 පාපන්දු ලෝක කුසලානයේ සම වැඩි ම ගෝල ලාභියා වීමට ද ගරීන්චා සමත් වුණා. අවසන් පූර්ව වටයේදී චිලී රාජ්‍යයට එරෙහි ව ඔහු දැක්වූ දක්ෂතාව එරට ප්‍රේක්ෂකයන් ම අගය කිරීමට කටයුතු කළා. සත්කාර රටේ ප්‍රේක්ෂකයන් ම සිදු කරන එම ගෞරවය FIFA ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් සුන්දර ම මතක 100ට ද ඇතුළත් කළා. 1962 පාපන්දු ලෝක කුසලානයේ දක්ෂත ම ක්‍රීඩකයා සම්මානය ද ගරීන්චා දිනා ගත්තා.

ගරීන්චා

ගරීන්චා මෙයට අමතර ව 1958 පාපන්දු ලෝක කුසලානය දිනාගත් බ්‍රසීල කණ්ඩායම ද නියෝජනය කළා. ඔහු බ්‍රසීලය වෙනුවෙන් දෙවරක් ලෝක පාපන්දු කිරුළ දිනා ගත් ක්‍රීඩකයෙක්. එයට අමතර ව ඔහු 1957 සහ 1959 වර්ෂ වලදී දකුණු අමරිකානු පාපන්දු අනුශූරතාව දිනා ගත් බ්‍රසීල කණ්ඩායමේ සාමාජිකයෙක් ද වුණා. සමස්තයක් වශයෙන් ගරීන්චා බ්‍රසීලය සමඟ තරග 50 ක් ක්‍රීඩා කොට ලැබූ ගෝල සංඛ්‍යාව 12ක්.

ගරීන්චා 1962 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව – www.themirror.com

තම වෘත්තියමය පාපන්දු දිවියේ දී ගරීන්චා ක්‍රීඩා සමාජ 5 ක් සමඟින් ක්‍රීඩා කළා. ඒ බොටාෆෝගෝ, කොරන්තියන්ස්, ඇට්ලෙටිකෝ ජූනියර්, ෆ්ලැමෙන්ගෝ සහ ඔලාරියා යන කණ්ඩායම් සමඟ යි. වෘත්තියමය ක්‍රීඩා සමාජ පාපන්දු දිවියේ දී තරග 345 ක් ක්‍රීඩා කරමින් ඔහු ගෝල 102 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඔහු 1965 වර්ෂය වනතෙක් ම බොටාෆෝගෝ සමඟින් ක්‍රීඩා කළා. ගරීන්චා තම වෘත්තියමය ක්‍රීඩා සමාජ දිවියේ ක්‍රීඩා කළ තරග 345 න් 323 ක් මෙන් ම ගෝල 102 න් 101 ක් ම වාර්තා කළේ ද බොටාෆෝගෝ වෙනුවෙන්. 1955 සිට 1966 දක්වා බ්‍රසීලය නියෝජනය කළ ගරීන්චා 1966 ලෝක කුසලාන පරාජයෙන් අනතුරු ව තම ජාත්‍යන්තර පාපන්දු ගමන නිමා කළා.

ලැබුණු ඇගයීම්

ගරීන්චා තම පාපන්දු දිවියේ සිදු කළ මෙහෙවර නිසාම ඔහුට විශාල ඇගයීම් ප්‍රමාණයක් ලැබී තිබෙනවා. 20 වන සියවසේ බිහි වූ විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයන් අතලොස්ස අතරටත් ගරීන්චා ගේ නාමය පහසුවෙන් ම ඇතුළත් කළ හැකි යි.

“ඔහුට බෝලය හම්බුණාම කරන දේ හිතාගන්න බෑ. ඒක කරන්න පුළුවන් ඔහුට විතරයි.” මෙලෙස තම සගයා සම්බන්ධයෙන් පේලේ වරෙක අදහස් දැක්වීමට කටයුතු කළා.

ගරීන්චා සහ පේලේ – www.dailystar.com

ගරීන්චා සිටින විටදී කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙක් ද සමඟින් ක්‍රීඩා කරන බවට තමන්ට හැඟෙන බව හිටපු සුපිරි බ්‍රසීල ක්‍රීඩක ඩිඩි වරෙක ප්‍රකාශ කළා. ඒ ආකාරයෙන් බ්‍රසීල පාපන්දු ක්ෂේත්‍රයේ බිහි වූ තවත් එක් අග්‍රගන්‍ය ක්‍රීඩකයෙක් වන ගරින්චා ලැබූ ඇගයීම් පහත පරිදි ලඝු කළ හැකියි,

  • FIFA ලෝක කුසලානයේ හොඳම කණ්ඩායමට නම් වීම – 1958, 1962
  • බ්‍රසීල ක්‍රීඩා සමාජ පාපන්දු වසරේ ක්‍රීඩකයා – 1962
  • රියෝ – සාඕ පාලෝ තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා – 1962
  • පාපන්දු ලෝක කුසලානයේ වැඩි ම ගෝල ලාභියා (සම වාර්තාවකි) – 1962
  • පාපන්දු ලෝක කුසලානයේ දක්ෂත ම ක්‍රීඩකයා – 1962
  • ලොව හොඳම පාපන්දු කණ්ඩායමට නම් වීම – 1962
  • FIFA 20 වන ශතවර්ෂයේ කණ්ඩායමට ඇතුළත් වීම
  • FIFA ලෝක කුසලාන ඉතිහාසයේ හොඳ ම කණ්ඩායමට ඇතුළත් වීම
  • L’Equipe සඟරාවට අනුව 20 වන ශතවර්ෂයේ බිහි වූ දක්ෂත ම දකුණු අමරිකානු පාපන්දු තරු 50 අතරේ සිව්වන ස්ථානය ගරීන්චාට හිමි වුණා.
  • IFFHSට අනුව 20 වන ශතවර්ෂයේ බිහිවූ දෙවන හොඳ ම බ්‍රසීල ක්‍රීඩකයා.
  • IFFHSට අනුව 20 වන ශතවර්ෂයේ බිහිවූ සිව්වන හොඳ ම දකුණු අමෙරිකානු පාපන්දු ක්‍රීඩකයා.
  • IFFHSට අනුව 20 වන ශතවර්ෂයේ ලොව බිහි වූ අටවන හොඳ ම පාපන්දු ක්‍රීඩකයා
  • බැලොන් ඩොර් නව සම්මාන ලැයිස්තුවේ 1962 ජයග්‍රාහකයා
  • බැලොන් ඩොර් සිහින රිදී කණ්ඩායමේ සාමාජිකයෙක්

පාපන්දු ක්‍රීඩාවෙන් පසු

ගරීන්චා පාපන්දු පිටිය තුළ අතිශය සාර්ථක තරුවක් වී සිටියත් පිටියෙන් පිටත ඔහු සාර්ථක වූයේ නෑ. ගරීන්චා අධික ලෙස බීමට ඇබ්බැහි වී සිටියා. ඔහු අවස්ථා කිහිපයක දී ම මාර්ග අනතුරුවලටත් මුහුණ දුන්නා. මෙලෙස 1969 දී සිදු වූ අනතුරක් නිසා ඔහුගේ බිරිය ගේ මව මරණයට පත් වුණා. කිහිප වතාවක් ම විවාහ වූ ගරීන්චා දරුවන් 14 දෙනකු ගේ පිය පදවිය ද දැරූ බවට සඳහන්.

පාපන්දු පිටියෙන් නික්ම යාමෙන් පසුව තම ජීවිතය තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යාමට ඔහු අසමත් වුණා. අධික බීමත්කම නිසා ම ආර්ථික වශයෙන් අස්ථාවර වීමට ද ගරීන්චාට සිදු වුණා. ඔහුගේ මෙම පිටියෙන් පිටත හැසිරීම් රටාව නිසා පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස අඩු ඇගයීමක් ලබා ගැනීමට හේතු වූ බවට ඇතැම් විචාරකයන් මත පළ කරනවා.

කෙසේ වෙතත් අධික මත්පැන් පානය හේතුවෙන් ඇතිවූ ඇල්කොහොල් සිරෝසිස් තත්ත්වයෙන් 1983 ජනවාරි මස 20 වනදා ගරීන්චා නම් වූ විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයා මෙලොවින් සමු ගත්තා. මියයන විට ඔහු 49 හැවිරිදි වියේ පසුවුණා. පාපන්දු ක්‍රීඩාවෙන් නික්ම යාමෙන් අනතුරුව ගරීන්චා ගතකළ දිවිය සම්බන්ධයෙන් බොහෝ බ්‍රසීල තරු තම කනගාටුව ප්‍රකාශ කර සිටිනවා.

ගරීන්චා ගේ අවමගුල් උත්සවයට සහභාගී වූ ජනතාව – www.acervooglobo.com

අවසන් සමයේදී තමා අමතක කර දැමුවා යැයි ගරීන්චා ශෝකයෙන් කල් ගත කළ බව ද සඳහන්. කෙසේ වුවත් ඔහුගේ අවමගුල් උත්සවයට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සහ පාපන්දු තරු රැසක් ද සහභාගී වුණා. 1962 පාපන්දු ලෝක කුසලානය දිනා දීමට මෙන්ම 20 වන ශතවර්ෂයේ බිහි වූ දක්ෂත ම පාපන්දු ක්‍රීඩකයෙක් ද වන ගරීන්චා අදටත් බ්‍රසීල ප්‍රේක්ෂකයන් ඉතා ගෞරවයෙන් සිහි කරනවා.

කවරයේ ඡායාරූපය - ගරීන්චා 1962 - www.wallpapercave.com
මූලාශ්‍ර :
www.fifa.com
www.footballhistory.org
www.historyofsoccer.info.com

Related Articles