Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රසීල පාපන්දුව උඩු යටි කුරු කළ මරකසානෝ පරාජය

මෙම වසරේ 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාරය සහ ඉක්වදෝර් අතර පැවැත්වීමට නියමිත ඒ කාණ්ඩයේ තරගයකින් ලබන නොවැම්බර් 21 වැනි දා  කටාර් රාජ්‍යයේ දී ආරම්භ වනවා. 

පාපන්දු ලෝක කුසලානය කියූ සැනින් ඔබගේ සිහියට එන රටක් වන්නේ බ්‍රසීලය යි. ගහට පොත්ත මෙන් බ්‍රසීල පාපන්දුව හා ලෝක කුසලානය එකිනෙකට බැඳී පවතිනවා. ඉතිහාසයේ 5 වතාවක් ලෝක ශූරයන් ලෙසින් අභිසෙස් ලබමින් වැඩි ම වතාවක් ලෝක පාපන්දු කිරුළ දැරූ කණ්ඩායම යන වාර්තාව ද බ්‍රසීල කණ්ඩායම සතු වනවා. නමුත් ඔවුන්ගේ සමස්ත පාපන්දු ක්‍රීඩාව ම උඩු යටිකුරු කිරීමට එක් සිදුවීමක් සමත් වුණා.

1950 පාපන්දු ලෝක කුසලානයේ නිළ පෝස්ටරය
1950 පාපන්දු ලෝක කුසලානයේ නිළ පෝස්ටරය- www.krusteez.com

1950 ලෝක කුසලානය

1950 වර්ෂයේ පැවති සිව්වන පාපන්දු ලෝක කුසලානයේ සත්කාරත්වය බ්‍රසීලයට පැවරී තිබුණා. 1930 පටන් පැවති ලෝක කුසලාන ත්‍රිත්වයට ම තම සහභාගීත්වය සටහන් කළත් තවමත් පාපන්දු ලෝක ශූරයන් වීමට හෝ අවසන් මහා තරගයකට පිවිසීමේ වාසනාව බ්‍රසීලය සතු වුණේ නෑ. මේ නිසා 1950 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට බ්‍රසීලට වඩා වැඩි ඉඩකඩක් ඇති බවට බොහෝ දෙනා තරගාවලිය ඇරඹීමට පෙර සිට ම අනාවැකි පළ කළා. 

එවර පාපන්දු ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 15ක් එක් වී සිටියා. විශේෂත්වය වූයේ අවසන් මහා තරගයක් පැවැත්වීමට කටයුතු යොදා නොතිබීම යි. එම කණ්ඩායම් 15, Group 1, 2, 3, 4 ආකාරයට කාණ්ඩ 4 කට වෙන් කළා. ඒ පළමු දෙවන සහ තෙවන කාණ්ඩයට කණ්ඩායම් 4 බැගිනුත් අවසන් කාණ්ඩයට කණ්ඩායම් 3ක් ඇතුළත් වන අයුරිනුත් වශයෙන්.

තරගාවලිය ආරම්භයට ප්‍රථම 3 වන කාණ්ඩයේ සිටි ඉන්දියාවත්, 4 වන කණ්ඩයේ සිටි ප්‍රංශයත් තරගාවලියෙන් ඉවත් වුණා. මේ නිසා කණ්ඩායම් 13 ක සහභාගිත්වයෙන් ලෝක කුසලානය ඇරඹුණු අතර ම 3 වන කාණ්ඩයේ කණ්ඩායම් 3ක් සහ 4 වන කාණ්ඩයේ කණ්ඩායම් 2ක් රැඳී සිටියා.

බ්‍රසීලය සහ මෙක්සිකෝව අතර පැවති තරඟයේ අවස්ථාවක්
බ්‍රසීලය සහ මෙක්සිකෝව අතර පැවති තරඟයේ අවස්ථාවක් – www.sportscrunch.com

මූලික වටයෙන් පසු

මූලික වටයේ ඒ ඒ කාණ්ඩවල ජයග්‍රහණ අනුව ප්‍රසාද ලකුණු ලබා ඉහළින් ම රැඳී සිටිනා රටවල් දෙවන වටය සඳහා සුදුසුකම් ලැබීමට නියමිත වුණා. ඒ අනුව දෙවන වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා ගන්නා අතර ම ඒ රටවල් 4 අතරේ නැවතත් කාණ්ඩ වටයේ තරගාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් වුණා.

ජයග්‍රහණයකට ලකුණු 2ක්, ජය පරාජයෙන් තොර එකකට එක් ලකුණක් වශයෙන් ප්‍රසාද ලකුණු ලබා දෙමින් දෙවන වටයේ දී සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් තම ප්‍රතිවාදීන් තිදෙනා සමඟ තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත වුණා. මේ තරග 3 අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථානය ගන්නා කණ්ඩායම ලෝක ශූරයන් වන අතර 1950 ලෝක කුසලානයේ අවසන් මහා තරගයක් පැවැත්වූයේ නෑ.

බ්‍රසීල ගමන් මග

Group 1 යටතේ තරගාවලියට එක් වූ බ්‍රසීලය පළමු තරගයේදී ම මෙක්සිකෝව ගෝල 4-0 ක් වශයෙන් පහසුවෙන් පරාජයට පත් කළා. මීළඟ තරගයේ දී ජැක් ෆැටොන් රැස් කළ ගෝල ද්විත්වය නිසා ම අනපේක්ෂිත ආකාරයට ගෝල 2-2 ලෙසින් ස්විට්සර්ලන්ත තරගය සම වී අවසන් වුණා. තම අවසන් මූලික වටයේ තරඟය ගෝල 2-0 ලෙසින් යුගොස්ලෝවියාව පරාජයට පත් කළ බ්‍රසීලය 1 කාණ්ඩයේ ප්‍රථමයා වශයෙන් පහසුවෙන් ම දෙවන සහ අවසන් වටය දක්වා ගමන් කළා.

මේ ආකාරයෙන් ස්පාඤ්ඤය, ස්වීඩනය සහ උරුගුවේ යන කණ්ඩායම් බ්‍රසීලය සමඟින් අවසන් වටයට සුදුසුකම් ලැබූවන් බවට පත් වුණා. අවසන් වටයේ මුල් ම තරගයේ දී ස්වීඩනයට අමතක නොවන මතකයක් එක් කළ ඇඩෙමිර් දි මෙන්සෙස් රැස් කළ ගෝල 4 ත් සමඟ දැවැන්ත ගෝල 7-1 ක ජයග්‍රහණයක් බ්‍රසීලය ලබා ගත්තා. එම අමිහිරි අත්දැකීම එලෙසම ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ටත් විඳීමට සැලැස්වූ බ්‍රසීල ක්‍රීඩකයන් එම තරගය ජයග්‍රහණය කළේ ගෝල 6-1ක් වශයෙන්.

මේ විශාල ජයග්‍රහණ දෙක හමුවේ බ්‍රසීලය ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටියා. ඔවුන් සමඟ අවසන් කාණ්ඩ වටයේ තරගයට එක් වන උරුගුවේ කණ්ඩායම ස්පාඤ්ඤ තරගය 2-2 ක් හා ස්වීඩන තරගය 3-2 ක් ලෙස ජයග්‍රහණය කොට ප්‍රසාද ලකුණු 3ක් ලබා ගෙන සිටියා. මේ නිසා මේ තරගය ජයග්‍රහණය කිරීම හෝ ජය පරාජයෙන් තොර ව නිමා වීම බ්‍රසීලය ලෝක ශූරයන් බවට පත් කරන අතර ශූරයන් වීමට නම් උරුගුවේට ජයග්‍රහණය අත්‍යාවශ්‍ය ම වුණා. ස්වීඩන සහ ස්පාඤ්ඤ කණ්ඩායම්වල ලෝක කුසලාන සිහිනය ඒ වන විටත් අවසන් ව තිබීම නිසා බ්‍රසීල උරුගුවේ සටන 1950 ලෝක කුසලානයේ නිල නොලත් අවසන් තරගය බවට පත් ව තිබුණා.

උරුගුවේ බ්‍රසීල තරඟය නැරඹීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනයා
උරුගුවේ – බ්‍රසීල තරඟය නැරඹීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනයා – www.fifa.com

මරකසානෝ

1950 ලෝක කුසලාන ශූරයන් තේරීම සඳහා වූ තරගය බ්‍රසීලයේ ප්‍රකට මරකානා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා. තරගය ආරම්භ වීමට පෙර සිට ම බ්‍රසීලය ලෝක ශූරයන් වන බවට එරට ප්‍රේක්ෂකයන් දැඩි ව විශ්වාස කළා. ඒ විශ්වාසය කෙතරම් ඉහළ ද යත් බ්‍රසීලය ලෝක පාපන්දු ශූරයන් බව කියමින් පසුදින නිකුත් කිරීමට නියමිත වූ පුවත්පත්වල පවා පෙර මුද්‍රණ සකසා තිබුණා. ප්‍රවේශ පත්‍ර ගත් සහ නොගත් වශයෙන් ලක්ෂ 2 කට ආසන්න ප්‍රේක්ෂකයන් පිරිසක් මරකානා ක්‍රීඩාංගණයේ පොදි කමින් සිටියා.

එදින පුවත්පත් වල මුද්‍රණය කොට තිබූ බ්‍රසීලය ලෝක ශූරයන් බව සඳහන් ලිපි ගෙන ආ උරුගුවේ නායක ඔබ්ඩුලියෝ වියේරා, තම කණ්ඩායම් සගයන්ට ඒවා පෙන්වීමට පවා කටයුතු කළා. ඔහුගේ අදහස වූයේ මේ සඳහා ප්‍රතිචාර දැක්වීම අනිවාර්යයෙන් ම කළ යුතු බව යි. ඔහු තරගයට පෙරාතුව කණ්ඩායම අමතා සිදු කළ කතාව ද උරුගුවේ ක්‍රීඩකයන් පසු කලෙක බෙහෙවින් අගය කොට සිටියා. තරගයේ පළමු අර්ධය 0-0 ලෙසින් අවසන් වුණා. තවත් විනාඩි 45ක් තුළ ගෝලයක් වාර්තා නොකළහොත් උරුගුවේ පරාජය අනිවාර්යයෙන් ම සිදු වන්නක්.

තරගයේ දෙවන අර්ධය ආරම්භ වූ වහා ම ක්‍රියාත්මක වන බ්‍රසීල ක්‍රීඩක Friaca බ්‍රසීල පළමු ගෝලය වාර්තා කළා. ඒ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රේක්ෂකයන් මන්මත් කරමිනු යි. දැන් ජයග්‍රහණය සඳහා උරුගුවේට ගෝල 2ක් අවශ්‍ය වන අතර මෙම පීඩනය හමුවේ එය ලබා ගැනීම ලෙහෙසි පහසු දෙයක් වුණේ නෑ. නමුත් ගිලිහෙන උරුගුවේ බලාපොරොත්තුවට නව පණක් ලබාදෙන Juan Alberto Schiaffino ගෝලයක් ලබා ගනිමින් තරගය 1-1 ක් ලෙසින් සම කිරීමට සමත් වුණා.

Juan ගේ ගෝලයෙන් නව පණක් ලබන උරුගුවේ ක්‍රීඩකයන් දිගින් දිගට ම බ්‍රසීල කලාපය ආක්‍රමණය කරමින් සිටියා. එහි ප්‍රතිඵලය 79 වන විනාඩියේ දී නෙළා ගන්නා Alcides Ghiggia උරුගුවේ සඳහා දෙවන ගෝලය ද වාර්තා කළා. ප්‍රේක්ෂකාගාරය සම්පූර්ණයෙන් ම මීයට පිම්බාක් මෙන් නිහඬ වෙද්දී උරුගුවේ රාජ්‍යය තම දෙවන ලෝක කුසලානය ජයග්‍රහණය කළා. බ්‍රසීලය මේ සිදුවීම අදහා ගත නොහැකි ව ගල් ගැසී බලා සිටියා.

Alcides Ghiggia ජයග්‍රාහී ගෝලය වාර්තා කළ මොහොත
Alcides Ghiggia ජයග්‍රාහී ගෝලය වාර්තා කළ මොහොත- www.sportsnet.com

කුසලාන සැමරුම් නොමැතිව අවසානයට

තරග පරාජයෙන් අනතුරු ව ප්‍රේක්ෂකයාගාරය තුළ ම දෙදෙනෙක් සිය දිවි නසා ගෙන තිබුණා. රට වටින් ම සියදිවි නසා ගැනීම් එක දිගට වාර්තා වුණා. බොහෝ පුවත්පත් සහ ප්‍රේක්ෂකයන් බ්‍රසීල පරාජය පිළිගැනීමට සූදානම් වුණේ නෑ. ප්‍රකට ගුවන්විදුලි මාධ්‍යවේදියෙක් වූ Ary Barroso තම වෘත්තීයමය දිවිය නිමා කිරීමට පවා තීරණය කළා.

බ්‍රසීල නායකයා වූ Augusto ඇතුළු ක්‍රීඩකයන් සිවු දෙනෙක් නැවත කිසි දිනෙක පාපන්දු ක්‍රීඩා කළේ නෑ. බ්‍රසීල පාපන්දුවේ නිල ඇඳුම වූයේ සුදු පැහැති ජර්සියක් සහ නිල් පැහැති කොළරයකු යි. එය අද බ්‍රසීල නිල ඇඳුම වන කහ පැහැති ජර්සියට මාරු වන්නට ද මේ පරාජය හේතු වුණා.

එදින ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව ජය සැමරීමේ උත්සවයක් පැවැත්වුණේ නෑ. ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය පිරිනැමීමට පැමිණි Jules Rimet උරුගුවේ නායකයා සොයා ගොස් බොහොම නිහඬ ව ඔහුට කුසලානය පිරි නැමීමට කටයුතු කර තිබුණා. Jules Rimet පසු කගෙක ප්‍රකාශ කළේ තමා ලෝක කුසලානය පිරිනැමීමට යන විටදී සමස්ත ක්‍රීඩාංගණයේ ම තිබූ ගීත ගායනා, ඔල්වරසන් සියල්ල මැකී ගොස් ගුප්ත නිහඬතාවක ප්‍රේක්ෂකයන් ගිලී සිටි බවයි.

උරුගුවේ වීරයා වූ Alcides Ghiggia පසු කලෙකදී
උරුගුවේ වීරයා වූ Alcides Ghiggia පසු කලෙක දී – www.marca.com

මෙම සිදුවීමෙන් පසු වසර 2ක් යන තෙක් බ්‍රසීලය පාපන්දු ක්‍රීඩා කිරීමෙන් පවා වැලකී සිටියා. අතීතයෙන් උගත් පාඩම් සමඟ බ්‍රසීලය ඉන් පසුව 1958 දී තම ප්‍රථම පාපන්දු ලෝක ශූරතාව ජයග්‍රහණය කළා. අද වන විට වැඩි ම වතාවක් පාපන්දු ලෝක ශූරයන් වීමට ගිය ගමන් මගේ මරකසානෝ සිදුවීම බ්‍රසීලයට තවමත් අමතක නොවන සිදුවීමක් බවට පත් ව තිබෙනවා.

කවරයේ ඡායාරූපය - www.fifa.com
 මූලාශ්‍ර:

www.fifa.com

www.thereaderwiki.com

Related Articles